මතක දිගහැරුම 92 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ දෙවන දිගහැරුම ,

කපු මහතා පැවසූ ආකාරයට සූදානම් වූ අප කැබලිත්ත පුද බිමට ගියෙමු.අප කුඹුක්කන් ඔය තරණය කරන විට එහි ජලය තිබුනේ අපට ඇවිද යා හැකි තරමටය. ඉතා කුඩා සියඹලා පැලයක් වූ ඒ අසල පැරණි ත්‍රිශූලයක් ගසා තිබුණි.පෙර පැමිණි කිහිප දෙනකු විසින් බැඳ තිබූ පඬුරු කිහිපයක් ද එම ත්‍රිශූල යෙහි දක්නට ලැබුණි. වර්තමානයේ අප දකින කැබලිත්ත දේවාලයට වඩා එකල කැබලිත්ත දේවාලය හාත්පසින්ම වෙනස්ව ස්වරූපයක් ගනියි.ඉතා සීමිත ප්‍රමාණයක් වන්දනාමාන කර තිබූ එම පුදබිම බිදක්වත් අපවිත්‍ර නොවූ ප්‍රදේශයකි.එය කෙතරම් පිරිසිදු පුද භූමියක් ද යන්න එම ස්ථානයට ගියවිට අපගේ ශරීරයට දැනේ.

එයට ආසන්නයේ තවත් සියඹලා වෘක්ෂයක් දක්නට ලැබේ .එය මහා සියඹලාව නමින් හැදින්වේ.එම ස්ථානයේ ද පෙර පැමිණි අය විසින් දැල්වූ පහන් කිහිපයක් දක්නට ලැබුණි .වර්තමානයේ දී පූජා වට්ටි තැබීම සඳහා රාක්ක සකස් කර තිබුණද එකල පූජා වට්ටි තැබීම සඳහා ස්ථානයක් වත් තිබුනේ නැත.අප පූජා වට්ටි තබා තිබුණේ ඒ අසල තිබූ කළු ගල් මත ය.ප්‍රදේශය පුරාම විහිදී ගිය පිච්ච මල් සුවඳ නිරන්තරයෙන්ම අපට දැනුණු අතර සාමාන්‍යයෙන් දේවාල වල ඇසෙන ඝණ්ඨාර හඬක්ද මා හට නිතරම ඇසුණි.

දේවාල පුදබිමේ සිට ඉහළ බැලූ විට දක්නට ලැබෙන්නේ මහා රූස්ස කැලය ය.විශාල නුග ගස් සහ කුඹුක් ගස් රාශියක් එසේ දක්නට ලැබුණි.නමුත් හාස්කම යනු සියඹලා පැළය සහ ඒ අවට ප්‍රදේශය පුරාම දක්නට ලැබුණේ සුදු පැහැ වැල්ල පමණක් වන අතර එකතු කොළයක්වත් බිම වැටී තිබෙනු දකින්නට නැත.කිසිවෙකුත් විසින් පිරිසිදු නොකරන ලද නිසා ,එය දැකීමෙන් අප සියලු දෙනාම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමු.වනජීවී නිලධාරීන් විසින් ගමනට අවශ්‍ය බඩු ලයිස්තුව ලබා දීමේදී බෝධි මළුව ඇමදීම සඳහා ඉදලක් රැගෙන එන ලෙස සඳහන් කර තිබුණද ඇත්ත වශයෙන්ම එම පුදබිම ඇමදීමට අවශ්‍ය වූයේ නැත.කෙසේ හෝ පසුදින අලුයම පූජාව පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කර අප නැවතත් කුඹුක්කන් ඔය තරණය කර අප නවාතැන් ගැනීමට සකස් කළ කූඩාරම් වෙත පැමිණියෙමු.

රාත්‍රී ආහාරය සකස් කරගෙන ආහාර ගත් අප නින්දට යාමට සූදානම් වූවත් නින්ද අප වෙත ළඟා වූයේ නැත.හුරුපුරුදු පරිසරය වෙනස් වීම නිසා අප නිදි වර්ජිතව සිටි අතර වන සතුන්ගේ විවිධ හඩවල් ද ඒ අතර අතරවාරයේදී අපට ඇසුණි. වනජීවී නිලධාරීන් දෙදෙනාද අපගේ ආරක්ෂාව උදෙසා මුළු රාත්‍රියම ගතකළේ නිදි වර්ජිතව ය.එම නිසා අප සමඟ ගමනට එක්වූ කපු මහතා ඔහු සතුව ඇති රසවත් කතන්දර අප වෙත ගෙනහැර පෑවේය.ඒ අතර අප පිරිසෙන් කිහිප දෙනෙක් කුඹුක්කන් ඔය මැද මතුවී තිබූ කුඩා දූපතක් වැනි ස්ථානයක රාත්‍රිය ගත කළහ.ඉතා සුළු වේලාවකට පමණක් නින්දට ගිය අප අලුයම අවදි වී අපගේ කූඩාරම් වලින් එළියට විත් බලන විට අලි ඇතුන් අප කූඩාරම් අසලටම පැමිණි සලකුණු දක්නට තිබුණි.නමුත් වනජීවී නිලධාරීන් විසින් අලි වෙඩි රැගෙන ගියද ඒවා භාවිතා කිරීමට අවශ්‍ය වූයේ නැත.කපු මහතා පැවසූ ආකාරයට අප ඉතා හොඳින් පේ වී , පිරිසිදු සිතින් යුතුව පුදබිමට පැමිණෙනවා නම් කිසිදු කරදරයක් හෝ හිරිහැරයක් සිදු වන්නේ නැත.එය සත්‍යක් බව අපට වැටහුණේ, අප සමග ගමනට සහභාගි වූ හමුදා නිලධාරියාගේ ගැබිනි බිරිඳට එතරම් දුෂ්කර ගමන් මාර්ගයක ගමන් කළ ද කිසිදු අපහසුතාවයක් ඇති නොවීම නිසාය.

අලුයම 4:30 ට පමණ කුඹුක්කන් ඔයෙන් ස්නානය කර පිරිසිදු වී අප සූදානම් වූයෙමු.කපු මහතා පිරිසෙන් කිහිප දෙනෙකු සමග එකතුවී පූජාව සූදානම් කළේය. ගඟ මැද වලවල් කිහිපයක් හාරා ඒවායෙන් පලතුරු සෝදා පූජාව සූදානම් කළ අතර එම ක්‍රමය කැබලිත්ත පූජා භූමිය වන්දනාමාන කිරීමට පැමිණෙන අය විසින් සාමාන්‍යයෙන් සිදු කරන දෙයකි.පූජාව සඳහා අවශ්‍ය මුරුතැන් බත් සකස් කළේ කුරුදු දර උපයෝගී කරගෙනය.පොල් ගෑම සඳහා ගසකින් කපාගත් ලීයක දැති සකස් කර උපයෝගී කරගත් අතර මේ සියලු වත් පිළිවෙත් කාලාන්තරයක් තිස්සේ තිස්සේ පැවතගෙන ආ ඒවාය .කපු මහතා උපදෙස් දුන් පරිදි අප එම සියලුම වත් පිළිවෙත් අනුගමනය කළ අප අලුත්ම මැටි මුට්ටි වලට කිරිබත් සකස් කර බෝධීන් වහන්සේට පූජා කර අදාල වතාවත් ඉටු කළෙමු.ඉන්පසුව කැබලිත්ත පුද භූමියට යාමට පෙර කුඹුක්කන් ඔයෙන් මෙගොඩ සිට කපු මහතා විසින් කඩවර දෙවියන් හට කඩවර පූජාවක් සිදු කළේය.සියලු දේම ආරක්ෂා කරගෙන සිටින්නේ කඩවර දෙවියන් බවට ඇති විශ්වාසය නිසා එසේ කඩවර පූජාවක් පවත්වන බව කපු මහතා පැවසුවේය.

පූජා වට්ටි ඇතුළු අවශ්‍ය සියලුම දෑ සකස්කරගත් අප කුඹුක්කන් ඔය තරණය කර කැබලිත්ත පුද භූමියට අවතීර්ණ වුනෙමු.හඳුන්කූරු සිය ගණනාවක් දැල්වූ අප එම ප්‍රදේශයම සුවඳ දුමෙන් සුවඳවත් කළෙමු.ඒ මොහොතේදීත් මා පුදුමයට පත් කරමින් පෙර ඇසුනු ඝන්ඨා නාදය දිගින් දිගටම ඇසුණි.විවිධ වර්ගයේ තෙල් රැගෙන ගිය අප ඒවායෙන් පහන් රාශියක් දැල්වූයෙමු.කෙහෙල් පට්ටා වලින් ආවරණය කරන ලද පිච්ච මල් වලින් ගෙතූ මල් මාලා ද අප රැගෙන ආ නිසා ඒවා ද අප පූජා කළෙමු. කපු මහතා විසින් බෞද්ධ ගාථා සහ සෙත් පිරිත් සජ්ඣායනය කරමින් සහ දෙවියන් හට පිං දෙමින් පූජාව පැවැත්වූයේ ය.එම ගාථා හා සෙත් පිරිත් වලට සවන් දෙමින් වැඳගෙන සිටින අතරතුර දී කිසිම දිනක නොදැනුනු ශක්තියක් මගේ ශරීරයට දැනෙන්නට විය.වර්ෂාව රහිත ඉතා වියළි දිනයන් ගත වෙමින් තිබුණ ද පූජාව අතරතුර දී අප සියලු දෙනාවම තෙමාලමින් කුඩා වර්ෂාවක්ද පතිත විය.පුදුමයට කාරණාව නම් පසුව අප බලන විට එම වර්ෂාව පතිත වී තිබුණේ කැබලිත්ත පූජා භූමිය අවට ප්‍රදේශයට පමණය.

කිසිදු අඩුපාඩුවක් නොමැතිව ඉතා සාර්ථක අයුරින් කපු මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ සහාය ද ඇතිව අප පූජා කටයුතු නිමා කළ අතර පූජාව අවසානයේ දී අප බලාපොරොත්තු වන යමක් ඇත්නම් ප්‍රාර්ථනා කරන ලෙසත්, පඬුරු ගැට ගසා ආශිර්වාද ලබාගන්නා ලෙසත් කපු මහතා අප හට උපදෙස් දුන්නේය.තාත්තගේ අතට පඬුරක් ලබා දුන් මා , නංගි ගැන සිහිපත් කරමින් ඇය වෙනුවෙන් ආශිර්වාදය ලබා ගන්නා ලෙස ඔහුට පැවසුවෙමි.විවිධ දේවල් ලබා දෙන ලෙස මා විශ්වාස කරන නොපෙනෙන බලවේග වලින් සහ විශ්ව ශක්තියෙන් කිසිදු දිනක අයදින්නේ නැත.මා සෑම විටම සිතන්නේ අප ආරක්ෂා කරන මෙන් සහ ජීවත් විය යුතු යහපත් මාර්ගය පෙන්වා, අප හට මෙන්ම අපගේ දරුවන් හට සහ හිතවත් අය වෙත ආශිර්වාද ලබා දෙන ලෙසයි.කෙසේ වුවත් මා ඒ අවස්ථාවේදී , මගේ ජීවිතයට සතුටක් ලබාදිය හැකි යමක් ඇත්නම් හෝ තවත් දරුවෙකු ලැබීමට මා හට වාසනාව සහ ශක්තිය ඇත්නම් ඒවා ලැබීමට ආශිර්වාද කරන මෙන් ප්‍රාර්ථනා කරමින් පඬුරක් ගැට ගැසුවෙමි.

පූජා කටයුතු සාර්ථකව නිමා කිරීම පිළිබඳව අප කාගේත් සිත් තුළ වූයේ විශාල සතුටක් ය.ඉන්පසුව පුතු භූමිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ අප ,රැගෙන ගිය පලතුරු සියල්ලම පවා නැවත රැගෙන ආවෙමු.පලතුරු රැගෙන එනවිට අන්නාසි රැගෙන නොඑන ලෙස අපට පෙරදීම උපදෙස් ලැබුණේ අන්නාසි වල ඇති සුවඳට අලි ඇතුන් එම ස්ථානයට පැමිණිය හැකි නිසාය .පූජා භූමිය පෙර තිබූ ආකාරයටම පිරිසිදු කල අප කුඹුක්කන් ඔය තරණය කර නැවතත් අපගේ කූඩාරම් අසලට පැමිණියෙමු.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles