*නාද්‍යා සොනාලි සල්වතුර*
“ඔයාට හිතෙන්නෙ නැද්ද අපි හැමදාම මෙහෙම ඉන්නෝන කියලා?” මම ඇහුවෙ ඇත්තටම තාරානාත්ගෙ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මගෙ ළඟ තිබ්බෙ නැති හන්දා.
ආදරයක් නම් මිනිස්සු දෙන්නෙක් එක්කහු වෙන්නම ඕනද? කියල ප්‍රශ්නෙ මං උන්නෙ මගෙ හිතෙන්ම අහන ගමන්.
ආදරේකදි උනත් අපි බලාපොරොත්තු වෙනවා ඒ ආදරේට ඇරඹුමක් සහ අවසානයක් තියේවි කියලා. හැබැයි මට ඕන උනේ නෑ තාරානාත් ගෙත් මගෙත් ආදර කතාවට කිසිමාකාරයක අවසානයක් දෙන්න. මට ඕන උනේ හැමදාම මේ ආදරේ පැවතෙන එකක් කරගන්න.
“කසාද බැන්ද දවසකට කවදාවත් ඔය කොල්ලො කෙල්ලො ලව් කරනවා වගේ කරන්න බෑනෙ නංගි” කියලා කාන්ති අක්කා කියද්දි කසාදෙ කියන්නෙ මගෙත් තාරානාත්ගෙන් ආදරේ අවසන් කරන සාපයක් විදියටයි මම දැක්කේ. මට ඕන උනේ නෑ ඒ හන්දා එයාව බඳින්න. මොකද මට බය හිතුනා මේ ලස්සන ආදරෙ එදාට මට නැතිවෙයි කියන එක.
අපි ආදරේ කරනකොටත්, හැම ආදර කතන්දරයකටම පටන් ගැනීමකුයි අවසානයකුයි තියෙනවා කියලා හිතාගෙන තමයිනෙ ජීවත් වෙන්නෙ. අපි චිත්‍රපටි බලනවා, පොත් කියවනවා ඒ හැම එකකම තියෙන ආදර කතා එක විදියට අවසන් වෙනවා. එක්කො කිස් එකකින්, වෙඩින් එකකින්, සහ ඊට පස්සෙ හැමදේම සතුටින් සදාකල් තියේවි කියන පොරොන්දුවකින්. ඒත් සදාකාලෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා කවදාවත් කාටවත් කියලා දෙන්නෙ නෑනෙ. කතා කර කර ඉන්න බැරිව හිටපු මිනිස්සු දෙන්නෙක් අතරෙ අලුතෙන් ඇතිවෙන නිහඬ තැන්වලදී ආදරේ මැකිලා යන හැටි කවදාවත් අපිට කියලා දීලා නෑ. සින්ඩරෙල්ලා වගේ සුරංගනා කතන්දර වල ගෙදර වැඩ පල කර කර උන්න සාමාන්‍ය කෙල්ලක් රජ කුමාරයෙක් බැඳලා මාළිගාවට ගියා කියලා පෙන්නනවා. ඒ උනාට ඉන්පස්සෙ “සාමාන්‍ය කෙල්ලෙක් කොහොමද මාළිගාව ඇතුලෙ ජීවත්වෙන විදිය දන්නේ?”කියලා ඒ කෙල්ලට මාළිගාව ඇතුලෙන්ම ආව තාඩන පීඩන අපිට පෙන්නලා දීලා නෑ. කියලා දීලා නෑ.
ආදරෙ කරලා මැරි කරපු පළියට මාළිගාව වෙනස් වෙන්නෙ නෑ. ඒකෙ නීති එහෙම්මමයි. ඒ කෙල්ලට මාළිගාවෙ මැනේජ්මන්ට් ගැන දැනුමක් නෑ. රෝයල් කෝර්ට් එකේ හැසිරෙන විදිය, කතා කරන විදිය, ඇඳුම් අඳින විදිය ඒ හැමදේම එයාට අලුත්. ඒ වගේම උපතින්ම කුමාරිකාවෝ වුණ අනිත් රාජකීය අය නිහඬව හරි ප්‍රසිද්ධියෙ හරි එයාට හිනා වෙන්න ඇති. එයාලා හිතන්න ඇති මෙයා අපි වගේ නෙවෙයි, මෙයා කුමාරයෙක්ගෙ කරේ එල්ලිලා මාළිගාව ඇතුළට ආපු කෙනෙක් කියලා.
ආදරේ කොච්චර තිබුණත්, කුමාරයා උන්න නොඋන්න තැන් දෙකේදිම ඒ මාළිගාවට තමන් මැච් වෙන්නෙ නෑ කියන ලෝන්ලි ෆීලින් එක එයාට දැනෙන්න ඇති. එයාගෙ කුමාරයා එයාට ආදරේ කළාට, එයාට හැමතිස්සෙම එයා ළඟ ඉන්න බැරි වෙන්න ඇති. මොකද එයාටත් රාජකාරි කරන්න තියෙනවනේ නේද?
ඒක කතන්දර වල පෙන්නුවෙ නෑ. මොකද සුරංගනා කතන්දර හදන්නෙ අපිට හීන පෙන්නන්න. ඒ හීන ඇතුළෙ තියෙන ඇත්ත ජීවිතේ අමාරුකම් ගැන අපිට උගන්වන්න ගියොත් ඒක කවදාවත් සුරංගනා කතාවක් වෙන්නෙ නෑනෙ.
ඒක නිසයි අපේ ඇත්ත ජීවිතේ ආදරේ හම්බ වුණාම වුණත්, ඊට පස්සෙ එන අලුත් අභියෝග වලට ලෑස්ති වෙන්න අපිට තේරුමක් නැතුව යන්නෙ. අපි හිතන්නෙ වෙඩින් එකෙන් හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා. ඒත් වෙඩින් එක තමයි අලුත් අභියෝග වල පටන් ගැනීම.
මම තාරානාත්ව හම්බවෙනකොට, මම ආදරේ හොය හොයා හිටියෙ නෑ. මම ජීවිතෙන් මහන්සි වෙලා හිටියෙ. ජීවත්වෙන එකම මට දැනුනෙ ලොකු මහන්සියක් වගේ, ඒ මහන්සිය අස්සෙ මට ආදරයක් කියන දෙයක් ගැන කිසිමාකාරයක වගක් තිබ්බෙ නෑ. එකපාරටම, එයා ආවෙ ආයෙ මගෙ අර මහන්සි වෙච්ච හිතට ආදරේ උණුසුම මොන වගේද කියලා මතක් කරලා දෙන ගමන්. එයා මගේ ජීවිතේ හදන්න ආවෙ නෑ, හැබැයි ඒක සැහැල්ලු කළා.එයා මගේ ජීවිතේ මාත් එක්ක බෙදාගන්න පටන් ගන්නකම්, මගේ ජීවිතේ මටම කොච්චර බරක් වෙලා තිබුණද කියලා මටම තේරුණේ නෑ.
මුලදී, මම හිතුවෙ මේක වැරදියි කියලා තමයි. ඇත්ත මං වගේ ගෑණියෙක්ට, කසාදයක් කරගන්නෙ නැතුව හම්බෙච්ච දරුවෙක් එක්ක, තාමත් සනීපවෙන ගමන් තියෙන හිතේ තුවාල කැළැල් එක්ක ආයෙත් ආදරේ කරන්න තියා පිරිමියෙක් විශ්වාස කරන්නවත් අයිතියක් නෑ කියලා තමයි මම හිතාගෙන හිටියෙ. ඒත් තාරානාත් මගෙ හිතේ ෆ්‍රැක්චර්ස් දැක්කෙ ෆ්‍රැක්චර්ස් විදියට නෙවෙයි. මම ජීවත් වෙලා තියෙනවා, මම බේරිලා තියෙනවා කියන සාක්කියක් විදියට.
“බැන්දට පස්සෙ නංගියෙ, අපිට ආයෙ කවදාවත් පොඩි කාලෙ ආදරේ කරපු විදියටම ආදරේ කරන්න හම්බවෙන්නෙ නෑ. ජීවිතේ වෙනස් වෙනවා. වගකීම් එනවා. ආයෙ ඒ විදියට ආදරේ කරන්න වෙලාවක් නංගිට හම්බෙන්නෙ නැතිවෙයි.ඒ හන්දා මේ දෙන්නා අඳුරගන්න මුල් කාලේ වෙන වෙන විකාර නොහිත තමන් දෙන්නා ගැන හිතන්න. සන්තෝසෙන් ඉන්න” කියලා කාන්ති අක්කා කියද්දිත් මට ඇත්තටම ඕන උනේ හැමදාම මෙන්න මේ විදියටම ඉන්න. මට බය හිතුණා තාරානාත් කියන “ඊළඟ ස්ටෙප් එකට” යන්න.
මම එයාගෙ වයිෆ් වෙන්න අකමැත්තක් තිබුණා නෙවෙයි. මට ඕන වුණේ නෑ මේ ආදරේ සාමාන්‍ය දෙයක් බවට හැරෙනවා දකින්න. මට ඕන වුණේ නෑ දවසක ඇහැරිලා බලනකොට කලින් මැජික් එකක් වගේ දැනුණ දේ, නිකං පුරුද්දක් වෙලා කියලා දැනගන්න.
සමහරවිට ඒක කෙනෙක්ට “මේ ගෑනිට පිස්සුද මන්දා?” කියලා හිතෙන්නඇති. සමහරවිට ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒත් මට ඕන වුණා මේ ආදරේ, අපේ ආදරේ ඇතුලෙ ජීවත් වෙන්න. ඒක පර්ෆෙක්ට් එන්ඩින් එකක් තියෙන “තව එක” කතාවක් කරගන්න මට ඕන වුණේ නෑ.
මොකද වේදනාව මැද්දෙන් ජීවත් වුණාම, ඔයා ඉගෙන ගන්නවා ආදරේ ඇත්ත වෙන්න අවසානයක් ඕනෙ නෑ කියලා. ඒකට ඕනෙ දිගටම හුස්ම ගන්න එක විතරයි. මට ඕනම වුණේ ඒක තමයි කවදාවත් අවසන් වෙන්න සිද්ධ නොවුණ, හිමින්, නිහඬව, නවතින්නෙ නැතුව හුස්ම ගන්න ආදරයක් මගේ කරගන්න.
එකපාරක් ආදරේ කියලා රැවටිච්ච ගෑනියෙක්ට උනත් ඒ අලු උඩින් නැගිටලා ආදරේ කරන්න පුලුවන් කියන එක ඉගෙන ගන්න.
ඊටත් එහා ලොකු බයක් මගෙ හිතේ තිබ්බා. ඒ “කසාදයක් කරගන්න ගිහින් ආයෙ වතාවක් මම තාරානාත්ගෙ පැත්තෙ අයගෙන් රිජෙක්ට් වෙයිද?” කියන එක.
“ඔයාට හිතෙන්නෙ නැද්ද අපි හැමදාම මෙහෙම ඉන්නෝන කියලා?” මම තාරානාත්ගෙන් ඇහුවෙ ඒ හන්දා.
“හැමදාම මෙහෙම ඉන්න ආස හන්දා තමයි ළමයො මම ඔයාට කියන්නෙ අපි කසාද බඳිමු කියලා. මට බෑ තවදුරටත් ඔයාවයි දරුවවයි අර වත්තෙ තියලා තියන්න. මම අපේ තාත්තා එක්කත් කතා කරේ ඒකයි. එයත් කැමති. මමත් හොඳට හිතලා බලලා තමයි මේ තීරණේ ගත්තෙ. ඇත්තටම ඔයාවයි දරුවවයි මගේ කියලා භාරගන්න එක ගැන ලොකුවටම හිතන්නෝන මම නෙ නාද්‍යා. වෙන කවුරුවත් නෙවෙයි. කවදහරි ඔයාලට දුකක් කරදරයක් වෙන්නෙ මං ගත්ත තීරණේ වෙනස් කරලා මම වෙනස් මිනිහෙක් උනොත් විතරනෙ.
ඒ හන්දා මම මේක සෑහෙන්න හිතුවා. ඒ හිතලයි මං මේ කියන්නෙ. ඕන් නම් මම මුද්දක් අරගෙන ඇවිත් දණ ගහලා ප්‍රපෝස් හරි කරන්නම්.
අපි මැරි කරමු. තාත්තාව තව සති කීපෙකින් මට ඉන්ග්ලන්ඩ් අරගෙන යන්න වෙයි. එහෙදි ඩොක්ටර්ස්ලා කියාවිනෙ තාත්තගෙ කන්ඩිශන් එක ගැන. මං ආවට පස්සෙ අපිට ටක් ගාලා වෙඩින් එකක් පොඩියට හරි ගන්න පුළුවන්.
ඔයා තමයි කියන්නෝන හැමදෙයක්ම වෙන්නෝන කොහොමද කියන එක ගැන?”
ඒත් මං උන්නේ ඒක වෙන්නෝන කොහොමද කියලා හිතාගන්න බැරුව.
ඒ හන්දයි මං කිව්වේ මට ටිකක් කල්පනා කරන්න දෙන්න කියලා.
“අපේ අර පික් මී එකේ ශූට් එක එනවා නේද සිකුරාදා?”
“ඔව් ඉතින්”
“මම ඒකෙන් පස්සෙ කල්පනා කරලා හරියටම දේවල් වෙන්නෝන විදිය කියන්නද? මේක ලොකු ඩිසිශන් එකක් නෙ. මට බයයි දහම් කලබල වෙලා ආයෙ තීරණ ගන්න. ඒ නිසා මට පොඩ්ඩක් දවසක් දෙන්න හොඳේ.
ඔයා මේ ප්‍රශ්නෙ ඔලුවෙ තියාගන්න එපා. මේ ප්‍රශ්නෙ මගෙ ඔලුවට දෙන්න. ඔයා තාත්තාව සනීප කරගන්න එක ගැන හිතන්නකො”
“මට ඔයාව කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. වෙන්නෙත් නෑ. ඒ නිසා මේක ප්‍රශ්නයක් විදියට දකින්න එපා. මං ආසාවෙන් ආදරෙන් කරන්නෙ.
අයි ලව් යූ”
“මී ටූ”












