ළතෙත් ආදර හැඟුම් ගංගා – 44

*තාරානාත් දහම් වංශනායක*

“තාත්තා මට අෆෙයාර් එකක් තියෙනවා නාද්‍යා එක්ක” 

“නාද්‍යාට දරුවෙක් ඉන්නවා නේද?” 

“ඔව් තාත්තා… ඒත්…” 

“මට ඔයාගෙයි නාද්‍යාගෙයි අතරෙ සම්බන්ධයක් තියෙන එකනම් ප්‍රශ්නයක් නෑ පුතා. මට ප්‍රශ්නයක් තියෙන්නෙ නාද්‍යාගේ දරුවා ගැන” කියලා තාත්තා කියාගෙන කියාගෙන යද්දි මම උන්නෙ හරිම නොඉවසිල්ලක තාත්තා කියන දේට විරුද්ධ වෙන්න බලාගෙන. මට දැනුනෙ මගෙ හිත අස්සෙ තියෙන හැම හැඟීමක්ම, මගේ ඇඟේ තියෙන හැම නහරයක්ම පිච්චීගෙන පිච්චීගෙන යනවා කියන එක.

“තාත්තා ඒ දරුවව ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නෝන මට නේද? මට ඒ දරුවව ප්‍රශ්නයක් නැති එකේ ඇයි තාත්තා ඒ දරුවව ප්‍රශ්නයක් කියලා හිතන්නේ? අනික තාත්තෙ ඔයාට පුළුවන් උනා නම් මාව ඔයාගෙම දරුවෙක් වගේ හදාගන්න ඇයි තාත්තට බැරි නාද්‍යාගෙ දරුවා දිහාත් ඒ විදියට බලන්න?” මං ඒ වචන කියාගෙන කියාගෙන ගියේ හුස්ම ගන්න එක තප්පරයක්වත් විනාස කරගන්නෙ නැතුව. මම නාස්ති කරන හැම තප්පරයක් පිටිපස්සෙම නාද්‍යාව මගෙන් කල්ප ගාණක් ඈත් කරලා දාන සාපයක් තියෙනවා කියලා තමයි මම හිතාගෙන හිටියෙ.

ඒත් තාත්තා උන්නෙ මගේ හැඟීම් ගැන පොඩ්ඩක්වත් කෙයා කරන්නෙ නැති විදියට තාත්තගෙ කකුල් දෙක උඩ තාත්තට පොත කියවන්න ලේසි වෙන්න තියලා තිබ්බ කොට්ටෙ උඩ එකට බැඳිලා තිබිච්ච තාත්තගෙ අත් දෙක දිහාම බලාගෙන.

“නෑ පුතා මම නෙවෙයි ඒ දරුවා දිහා තමන්ගෙ කෙනෙක් විදියට බලන්නෝන. ඒක කරන්නෝන ඔයා. අන්න ඒකයි මම කිව්වේ මට ප්‍රශ්නෙ තියෙන්නෙ නාද්‍යා ගැන නෙවෙයි නාද්‍යාගේ දරුවා ගැන කියලා”

“ඒ කිව්වේ?”

“ඔයා නාද්‍යාට ආදරේ නිසා හරි ඒ ළමයගෙ පෙනුම, දැන උගත්කම හරි මොකක් හරි දෙයක් හන්දා දැන් ඒ ළමයට කැමැත්තෙන් ඉන්න බව ඇත්ත. ඒ ළමයව තමන්ගෙ කරගන්න උවමනාවක් තියෙන හන්දා ඔයා අර පොඩි දරුවටත් ආදරෙන් සලකන බව ඇත්ත. ඒ උනාට ඔයා නාද්‍යා ගැන සීරියස් හිතනව වගේමද ඒ දරුවා ගැනත් හිතන්නෙ කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.

ඔව් ඇත්ත ඔයාගෙ ඇඟේ දුවන්නෙ මගෙ ලේ නෙවෙයි කියන එක මම ඔයාගෙන් කවදාවත් හැංගුවෙ නෑ වගේම මම කවදාවත් ඔයාට වෙනස්කමක් කෙරුවෙ නෑ නේද? මම ඔයාට මගෙ දරුවෙක්ට සලකනවා වගේම ගහලා, බැණලත් තියෙනවා. ආදරේ දීලත් තියෙනවා. ඒක කරන එක ලේසි දෙයක් කියලා සනා ඔයා හිතාගෙන ඉන්නවා නම් ඒක කරන්න ගියාම තමයි ඒ අමාරුකම තේරෙන්නේ.

මට කවදාවත් එහෙම සිතුවිල්ලක් හිතට ආවෙ නැති එක ඇත්තක් උනාට සනාට කවදහරි හිතෙන්න පුළුවන් නාද්‍යාට ඔයාගෙන් දරුවෙක් ලැබිච්ච දවසට අර දරුවා තමන්ගෙ නෙවෙයි කියලා නේද? එදාටත් තමන්ට අද වගේම ඒ දරුවට කිසිම වෙනස් කමක් කරන්නෙ නැතුව සලකන්න පුළුවන් කියලා සනා විශ්වාස කරනවද? 

සනාගෙ බ්ලඩ්ලයින් එකෙන් නාද්‍යා දරුවෙක් හැදුවොත් ඒ දරුවයි මේ දරුවයි දෙන්නම තමන්ගෙ කියලාපිළිගන්න, සලකන්න, ආදරේ කරන්න සනාට පුළුවන් කියලා සනා විශ්වාස කරනවද?

නාද්‍යාට ආදරේ කරන මනුස්සයෙක් විතරක් නෙවෙයි, නාද්‍යාගෙ දරුවට ආදරේ කරන තාත්තා කෙනෙක් වෙන්න සනාට පුළුවන් කියලා සනා විශ්වාස කරනවද?

ඕන්න ඔය ප්‍රශ්න වලට උත්තරේ ඔව් නම් මගේ කිසිම විරුද්ධත්වයක් නෑ සනා හෙට උනත් නාද්‍යාව මැරි කරලා ඒ ළමයි දෙන්නව මේ ගෙදෙට්ට ගේනවට. මට මේක ලොකු නැන්දලට එහෙම කියන්න වෙනවනෙ සනා. එතකොට ඉතින් දන්නවනෙ ඉන්ග්ලන්ඩ් වල හිටියත් ලොකු නැන්දා තාම මේ පරණ කුල මල කාරණා හිතේ තියන් ඉන්න එකේ පොඩ්ඩක් අරවා මේවා කියාවි. ඒ උනාට ඉතින් එයා කවදාවත් අපේ ෆැමිලි ලයිෆ් වලට ඉන්ටෆියර් වෙන්න ආව කෙනෙක් නෙවෙයිනෙ, එහෙම එකේ මං හිතන්නෙ නෑ කවුරුවත් මුකුත් කියාවි, ලොකුවට විරුද්ධ වෙයි කියලා.

හැබැයි අපි මොනවා කිව්වත් පුතා මේ වෙලාවෙ කල්පනා කරන්නෝන එක දෙයයි, ඒ තමයි පුතා ගන්න තීරණේ මොක උනත් ඒකෙන් ලොකුම බලපෑමක් වෙන්නෙ නාද්‍යාටයි සනාටයි වඩා අර පොඩි දරුවට කියන එක. අමතක කරන්න එපා සනා හිස්ට්‍රි රිපීට්ස් වන් වේ ඕර් දි අදර් වේ කියන එක” කියලා තාත්තා කියද්දි මම මේ කතාව, තාත්තගෙ උත්තරේ භාරගන්නෝන සන්තෝසෙන්ද එහෙම නැත්තම් ප්‍රශ්නාර්තයක් එක්කද කියන කතාව තිබ්බෙ මගෙ හිත හරියට මහන්සියට පත් කරන ගමන්.

තාත්තා කිව්ව දේ සෑහෙන ඇත්තක් තියෙන බව වගේම කවදා හරි දවසක ඒ ඇත්ත ඇත්තක් උනොත් එදාට අපි හැමෝටම ලොකු දුකක් විඳින්න වෙන බව මට තේරුණා.

කාමරේට ගිහින් ඇඳේ හාන්සි උනාට මං උන්නෙ නිදාගන්න පුලුවන් තරම් මානසික නිදහසක නෙවෙයි. මං උන්නෙ මොකක් හරි මටවත් නොතේරෙන ප්‍රශ්නෙකට උත්තරයක් මගෙ හිත අස්සෙන්ම හොයන ගමන්.

“උඹ ප්‍රශ්නෙ මොකද්ද කියලා හරියට කියන්නෙ නැතුව මම උත්තරේ කොහොමද දෙන්නෙ?” කියලා මොලේ කියද්දි මගෙ හිත උන්නේ දාහක් දේවල් ගැන හිත හිත. ඒ හිතුවිලි දාහක් අස්සෙ මම, නාද්‍යා, අහස්, අපෙ තාත්තා වගේ සෑහෙන පිරිසක් එහෙට මෙහෙට කැරකි කැරකි උන්නා.

“ප්‍රශ්නයක් නැති එකනෙ මෙතනෙ තියෙන ප්‍රශ්නෙ” කියලා පොඩි කෝචෝක් එකක් දැම්මෙ මගෙ හිත.

“කොහොමද ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ?” කියලා මගෙ හිතයි මොලෙයි උන්නෙ දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙන ගමන්.

“ප්‍රශ්නයක් තියෙන්නෙ කොහොමද? උඹ නාද්‍යාටයි අර පොඩි දරුවටයි දෙන්නටම ආදරේ නම් කවදාවත් උඹෙ අතින් ඒ දෙන්නට අවැඩක් වෙන්නෙ නෑ කියන එක උඹට ශුවර් නෙ නේද?” කියලා හිත මගෙන් අහද්දි මට ඕන උනා ඒ වචන වලට එකඟ වෙන්න ඔලුව වනන්න. ඒ උනාට මොලේ උන්නේ ලේසියෙන් ඒකට ඉඩ දෙන ගමන් නෙවෙයි.

“කවදාහරි වෙන්න පුළුවන් දෙයක් ගැන උඹ හරියටම දැන් කියන්නෙ කොහොමද? අමතක කරන්න එපා මුලින්ම නාද්‍යාව ක්ලබ් එකේදි දකිද්දි උඹ ඒකිව දැක්කෙ නිකන් ක්ලබ් එකක ඉන්න එකියක් විදියට මිසක් කවදහරි දරුවෙක් එක්කල භාරගන්න බලන් උන්න ගෑනියෙක් විදියට නෙවෙයි කියන එක” කියලා හිත කියාගෙන කියාගෙන යද්දි මං ඇඳෙන් නැගිට්ටෙ ඇත්තටම මට තවදුරටත් ඇඳේ හාන්සිවෙලා ඉන්න පුළුවන් කමක් තිබ්බෙ නැති හන්දා.

හිත එක පැත්තකින් නාද්‍යාව ඉල්ලද්දි, මේ ඊළඟ තප්පරේ එයාව බදාගෙන ඉඹින්නෝන කියලා හිතෙද්දි අනෙක් අතට මගෙ මොලේ මට මතක් කරලා දුන්න කවදහරි දවසක මට හිතෙන්න පුළුවන් කියලා “එදා නියපොත්තෙන් කඩන්න තිබ්බ එකනෙ මම මේ පොරොවෙන් කඩන ලෙවල් එකකට ගෙනාවෙ” කියලා.

මං මෙහෙම කියන එක, මගෙ හිතයි මොලෙයි රණ්ඩු වෙන විදිය කවුරුහරි අහගෙන උන්නා නම් ඇත්තටම ඒ කෙනාට උනත් හිතෙන්න ඉඩක් තිබ්බා මම ඇත්තටම නාද්‍යාට ආදරේද නැද්ද කියන එක.

බොරු කියන්නෝන නෑනෙ මේ වෙලාවෙ මං උන්නෙත් ඒ ප්‍රශ්නෙම මගෙන් අහන ගමන්. මට ඕන උනා හරියට කන්ෆර්ම් කරගන්න “මම ඇත්තටම නාද්‍යාට ආදරේද? එහෙම නැත්තම් මේක නිකන් තාවකාලික හැඟීමක් විතරද?” කියන එක.ඔය කතා පොත්වල ඉන්න “මහා පුදුම, සිද්ධාර්ත කුමාරයා වගේ පිරිමියෙක්” නෙවෙයි නෙ මං. අන්න ඒ හන්දම තමයි මට ඕන උනේ හරි තීරණයක් ගන්න.

කවදාවත් මටවත් මං හන්දා නාද්‍යාටවත් අහස්ටවත් දුක් විඳින්න වෙන්නෙ නැති විදියෙ තීරණයක් ගන්න. මං මේ රෑ ඇහැරගෙන කරේ ඒක.

මං හිතන්නෙ පිරිමි ආදරේට යුතුකම් ඉස්ට කරන්නෙ අන්න ඒ විදියට.

සමහර තැන්වලදි අත ඇරලා දාන එක තමයි මනුස්සයෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම සැනසීම වෙන්නෙ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles