ළතෙත් ආදර හැඟුම් ගංගා -42

*නාද්‍යා සොනාලි සල්වතුර*

ජීවිතේ කොච්චර වැරදුණත් ගෑනු අපි ආයෙ ආයෙ ආදරේ කරනවා, ආදරේට වහවැටෙනවා කියන එක මම ඉගෙන ගත්තෙ එයාගෙන්. ආයෙ කවදාවත් පිරිමියෙක් වෙනුවෙන් මේ හිතවත් ශරීරෙවත් දන් දෙන්නෙ නෑ කියලා හිතුව මමම උන්නෙ දවසෙ මුලු පැය විසි හතරෙම තාරානාත්න් ගැන හිත හිත.

ඒ වගේම තව දුරටත් ඕක හංගගෙන ඉඳලා පස්සෙ වෙන කොහෙන් හරි ආරංචි වෙලා මම නරක මනුස්සයා වෙන්නොන නැති හන්දා මම කාන්ති අක්කට ඇත්ත කිව්වා.

“මං නංගිට මුලින්ම කිව්වානෙ ඉරණංකාරයා කවදාහරි ඉඳලා එනවා කියලා. බලන්නකො ඉතින් ගෑනුන්ගෙ පිණ කුණු මුල්ලෙ කියන්නෙ බොරුවක්ද කියන්නකො” කියලා කාන්ති අක්කා කියද්දිත් එයාගෙ ඇස් තිබුණෙ දිළිසෙන ගමන්. ඒ දිළිසෙන ඇස් අස්සෙ තිබ්බෙ මං ගැන සහෝදර ප්‍රේමෙන් ඇතිවෙච්ච සන්තෝසයක් කියන එක අඳුනගත්තම මට මගෙන් අහන්න පුළුවන් උනේ එකම එක ප්‍රශ්නයක් විතරයි.

“මනුස්සයෙක් කොහොමද තමන්ට කිසිම විදියක රිලේට් නොවන මනුස්සයෙක් ගැන මෙච්චර ලස්සනට හිතන්නෙ?” කියලා. 

ඉස්සර ඉස්කෝලෙ යද්දි, අපේ අම්මලා එහෙම කිව්වෙ “මිනිස්සුන්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා” කියන එක. ඒ කාලේ අපි අම්මලා කියන දේවල් අහන්න අකමැත්තෙන් උන්න එකේ මං හිතුවෙ “අම්මලාට වඩා හොඳට මට මිනිස්සුන්ව අඳුරගන්න පුළුවන්” කියලනෙ. අන්තිමේ එහෙම හිතලනෙ කෙළවගත්තෙ. අම්මලා කියපු දේ සමහර අවස්තාවල හරි ගියත් කාන්ති අක්කා, තාරානාත් වගේ මිනිස්සු ඉස්සරහදි අම්මලා කිව්ව කතාව වැරදි නේද කියන එක මට කල්පනා උනා.

“අනේ මන්දා අක්කේ, තාරානාත් ඉරණංකාරයා නම් මෙච්චර දේවල් උනාට පස්සෙ ඇයි අපි හම්බුනේ කියන එකයි මං කල්පනා කරේ” කියලා මං කියද්දි කාන්ති අක්කා ඇවිදන් ඇවිත් වහල උඩ ගැට්ටෙ මා එක්කලා වාඩි උනා.

“සමහර වෙලාවට අපිට හොඳම දේවල් හම්බෙන්නෙ නංගියෙ සෑහෙන්න කල් ගිහිල්ලනෙ. අපිට ඕනම කරන දේවල් වෙනුවෙන් ඇයි මේ තරම් කල් බලන් ඉන්න වෙන්නෙ කියලා අපිට ඇත්තටම තේරෙන්නෙ නෑ. අපි බලනවා අනිත් උන්ට උන්ගෙ හීන පට්ට ලේසියෙන් ලැබෙනවා දකිද්දි එතකොට අපිට හිතෙන්නෙ, අපේ මොකක් හරි වැරදි ග්‍රහයෙක් ඉන්නවද, නැත්නම් අපි මොකක්හරි වැරැද්දක් කරනවද කියලා. ඒත් ජීවිතේ හැමදාම එහෙම එකම විදියට වැඩ කරන්නෙ නෑනෙ.

සමහර වෙලාවට, ඇත්තටම අපිට අයිති දේවල් එන්න කාලාන්තරයක් යනවා. ඒ ඒකට අපි අයිතියක් නැති නිසා නෙවෙයි, ඒක එන්න ඕනෙ හරිම වෙලාව එනකම් ඉන්න නිසා.

ඒක හරියට ඇටයක් පොළොවෙ හිටවනවා වගේ. අපිට පුළුවන් ඒකට වතුර ටික දාලා, හැමදාම බලාගන්න. ඒත් ඕක එක රැයින් ගහක් වෙන්නෙ නෑනේ. ඒකට කාලයක් යනවා. ඉර එළිය, වැහි වතුර,පෝර එක්කම අපේ ඉවසීම කියන දේත් හරි වැදගත් නේ. අපේ හීන, අපේ සතුට, අපිට හම්බවෙන මිනිස්සු පවා එහෙමයි. හරි දේවල් ලැබෙන්න කරන්න කාලෙ ගන්නවා.

සමහරවිට අපි බලාගෙන ඉන්න දේ තාම අපිට ලැබුණේ නැත්තෙ, ජීවිතේ තාම අපිව ඒ වෙනුවෙන් ලෑස්ති කරන නිසා වෙන්න ඇති. සමහරවිට ඒ හොඳ දේ අපි ළඟට එනකොට, ඒක ඉස්සරහට අරන් යන්න ඕනෙ හිතේ හයිය අපි ඉගෙන ගෙන ඉන්නවා වෙන්න පුළුවන්.

ඒ නිසා නංගියේ, දේවල් හිතුවට වඩා පරක්කුයි කියලා දුක් වෙන්න එපා. ජීවිතේට අපිව අමතක වෙලා කියලා හිතන්නත් එපා. ලෝකෙ හැමදේම වෙන්නෙ වෙන්නෝන වෙලාවට. මනුස්සයෙක් ඉපදෙන එක වගේම මැරෙණ එක පවා වෙන්නෙ ඒ ඒ වෙලාවට. අපේ වෙලාව එනකොට, ඒ බලාගෙන හිටපු හැම තත්පරයක්ම වටිනවා කියලා අපිට දැනෙනවා.

හොඳම දේවල් කවදාවත් ඉක්මනට එන්නෙ නෑ. ඒවා එන්නෙ හිමින්, වගේම අපි හරියටම ඒවා බාරගන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවට” කියලා කාන්ති අක්කා කිව්වට මට ඇත්තටම එවෙලෙ තිබ්බෙ වෙන ප්‍රශ්නයක්. මං උන්නෙ ඒ ප්‍රශ්නෙට උත්තරේ කාගෙන්ද අහන්නෝන කියලා හිතන ගමන්.

“ඒක එහෙමම උනා කියන්නකො අක්කෙ. සමහරවිට මම මෙහෙම ගයාන්ගෙන් කරදරයක් කරගෙන දරුවෙක් එක්ක වත්තට ආවෙ නැත්තම් කවදාවත් මට තාරානාත් ව හම්බෙන්න ඉඩ නැතිවෙන්න තිබ්බා. ඒක ඇත්ත. ඒ උනාට තාරානාත් කියන්නෙ තාම කොල්ලෙක් අක්කේ. මම එයාට වඩා අවුරුදු අට දහයක් බාල උනාත් අක්කෙ කෙල්ලෙක් නෙවෙයි දරුවෙක් ඉන්න අම්මෙක්.

එහෙව් තැනක තාරානාත් මාව පිලිගත්තත්, අපිව භාරගත්තත් ලෝකෙ ඒක එහෙමම භාරගනීවිද?

සමහර වෙලාවට මම එයා දිහා බලලා කල්පනා කරනවා අක්කෙ මෙයා ඇත්තටම දන්නවද මේ අඩිය තියන්නෙ කොහෙටද කියලා? “ආදරේට ඕන දෙයක් ඔට්ටුයි” කියලා කියන්න හරි කියලා කියන්න ලේසියි, ඒත් අක්කේ, ලෝකෙ මිනිස්සු එහෙම හිතන්නෙ නෑ නේ. මිනිස්සු ඕවා ගැන කතා කරනවා. උන් හැමදාම එහෙම තමයිනෙ. උන් අපි දිහා බලලා කියන්නෙ නැද්ද “මම අවජාතක දරුවෙක් හදන් අන්තිමේ තාරානාත්ව අල්ලගත්තා?” කියලා? ඒ වගේම මම ඕක ගණන් නොගෙන ඉන්න හැදුවත්, මගෙ හිතට බයයි අක්කේ. මොකද දවසක ඒ වගේ කටකතා එක්ක හැප්පෙන්න මහන්සි වෙන්න වුණොත් එදාට තාරානාත්ට මාවයි අහස්වයි එපා වෙන්න පුළුවන් නේද? කියන බය මට තියෙනවා අක්කේ.

අඩුම මට දැන් රස්සාවක්වත් තියෙනවා. තාරානාත් එක්ක සම්බන්ධෙ මොකක් හරි වෙලා නැති උනොත් එදාට මට ඒ රස්සාවත් නෑ නේද අක්කේ? මොකද්ද මම එහෙම උනොත් කරන්නේ?

“ලෝකෙ කවද්ද නංගියෙ කට වහගෙන ඉඳියෙ ඈ? අන්න මට ඒක කියන්නකො. ලෝකෙ කවද්ද කටවහගෙන හිටියෙ? ඒක තමයි උන් හොඳටම දන්න දේ. මිනිස්සු ගැන කතන්දර හදනවා, ඒ වගේම සතුට වෙන විදියකට තෝරගන්න ඕනම එකෙකුට ගල් ගහනවා. ඔයාට බෑ කවදාවත් ලෝකෙ කට වහන්න බෑ. ඒත් ඔයාට පුළුවන් උන්ගෙ සද්දෙ ඔයාගෙ ජීවිතේ තීරණය කරන්න නොදී ඉන්න නේද? 

ඔයා හිතන්නෙ තාරානාත් මහත්තයා තනිකඩයෙක් වෙච්ච එකයි ප්‍රශ්නෙ කියලද? නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සුන්ට ආදරේ කියන්නෙ ඇත්තටම මොකක්ද කියලා අමතක වෙලා තියෙන එක. උන් ඒක වයස ගැලපෙන එක ගැන, තත්ත්වෙ ගැලපෙන එක ගැන, පවුල් ගැලපෙන එක ගැන කියලා හිතාගෙන උන්නට ඇත්ත ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක නංගි දන්නවානේ. තාරානාත් මහත්තයට අද ප්‍රශ්නයක් නැත්තම් තමන් තෝරගත්ත ගෑනි ගැන මං හිතන්නෙ නෑ ඒ මහත්තය කවදාවත් ඒක ප්‍රශ්නයක් කරගනීවි කියලා. මහත්තයා ඒ වගේ පාට මාරු කරන කටුස්සෙක් වගෙ එකෙක් නම් නංගියෙ මෙලහකට ඔයාගෙන් ගන්නෝන ප්‍රයෝජන අරන් ඔයාව විසි කරලා දාන්න එපාය. එහෙම නෑනෙ නේද?

නංගිට දරුවෙක් ඉන්න එක මහත්තයට පෙනිලත් තාම ඒ මනුස්සයාට ඔයාගෙ අත අල්ලගෙන ඉන්න පුළුවන් නම්, ලෝකෙ මොනවා කිව්වත් අපිට මොකද කියලා ඉන්න අනේ

ඔව්, මිනිස්සු කතා කරයි. උන් බලයි, පුලුවන් නම් කැලෑ පත්තර එහෙමත් ගහයි. ඒත් අපි මතක තියාගන්නෝන ඒ කතා කරන උන් ඔයාගෙ බය බෙදාගන්න එන්නෙ නෑනෙ. දුක් කරදර බෙදාගන්න එන්නෙ නෑ. ඔලුවෙ දාහක් ප්‍රශ්න එක්ක උදේට ඇහැරෙන්නෙ නෑ, රෑට ඔයාගෙ දරුවා නිදියන්නැතුව ඉද්දි වඩාගෙන ඉන්නෙ නෑ. ඉතින් එහෙමෙකේ උන්ගෙ වචන ඔයාට වැදගත් වෙන්නෙ ඇයි?

මහත්තයා ඇත්තටම ඔයාට ආදරේ නම්, වගේම ඔයාට මහත්තයා  එක්ක ඉන්නකොට සැනසීමක් දැනෙනවා නම් මොකටද නංගියෙ ලෝකෙ උන් වෙනුවෙන් ඒ සැනසීම අතෑර ගන්නේ? අද කියන කතාව උන්ට හෙට අමතක වෙලා යයි. ඒත් මහත්තයා නංගිටයි දරුවටයි දෙන්න හදන ජීවිතේ ඉතිරි වෙනවා නේද?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles