fbpx

සුළි සුළඟක සුසුමක් – 7 වන කොටස

“දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා”

සීතල තවරා ගනිමින් උන් පිනි බර ලා අඳුරේ සංකල්ප ගේ බරැති හඬ මගේ හදවත් බිත්ති මත හැපී මා කම්පිත කරවූයේ ය. ඔහු අලුත් යමක් කීවා නොවේ. මා හොඳට ම දැන උන් වචන, මා ඉඳුරා දැන උන් තනුවක් ප්‍රතිරාව නැංවූවා පමණකි. නමුත් මගේ හදවතට ඒ කෙතරම් නම් නැවුම් විණි ද?

ගීතයේ වචන වල ඇතිල්ලී තිබුණ සංතාපය, ඔහු ගේ ඇස් වල නම් මට දැකිය හැකි වූයේ නැත. ඒවා සිහින් ව සිනහ වුණේ ය.

“ශෝකාන්තය එන තුරා

එහි රැඳෙන්නට හිත් නැති නියා

අනන්තය ළඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා”

ශෝකය තුළ භාවනා කිරීමක් සරි විනාඩි කිහිපයක් ගෙවී ගියා සේ මට දැනිණ. ගීතය ගයා නිම වීමෙන් පසු හරි හදිසියේ ගිටාරය මිතුරෙකු අතට පත් කළ සංකල්ප, කලබලෙන් බැම්මෙන් බිමට පැන දිව ගොස් ලූනා ව වැළඳ ගත්තේ ය.

“ලූනා..එහෙනං ආයෙ ආව නේද…මං හිතුවෙ ආයෙමත් යන්නම ගියා කියල”

මම මොහොතකට ඇස් දෙක පියා ගතිමි. බැඳීම් වූ කලී අප දුරස් වෙන්නට හදත්දී සසර දිග අප හඹා එන  යමකි. ඊළඟ නිමේෂයේ මම බැම්මෙන් බිමට පැන සිටියෙමි.

“යමු ලූනා එහෙනං”

සංකල්ප මදෙස බැලුවේ ය.

“සින්දුවක් කියනව ඇහිලයි බැස්සෙ”

මම අවංක සිනහවකින් කීවෙමි.

“මං හිතුව ආයෙ එන එකක් නෑ කියල. නීලා ඇන්ටිත් එහෙම කිව්ව”

“එනවමද යනවමද කියල හරි ම තීරණයක් තිබුණෙ නෑ”

“යද්දි නතර කරල කිව්වෙවත් නෑනෙ…”

මම හිතා මතා ම ප්‍රතිචාර නො දක්වා ග්‍රිල් ගේට්ටුව දෙසට ඇවිද ආවෙමි. වසර විස්සක් තිස්සේ බලා සිටියා යි ඔහු ම කියා තිබේ. නමුත් එවැන්නකට හිතා මතා ඔහු ට අනුබල දෙන්නට මට නො හැකි ය.

“දැං දිගටම ඉන්නවද…”

මා රියට නැගෙත්දී ඔහු නො ඉවසිලිමත් ව ඇසුවේ ය.

“කියන්න බෑ සංකල්ප”

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

මම ඉවසීමෙන් පිළිතුරු දුන්නෙමි.

“සමහර විට හෙට හිතුණොත් හෙට යන්න පුළුවන්”

ඒ මගේ විදිහ බව මම දනිමි. මගේ මවට හෝ මගේ ඒ විදිහ වෙනස් කර ගත නො හැකි වූයේ ය. දැන් මා අවතීර්ණ ව සිටින්නේ සැනසීම සොයා යන මාර්ගයකට විනා බැඳීම් ගැන වද වෙන්නා වූ මාවතකට නොවේ.

ඔහු දෑත පපුවෙහි බැඳ ගෙන මා රිය පණ ගන්වනායුරු බලා සිටියේ ය. ඇක්සලරේටය ට පය තබන්නට පෙර මම හිස නගා සංකල්ප දෙස බැලුවෙමි.

“ගුඩ් නයිට්”

ඔහු මිමිණුවේ ය.

මා යළි පැමිණි එක ගැන නීලා ඒ තරම් සතුටු වේවියි නිකමට හෝ මට සිතුණේ නැත.

“මං සමන් දෙයියන්ගෙන් මේ දවස් ටිකේම කන්නලව් කරල ඉල්ලා හිටියෙ සුදු බබාට ආයෙ මෙහෙ එන්න හිත් දෙන්න කියලයි”

මා කෑම මේසයට එත්දී උනන්දුවෙන් එය සූදානම් කරමින් උන් ඕ කීවා ය.

“මට කිව්ව සමන් දෙයියො”

මම සිනහවකින් කීවෙමි.

“අපෙ අප්පේ…කට කට. කට වරද්දා ගන්නව නෙවෙයි. මේ අඩවියෙ උන්නාන්සෙට වැඩි බලවතෙක් නෑ සුදු බබා”

“හරි හරි ඉතිං. මං කිව්වෙ නීලා සමන් දෙයියන්ට කරපු කන්නලව්ව නිසාමයි මං ආවෙ කියලයි”

“සුදු බබාටනං විහිළු”

එවර ඇය ශෝකාකූල වූවා ය.

“මායි අර මනුස්සයයි කසාද බැඳල දැං අවුරුදුම තිහකට වැඩියි මයෙ හිතේ. ඒත් අපිට කවදාවත් දරුවෙකුගෙ මූණ බලන්න වාසනාව තිබුන්නෑ. ඒත් දැං සුදු බබා මේ ගෙදර දුව පැන ඇවිදල ඉන්නකොට මගෙ හිත පිරිල ගිහිං. කවදාවත් දකින්න බැරි වුණ දරු සම්පත ඇස් පනා පිටම විඳිනව වගේ. සුදු බබා යනකොට මයෙ පපුව පත්තු වුණා ඇත්තමයි”

මින්සුන් කියන්නේ කොතැනකට හෝ බැඳෙන්න ම හදන ජීව කොට්ඨාසයකි. නමුත් අපි උදේ දිවා රැයේ අත් හැරීම ගැන ගැඹුරු දහමක් ශ්‍රවණය කරන හා අදහන ජාතියක් වන්නෙමු.

කෙසේ වෙතත් මා එදා නින්දට වැටුණේ මට ම තේරුම් ගන්නට බැරි ප්‍රීතිමත් නිශ්චලත්වයකිනි. මට සුව සේ නින්ද ගියේ ය.

“ලොකු නෝනා කියනව මං සුදු බබාට ඉණාවක් දීල මෙහෙ නවත්තගෙනලු”

නීලා සිනහ වෙවී කීවා ය. රත්නපුරයට මා බැඳ ගන්නා එවන් ඉනාවක් තිබිය හැකැයි මම නො සිතමි. මා අතැර ආවේ බැඳීම් තිබුණ කොළඹ ය.

උදේ කාලයේ මම ලූනා සමගින් මිදුලේ සෙල්ලම් කළෙමි. ඇය උඩ පැන මගේ ඇඟේ එල්ලුණා ය. මම කෑ ගසමින් ඉවතට පැන්නෙමි. අපේ සද්දයට සංකල්ප මල් වැටෙන් කර පොවා බැලුවේ ය.

“බඩුවක් පෙන්නන්නද…”

මම සෙල්ලම නතර කොට ඔහු දෙස බලා සිටියෙමි. ඔහු පෙන්වන්නට යන්නේ කුමක් දැයි මට කිසිදු අදහසක් වූයේ ද නැත. මගේ නිහඬ බව අනුබලයක් කර ගත් හෙතෙම අපේ පිවිසුම් දොරටුවෙන් අප වෙතට ඇවිද ආවේ ය. ඒ ඇවිද ඒම තුළ දී මට සංකල්ප ව පෙනුණේ ඉතා කඩවසම් සේ ම ඉතාමත් ම සරල වූ යෞවනයෙකු සේ ය. මේ වෙලාවේ ඔහු දුඹුරු පාට කොට කලිසමකුත්, කහ පාට මල් මෝස්තරයක් විසිරුණ අත් කොට කමිසයකුත් හැඳ සිටියේ ය.

“මොකද්ද අප්පා බඩුව…”

මා එසේ ඇසුවේ, ඔහු එන අතරේ ඔහු දෙස බලා සිටියා වැඩි යයි දැනුණ බැවින්, ඒ වරද නිවැරදි කර ගන්නට සේම මා බලා සිටියේ ඔහු පෙන්වන්නට යන දේ ගැන උනන්දුවෙන් ය යන්නත් ඔහු ට හඟවනු වස් ය.

කලිසම් සාක්කුවේ දමා ගෙන ආ ඡායාරූපයක් ඔහු මවෙත දිගු කරමින් සිටියේ ය. මම කුතුහලයෙන් යුතුව එය අතට ගෙන බැලුවෙමි. මගේ පෙර පාසල් සමයේ ඡායාරූප ඇල්බමයේත් ඔය පින්තූරය තිබුණා මට දැක පුරුදු ය. කිසි දා ක මට එහි කිසිදු විශේෂත්වයක් දැනී ද නැත.

“මේක අපේ ගෙදරත් තිබුණා”

“නර්සරි එකේ කොන්සර්ට් එකක ෆොටෝ එකක්”

“හ්ම්”

“ඔයා ඕකෙ ඉන්න මලට”

“හ්ම්. මං ඉතිං දැනුත්  මලක් වගේනෙ. නේ ලූනා…”

මට ඕනා වූයේ විහිළුවක් කොට එය සාමාන්‍ය තත්වයක් බවට හරවා ගන්න ය. නමුත් සංකල්ප හිටියේ ඒ විහිළුව මත වෙනස් වන ස්වභාවයක නොවේ.

“සමනලයට ඉන්නෙ මං”

“ආ ඔයාද ඒ…මට නිකමටවත් එහෙම හිතුණෙ නෑනෙ”

සත්තකට මා සතුව ඒ ඡායාරූපය තිබුණත්, ඒ සංකල්ප බව මට සිතුණේ නැත. ළදරු සංකල්ප ගේ රූපය මවා ගැනීමේ දුෂ්කර ව්‍යායාමයක මෑත දවසක මා නියැළුණත්, මට මේ ඡායාරූප ගැන මතකයක් වූයේ ම නැත.

“අනේ ස්වීට්. ඔයා ඒ කාලෙත් ලස්සනයි නේ…හැබැයි මෝඩ පාටයි”

එෆ් එම් නිවේදිකාවක වශයෙන් මට හුරු පුරුදු මුඛරි බවින් මා එසේ කියවූවාට, සංකල්ප මදෙස බලා සිටියේ තියුණු දෑසකිනි. ඒ බැල්මේ වූ මුවහත් බව විඳ ගන්නට අමාරු සෙයක් නො දැනුණා ම නොවේ. නමුත් මම පරාද වන්නට රිසි නොවීමි.

“දැනුයි කියලත් වෙනසක් නෑ නේ”

ඔහු පිළිතුරු බැන්දේ ඍජු ව ම දෑසින් ය කියා සිතමි. ඒ බැල්ම මගේ ඇස් විනිවිදගෙන ඇතුළට කිඳා බසින්නට තැත් කරමින් තිබිණි. මට ඕනෑ වූයේ ඒ ගමන නවතා ලන්නට ය.

“මං කියන්නමයි හිටියෙ. ඊයෙ රෑ ඔයා කියපු සින්දුවනං මාර ලස්සනයි හොඳේ. මට කේන්ති යන්නෙ අප්ප…ඔය වොයිස් එකෙං වැඩක් ගන්නෙ නැති එකටයි”

එවර ඔහු ඒ බැල්ම මගේ ඇස් වලින් මුදා ගත්තේ ය. මට සැනසුම් සුසුමක් හෙළිණ.

“අද රෑට ගෙස්ට් එකේ බර්ත් ඩේ පාටි එකක් තියෙනව”

“ඔයාගෙ බර්ත් ඩේ එකද අද….විශ් යූ මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ…”

මම මගේ සුරත ඔහු වෙත දිගු කළෙමි. ඔහු ඒ අත අල්ලා ගන්නේ නැති ව සිනහව දඟ කරන තරවටු ඇස් දෙකකින් මදෙස බලා ගෙන ම සිටියේ ය.

“පිස්සුද අප්ප…කියන්න ඉස්සෙල්ල පනිනවනෙ. කවුද දැං කිව්වෙ මගෙ බර්ත් ඩේ එක කියල….”

“ආ ඔයාගෙ නෙවෙයිද…”

මම බයාදු සිනහවකින් බැලුවෙමි. සංකල්ප  මා විනිවිද බලා සිටි ඇස් වල වූ හැඟීම ගැන කියන්නට තරම් පොහොසත් කමක් මගේ වචන වල නැත්තේ ය.

“බර්ත් ඩේ පාටි එකකට කට්ටියක් ගෙස්ට් එක බුක් කරල තියෙනව. රෑට පොඩි සින්දු දෙක තුනක් කියන්නයි ඉන්නෙ”

“ඔයාද…”

“හ්ම්”

“ශා..”

“මං වැඩිපුර ම මේ ආවෙත්…රෑට එන්න කියල ඔයාටත් ඉන්වයිට් කරන්න”

“ඉතිං අනේ…ඔයාගෙ නෙමෙයිනෙ පාටි එක”

“ඒ වුණාට මගෙනෙ හෝල් එක…මමනෙ සිං කරන්නෙ….ඉතින් මට බැරිද මං කැමති කෙනෙක්ට ඉන්වයිට් කරන්න…”

මම යටි තොල සපා ගෙන බලා සිටියෙමි. ඔහු ගේ ඇස් වල ප්‍රතික්ෂේප කළ නො හැකි ආරාධනාවක් විය.

“මං එන්නංකො”

ක්ෂණික සිනහවක් ඔහු ගේ මුහුණට ආවේ ය. ඒ සිනහවෙන් ම ඔහු හැරී ගියේ ය. ඒ ලූනාට හෝ යනවා කියන්නේ නැතිව ය. මම ඒ ගමන් මග දෙස බලා ගෙන ම සිටියෙමි. මගේ දෙතොල් අතරේ තෙරපුණ සිනහවක් වූ බව දැනුණේ පසුව ය.

“පිස්සුද”

මම මට ම තරවටු කර ගතිමි.

සාද සම්භාෂණ කියන්නේ මට ආගන්තුක වූවක් නොවේ. නමුත් අප්පච්චි ගේ අකල් වියෝවෙන් පසු මා කිසිදු සම්භාෂණයකට සහභාගී නො වුණෙමි. ඒවායේ වන නිස්සාරත්වය ගැන ඉසිහින් සංකා හැඟීමක් මා තුළ වර්ධනය වෙමින් ද තිබුණේ ය. නමුත් සංකල්ප ඇරයුම් කළ අනුන් ගේ උපන් දින සාදය ගැන මගේ අභ්‍යන්තරයේ ඇති ව තිබුණේ මට ම නො වැටහෙන උනන්දුවකි. ඒ සංකල්ප ගේ ලස්සන ගීතයකට කන් දෙන්නට ලැබෙන අවස්ථාව නිසා යයි මම සිතුවෙමි. ඔහු ගේ හඬට ගෙයි සිට ම කන් දිය හැකි වුණත්, ඔහු දෙස බලා ගෙන, ඔහු ගිටාරය හෝ ඕගනය වයනු බලා ගෙන, ඒ ඇස් සිහින් වෙන හැටි බලමින්, ඔහු පේන මානයේ හිඳ ඒ ගී විඳීමේ ආශාවක් මා තුළ ඇති වී තිබෙන බව මම දැන සිටියෙමි. ඒ රහසිගත ආශාව සපුරා ගැනීමේ අවස්ථාවක් මේ විදිහට උදාවී තිබියදී මා එය මගහැර ගත යුතු යයි මම නො සිතුවෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x