fbpx

සුළි සුළඟක සුසුමක් – 01 වන කොටස

උදේ සිට ම එක හිරු කිරණ කදම්බයක් හෝ පොළොව කරා නො පැමිණි තරමි. හිරු ගේ බලය මුළුමනින් බිඳ දමමින් වලාකුළු සිය අණසක පතුරුවමින් තිබිණ. දවස පුරා ම සිරි සිරි වැස්ස විටින් විට ද කඩින් කඩ ද පතනය විය. රත්නපුරය සීතල රෙද්දක් පොරවා ගෙන සිටියේ ය.

මම හුදෙකලා දිගු වැරැන්ඩාවේ සුවබර තේක්ක පුටුවක ගුලි ගැසී, කකුල් දෙක දෑතින් වැළඳ ගෙන ඔහේ බලා සිටියෙමි.

වැස්ස තුරල් වන වෙලාවට, කොහේදෝ හැංගී සිටින සමනලුන් වහා පිටතට පැමිණ මල් අතරේ කැරකෙමින් රොන් සොයති. කුරුලු කොබෙයියෝ විශාල තණ පලස මතට බැස අහරක් සොයති. කුරුලු තට්ටුව මතට නීලා දමන පළතුරක් හෝ බත් ඇට ටිකක් කන්නට ලේනෙකු හා කපුටෙකු අතරේ තරගයකි. කපුටා ලේනාව බිය වද්දා පලවා හරී. කපුටා ගැන සිතේ උපදින්නට හදන කේන්තිය යටපත් කරගෙන මම මෙසේ සිතමි.

“ඌත් කුරුල්ලෙක්!”

දැවැන්ත කවාකාර තණ පලසෙන් එහා ඉම තද කොළ පැහැති තුරු ගොමුවකින් ගැවසී ගෙන ය. එතුරු ගොමුව ද වැහි වැටෙත්දී පෙනෙන්නේ සුදු පාට පසුබිමක බොඳ වූ සිතුවමක් මෙනි. වෙනදාට, රත්නපුරේ මේ ගෙදරට ඇවිත් ගෙවුණ දෙසතියකට වැඩි කාලය පුරාවට, දවසෙන් වැඩි කාලයක් මා ගත කළේ ඔය තුරු ගොමු අතර සරමිනි. සුදු පාටින් පිරියම් කරන ලද කැටයම් සහිත ඇළුමිණියම් බංකුවට වී දෙමලිච්චන් රෑන් පිටින් තණ පලස පුරා පැන පැන යමින් කෑම අහුලා කන හැටි බලමිනි. තුරු හිස් මත අලුත් ම මල් පිපෙන හැටි දකිමිනි.

අක්කර දෙකකට වැඩි මේ නිවස සහිත ඉඩම අප්පච්චිට පිය උරුමයෙන් ලැබුණකි. නමුත් කුඩා ම කාලයේ රත්නපුරයෙන් නික්ම ගියාට පසු අප ජීවත් වූයේ කොළඹ ය. ඉතා ම කලාතුරකින් නිවාඩුවක් සඳහා මෙහි ඇවිත් ගියා විතර ය. අපේ ජීවිත කොළොම් පුරයේ කාර්ය බහුලත්වයට වැද හැල්මේ දුවමින් තිබිණි. අප්පච්චි මරණයත් එක්ක නික්ම ගියේ ඒ ජීවිතය මැද්දේ මා එහෙම පිටින් ම බිම ඇද හෙලමිනි.

ඒ වියෝගය මට දරා ගත හැකි සීමාවේ නො විණ. දුවකට සිය තරුණ වියෙහිදී ම පියා අහිමි වීම යනු සුළු කොට තැකිය හැක්කක් නොවේ. මම මාස දෙකක් ම හිත එක්ක සටන් කොට පැරදුණෙමි. අන්තිමට මා තීරණය කළේ හිත නිවා ගනු වස් රත්නපුරයේ ගෙදරට එන්නට ය. වසර කිහිපයක් තිස්සේ නමක් හදා ගත්, ඉමහත් ආශාවෙන් කළ රැකියාවෙන් ද ඉවත් වී මම ගෙදරින් අභිනික්මන් කළෙමි.

“හිත හදා ගන්න දුව. ඔයාගෙ අප්පච්චි මගෙ මහත්තය. මට දුක නැද්ද…ඒත් මරණය කියන්නෙ වෙලාව ආවහම අපි කාටවත් මගඅරින්න බැරි දෙයක් බව අපි තේරුං ගන්න ඕනෙ”

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක වැඩසටහන් නිෂ්පාදිකාවක හා ඉදිරිපත් කරන්නියක ලෙස මා කරමින් සිටි රැකියාවෙන් ඉල්ලා අස් වෙත්දී අම්මා තැති ගෙන කීවා ය. නමුත් ඒ වෙලාවේ මට ඕනා වූයේ සියල්ලෙන් මිදෙන්නට ය.

“අම්මත් රත්නපුරේ යමු අම්ම”

මම ඉල්ලීමක් කළෙමි. නමුත් අම්මා ට ඒ ඉල්ලීම ඉටු කළ හැකි වූයේ නැත.

“එහෙ ගිහිං කොහොමද දුව අප්පච්චි ගෙ බිස්නස් ටික බලා ගන්නෙ…අප්පච්චි නැති වුණා කියල ඒ දේවලුත් විනාස වෙලා යන්න දෙන්න බෑ. මං ඔයා ගැන බලා ගන්න ඕනෙ. අපි ජීවත් වෙන්න ඕනෙ. ඒ නිසා අපි මෙහෙ ඉන්න ඕනෙ. හිත හදා ගන්න…”

නමුත් එහි සිට හිත පාරා ගැනීම විනා හිත හදා ගැනීම කළ නො හැකි වග මම ඉඳුරා දැන සිටියෙමි. අවසානයේ මා රත්නපුරය ට පැමිණියේ ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයට අයත් මගේ සුනඛ මිතුරිය ‘ලූනා’ ව පමණක් තනියට අරගෙන ය.

“අපිට මේ පාළුවයි සීතලයි වැස්සයි දරා ගන්න වෙනව ලූනා”

මම මිමිණුවෙමි. ඇගේ නම කියනු ඇසූ ලූනා, අලස සුව විඳිමින් හිඳ යන්තම් එක ඇසක් පමණක් හැර මදෙස බැලුවා ය.

“මට මේ සීතලේ අයිස් කැටයක් වෙලා මිදිල යන්න ඇත්තං කියල හිතෙනව ලූනා”

බිම වැතිර උන් ඕ නගුට වනමින් හෙමිහිට නැගිට, මගේ උකුල මතින් හොම්බ තබා ගත්තා ය. මම මුදු ලෙස ඈ හිස පිරිමැද්දෙමි.

“අනේ සුදු බබා…හොඳටම සීතලයිනෙ. කොයි වෙලාවෙ ඉඳල මෙතනද…කාමරේට යන්න සුදු බබා. අසනීපයක් හැදුනොත් එහෙම මැඩම්ගෙන් අපට විසුමක් නැති වෙයි”

නීලා පැමිණ කියවන්නට වූවා ය. මා සිනහ වෙමින් අසුනෙන් නැගිට ගත්තේ තව දුරටත් ඇගේ හිතට කරදරයක් විය යුතු නැති නිසා මිස, ඒ සීතල මට වදයක් ව දැනුණ නිසා නම් නොවේ.

මා කාමරයට යත්දී ලූනා ත් මගේ ඇඟේ උණුහුමෙහි තැවරෙමින් ආවා ය. මා උණුහුම් යහනාව මතට වැටෙත්දී ඈ සිය සුවබර බ්ලැන්කට් එක මත වැතිර ගත්තා ය.

වසර ගණනාවක් තිස්සේ දවස පුරා හෝරා ගණනක් වැඩ කරන්නට පුරුදු වී සිටි මට මේ විවේකය විටෙක පාළුවක් දනවයි. ඒ පාළු හුදෙකලාව තුළ අලස ලෙස ගුලි වී ගැනීම දැන් මා ආසාවෙන් කරන එක ම දේ ය.

ජීවිතය වූ කලී කෙතරම් නම් විහිළුවක් ද? අප්පච්චි වෙහෙස වී හරි හම්බ කළ සියල්ල අතැර අකාලයේ ම නික්ම ගියේ ය. ඒ සියල් වස්තුව දේපල විය පැහැදැම් කොට හෝ ඔහු ගේ ජීවිතය පමණක් ඉතිරි කර ගන්නට අපට හැකි විණි ද?

“අප්පච්චිව සනීප කර ගන්න කරන්න පුළුවන් ඕනම දෙයක් අපි කරනව ඩොක්ටර්. ලංකාවෙ බැරිනං වෙන රටකට හරි අප්පච්චි ව අරං යන්න අපි ලෑස්තියි. මොකද්ද කරන්න ඕන කියල කියන්න ඩොක්ටර්”

මම අප්පච්චි ගේ ජීවිතය ඉල්ලමින් වෙදැදුරන් ළඟ බැගෑපත් වීමි. නමුත් හරි හම්බ කළ හෝ ඉතිරි කළ කිසිවකට අප්පච්චි නවතා ගත හැකි වූයේ නැත.

ධනය ද බලය ද කෙතරම් තිබුණ ද මරණයෙන් ජීවිතය වෙන් කරන සීමාවේ දී ඒ සියල්ල නිශේධ වී යන බව මම ප්‍රථම වරට පසක් කොට ගතිමි. ආශාවෙන් කළ රැකියාව පවා අත්හැර දමන කලකිරීම තුළ මා නිමග්න වන්නට වූයේ ඉනික්බිති ය.

“ඔයා දැං මැරි කරන්න ඕනෙ. අප්පච්චි ඉන්නකල් කොච්චර කිව්වද…ඔයා මග ඇර ඇර හිටිය. දැං මගෙ ඔළුව උඩ ඒ බරත්”

මා කොළඹින් නික්මෙන්නට හදත්දී අම්මා කීවා ය. මම අසරණ මන්දස්මිතයක් පෑවෙමි.

“මං මැරි කරන්නෙ නෑ අම්ම. දැන්නං කොහොමටවත් මට තවත් බැඳීමක් ඕන නෑ”

“එහෙම කියල කොහොමද…ඔයාට දැං විසි හතත් ඉවරයි. තිහක් වෙන්න කලින් බඳින්න ඕන දරුවො. දරුවො හදන්න ඕන. කලකිරෙන්න තරං දෙයක් ඔයාට මේ ජීවිතේදි වෙලා නෑ. අපි කවුරුත් දවසක මැරෙනව උත්තරා”

“ඉපදෙන්නයි මැරෙන්නයි  දරුවො හදන්නයි බැඳීම් ගොඩ ගහන්නයි මට ඕන නෑ අම්ම”

“ඒත් මං ඔයාගෙ දරුවො බලන්න ආසාවෙන් ඉන්නව”

“අම්ම අක්කගෙ දරුවො දැක්ක. අයියගෙ දරුවො දැක්ක…”

මගේ දෙතොලතරට සිනහවක් ආවේ ය.

“ඔයත් එක්ක කතා කරන්න මන් දන්නෑ. කොහොමත් ඔයත් එක්ක කතා කරන එක ලේසි නෑනෙ. ඔයාගෙ රස්සාවත් කතා කරන එකනෙ”

අම්මා උදහස් කරන්නට මට ඕනා වූවා නොවේ. නමුත් මගේ අනාගතය ගැන අම්මා තබා ඉන්නා බලාපොරොත්තු සැබෑ නොවන බවට ඈ දැනුවත් කොට තබනා එක හොඳ යයි මම සිතුවෙමි. එතකොට ඇයට හිත හදා ගන්නට කාලය තිබේ.

අප්පච්චි සමගින් ඇති කර ගත් බැඳීම නිසා අත් වූ වේදනාව මම තවමත් විඳිමින් හිඳිමි. මගේ මරණ මංචකය තෙක් ම ඒ වේදනාවෙන් ගැලවීමක් නොවන බව ද මම දනිමි. වෙනකක් තබා මා ළඟ වැතිර නිදන ලූනා බැල්ල සමග වුව ඇති වී තිබෙන මේ බැඳීම ඉතිරි කරන්නේ වේදනාවක් නොවන්නේ ද? ජීවත් වෙනවා කියන්නේ එසේ බැඳීම් ගොඩ ගසමින් යන එකට ද? ඊට වැඩිය නිදහස් හා බැඳීම් වලින් තොර වූ ජීවිතයක් මේ මිහි මත තිබිය නො හැකි ද? මා සොයා ගත යුත්තේ එවන් දිවියකි.

“මැඩම් කිව්ව සුදු බබා හදන්නෙ මහණ වෙන්නලු. අනේ ඇත්තද සුදු බබා…”

මවෙත කෝපි කෝප්පයක් ගෙන ආ නීලා බිය පත් දෑසකින් යුතු ව ප්‍රශ්න කළා ය. මම මඳහසකින් යහනෙහි එරමිණියා ගොතා ගතිමි.

“අපෝ නෑ නීලා. අපේ අම්ම තරහට කියන කතා ඔය. පැවිදි වෙනවට වඩා නිදහස්ව මේ ලැබුණ ජීවිතේ ගෙවමින් ම බැඳීම් වලින් ඈත් වෙලා ඉන්නයි මට ඕනෙ”

“අනේ මට තේරෙන්නෙ නෑ සුදු බබා කියන ඒව”

අවුරුදු හැට ඉක්මවා ඇතැයි සිතිය හැකි නීලා ට වුව සංසාරයේ වන බියකරු බව ගැන අදහසක් ඇත්තේ නැත. අප මේ දුක් දෙන සංසාරයේ උපදිමින් මියෙමින් දුක් ම විඳින්නේ ඒ අනවබෝධය නිසා යයි නො සිතිය හැකි ද?

නීලා ගේ කෝපි එක බීමෙන් අනතුරු ව යහනේ ගුලි වී සිටියදී මට නින්ද ගොස් තිබිණි. කොයි තරම් වෙලාවකට පස්සේ ද මන්දා මා අවදි වූයේ කොහෙන්දෝ ඇසෙමින් තිබූ සින්දු කියන හඬකිනි. මම කොට්ටයෙන් මඳක් හිස ඔසවා කන් දුනිමි. නමුත් මට කිසිත් නිරවුල් ව වටහා ගත හැකි වූයේ නැත. සිතා ගත හැකි වූයේ පිරිසක් සින්දු කියනා බවක් පමණකි. සමහර විට මා දිගු නින්දක සිටි නිසාවෙන්, තෝන්තු බවක් මිස සිදු වන්නේ කුමක් දැයි නො වැටහෙනවා වන්නට පුළුවන.

කාමරය අඳුරේ ගිලී තිබිණි. රාත්‍රිය උදා වී ඇති බවත්, මා තව ම ඉන්නේ හැන්දෑවේ ඇඳට වැටුණු නින්දෙන් ම බවත් පසක් වන්නට විය. ලූනා යහන පා මුල බ්ලැන්කට්ටුව මත වැතිර මදෙස බලා සිටියා ය.

“මං හුඟක් නිදා ගත්තද ලූනා..”

කියා අසමින් ම මම නැගිට කාමරයේ විදුලි පහන දැල්වූයෙමි.

“නීලා…”

මා කාමරයෙන් පිටතට ආවේ ඈ අමතා ගෙන ම ය. නීලා ඉක්මන් කොට මවෙත ආවා ය.

“මොකද්ද ඒ සද්දෙ නීලා…”

“එහා වත්තෙ පොරිසාදයො කාණ්ඩයක් බජව් දානව සුදු බබා”

“බජව්…මේ රෑ එහෙම බජව් දාන්න පුළුවන් ද…”

මා වේගවත් වෙළඹක සේ ගේ දිගේ වැරැන්ඩාව වෙත ආවේ ඒ ශබ්ධය නැගෙන්නේ කොයි දෙසින් දැයි විපරම් කරමින් ම ය. අපේ වත්තට දකුණු දෙසින් ඒ හඬ එමින් තිබිණි. මම මිදුලට බැස ගල් ඇල්ලූ පාර දිගේ ගේට්ටුව දෙසට ඉක්මන් අඩි තැබුවෙමි. ලූනා දිව විත් මා හා පෙළට වැටුණා ය.

“සුදු බබා කොහෙද දෙයියනේ යන්නෙ මේ වැහි පින්නෙ….ඇරත් මේ රෑ කළුවර අඳුරෙ…”

නීලා පිටුපසින් කෑ ගානු ඇසිණ. මම ඇගේ කතා නෑසූ කන් ව ගේට්ටුවෙන් පිට වී දකුණු පැත්තට ඇවිද ගියෙමි. ‘හයිලන්ඩ් ගෙස්ට්’ යන නාම පුවරුව විදුලි පහන් එළියෙන් ආලෝකවත් ව තිබිණි. කැටයම් ගේට්ටුව දෙපියන ම හැර දමා තිබුණේ ය. කන්ද මුදුනට වන්නට විදුලි එළි දැල්වුණ ගොඩනැගිල්ලක් තිබුණත් සින්දු කියන හඬ ආවේ පහල තැනිතලාව දෙසිනි. මම වහ වහා එදෙසට ඇවිද ගියෙමි. කොලු රෑනක් නොයෙකුත් වාද්‍ය භාණ්ඩ වයමින් මහ හඬින් ගී කියති.

“මොකද්ද ආ මේ කරන වැඩේ තේරුම…”

ඔවුන් ගේ හඬ පරයා මම හඬ නැගුවෙමි. සියලු හඬවල් වහා නතර විය. අල්පෙනිති තුඩක් බිම වැටුණත් ඇහෙන තරමට සත්තකට එහි විශ්චලත්වයක් ඇති විය.

“මේ රෑ ජාමෙ අහල පහලට ඩිස්ටර්බ් වෙන්න ඔහොම කෑ කෝ ගහන්න පුළුවන් ද…මැනර්ස් කියල දෙයක් නැද්ද…”

මම අත් දෙක ඉණෙහි ගසා ගෙන දැඩි ව ප්‍රශ්න කළෙමි. ගල් ගැසී සිටි කොල්ලන් උනුන්ගේ මුහුණු බලන්නට පවා චලනය වූයේ ඒ වෙලාවේ ය.

“මේ මිස් කවුද…”

රෑනේ එක්කෙනෙක් ඇසුවේ ය.

“මං කවුද කියන එකෙං වැඩක් නෑනෙ. ඕගොල්ලො මේ කරන්නෙ වැරදි වැඩක්. අහල පහලට කරදරයි. මං ආවෙ ඒක කියන්න”

“සුදු බබා…අනේ සුදු බබා යමු ගෙදර…මං මේ පුතාලට කියන්නංකො. සුදු බබා යන්නකො”

නීලා මා පසු පස ඇවිත් තිබිණ. තරුණයන් සමූහය වෙතට එක බැල්මක් හෙලූ මම ආපසු හැරුණෙමි.

“ඕ….සුදු බබා…”

කොල්ලන් එකෙක් දෙන්නෙක් එසේ කියනු ඇසුණේ ය. මම ආපසු නො බලා යන්නට ගියෙමි. ලූනා මගේ ඇඟේ ගෑවෙමින් නො ගෑවෙමින් ඇවිද ආවා ය.

කලබල වූවා වැඩි යයි සිතුණේ යළි ගෙදර ගොස් වැරැන්ඩා පුටුවකට වැටුණ ඉක්බිති ය. නින්ද කැඩීම මත නො රිස්සුමට පත් වූවා ට, කොලු රෑනක් ගිටාරයක්, ඩොල්කියක් ගසමින් සින්දු කියනවා කියන්නේ මහ ලොකු වරදක් ද?

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x