බිනර හංසිකාගේ වාහනයෙන් පැමිණ කාර්යාලයකට මදක් එහායින් බැසගන්නා අයුරු සහන් දුටුවේ සිය යතුරු පැදියෙන් කාර්යාලයට පැමිණෙමින් සිටියදීය. ඔහු වාහනයෙන් බැස ගත්තාට පසුව හංසිකා කෙලින්ම කාර්යාල රිය අංගනය වෙත වාහනය රැගෙන ගියාය.
“මූ මේකිවත් අල්ලගෙන”
සහන් තමාටම පවසා ගත්තේ යළිත් යතුරු පැදිය පාරට අවතීර්ණ කර ගන්නා ගමන්ය.
කාර්යාලයට ගිය හැටියේම ඔහු ඒ පුවත අශිකාට පැවසුවාය.
“හංසිකා මිස් මාර ගෑනියෙක්නේ”
“අනේ මන්දා. මොනවා වෙනවද කියලා මට හිතා ගන්නත් බෑ. ඒක තමයි හංසිකා මූට විරුද්ධව එක වචනයක්වත් කතා කරන්නේ නැත්තේ.”
“බිනරත් මාර මිනිහෙක් තමයි.”
“ඒක තමයි මං ඔයාට කියන්නේ බොරු නෙමෙයිනේ..ඌ අමු රස්තියාදුකාරයෙක්. ජයවර්ධන සර්ට ඒක තේරුම් ගන්න බැරි උනානේ”
“ඔන්න එනවා…”
එසේ පැවසූයේ අශිකාය. බිනර කාර්යාලයට ඇතුළු වූයේ සිනහවකින් මුව සරසාගෙනය. ඒ සිනහව වශියක් සේය.
“ගුඩ් මෝර්නින් හැමෝටම..”
ඔහු තම කාර්යාලයේ මේසයෙන් අසුන් ගත්තේ එසේ පවසමින්ය. අශිකාගේ දෑස්වල වූයේ කඳුලකි. සහන්ව අවිශ්වාස කරන්නට තරම් හේතුවක් ඇයට වූයේ නැත. කොහොමටත් බිනර ගැන අසන්නට ලැබෙන්නේ එතරම් හොඳ ආරංචි නොවේ.
සවස් වද්දී බිනර හංසිකා සමග වාහනයෙන් පැමිණ මගින් බැසගත් පුවත කාර්යාලය පුරා පැතිර තිබිණ. ඒ බව ඉසුරි සමඟ පැවසූයේත් සහන්මය.
“මං ඔයාට හැමදාම කියනවනේ ඌ අපි හිතන ජාතියේ එකෙක් නෙමෙයි.”
“මඟදි හම්බවෙලා ලිෆ්ට් එකක් දුන්නද දන්නෙ නැහැ. හංසිකා මිස් කීප වතාවක්ම මාවත් බස් හෝල්ට් එකට ඇරලලා තියෙනවා.”
“එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි මගින් නැගලා මගින් බැහැලා නෑ. එහෙම කරන්නේ හොර හිත් තියෙන උන්. ලිප්ට් එකක් දීලා වාහනේ ආවනම් ඇයි ඔෆිස් එක ළඟින් බහින්න බැරි.”
සහන් පවසන්නේ බොරුවක් නොවේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව සියල්ලෝම හංසිකාගේ වාහනයේ ගොස් බස් නැවතුමෙන් බසිනා අයුරු ඉසුරි ඕනෑ තරම් දැක තිබේ. බස්නැවතුමේ සිත යළි කාර්යාලයට පැමිණෙන අයුරුත් දැක තිබේ. එහෙත් ඒ කිසිවෙකු මගින් බැස ගන්නේ නැත. යුවතිය දෙපා අවසඟව ගිය රෝගියෙකු පරිද්දෙන් සිය පුටුවට කඩා වැටුණේ සහන් නික්ම ගියාට පසුවය. හදවතේ ඉහළම තැනක වූ යමක් එකවර අතුරුදන් වූවා බඳු වූ හැඟීමකින් ඕ එවේලෙහි පීඩා විඳිමින් උන්නාය.
“බිනර කියන්නේ සෙල්ලක්කාරයෙක්.”
සහන්ගේ ඒ වදන් ඇගේ දෙසවන් තුළ දෝංකාර දෙන්නට විය. පෙරදා දවස පුරාම ඔහු තමාව ප්‍රවේසම් කළ අයුරුත් තමා ගැන සොයා බැලූ අයුරුත් සිහිව යුවතියගේ දෑස්වල උපන්නේ කඳුලකි. තමා ඒ පපුවට තුරුළු වී සෙවූයේ රැකවරණය බව විශ්වාසය.
පාරින්දගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ එවේලෙහිය. තවමත් කාර්යාලයේ වැඩ ආරම්භ කර නොතිබූ නිසා ඉසුරි ඇමතුම හා සම්බන්ධ වූයේ වටපිට බලමින්ය.
“තමුසේ ඊයේ කොහෙද ගියේ?”
ඒ හඬ ඒ අයුරින්ම අසන්නට බලාපොරොත්තුවෙන් උන් නිසා ඉසුරිට අමුතු බියක් හෝ දුකක් දැනුනේ නැත.
“ඔෆිස් එකේ යාළුවෙක්ගෙ දානෙකට.”
“තමුසේ මට කියලා ගියේ නැත්තේ.?”
“ඔයාත් ඉන්නේ අසනීපෙන්නේ ලොකු අයියේ.”
“ඉසුරි නිදහසට කාරණා කියාගෙන එන්න එපා. මං තමුසෙට කියලා තියෙනවා කඩේට ගියත් මට කියලා යන්න කියලා. දවසම ෆෝන් එක ඕෆ් කරගෙන මොකද කළේ?.”
“ඒ වැඩ වලට උදව් වෙන්න ඕන නිසා ෆෝන් එක ඕෆ් කළේ. ඊට පස්සේ ඔන් කරන්න අමතක උනා. අනිත් එක මං ගෙදර ආවේ තාත්තත් එක්ක.”
“ආ ඒක තමයි එහෙනම් උඹේ ලොකුකම.”
“මොනවද අයියේ මේ කියන්නේ.”
“තමුසෙ දැන් ගානට වැඩිය ඉසුරි. මට හිතුනොත් තමුසෙට මං ජොබ් එකට යන්න දෙන්නෙත් නෑ. අර තමුසෙගේ මල්ලි, ඌටත් කියනවා කට පරිස්සම් කරගෙන ඉන්න කියලා.”
“ඇයි මල්ලි ඔයාට මොකද කිව්වේ.”
“කිව්වේ මොනවද නොකිව්වේ මොනවද කියලා මං හම්බවෙච්ච වෙලාවක බලා ගන්නම්. කොහොමත් උගේ නහරයක් වැඩියි. මං එනවා තමුසෙව ගන්න හවසට. වෙනද ඉන්න තැනම ඉන්නවා”
“ලොකු අයියේ ඔයා ඉන්නේ අසනීපෙන්.”
“නෑ මට අසනීපයක් නෑ. තමුසෙට ඒකෙන් ඇති වැඩකුත් නෑ.”
එසේ පැවසූ ඔහු දුරකථනය විසන්ධ් කරද්දී ඉසුරි දිගු සුසුමක් මුදා හැරියාය. කාලයක් යනතුරුත් සිහි කරමින් බනින්නට කියවන්නට ඔහුට මේ ටික ඇතිය. බිනරගෙන් පැමිණි කෙටි පණිවිඩය ඈ දුටුවේ එවේලෙහිය.
“එන ගමන් යාළුවෙක් හම්බවුණා. මං එයා එක්ක බ්‍රෙක්ෆස්ට් අරගෙන ආවේ. හොඳ බබා වගේ ඔයා ගිහිල්ලා කන්න. හවසට දුවන්න එපා. මම එනකල් ඉන්න.”
ඊට පිළිතුරක් නොයැවූ යුවතිය දුරකථනය පසෙකින් තැබුවේ සිය මේසය මත වූ පරිගණකය ක්‍රියාත්මක කරනා ගමන්ය.
*********
රාජිනී නිවසෙන් පිටව ගියේ උදෑසනමය. පිටරට ගමන සඳහා අවශ්‍ය ලියකියවිලි කිහිපයකට අත්සන් තැබීමේ කටයුත්ත සිදු වූයේත් උදෑසනය. ඉසුරි තවමත් විවාහ ලියාපදිංචියට සූදානම් පාටක් නොවේ. සුරංග ලොකු පුතාට අවවාද කළ පසුව ඔහු වෙනස් වේයැයි රාජිණියේ විශ්වාස කළාය. සාරි කඩයකට ඇතුළු වූ ඈ දියණියට ගැලපෙතැයි සිතෙන සාරි කිහිපයක්ම අත ගා බැලුවාය.
අතේ මුදල් තිබුණත් ඕ ඒ එකක්වත් මිලදී නොගත්තේ ඉසුරිගේ කැමැත්ත කුමක්දැයි හරිහැටි වටහාගත නොහැකි වූ නිසාය.
උගන්වන්නේ නැතැයි පවසමින් පාසල් නොගිය ඉසුරු වූයේ නිවසේය. ඔහු යන එන තැන් ගැන සුරංග විමසිල්ලෙන් සිටින නිසා වෙනදා සේ මිතුරන් සමඟ රස්තියාදුවක යාමට හැකියාවක් වූයේ නැත. කම්මැලිකමින් මිදුලට පැමිණි ඉසුරුට බයිසිකල් සීනුවක නාදය ඇසුනේ තවත් තත්පර කිහිපයක් ඉක්ම ගියාට පසුවය. තැපෑලෙන් පැමිණි ලිපිය අම්මාගේ නමට බැංකුවකින් පැමිණි එකකි.
ලිපිය අතේ තබාගෙන ගෙන තත්පර කිහිපයක් ඒ දෙස බලා උන් ඉසුරු එය කඩා බැලුවේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකටය. ඒ නිවසක් උකසට තබා ලබාගත් ණය මුදලක වාරිකය ගෙවා දැමීම ප්‍රමාද වී ඇති බවට කරන සිහි කැඳවීමකි.
ආලින්දයේ අසුන් ගත් තරුණයා ඒ කුමක්දැයි සිතුවේ පුදුමයෙන්ය. අම්මාගේ නමට එවන් ලිපියක් පැමිණෙන්නට විදිහක් නැත. ඇයට යමක් වේනම් ඒ මේ නිවස පමණි. අවසන සිත පුරා උඩුදුවා ගිය සැකයත්, සාංකාවත් සමඟම ඔහු රාජිනීගේ කාමරයට එබුණේ අඩියක දෙකක වේගයෙන්ය. අම්මා නිවසේ නොමැති බව ඉසුරු හොඳටම දැන සිටියේය. නිවසේ ඔප්පුවත් වැදගත් වන අනෙක් ලියකියවිලිත් වූයේ අම්මාගේ අල්මාරියේ එක් පසෙක පහළම තට්ටුවේය. කලබලයෙන් ඒ සියල්ල අවුස්සා බැලුවත් ඉසුරුට නිවසේ ඔප්පුව හමු වූයේ නැත. සිය කලබලය නවතා අල්මාරිය අසලම බිම වාඩි වූ තරුණයා ෆයිල් කවර කිහිපය තම උකුල මතට ගෙන එකින් එක දිගහැර බැලුවේ තමාගේ සැකය සනාථ කරගත හැකි යමක් සොයන්නටය. අවසන ඔහු ජයග්‍රහණය කළේය. වැදගත් ලියවිලි අඩංගු ෆයිල් කවර කිහිපයක් පරීක්ෂා කළ පසුව ඔහුට හමු වූයේ නිවස උකසට තබා ණය මුදල ලබාගත් දින බැංකුවෙන් නිකුත් කළ ලියකියවිලිය. ඇය උකසට තබා තිබුණේ තමන් ජීවත්වන මෙම නිවසය. ඒ ලක්ෂ තිස් පහක මුදලටය. ලියකියවිලි හැටියට ඒ මින් අවුරුදු එකහමාරකට ඉහත කාලයකදීය. රුපියල් හතලිස් හත්දහස ගණනේ වාරික කිහිපයක්ද ගෙවා තිබිණ.
ඉසුරුගේ සිරුර දහඩියෙන් තෙත්ව ගියේ ඒවා දුටුවාට පසුවය. අම්මා දැන් රැකියාවට යන්නේද නැත. කුමක් නිසා මේ නිවස උකස් කළේදැයි ඔහු සිතුවේ මවිතයෙන්ය. නිවස නැති වුවහොත් සිදුවන්නේ පාරට බසින්නටය. ඉසුරු එවේලෙහිම සොයුරියගේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තත් ඇය ඊට පිළිතුරු සැපයූයේ නැත.
අල්මාරිය වසා නොදැමූ තරුණයා ලියකියවිලි වූ ෆයිල් කවරය රැගෙන නිවසින් පිටව ගියේ මේ නීතිඥයෙකු වූ මිතුරාගේ පියා හමු වන්නටය. ඒවා සියල්ල පරීක්ෂා කළ ඔහු අම්මා විසින් ණය මුදලක් ලබාගෙන ඇති බවත් එහි වාරික නිවැරදිව ගෙවාගෙන ගොස් ඇති බවත් පැවසුවේය. ඉසුරු යළි නිවසට පැමිණෙන විට රාජිනී පැමිණ සිටියාය.
“කවුද මගේ අල්මාරිය ඇද්දේ . ඒකෙ සල්ලි නෑ. ඇද්දනම් වහල යන්න තිබුණනේ..”
රාජණීය කෑ ගැසුවේ ඉසුරු මිදුලේ සිය මවුන්ටන් වර්ගයේ පාපැදිය නතර කරද්දීමය.
“ඔයා ඒ පාර මොකක්ද නටන්න හදන නාඩගම? අපිව පාරට ඇදලා දාලා අගුපිළවල්වල ලග්ග වන්නද හදන්න..”
“ඉසුරු..”
“ඔව් ඉසුරු තමයි. ඔයා මොකටද මේ ගේ උකස් කලේ. මේ.. මේ.. තියෙන්නේ ඒ ලියුම. ගෙවල නෑ කියල බැංකුවෙන් ආපු ලියුම. මීට අවුරුදු එකහමාරකට කලින් ඔයා මේ ගේ උකස් කරලා ලක්ෂ තිස් පහක් අරන් තියෙනවා. මොකක්ද ඒකට කළේ.”
“ඉසුරු ගෙට ඇවිල්ල කතා කරන්න අහල පහල මිනිස්සු හිනස්සවන්නේ නැතුව.”
“මිනිස්සු හිනස්සවන්න දෙයක් නෑ අම්මේ.. අම්ම මේක කරලා ඉවරයි. අපිට පාරට බහින්නත් සිද්ධ කළේ ඇයි. කොහොමද එහෙම කලේ ? කවුද මේවා ගෙවන්නේ.”
“ඒක මං කොහොම හරි කරනවා ඉසුරු.
ඒ හඬ හැඬුම් මුසු වූ එකක් විය. එහෙත් ඉසුරුගේ කෝපය සංසිඳුනේ නැත.
“කොහොම හරි ගෙවන්නේ කොහොමද? එහෙම කොහොම හරි ගෙව්වනං අද මේ ලියුම එන්න විදිහක්නෑනේ. ඇයි අම්ම එහෙම කළේ.”
මේ කිසිවක අගක් මුලක් නොතේරුම් වූ කිරි අම්මා වරින් වර ඉසුරු දෙසත් හඬමින් සිටින රාජිණි දෙසත් බැලුවේ දෑස් විසල් කරගෙනය. තවමත් ඉසුරු මිදුලේමය. අම්මාගේත් පුතාගේත් රණ්ඩු මේ නිවසට අමුත්තක් වූයේ නැත.
“මොකක්ද බං වෙලා තියෙන්නේ…”
අවසන ඈ ඇසුවේ කුමක් සිදුවීදැයි හරි හැටිම වටහාගත නොහී වූ තැනදීය.
“වෙලා තියෙන්නද..වෙලා තියෙන්නෙ ඔයාගෙ දුව මේ ගේ බැංකුවට උකස් කරලා ලක්ෂ තිස් පහක් අරගෙන ඒ ණය ගෙවන්නේ නැතුව අපිව පාරට ඇදලා දාන්න හදන්නේ.”
ඉසුරු යළිත් පැවසුවේ කෑ ගසමින්ය. කිරි අම්මා පසෙකට වූයේ සිය කම්මුලට අතකුත් තබාගෙනය.
“මීට වැඩිය හොඳයි අපිව මරන් කෑවනම්. පව්.. ලොකු අක්ක දුක් විඳිනවා. මේ සල්ලි අරගෙන මොනවද කලේ කියලවත් කියන්න මේ පින් සිද්ධ වෙයි.”
“ඉසුරු ගෙට ඇවිල්ල කතා කරන්න ඉසුරු. ඒ සල්ලි මං කොහොම හරි ගෙවනවා. ඔයාලව පාරට ඇදලා දාන්නේ නෑ. අක්කගෙ එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ මම රට යනවා ඉසුරු. උදේ ගියේත් ඒකෙ වැඩකට. ඒ යන්නේ ඔය ණය ගෙවන්න ඕන නිසා තමයි.”
“හරිම ෂෝක් හරිම ෂෝක්..මට කරුණාකරලා කියන්න මේ සල්ලි අරගෙන මොකද කළේ….”
“ඉසුරු ගෙට එන්න……”
රාජිණී යළිත් එසේ පැවසූයේ කිහිප දෙනෙක්ම හැරි හැරී බලමින් යනු දුටු නිසාය. අවසන ඔහු තම කාමරයට ගොස් උස් හඬින් දොර වසා ගත්තේ අත වූ ෆයිල් කවරය අම්මා ඉදිරිපිටම බිමට දමා ගැසුවාට පසුවය. යළිත් දිගු සුසුමක් මුදාහළ රාජිනී තම ජංගම දුරකථනය අතට ගෙන සුරංගගේ අංකය සෙවූයේ ගැහෙන ඇඟිලි තුඩු වලින්ය.
අවසන ඇය ඔහුට ඇමතුමක් ලබා ගත්තාය.
“අනේ සුරංග ඉසුරු හැම දෙයක්ම දැනගෙන. අද බැංකුවෙන් වාරිකය පරක්කුයි කියලා ගෙදරට ලියුමක් ඇවිල්ලා. මේ ළමයා මෙතන යකා නටනවා…”
රාජිණී පැවසූයේ සුරංග යමක් පවසන්නට හෝ අසන්නට ප්‍රථමය.
“ෂහ්…”යන වදන ඔහුගේ මුවින් පිට වූයේ ඉන් පසුවය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)
            











