*තාරානාත් දහම් වංශනායක*
අරමුණක් නැතුව ජීවිතේට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්න මනුස්සයෙක්ව හරි ට්‍රැක් එකට ගන්න හේතුවෙන්නෙ ජිවීතේ ගලා යෑමට හරි අරමුණක් හොයාගන්න එක.මගේ ජීවිතේට කිසිම අරමුණක් තිබුණේ නෑ. මම ජීවිතේට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා හිටියේ. හරියට සුක්කානම නැති බෝට්ටුවක් වගේ, කොහෙටද යන්නෙ කියලා මමවත් දැනගෙන හිටියෙ නෑ. උදේට ඇහැරෙන්න හේතුවක් තිබුණෙ නෑ. නීරස, හිස් ගතියක් තමයි හැමදාම දැනුණේ.
ඒ හැමදේම වෙනස් උනේ නාද්‍යා එක්ක. අහස් එක්ක. සමහර ආදර කතන්දර පටන් ගන්නෙ කිසිම වචනයක් කියවෙන්නෙ නැති නිහඬතාවයක් එක්ක කියන එක මට තේරුණේ මෙච්චර දවසක් මාත් එක්ක වලියටම වගේ ආව නාද්‍යා චුට්ට චුට්ට මං ළඟදි සැහැල්ලු වෙන්න, දඟ වෙන්න, කෙල්ලෙක් වගේ හැසිරෙන්න ගත්තයින් පස්සේ. වෙනද වගෙ මට බයක් නැතුව එයාගෙ ඔලුව අතගාන්න, එයා දිහා ආදරෙන් බලන්න ඉඩක් දෙද්දි.
“හැමදාම ඔතන ඉන්නද ඉතින් ඔයාගෙ ප්ලෑන් එක?” කියලා මං අහද්දි අපි දෙන්නා උන්නේ ඔෆිස් එකෙන් කලින් එලියට ඇවිල්ලා මරයින් ඩ්‍රයිව් එක අද්දර වාහනේ නවත්තගෙන වඩේ කන ගමන්. වඩේ කන සෙල්ලම පටන් අරගෙන දවස් කීපයක් උනාට පළවෙනි දවසෙ “මේ වඩේ එක්ක සුපිරියට යනවනේ ඉඟුරු ප්ලේන්ටී” කියලා මං කිව්ව නිසාම අපි එහෙම යන දවස්වලට එයා ගාව තිබ්බ ටම්බ්ලර් එකට ඔෆිස් එකෙන් ඉඟුරු ප්ලේන් ටී හදාගෙන එන්න නාද්‍යා පුරුදු වුනා.
“ඔතන ඉන්නද ඇහුවෙ? තාම එහෙම ලොකු සල්ලියක් එකතුවෙලා නෑ ගෙයක් ගන්න මට. අනික ඒ ගත්තත් මට කාන්ති අක්කලව දාලා එන්න බෑ කියලා ඔයා දන්නවා නේ” කියලා කියන ගමන් නාද්‍යා මට වඩේ කෑල්ලක් කැව්වා.
“හරි ළමයො ඒ උනාට ඔයාට හිතෙන්නෙ නැද්ද අහස් ලොකු වෙන්න ඕන ඔයිට වඩා හොඳ එන්වයන්මන්ට් එකක කියලා?”
“මං දන්නවා. ඒ උනාට මට ඇත්තටම තාම ඒක කරගන්න විදියක් නෑ. මං කල්පනා කරේ අහස්ව මොන්ටිසෝරි දාන දවසක උනත් එයා වත්තෙ ලමයෙක් කියලා අනිත් ලමයි දැනගන්න එක එයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයා දන්නවනෙ කොච්චර උනත් දරුවන්ගෙ හිත් අස්සට විස පොවන දෙමව්පියො ඉන්නවා කියලා. මට බයයි එහෙම එකේ… අනේ මන්දා ඒත් මොනා කරගන්නද කියලා මට හිතාගන්න බෑ”
“ඔයාට ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි නම්. ගෙයක් ගන්න නාද්‍යා මට පුළුවන් ඔයාට උදව්….”කියලා කතාව සම්පූර්ණ කරන්න මම හැදුවට නාද්‍යා මට ඒ කතාව සම්පූර්ණ කරන්න දුන්නෙ නෑ. මං කියන්න ගියපු කතාව කට් කරලා එයාව කතාව ඉස්සරහට දාගන්න ඕන වෙච්ච හන්දා නාද්‍යා කරේ ආයෙ වතාවක් මගේ කටේ වඩේ කෑල්ලක් ඔබපු එක.
“ඔයා මේ කරපු උදව් හොඳටෝම ඇති අනේ. තව මට උදව් කරන්න ගිහින් අන්තිමේ ඔයාට ඔයාවත් නැති වෙන එක තමයි වෙන්නෙ” කියලා එයා කියද්දි නම් මට පොඩි හිනාවකුත් ගියා ඒ මහ අම්මණ්ඩියෙක් වගේ කිව්ව කතාවට.
“මට නම් මාව නැතිවෙලා සෑහෙන කල්” කියලා කියන ගමන් මම එයා දිහා හොරෙන් බලද්දි එයා උන්නේ තොල් උඩ පිපීගෙන ආව එයාගෙ ලස්සන හිනාවට එළියට පනින්න ඉඩ දෙන්නෙ නැතිවෙන්න වඩේ හප හප.
“ආ කවදාද දන්නෙ නෑ නැතිවුණේ?” කියලා ඇස් දෙක හීනි කරලා ඇලේට බලද්දි මේක මේ මහ පාර කියලා අමතක කරලා එයාව ඉඹගෙන ඉඹගෙන යන්න මට හිතුනා. ඒ උනාට ෆස්ට් කිස් එක දෙන්නෝන හොඳට මතක හිටින වෙලාවක කියලා මතක තිබිච්ච හන්දා මං ඒ සිතුවිල්ල ඔලුවෙන් අයින් කරන ගමන් මං ආයෙ කට ඇරියෙ මොනාහරි කියන්න.
“ඔයාව හම්බෙච්ච දවසෙ ඉඳන්” කියලා මං කිව්වාම නම් එයා කරේ ඇස් දෙක බිමට හරවගෙන හිනාවෙච්ච එක.
“ඇයි හිනාවෙන්නෙ මං ඇත්තනෙ කිව්වේ?”
“කොහොමද දන්නේ?”
“මොකද්ද?”
“ඇත්තද කියලා? අපි දන්නෙ නෑනෙ බොරු කියනවද කියලා. පිරිමි කොහොමත් හරි දක්ශයිනේ කෙල්ලන්ට බොරු කියන්න. කවුද දන්නෙ ඔයත් එහෙම බොරු කාරයෙක්ද කියලා” කියලා කියද්දිත් මේකි උන්නෙ හිනා වෙවී උන්නට මං නිකන් ඒ වචන ටික හෙනම සිරා ගත්තා වගේ තමයි වාහනේ ඩ්‍රයිවින් සීට් එකෙන් බැහැලා නාද්‍යා වාඩිවෙලා ඉන්න පැත්තට ගියේ.
“ඇයි ඇයි ඇයි ඔයා බැස්සේ?” කියලා කලබල වෙච්ච විදියට එකපාර එකම වචනෙ තුන් පාරක් කියවද්දි මං කරේ එයාගෙ පැත්තෙ දොර ඇරලා, එයාගෙ කකුල් දෙකෙන් උස්සලා, කකුල් දෙක ජිප් එකෙන් එලියට වැටෙන විදියට එයාව මගෙ පැත්තට හරවගත්ත එක. එතකොට කෙලින්ම එයාගෙ ඇස් මගේ ඇස් උඩට වැටුණා. මට එයාගෙ ඇස් දිහාව බලාගෙන කතාකරන්න කොච්චර උවමනා උනත් නාද්‍යා උන්නේ ඇස් බිමට හරවගෙන.
“මහලොකු චණ්ඩියා මොකද බිම බලාගෙන?” කියලා මං අහද්දිවත් මේකි නෙවෙයි ඔලුව උස්සලා මං දිහාව බැලුවෙ.
“ඔයා ගාව පෙපර්මින්ට් සුවඳයි” කියලා එයා කියද්දි මම මගේම ශර්ට් අත ඉඹලාබැලුවෙ උදේ දාපු පර්ෆියුම් එකේ සුවඳ තාම තියෙනවද කියලා.
“ඒ මගේ පර්ෆියුම් එක, ඔයා කැමතිද ඒ සුවඳට?”
“ඔව් පෙපර්මින්ට් සුවඳයි. රහයි”
“එහෙනම් කන්න”
“මොනවද?”
“මාව”
“ඒ මොකටද?”
“පෙපර්මින්ට් රහයි කිව්වෙ ඉතින්. කාලා බලන්න”
“ඉතින් ඒ ඔයාගෙ පර්ෆියුම් එකේ සුවඳනෙ. ඔයාගෙ සුවඳ නෙවෙයිනෙ”
“ඔයා ආස නැද්ද මට තියෙන්නෙ මොන වගේ සුවඳක්ද බලන්න?” කියලා කියද්දිත් මං උන්නෙ එයා දිහාවම බලාගෙන. මට ඕන උනා ඇත්තටම එයාගෙ බෙල්ල මුලට මගේ මූන තියලා එයාට තියෙන්නෙ මොන වගේ සුවඳක්ද කියලා බලන්න. කෙනෙක්ගෙ බෙල්ල මුලට මූණ තිබ්බම සුවඳ හොඳටම දැනෙනවා කියන එක දැනගන්න මට ගෑනු කී දෙනෙක්ව පාස් කරන්න උනාද කියලා කවදහරි නාද්‍යා ඇහුවොත් එයාට ඇත්තටම කියනවා කියන තැනක තමයි මම හිටියෙ. කිසිම සම්බන්ධයක් බොරුවකින් පටන් ගන්න එපා කියන කතාව මම ඉගෙන ගත්තෙ අපේ තාත්තාගෙන.
“අපි ආදරේ කරන කෙනෙක්ට බොරුවක් කියනවා කියන්නෙ සනා ඒක මේ ජීවිතේදිම අපිට වන්දිගෙවන්න වෙන විදියෙ පවක්. ඒ නිසා එයා ඔයාව දාලා යාවි, එයාට ඔයාව එපා වේවි කියලා හිතලත් කිසිම වෙලාවක කිසිම විදියක සම්බන්ධයක් බොරුවෙන් පටන් ගන්න එපා” කියලා තාත්තා කිව්ව වචන මට මේ වෙලාවෙත් මතක් උනා.
“ඇයි මුකුත් කියන්නෙ නැත්තෙ? මං ඇහුවෙ ආස නැද්ද කියලා මගේ සුවඳ දැනගන්න?”
“ඒක දැනගත්තා කියලා මට මොනවද ලැබෙන්නෙ?”
“ම්ම්ම් හොඳ ප්‍රශ්නයක්, ඒක දැනගත්තොත් ලැබෙන්නෙ ඉතින් මාව තමයි අනේ” කියලා මං කිව්වම නම් එයාට ටිකක් හයියෙන් හිනා ගියා.
“අපි යන් අනේ. මිනිස්සු බලනවා ඇති පාරෙ වාහනේ නතර කරන් මොනවද මේ කරන්නෙ කියලා අපි”
“මිනිස්සු මොනා හිතුවත් අපිට මොකද අනේ? තව චුට්ටක් ඉමුකො. හැමතිස්සෙම මෙහෙම ඉන්නෙ නෑනෙ අපි. රැල්ල පාගන්න යන්ද?”
“පරක්කු වෙයිද ගෙදර යන්න? අහස් අඬනවද දන්නෙ නෑ. කාන්ති අක්කට එයාව බලාගන්න බැරිවෙයි”
“නෑ ප්‍රොමිස් ඉක්මනට ගෙදර එක්කරගෙන යනවා. අහස් අඬ අඬ උන්නොත් ප්‍රොමිස් මං නතර වෙලා හරි එයාව නලවන්නම්කො. මටත් ඉඩක් දෙනවද ඔයාගෙ ඇඳේ පොඩ්ඩක් එහෙම උනොත් හාන්සි වෙලා ඉන්න?” කියලා මං කියද්දි නම් මගේ කට කෙලවරක පොඩි පැණි හිනාවක් තිබිච්ච හන්දද දන්නෙ නෑ නාද්‍යා විහිලුවට වගේ අතෙන් මගේ කම්මුලට තට්ටුවක් දැම්මෙ.
“හරි ආ ගහන්න, තව ගහන්න” කියලා මං කම්මුල දික්කරගෙන ඉද්දි නාද්‍යාට ඇත්තටම හයියෙන් හිනා ගියා. මම කවදාවත් දැකලා තිබ්බෙ නැති විදියට එයාට හයියෙන් හිනා ගියා.
“ඔයා හිනාවෙද්දි හරිම ලස්සනයි. ආයෙ හිනා නොවී ඉන්නෙපා” කියලා මම හරිම හෙමින් කොඳුරල වගේ කියද්දි නාද්‍යා ඇස් උස්සල මං දිහාව බැලුවා.
“හැමදාම හිනාවෙලා ඉන්න තිබ්බා ඉතින් හැම මොහොතෙම සන්තෝසෙන් ඉන්න හේතුවක් තිබ්බා නම්”
“මාව ඒ හේතුව කරගෙන ඔයාට හිනාවෙලා ඉන්න බැරිද හැමදාම? ප්‍රොමිස් මං ඔයාව දාලා යන්නෙවත්, හිත රිද්දන්නෙවත් නෑ.
ඔයාගෙ තොල් උඩින් හිනාව මැකිලා යන්න මං ඉඩ තියන්නෙත් නෑ එකම එක වෙලාවකදි ඇරෙන්න”
“මොකද්ද ඒ වෙලාව?”
“මං මට හිතිච්ච හිතිච්ච වෙලාවට ඔය ලා රෝස පාට තොල් මගේ මේ සිගරට් බීලා දුඹුරු පාට වෙච්ච තොල් වලින් රිදෙන්න අල්ල ගත්ත වෙලාවට”











