සිදුවන්නේ කුමක්දැයි පැහැදිළි කරගත් පසු විශ්ව නොනවත්වාම බැණ වැදුනේ විමුක්ති ටය. විමුක්ති ඒ සියල්ල ඉවසමින් අසා උන්නේය. සින්දූපා හොර පූසියක මෙන් අසා සිටුන බව පෙනෙද්දී, විශ්වගේ බැණුම් ඇය වෙතට විය
” තොපි මඟුල් නටපල්ලකෝ ඔහොම… මම තව කටු කන්නම්…”
ඔහු එලෙසින්ද කියෙව්වේය.
මනුජ විශ්වට ඇති තරමට කියවන්නට ඉඩ දී ඉන් පසුව කතා කලේය
” මේක ටීම් මිශන් එකක් වෙලා තියෙන්නේ කියලා තේරුම් ගනින් බං… උඹ දැන් මේකට පැටලිලා ඉවරයි… ඒ කියන්නේ උඹත් මේ ටීම් එකේ කෑල්ලක් වෙලා ඉවරයි … ආතතිය හදාගන්නේ නැතුව, කූල් එකේ මේකේ කොටසක් වෙයං….”
” අනේ මනුජ මේ.. අර ඉන්නේ උඹේ එක් කුස උපන් නංගී බං…. කිරෙන්ද පැණියෙන්ද නොදන්න එකෙක්ව කසාද බැඳගෙන ඒකි ඇවිල්ලා ඉන්නේ… කොහොමද යකෝ උඹ ඔහොමහොම ටීම් වර්ක් ගැන කියවන්නේ… උඹ නිකමට හිතපංකෝ, මූ කොයි ජාතියෙද කියලාවත් උඹ දන්නවාද මනුජ…?”
” මං ඌව දන්නේ නෑ බං… ඒත්, මම මගේ නංගිව දන්නවා… ඒකි විමුක්ති ව තෝරගත්තා, ඒක විශ්වාසයි මට…. එච්චරයි…”
විශ්ව ඉන් නිහඬ වූයේය. මනුර්‍යා කඳුලු පුරවා ගත්තාය. අය්යා ට තමා හා විමුක්ති එක්ව ජීවත් වන බව පැවසූ දිනය මනුර්‍යාට සිහි විය. ඔහු පැවසුයේ ” ඌ කොයි ජාතියෙන්ද කියලා වඩා හොඳින් දන්නේ මම නෙවෙයි නංගී …. පරෙස්සම්මට ජීවත් වෙන්න පුලුවන් කියල විශ්වාස නම්, මම හා… අම්මලා ගේ ඉස්සරහට තමුසේ එද්දී, මම තමුසේ ඉස්සරහින් ඉන්නම්…. ඒ වගේම, උඹේ ජීවිතේ විනාස වෙන යමක් ඌ අතින් වෙලා උඹ හිස් වෙන බවක් මට දැනුනොතින්, ඌ මරනවා… අනිවාර්‍යෙන්ම මම ඌව මරනවා…”
මනුර්‍යා විමුක්ති ගේ අතින් අල්ලා ගත්තාය. ඔහු තමාගේ ජීවිතය තුළ වටිනාම ඉඩක සිටින බවට වන විශ්වාසයෙන් පිරුණාය.
” හරි දැන් … මොකක්ද කරන්ම හදන්නේ ?…”
“අන්න එහෙම එනවකෝ කොල්ලෝ…”
මනුජ විශ්වගේ උරිස්සට රිදෙන පහරක් ගැසුවේය. මනුර්‍යා මැදිහත් වි රාත්‍රී ආහාරය ගත යුතු බව සිහි කරාය. බලෙන්ම දියණිය ඇහැරවාගෙන ඇයට රාතී ආහාරය කවන්නට මනුර්‍යාට පැය හාගයක් පමණම ගත විය. ඉන් පසුව, සින්දූපා පැමිණ සිට්න බව දුටු දියණියගේ නින්ද නිම විය. ඕ සින්දූපා ගේ උකුලෙන් බැස්සේම නැත.
” පුතේ… ඩොක්ටර්ට ආන්ටිට ඌවා වෙලා ඉන්නේ.. මෙහෙට එන්න.. මෙහෙට එන්න…”
මනුර්‍යා කෙතරම් උත්සාහ කලද, දියණිය සින්දූපා ගෙන් පසෙකට ගැනීම පහසු වූයේ නැත.
” මම අක්කට කවන්නම්… මෙයා දැන් ඔයාගේ ඔඩොක්කුවේ නින්ද යනකල්ම ගන්නවා බොරු ….”
” තමුසේ කනවා…. මම .. කව.. න්නම්…”
මනුජ එතරම් ගණනකට නොවන සේ එලෙස පවසද්දී, මනුර්‍යා විමතියෙන් බලා උන්නාය. අනෙකාට බත් කවන්නට තියා, එවැන්නකට සූදානමකවත් නොඋන් මිනිසෙකි ඔහු. දියණියට ආහාර කවාගන්නට අය්යා උදව් කරන්නේ ඉතා කලාතුරකින් බවට වන නිර්ධා ගේ චෝදනාව සිහිවෙද්දීම, මනුර්‍යා ඒ පරණ කතා බැහැර කලාය.
මනුජ බත් පිඟාන බෙදාගෙන සින්දූපා අසලින් හිඳගත්තාය.
” ඔයා කාලා ඉන්න…”
දියණියට වැතිරෙන්නට පහසු සේ අසුනේ තවත් හරි බරි ගැසෙමින්, සින්දූපා එලෙස කීවාය.
” කවන ගමන් කන්නම්…”
මනුජ තීරණය දුන්නේය.
” අරයා නම් සම්පුර්ණෙන්ම වෙස් පෙරලගෙන විශ්ව අය්යේ…. සින්දූපා මොන ඉනාවක් දීලද දන්නේ නෑ.. දරුවාටවත් කවන්න එච්චරට මහන්සි නොවුණ මිනිහෙක් ඔය…”
මනුර්‍යා විශ්ව දෙසට හැරී පහත් හඬින් කීවාය. විශ්ව හිනැහුනා පමණි. විමුක්ති ගේ ජංගම දුරකතනය ට සින්දූපා ගේ මව ඇමතුමක් ගත්තේ ඒ අතරේය. සින්දූපා වැඩි කතාවක් නැතිව ඇමතුම අවසන් කලාය. ඇමතුමෙන් පසු සියල්ලන් අතර වූයේ නිහැඬියාවකි. යම් දෙයක් කිරීමට තීරණය කිරීමත් , එය සිදු කිරීමත් පහසුය. වඩා අපහසු කාරණාව වන්නේ, එම දෙයට අදාලව වන පසු ප්‍රතිඵල වලට මුහුණ දීමය. විමුක්ති තත්වය වටහා ගත්තේය. සිදුවීමේ පාලනය ඔහු වෙතට ගත්තේය.
” අපි හය දෙනාම මේකේ පැටලිලා ඉවරයි… දෝණි ට දැන් දේවල් තේරෙන නිසා හෙට අනිද්දාට අනිවාර්‍යෙන්ම මේක මනුර්‍යා ගේ අම්මලට එහෙන් මෙහෙන් හරි කියැවෙනවා… ඉස්සෙල්ලම එහෙ බැලන්ස් කරලා ඉමූ… සමහරවිට අම්මලා අපි නොහිතන වේගෙන් මේ දේවල් වලට ඇජෙස් වෙන්නත් පුලුවන් .. එහෙම නොවෙන්නත් පුලුවන් … ඒ මොක වුනත්, මේ අපේ ජීවිත.. අපිට යහපතක් වෙන තීරණයක් ගන්න එක ගිල්ටි ෆිලින්ග් එකක් හදාගන්න ඕනි කාරණාවක් නෙවෙයි….
අය්යට හෙට නිවාඩු දාන්න පුලුවන් නම් , වීකෙන්ඩ් අල්ලලා අපි කොළඹ යමූ… සින්දූපාවත් එක්කගෙනම ඔයාලෑ ගෙදර යමු… අම්මලට මේ කතාවේ ඇත්ත තත්වේ වටහා ගන්න පුලුවන් මට්ටමින් පැහැදිළි කරමු…..
මොක කරන්නත් අපි දෙන්නට නිවාඩු තියෙන්නේ සති හයයි.. ආයේ අවුරුද්දකටවත් එන්න වෙන්නෙත් නැති වෙයි..
ඒ නිසා, ප්‍රමුඛ කාර්‍යයක් සේ සලකා මේ වැඩේ කරන්නෝනා…”
විමුක්ති බහුශ්‍රැත පෙනුමක් මවාගෙන කතාව අවසන් කලේය. මනුජ ට නැගණියගේ තෝරා ගැනීම පිළිබඳව වන සැනසීමේ හැඟීම අඩු නැතිව විඳින්නට ඉඩ උදා වෙමින් තිබුණි.
” ප්‍රසිඩන්ට් එන එකේ වැඩ ටිකක් තියෙනවා.. එහෙම වුනොත් හවස් වෙලා යමූ.. මම වෑන් එකක් සෙට් කරගන්නම් … විශ්ව, උඹලා දෙන්නත් යමං… නංගී..සාරතී නැන්දා ටත් ලෑස්ති වෙන්න කියන්න.. එක්ක යමු…”
“හා එහෙනම්….එහෙම කරමු… තනි තනි වාහන දෙක තුන යනවට වඩා ඒක හොඳයි…”
මනුර්‍යාද එකඟ වූවාය. මනුජ සින්දූපා ට අතුරුපසද ගෙන ආවේය. නින්දේ උන් දියණිය ඔහු වෙත ගත්තේය. සින්දූපා අතුරුපස පිඟානේ පලමු හැන්ද මනුජ වෙත පෑවේ කිසිවෙකුගෙර් අවධානය තමා වෙත නොවන බවට බිදක් සැලකිලිමත් වෙමිනි. එහෙත් ව්‍යාජ සරදම් හඬ කිහිපයක්ම නැඟුණි.
” පුදුම ලව් එකක්නේ මේක…”
මනුර්‍යා සියල්ලන්ම පරයා යන හඬකින් කෑ ගසමින් කීවාපෙනෙන්නේය සින්දූපා දියණියගේ එක් පසෙක ඇල වූයේ මනුජගේ උදව්වෙනි. මනුජ ආලෝකය අඩු කර යහනේ අනෙක් පස වැතිරුනේය.
සින්දූපා මනුජ පෙනෙන සේ ඇලයට හැරුනේය. දියණියගේ හිසට ඉහලින් දෙදෙනාගේ දෑත් පැටලුණෝය
” ඔක්කොම හොඳම විදියට විසඳෙයි… අපේ අම්මලා අකමැති උනොත් අකමැති වෙන්නේ ඔයා මා එක්ක ඉන්නවට නෙව්‍යි… මම ඔයා එක්ක ඉන්නවට… අනිවාර්‍යෙන්ම ඔයාගෙන් අහවි , හොඳට හිතලා ගත්ත තීරණයක්ද මේ කියලා….”
සින්දූපා සිනාසුණාය. දෑතේ අතැඟිලි පැටලුම් අතර ඕ තව තව ගුලිවූවාය
” නංගිට මොකක් වෙයිද..?’
” මං ඉන්නවනේ.. ඒක මම බලාගන්නම්.. ඒ නැතත් , අන්තිමේදි විමුක්ති පුතා වෙලා මම පිට එකා වෙන්නත් පුලුවන් …. අම්මා කලබල වුනත් කලබල වෙන්නේ ඒ දෙන්නා මැරි කරලා කියනෙකට.. ඒත් ඒක එහෙම කරන්න ඒ දෙන්නා එහෙ ඉදන් කොච්චරක් සැලසුම් කරලාද දැනගත්තම ඒ හැම කලබලයක්ම නියුට්‍රල් වේවි…”
“ම්ම්ම්ම්…”
“මොකෝ…”
“ම්හ්හ්හ්….”
මනුජ සැනසුම් සුසුමක් සමඟින් දෑස් වසා ගත්තේය.
 
             
		












