ඉඩෝරයක මල් වැස්සක් – 40

ඉසුරි කැඳවාගෙන යාමට සුරංග පැමිණියේ රාත්‍රී අටට පමණය. බිනර ඇයව ඔහු වෙත යැවූයේ මිතුරාගේ පෙම්වතිය සමඟය. 

යුවතිය සමුගත්තේ අන් කවරදාටත් වඩා වූ ලෝබ කමකින් බව විශ්වාසය. ඔහු උන්නේ තව දුරටත් ඇයව මේ ජීවිතයෙන් ඈත් කර තබන්නට බැරි තැනකය.

සුරංගගේ යතුරුපැදිය පසු පසින් වාඩි වූ ඉසුරි ඔහුගේ බඳ වටා දෑත් යැවූයේ මද දුරක් ඉදිරියට යද්දීය. මැරී  ඉපදුනාක් මෙන් සියල්ල වෙනස්ව තිබිණ. ඇසෙනදෑත් දකිනදෑත් සියල්ල විඳින සියල්ලත් නැවුම්ය. සැබවින්ම ඈ යළි ඉපදී උන්නාය.

“ඉසුරි  කොහොමද දානෙ වැඩකටයුතු…”ග

වෙනදා හදිසියකට හෝ තම යතුරුපැදියට නැගුනහොත් දියණිය නිකමටවත් තමාව ස්පර්ශ නොකරන්නට ප්‍රවේසම්වන බව සුරංගට ඕනෑ තරම් දැනී තිබේ. එවන් අවස්ථාවල දෑසට කඳුළු නැගුණු වාර ගණනත්  අනන්ත බව ඔහු සිහි කළේ වේදනාවෙන්ය. දරුවන්ව බදා වැළඳ ගෙන තුරුලු කරගන්නට ඔහුගේ සිතේ කවදත් වූයේ දැඩි කැමැත්තකි. එහෙත් දික්කසාදයෙන් බෙදී වෙන් වුණු තමාත් දරුවනුත් අතර වූයේ කිසි දිනක යළි එක්විය නොහැකි තරමේ දුරස්ථ භාවයක් යැයි ඔහු නිරතුරු සිතුවේය. මේවේලෙහි ඉසුරිගේ ඒ වැළඳ ගැන්ම ඔහුගේ සිතට එක් කර තිබුණේ වෙනස්ම අයුරේ හැඟීමකි. ආපසු හැරී තම දියණියව පපුවට තුරුලු කරගන්නට සිතනු සිතුවිල්ල සුරංග වාවා ගත්තේ මහත් වූ අසීරුවක් දරාගෙනය. එනිසාම ඔහු යතුරුපැදිය ඉදිරියට පදවාගෙන පැමිණියේ අන් කවරදාටත් වඩා සෙමින්ය.

“හොඳට තිබුනා තාත්තේ. අනේ මට හරි සතුටුයි ඒ වගේ දේකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන.”

“මොනවා හරි කනවද ඉසුරි..”

“අපෝ එපා තාත්තේ මට බඩ උස්සන් ඉන්න බැරි තරමට දැන් කාලා ඉන්නේ.”

සුරංගගේ මුවෙහි සිනහවක් සටහන් වූයේ ඈ එසේ පැවසූ ආකාරයටය.

“මොනවද අප්පේ  එච්චර කෑවේ..”

“ඒ ගොල්ලෝ මගෙන් අහ අහා මම කන්න කැමති දේවල්ම තමයි තාත්තේ ඕඩර් කළේ. අන්තිමට මට බලෙන් කැව්වා.”

“හොඳ යාලුවෝ ටිකක්…”

“ඔව්… හොඳ යාලුවෝ ටිකක්..”

දියණිය උන්නේ සතුටින්ය. ඒ සතුට මින් පෙර කිසිදු දිනයක ඇගේ මුවින් නුදුටු බව සුරංගට සිහි වූයේත් ඒ හදිසියේය. ඔහු ගාළු පාරේ වූ සුපිරි වෙළඳ සංකීර්ණයක් අසල යතුරුපැදිය නතර කළේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අවනතවය. 

“ඇයි තාත්තේ…

“අම්මට කෝල් එකක් දුන්නද චුට්ටක් රෑ වෙනවා කියලා.” 

“ඔව්.  හවස දුන්නා. මම තාත්තත් එක්ක එනවා කියපු හින්දා අම්මා මුකුත් කිව්වේ නෑ.”

“එහෙනම් හොඳ ළමයා වගේ දැන් කෝල් එකක් දීලා කියන්න තාත්තත් එක්ක ඉන්නේ තව චුට්ට වෙලාවක් පරක්කු වෙයි කියලා.”

“ඇයි තාත්තේ…”

“අම්මා දැන් වැඩට යන්නේ නැති හින්දා ගෙදර අඩුපාඩුත් ඇතිනේ. ගෙදරට බඩු ටිකකුත් අරගෙන නංගිටයි මල්ලිටයි කන්නත් මොනවා හරි ගමු.”

“එපා තාත්තේ මගේ ළඟ සල්ලි තියෙනවා.”

“කමක් නෑ ඉසුරි…අම්මට කෝල් එකක් දීලා ඉන්නකො.”

ලොකු අයියාගෙන් පැමිණි කෙටි පණිවිඩත් මගහැරී ගිය ඇමතුම් රැසකුත්  යුවතිය දුටුවේ අත් බෑගයේ නිහඬ කර දමා තිබූ ජංගම දුරකථනය තම අතට ගත්තාට පසුවය. අම්මාට දුරකතන ඇමතුමක් ලබාදී තාත්තා සමග එන බවක් පැවසූවත් ඇය ලොකු අයියා ඒවා තිබූ එකඳු කෙටි පණිවිඩයක්වත්  කියවන්නට උත්සාහ දැරුවේ නැත. ඒවා තුළ වන්නේ ඔහුගේ කෝපය බව ඇය දනී. මේ සා සැහැල්ලු, සන්සුන් කරගත් සිත ආපසු රිදවා ගන්නට ඇයට වුවමනා වූයේ නැත. 

“හෙටම කතා කරනවා..”

යැයි සිතූ යුවතිය යළිත් ජංගම දුරකථනය අත් බෑගය තුළට දමා ගත්තේ නිහඬ කරමය.

තාත්තා නංගිටත්, මල්ලිටත් කෑම පමණක් නොව නිවසට අවශ්‍ය වන බඩු කිහිපයක්ද මිලදී ගත්තේ ඉසුරිගේ විරෝධතාවය මැදය. 

නිවස අසලටම තමාව ඇරල වූ ඔහු ආපසු පිටව යාමට සැරසෙද්දී නිවසට පැමිණ යන්නයැයි පෙරැත්ත කළේ ඉසුරිය. එහෙත් ඔහු නිවසට නොපැමිණම මධාරා පුංචි අම්මාට දුරකථන ඇමතුමක් ලබා දෙන අයුරු යුවතිය බලාගෙනය. ඇමතුම ලබාගෙන කලබලයෙන් හිස් වැසුම අතර රැඳවූ  දුරකථනයේ ස්පීකරය ඔන්ව තිබූ බවක් සුරංග නොදැන සිටින්නට ඇත. 

“මධාරා…”

“දුවව ගත්තද සුරංග..”

“මං එයාව ගේට් එක ළඟින් බැස්සුවා. ඉසුරි මට කරදර කරනවා ගෙදරට ඇවිත් යන්න කියලා. මම ගියාට කමක් නැද්ද?”

“අනේ ඇයි සුරංග එහෙම අහන්නේ. ඔය ඉන්නේ ඔයාගේ දරුවෝ තුන්දෙනා. ඔය ආසාවෙන් හිටියේ ඉසුරුවයි, චූටි දුවවයි බලන්න. යන්න ගිහිල්ල ටිකක් වෙලා එයාලා එක්ක ඉඳලා කතා කරලා එන්න.”

“රාජිණිත් ගෙදර ඉන්නවා මධාරා….”

“ඔයාට පිස්සු සුරංග මං හැමදාම ඔයාට කියනවා ආදරයක්, ජීවිතයක් ගොඩනැගෙන්නේ විශ්වාසය මත කියලා. රාජිණී අක්කා කො⁣හේ යන්නද ගෙදර ඉන්නේ නැතුව. රාජිණී අක්කගෙ හිතේ මං ගැන මොන විදිහේ හැඟීමක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ. හැබැයි එයා දරුවන්ට හොඳ අම්මා කෙනෙක්. සුරංග දරුවන්ගේ ජීවිත වලට ඔය දෙන්න එකතු වෙලා ගන්න තීරණ තමයි වඩා වැදගත් වෙන්නේ. මේ වෙලාවේ රාජිණී අක්කා  ඔයා එක්ක  කතා කලොත් ඉසුරි ගැනත් කතා කරන්න. සමහර විට ඔයාට වඩා දෙයක් ඉසුරියි ලොකු පුතයි ගැන රාජණී අක්කට  දැනෙනව ඇති.”

ඉසුරිගේ  දෑස් වල කඳුලක් පිරුනේ එහා පසින් ඒ හඬ ඇසෙද්දීය. සමහර මිනිසුන් තුළ අනිකා තේරුම් ගැනීමේ ශක්තිය කොතරම් ඉහළින් තිබෙනවාදැයි ඇයට සිතුනේ අඩියක් දෙකක් ඉදිරියට ඇවිද යද්දීය. ඒ සැනසුම් සහගත ජීවිතය තුළ තාත්තා සිටින්නේ සතුටින් විය යුතුය. 

සුරංග නිවසේ රැඳී සිටි කාලය හෝරාවකට ආසන්නය. සැබැවින්ම නංගීත් මල්ලිත් සිටියේ සතුටින්ය. වෙනදා ඔවුන්ගේ මුවින් පිට වූ නොහොඳ, නෝක්කාඩු කිසිවක් වූයේ නැත. 

අවසන දෙදෙනා තාත්තා විසින් ගෙන ආ කෑම පාර්සල් ලිහා ගත්තේ විසිත්ත කාමරයේ වූ මේසය මත තබාය. අලින්දයේ තනිවූයේ අම්මාත් තාත්තාත් පමණි. දෙදෙනා වූයේ ප්‍රධාන දොරටුව දෙපස තබා ඇති පුටුවල අසුන් ගෙනය. ඉසුරි මුළුතැන් ගේ දෙසට ඇවිද ගියේ සියල්ලන්ටම කෝපි සාදන්නට සිතාගෙනය. 

“මොකද අර වැඩේට කරගත්තේ….”

“කරන්න කියලා කිසිම දෙයක් නෑ සුරංග. එකම විකල්පය තියෙන්නේ මම රට ගිහිල්ලා ඒක ගෙවන එක විතරයි. මම යන්න කලින් මධාරාව මුණගැහෙන්න එන්නම්. දවස් දෙක තුනකට සැරයක් හරි දෙන්නම ඇවිත් මේ දරුවෝ ගැන ටිකක් බලල යන්න. මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න මට වෙන ක්‍රමයක් නෑ සුරංග.” 

“මමත් ලෝන් එකක් ගන්න බැලුව. හවුසින් ලෝන් එක තවම ගෙවන නිසා ලක්ෂ පහකට එහා ගන්න බෑ.”

“එහෙම ගන්න පුළුවන් උනත් ඔයාට දැන් එහෙම කරන්න බෑ සුරංග. ඔයාට දැන් තියෙන්නේ වෙනම ජීවිතයක්. ආපස්සට හැරෙන්න බෑ.”

ඉසුරි තැටිල්ලක් මත තබාගත් කෝපි කෝප්ප දෙකක් රැගෙන ආලින්දයට පැමිණියේ එවේලෙහිය. මුළුතැන් ගෙයට මදක් එහාට වන්නට වූ  කොරිඩෝවේ තබා තිබූ පරණ කැබිනෙට්ටුව තුළ වූ තාත්තා තේ පානය කළ කෝප්පය ඈ  ඉන් පිටතට ගත්තේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. ඒ කෝප්පය අර පරිස්සමට පරණ පිඟන් කෝප්ප අතරෙහි තබන්නට ඇත්තේ අම්මා විය යුතුය. හදිසියේ පිටස්තරයෙකු නිවසට පැමිණි වේලාවක ඒ කැබිනෙට්ටුව අරිනවා විනා එහි තිබූ පිඟන් කෝප්ප පිටතට ගත් දිනක් ඉසුරිගේ මතකයේ නොවේ. තම නිවසට අමුත්තෙකු හෝ ඥාතියකු පැමිණියේත් කලාතුරකින්ය. එනිසාම පිඟන් කෝප්ප අතර අර පරිස්සමට තබා තිබූ තාත්තාගේ තේ බොන කෝප්පය සුරක්ෂිතය. 

“තවමත් මේ කෝප්පෙ මෙහේ තියෙනවද….”

සුරංග ඇසුවේ ඉසුරිගෙන් නොව රාජණීගෙන්ය. 

“මේගොල්ලෝ අරන් තියලා….”

ඉසුරි අම්මා ඒ දුන් පිළිතුර නිවැරදි කරන්නට නොගියාය දෙදෙනාට නිදහසේ කතා කරන්නට ඉඩ දුන් ඈ නංගීත් මල්ලිත් අතරට ගියේ එවේලෙහිය.

“අද ලොකු පුතා ඇවිල්ලා ඉසුරුට කෑ ගහලා ගිහින් තිබුණා.”

“ලොකු පුතා..”

“ඔව්.. ඉසුරි ෆෝන් එක ඕෆ් කරගෙන කියල.”

“ඒ ළමයා ගියේ දානෙකට ඉතින් එතන ෆෝන් එක ඔන් කරගෙන ඉන්නේ කොහොමද.?”

“ලොකු දුව හරි අහිංසකයි සුරංග. සමහර විට අපි දෙන්නගේ රණ්ඩු සරුවල් දිහා බලාගෙන ඒ ළමයා හරියට දුක් විඳින්න ඇති. ලොකු පුතා ඉසුරිට හරියට සැරවෙනවා කියලා  මට අම්මත් කීප වතාවක් කිව්වා. ඒක ඉසුරි අපිත් එක්ක කියන්නේ නැතුව කොහොමද එයාගෙන් අහන්නේ කියලා මමත් කීප වතාවක් හිතුවා. ලොකු පුතා ලඟ ඉවසීම ඇත්තෙම නෑ. මං මෙහෙම කියනවට ඔයා වැරදියට හිතන්න එපා. ලොකු පුතා මාව පිළිගන්නේ නැති නිසා මං එයා ගැන වැරදියට හිතනව කියලත් ඔයා හිතන්න්න එපා.”

“මට තේරෙනවා…..”

“මට ඉසුරු ගැනවත් චූටි දුව ගැනවත් බයක් නෑ සුරංග. එයාලා කතා කරන්න ඕන තැන් වලට කතා කරලා නිහඬව ඉන්න තැන් වලට නිහඩව ඉන්න දන්න ළමයි. ඉසුරි කියන්න එහෙම ළමයෙක් නෙමෙයි. එයා හැමදේම හංගගෙන හිත අස්සේ හිර කරගෙන තනියෙන් දරාගන්න ළමයෙක්. එහෙම කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන උනත් තීරණයක් ගන්න දෙපාරක් හිතන්නෙ නෑ සුරංග. නිහඬකම තරමටම එයා දරාගන්නවා කියලා මං දන්නවා. ඉසුරි කියන්නෙ කෑගහලා තමන්ගේ හැඟීම් පිට කරන දරුවෙක් නෙමෙයි.”

“මං හිතුවා ලොකු පුතා අපේ කෙල්ලට හරි ආදරෙන් ඇති කියලා…”

“සමහර විට ඒ හැම දෙයක්ම කරන්නේ ආදරේ නිසා වෙන්නත් ඇති. ඒ උනාට මේ අහිංසක කෙල්ලගේ ඇස්වල කඳුළු දකිනකොට මට එයාගේ අනාගතය ගැන හරි බය හිතෙනවා සුරංග. ඔයා ලොකු පුතත් එක්ක ටිකක් කතා කරන එක හොඳයි. අපි කාටවත් දැන් ආපහු අඩිය පිටිපස්සට ගන්න බෑ. මේ තෝරා ගැනීම කළේ ඉසුරි. හැබැයි එහෙමයි කියලා එයා දරාගන්න බැරි තරම් කඳුළු දරාගන්න ඕනෙ නෑ සුරංග. අපිට වැරදිච්ච තැන එයාලා වරද්ද ගන්න ඕන නෑ.” 

“ඔයා හරි මං ලොකු පුතා එක්ක ඉක්මනටම කතා කරන්නම්.” 

සුරංග එසේ පැවසූයේ රාජණීගේ  වදන් වලට අවනත වෙමින්ය. මේ සිය ජීවිතය තුළ ඔහු වචනයක්වත් නොඅසා තමාව අනුමත කළ, තමාට අවනත වූ ප්‍රථම අවස්ථාවයැයි ඈ සිතුවේ දෑස් තුළ කඳුලක් තබාගෙනය. මිනිසුන්ගේ ජීවිත අරුම පුදුමය. වරින් වර ඒවායේ දුරස්ථ පාලක මාරු වෙන්නේ කා අතටදැයි අවසන ඕ සිතුවේ  දිගු සුසුමක් මුදා හරිනා අතරේය.

(හමු වෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles