ළතෙත් ආදර හැඟුම් ගංගා – 43

*තාරානාත් දහම් වංශනායක*

“ආදරේදි පිච්චෙන්නෙ ගෑනු” විතරයි කියලා මිනිස්සු හිතාගෙන උන්නට පිරිමි පිච්චෙන විදිය මිනිස්සු දන්නෙ නෑනෙ. ආදරේදි පිරිමිත් පිච්චෙනවා. මිනිස්සු හැමදාම හිතන්නෙ ආදරේ කරනකොට පිස්සු හැදෙන්නෙ කෙල්ලන්ට විතරයි කියලා. එයාලා තමයි හැමදේම හිතන, අඬන, අල්ලගෙන ඉන්න අය කියලා. බොරු නේ බං. කොල්ලොත් ඒ විදියටම ආදරේ කරනවා. එයාලා ඒක පෙන්නන්නෙ නැති එක විතරයි තියෙන්නෙ.

මිනිහෙක් ඇත්තටම ආදරේ කරනකොට, ඌ ඒ ගැන කට ඇරලා කතා කරන්නෙ නෑ. ඒත් ඌ වෙනස් වෙනවා. ඌ සද්ද නැතුව බලාගන්න පටන් ගන්නවා. මොකෝ පිරිමි ආදරේ කියන දේ දකින්නේ ආරක්ශා කිරීමක් විදියට. පිරිමි හිතන්නෙ “මං ආදරේ නම් කරන්නෝන එයාව පරිස්සම් කරන එක” කියලා. ඒ වගේම ඒ ආදරේ නැති වුණාම පිරිමින්ටත් ගෑනුන්ට තරම්ම රිදෙනවා. සමහරවිට ඊටත් වැඩියෙන්, මොකද මුළු ජීවිත කාලෙම වේදනාව පෙන්නන්න එපා කියලා පිරිමින්ට උගන්වලා තියෙන හන්දා. අඬන එක ලේසි කඳුලු පපුව අස්සෙ හිරකරගෙන දුක් විඳිනවට වඩා.

ආදරේ හන්දා පිරිමියෙක්ගෙ හිත රිදිලා රෑ තිස්සෙ හොරෙන් අඬද්දි, කල්පනා කරද්දි, බීලා නහිද්දි, එයා දැන් කෝල් කරාවි, දැන් මැසේජ් කරාවි කියලා බලන් ඉද්දි ඒක වේදනාවක් කියලා කාටවත්ම තේරෙන්නෙ නෑ. උන් කියන්නෙ, “මූ ඉක්මනට ඒකිව අමතක කළා” කියලා විතරයි. මොකද ලෝකෙට පේන්නෙ නැතිවෙන්න එළියට දාන දුක උන් දන්නෙ නැති හන්දා.

ඒත් කොල්ලොත් කඩං වැටෙනවා. එයාලා ඒක කරන්නෙ දරා ගන්නෙ වෙන විදියකට. තනියම, සද්ද නැතුව, ලෝකෙට පේන්නෙ විදියට. ඉතින් ඔව් එතකොට කට්ටියට ලේසියි කියන්න ලේසියි ආදරෙන් පිස්සු හැදෙන්නෙ කෙල්ලන්ට විතරයි කියලා. ඒත් සමහරවිට ඒක වෙන්නෙ කොල්ලො එයාලගෙ පිස්සුව හංගගන්න හොඳට පුරුදු වෙලා ඉන්න නිසා වෙන්න ඇති නේද?

මං උන්නෙත් එහෙම පිච්චීමක. හැබැයි ආදරේ අතෑරිච්ච, නැතිවෙච්ච පිච්චීමක නෙවෙයි හයියෙන් තුරුල් කරගෙන ඉඹින්න බැරිවෙච්ච පිච්චීමක. මගේ ලඟින්ම තියාගන්න බැරිවෙච්ච පිච්චීමක. උදේට ඇහැරෙද්දි දකින්නත්, රෑට නිදාගනිද්දි තුරුල් කරගෙන ඉන්නත් බැරි වෙච්ච පිච්චීමක. මට ඕන උනේ නෑ නාද්‍යාව තවදුරටත් අර වත්තෙ තියන්න. මට ඕන උනේ එයාව අපෙ ගෙදරට ගේන්න.

ඒත් හිතන තරම් ඉක්මනට දේවල් කරන එක ලේසි නෑ කියලා දැනගෙන උන්න හන්දම මං උන්නේ ලොකුම ලොකු ඉවසීමක් එක්ක. අනික් එක මට තිබ්බා තාත්තා එක්ක කතාකරන්න නාද්‍යා ගැන. අවුරුදු තිස් ගාණක වැඩිච්ච පිරිමියෙක් උනත් ජීවිතේ පළවෙනි වතාවට කසාද බඳින පරමාර්තෙන් කෙල්ලෙක් ගැන තාත්තා එක්ක කතා කරන්න යන එක මාව වහගෙන තිබ්බෙ පුදුමාකාර සබකෝලෙකින්. මට දැනුනෙ මං අවුරුදු තිස් ගාණක එකෙක් විදියට නෙවෙයි ඉස්සර තාත්තගෙ ඔෆිස් කාමරේට ගිහිල්ලා මොනාහරි ඉල්ලන්න තාත්තා මං දිහාව හැරිලා බලනකම් උන්න පොඩි කොල්ලා වගේ.

මං කාමරේට යද්දිත් තාත්තා උන්නෙ රෝද පුටුවෙන් බැහැලා ඇඳේ හාන්සිවෙලා පොතක් කියවන ගමන්. මම ඔෆිස් එකේ වැඩ එක්ක බිසී වෙද්දි තාත්තව බලාගන්න ගත්ත ඇටෙන්ඩන්ට් ඇත්තටම තාත්තව බලාගන්න පුළුවන් හොඳටම බලාගත්ත හන්දා මට ඒ පැත්තෙන් හිතේ ලොකු නිදහසක් තිබ්බා. මට ඊළඟට කරන්න තිබුණ එකම දේ තාත්තව ආපහු රට එක්කරගෙන ගිහිල්ලා එයාගෙ මේ කකුල් දෙකට මීට වඩා හොඳ ට්‍රීට්මන්ට් එකක් දෙන එක තමයි.

ඒත් ඒකට යන්නත් ඒ අපි කන්ටැක්ට් කරපු හොස්පිටල් එකෙන් හැමදේම රෙඩි කරගෙන අපිට ඩේට් එකක් දෙනකම් ඉන්න අපිට සිද්ද වෙලයි තිබ්බේ.

“ඇයි සනා දොර ළඟ හිටගෙන? කම් ඉන්සයිඩ්” කියලා තාත්තා කතාකරද්දි තමයි මම ඇත්තටම කල්පනා ලෝකෙන් මේ ලෝකෙට විසික් වුණේ.

“තාත්ත බිසී නම් අයිල් කම් ලේටර්”

“පිස්සුද? මොන බිසීද අනේ මේ ඇඳට වෙලා ඉද්දි. කම් කම් සනා. මං නෙවෙයි දැන් සනා නෙ ඔක්කොටම වඩා බිසී” 

“සොරි තාත්තා ඇත්තටම මම මේ ටිකේම ගෙදර ඉද්දි ගොඩක් ලේට් උනා. මං එද්දි තාත්තා නිදි. සෝ මම ඩිස්ටර්බ් කරන්න හිතුවෙ නෑ”

“නෝ නෝ මම නරකකට කිව්වා නෙවෙයි. අයෑම් හැපි දැට් ෆයිනලි ඔයා හරි ට්‍රැක් එකට වැටිච්ච එක ගැන සහ අපේ බිස්නස් ගැන ඔයා ඉස්සරට වඩා හිතන එක ගැන. අනික අයි නෝ දැන් නාද්‍යා ඊස් හෙල්පින් යූ අ ලොට්. අයෑම් ග්ලෑඩ් දැට් යූ මෙට් හර් සනා” කියල මං නොහිතුව විදියටම තාත්තම කතාව පටන් ගත්ත එකෙන් දේවල් දෙකක් උනා. එකක් තමයි “තාත්තාම ට්‍රැක් එකට එන්ටර් වෙච්ච නිසා” මට තිබ්බෙ වැඩේ කන්ටිනිව් කරගෙන යන්න විතරක් වෙච්ච එක. අනික තමයි “තාත්තම ඔහොම කිව්වට පස්සෙ මං කොහොමද නාද්‍යා ගැන අරහෙම කතාවක් කියන්නෙ” කියලා හිත පොඩ්ඩක් ලැජ්ජ වෙච්ච එක.

ඒ උනාට අද නෙවෙයි කවදහරි ඕක කියන්න වෙන හන්දම මම ගල රත්වෙලා තියෙන වෙලාවෙ රොටිය පුච්ච ගන්න තමයි ප්ලෑන් කරේ.

“ම්ම්ම්ම් තාත්තා මට ඇත්තටම තාත්තා එක්ක කතාකරන්න ඕන උනෙත් නාද්‍යා ගැන තමයි” කියලා මම කියද්දි පොත කියවන්න කණ්ණාඩි දෙක දාගෙන උන්න තාත්තා කණ්ණාඩි දෙක ගලවලා සයිඩ් කබඩ් එක උඩින් තියලා ඇඳේ තව චුට්ටක් හරි බරි ගැහිලා වාඩි උනේ මං කියන දේට හොඳට සාවදානව ඇහුන්කම් දෙන්න වගේ. 

“ෆීල්ස් ලයික් අ සීරියස් ඩිස්කශන් හැබැයි පොඩි පොසිටිව් ගතියකුත් පේනවා. කියන්නකො බලන්න මොකද්ද ඔච්චරටම නාද්‍යා ගැන කියන්න තියෙන්නෙ කියලා” කියලාකියද්දිත් තාත්තගෙ මූණෙ තිබ්බේ හිනාවක්. ඒක පොසිටිව් හිනාවක්. මං දන්නෙ නෑ මොකක් හරි හේතුවකට තාත්තා කවදාවත් නාද්‍යාට අකමැති වෙන එකක් නෑ කියලා ෆීලින් එකක් මගෙ හිතෙ තිබ්බා. මමත් වෙන කෙනෙක්ගෙ පුතෙක් වෙච්ච එකේ, එහෙව් මාව තමන්ගෙ දරුවා විදියට තමන්ගෙ නම දීලා හදාගෙන ඔක්කොම බිස්නස් අරවා මේවා ලියලා කරලා දුන්න තාත්තා වගේ කෙනෙක් කවදාවත් මං ගන්න යන මේ වගේ තීරණේකට විරුද්ධ වෙන එකක් නෑ කියන අදහසක් මගෙ හිතේ තිබ්බා.

මං එහෙම බලාපොරොත්තු උනා. ඒත් අපි දන්නෙ නෑ ඉරණම අපි වෙනුවෙන් ප්ලෑන් කරගෙන ඉන්නෙ මොන වගේ දෙයක්ද කියන එක? ඒ හන්දම මං උන්නෙ වචන ගලපන ගමන් කියන්නෝන හොඳම විදියට තාත්තට මේක එක්ස්ප්ලේන් කරන්න.

“තාත්තා මට අෆෙයාර් එකක් තියෙනවා නාද්‍යා එක්ක” කියලා මම කිව්වෙ හරිම හිමින්. මං ඒ වචන කියලා තාත්තා දිහා බලාගෙන උන්නේ තාත්තා මොකද කියන්නෙ බලන්න හරිම නොඉවසිල්ලක. තාත්තා උන්නේ මොනාහරි දෙයක් කල්පනා කරන ගමන්. ඒ කල්පනාව අහවර වෙච්ච තැනක තාත්තා මොනා කියාවිද කියන බයක් මගෙ හිතේ තිබ්බා. පිරිමියෙක් උනත් මං බය උනා මගෙ ආදරේ මට නැතිවෙයි කියලා.

“නාද්‍යාට දරුවෙක් ඉන්නවා නේද?” කියලා තාත්තා මම දිහාව බලද්දි තාත්තා බලං ඉඳලා ඇණේ ගැහුවෙ නිලේටම කියන එක මට තේරුණා. කෙනෙක්ට මගෙයි නාද්‍යාගෙන් සම්බන්ධෙට අකමැති වෙන්න තිබ්බ එකම හේතුව ඒක උනත් මට නාද්‍යාව මගේ කරගන්න අහස් වගේම තව දාහක් හේතු තිබ්බා.

“ඔව් තාත්තා… ඒත්…” කියලා මම කියන්න හැදුවට තාත්තා උන්නෙ මට මුකුත් කියන්න ඉඩක් නොදී. 

“මට ඔයාගෙයි නාද්‍යාගෙයි අතරෙ සම්බන්ධයක් තියෙන එකනම් ප්‍රශ්නයක් නෑ පුතා. මට ප්‍රශ්නයක් තියෙන්නෙ නාද්‍යාගේ දරුවා ගැන”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles