ඉඩෝරයක මල් වැස්සක් – 48

සුරංග තම බිරිඳ හා පාරින්ද පැමිණ ගිය බවත් ඉසුරි උකස් තබා තිබූ නිවස බේරා ගන්නට කාර්යාලයෙන් ණයක් ඉල්ලා සිටි බවත් පැවසූයේ සවසය. 

“ඒ ළමයාගේ හිතේ තියෙන ධෛර්යය ශක්තිය ඔයාලා කාගේවත් හිතේ නෑ සුරංග. කවද හරි දවසක ඒ දරුවා මේ මුළු ලෝකෙම දිනනවා. මං දන්නෙ එච්චරයි. මං ඒ ළමයට හරි ආදරෙයි සුරංග. ඒ වගේම මං ඉසුරිට හරියට ගරු කරනවා. මං ආසයි මගේ දුවත් ඉසුරි වගේ හැදෙනවනම්. ඒ වගේම කවදාවත් නොකියපු කතාවක් මං ඔයාට අද කියන්නද…”

මධාරා සුරංග ඉදිරිපස වූ පුටුවෙන් වාඩි වූයේ එසේ අසමින්ය. සුරංග ඈ දෙස  බැලුවේ දෑස් විසල් කරගෙනය. කොහොමටත් මධාරා ඉසුරිට ආදරය කරන බව ඔහු දැන සිටියේය. 

“ඉසුරිට ගැලපෙන කෙනා පාරින්ද නෙමෙයි. පාරින්දට ඕනේ ඉසුරි හැමදාම තමන්ගේ යටතේ තියාගන්න. ඉසුරිට ඊට වඩා ගමනක් තියෙනවා සුරංග. මං කවදාවත් ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙලාවත්, ඒ ප්‍රශ්න වලට උත්තර දීලවත් නෑ. ඒ උනාට අද ඔයා මේ කියපු ටික අහන් හිටියට පස්සේ මට හිතුනා පාරින්ද කියන්නේ මොනතරම් ආත්මාර්ථකාමී පිරිමියෙක්ද කියලා. ඉසුරිට හිමි තැන එතන කියල හිතෙනවනම් අපි හැමෝම මේ කරන්නේ වරදක්. සමාවෙන්න සුරංග මං ඔයාගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න වලට මැදිහත් වෙනව නෙමෙයි.”

“අනේ ඇයි මධාරා ඔයා එහෙම හිතන්නේ..ඔයාටත් අයිතිය තියෙනවා ඒ දරුවෝ ගැන තීරණයක් ගන්න. අනිත් එක ඔයා දෙයක් කියන්නේ බොහොම දුරදිග හිතලා බලලා කියලා මම දන්නවා.”

පාරින්ද ඇත්තටම ඉසුරිට ආදරේනම් එයා මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ ඒ විදිහට නෙමෙයි සුරංග. කෙනෙක්ගෙ හිතක් හදන්න කෙනෙක්ට ශක්තියක් වෙන්න අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. ඒක තමන්ගේ සිතුවිලි තුළින්ම මතු වෙන හැඟීමක්. තමන්ගෙ වයිෆ් තමන්ට යටත් කරලා තියාගන්න උත්සහ කරනවා කියන්නේ එතන තියෙන්නෙ ආදරයක් නෙමෙයි. වෛරයක් පළිගැනීමක්. ඉසුරි කියපු දේ හරියටම හරි. රාජිනී අක්කට කවුරු හරි මොනවා හරි කියනවනම් පාරින්ද දැනගන්න ඕනේ ඒ වරද නිවැරදි කරන්න. ඔයාට මට වගේම රාජණී අක්කටත් ජීවිතේ යම් තැනකදි වැරදුනා. සුරංග අපි දෙන්නා අද දවසේ සතුටින් ඉන්නවා වගේම රාජිණීට ඒ සතුට හොයාගන්න අයිතිය තියෙනවා.”

“මං හිතන්නෑ ආපහු රාජිණී ඒ වගේ මෝඩකමක් කරයි කියලා”

“ඒක මෝඩකම නෙමෙයි සුරංග. එක පැත්තකින් ගෑනියෙක්ගේ  අසරණකම. කවදහරි දවසක රාජිණී අක්කගේ  කකුල් දෙක වැඳලා එයාගෙන් සමාව ගන්න වුවමනාව මට තියෙනවා.”

“ඒ මොකටද ඔයා රාජණීට  වරදක් කළේ නෑ මධාරා. ඔයා කලේ මං හොයපු ලෝකේ, හොයපු සතුට මගේ ළඟට ගෙනත් දීපු එක විතරයි.”

“මං ඇවිත් නතර වුණේ මට හිමි තැනක නෙමෙයි සුරංග. ආපස්සට හැරෙන්න බැරි තරම් දුරක් අද අපි හැමෝම අපේ ජීවිතවල ඇවිද ගෙන ඇවිල්ලා. සුරංග ඔයාට පුළුවන් නම් ඉසුරිගෙ ජීවිතයට මේ වෙන්න යන වරද නිවැරදි කරන්න.”

“මට තේරෙන්නේ නෑ මාධාරා…..මේවා කොහොම කෙලවරක් කරන්නද කියලා එක පැත්තකින් ඒ මගේ අක්කා. අනිත් පැත්තෙන් ලොකු පුතා කියලා කියන්නේ මගේ දරුවෙක් වගේ.”

“පාරින්ද කියන්නේ මොනම ගෑණියෙකුටවත් සුදුසු පිරිමියෙක් නෙමෙයි. මං එහෙම කියන්නේ ගොඩාක් දවසක් ඔයා කියපු දේවල් අහගෙන ඉඳලා. ජීවිතේ  යම් කාලෙක එයා ඉසුරිත් එක්ක ඉඳපු බව ඇත්ත. මං ඒක නෑ කියන්නෙ නෑ. ඒ උනාට අද ඉන්න ඉසුරිට පාරින්ද කොහොමටවත්ම ගැලපෙන්නේ නෑ. ආයෙත් වතාවක් මං ඔයාට කියනවා සුරංග සොරි මං ඔයාගේ ඔළුවට අනවශ්‍ය ප්‍රශ්නයක් දැම්මනම්. හැබැයි මං හිතනවා රාජිණි අක්කට වඩා දෙයක් තේරුම් ගන්න ශක්තියක් ඔයාට තියෙනවා කියලා.”

මධාරා නැගිට ගෙතුලට ගියේ එසේ පවසමින්ය. 

“දුවට චීස් මැකරෝනි ඕනි කියලා කියනවා ඔයත් කනවද සුරංග..”

යනුවෙන් ඕ මුළුතැන් ගේතුල සිට කෑ ගසන හඬ ඇසුණේ තවත් තත්පර කිහිපයකට පසුවය. තම බිරිඳගේ වදන් ඔත්සේ බොහෝ දුරක් ඇවිද ගිය සුරංග අවසන පාරින්දගේත් ඉසුරිගේත් ජීවිතයේ නොගැලපෙන තැන් මෙනෙහි කරන්නට පටන් ගත්තේය. 

“ඕකුන්ට හොඳ වැඩේ මාමේ… මොකක් නැති උනත් ඉසුරු ඉන්නෙත් අලි ඔලුවෙන්…”

සවස පාරින්ද ඒ  සා පහත් තැනකට දමා කතා කලේ තම දරුවන් ගැනය. එවේලෙහි තමා කෝප නොගැනීම පිළිබඳව ප්‍රථම වරට සුරංගගේ සිතට වේදනාවක් දැනෙමින් තිබිණ. 

                            ****************

ඉසුරිගේ නිවසේ සියල්ලෝම එක්ව ආහාර ගත්තේ බොහෝ දිනකට පසුවය. මිතුරාගේ නිවසට ගොස් කරුණු කාරණා පැහැදිලි කරමින් සොහොයුරාව කැඳවාගෙන ඒමට ඉසුරිට හැකි විය. 

“කවදාවත් අපේ තැන ඉඳලා ප්‍රශ්න දිහා බලන්න එපා මල්ලි. ප්‍රශ්න දිහා බලන්න ඕනේ අපි එයාලගේ තැනට ගිහිල්ලා. අම්මටයි තාත්තටයි දෙපැත්තට වෙන්න සිද්ධ වුණේ එයාලට එකට ජීවත් වෙන්න බැරි වෙච්ච නිසා. හැබැයි තාත්තා ඒ විදිහට ගෙදරින් පිටවෙලා යද්දී අම්මා අපි තුන්දෙනෙක්ගෙ බර කරපිටට ගත්තා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ගේ ඇතුලෙ කොච්චර අඩුපාඩුකම් තිබුණත් අපි තුන්දෙනා අද වෙනකල්ම එක වේලක්වත් බඩගින්නෙ ඉඳලා නෑ මල්ලි. අපි කොයි වෙලාවකවත් ඇහුවෙ නැහැ අම්මා කොහොමද අපේ බඩගින්න නිවන්නේ කියලා. ඔයාට සමහරවිට අද මං මේ කියන ඇත්ත තේරුම් ගන්න අපහසු වෙයි. ගෑනියෙක් පිරිමියෙක් කසාද බඳිනවා කියන්නේ නීතිමය පොතක එයාලා නම් ලියලා අත්සන් කරන එක විතරක් නෙමෙයි මල්ලි. ඒගොල්ලෝ ශරීරයෙනුත් එකට බැඳෙනවා. ඒක මානුෂීය අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය යම් කාලෙකදි මටත් ඔයාටත් නංගිටත් හැමෝටම පොදු වෙනවා. සහකාරයෙක් කියලා කියන්නේ ගෑනු කෙනෙකුට තමන්ගේ ජීවිතයේ හැමදේම බෙදා ගන්න පුළුවන් එකම එක කෙනා. ඒ ආදරය ඒ රැකවරණය ඒ ස්පර්ශය නැති උනහම ගෑනියෙක්ට හෝ පිරිමියෙකුට වේවා දරාගන්න ටිකක් අමාරුයි මල්ලි. අපි කවුරුවත් හිතුවේ නැහැ අම්මා කොහොමද ඒ මානුෂිය හැඟීම් දරා ගත්තෙ කියලා. දික්කසාද වෙලා තනිවෙච්ච ගෑනියෙක්ට සමාජය එක එක දේවල් කියන එක අමුතු දෙයක්වත් අලුත් දෙයක් වත් නෙමෙයි මල්ලි. එහෙම කෙනෙක් චුට්ටක් කොට ඇඳුමක් ඇන්දත්, කොන්ඩෙ කැපුවත්,  ලිප්ස්ටික් ටිකක් ගාගත්තත් මිනිස්සුන්ට පේන්නේ වැරදි විදිහට. දික්කසාද වෙච්ච ගෑනු කෙනෙක්ට මේ සමාජයෙන් ලැබෙන්නේ හරි අඩු ලංසුවක්. සමහර වෙලාවට ඒ ගෑනි ඕන කෙනෙක්ගෙ ඇඳකට ගන්න පුළුවන් කියලා මිනිස්සු හිතනවා. එහෙම හිතපු මිනිස්සු තමයි මුල්ම ගල ගහන්නේ. තමන්ට නොලැබුන දේවල් වලට  වෛර කරන්න ගන්නේ. අම්මට මිනිස්සු එක එක දේවල් කියනවා ඇති. සමහර විට ඒ කතා පතුරවන්නේ තමන්ගේ ලඟින්ම ඉන්න මිනිස්සු වෙන්නත් ඇති. ඔය දෙන්නම ඔළුවට ගන්න ඕනේ මෙන්න මේ කාරණය. අපේ අම්ම වැරදි කරනවා අපි කවදාවත් දැකලා නෑ. ඉතිං අපි කොහොමද අපේ අම්ම වැරදියි කියලා හිතන්නේ..

ජීවිතේ මේ බැරෑරුම් තීරණය ගන්නත් අම්මගේ මානුෂිය හැඟීම් වගේම අපිට ආදරයක් රැකවරණයක් දෙන්න ඕනෙ කියන හැඟීමත් සියයට පනහක්ම බලපාල තියෙනවා මල්ලි. ඇයි තාත්තා ගෙදරක ගෘහ මූලිකයා  කරන්නේ, ප්‍රධානියා කරන්නේ..අදටත් අපි හිතනවා ගෙයක් ඇතුලෙ තීරණ ගන්න ඒවා ක්‍රියාත්මක කරන්න ගැහැණු කෙනෙකුට වඩා බලයක් පිරිමි කෙනෙකුට තියෙනවා කියලා. මොකක්දෝ අවාසනාවකට අපේ අම්මට ඒ බලයත් ඒ හයියත් අහිමි වෙලා තියෙනවා. අම්මගේ වයස නෙවෙයි මල්ලි වැරැද්ද හිත. මොකද අසරණකම තදින්ම හිතට වදදෙන මොහොතක තමයි ඒ මනුස්සයා අම්මගේ හිතට ළං වෙලා තියෙන්නේ. අම්මා හිතන්න ඇති ඇයි තාත්තා වෙන මැරේජ් එකකට ගියා නං මට වෙන මැරේජ් එකකට යන්න බැරි කියලා. ඇයි මගේ දරුවන්ට තාත්තා කෙනෙක්ගේ ආදරය රැකවරණය ලබල දෙන්න බැරි කියලා. මොකද්දෝ අවාසනාවකට අම්මට උනේ ඒ පාරත් රැවටෙන්න..”

“ඒ උනාට අක්කේ මට මේ දේවල් ඇති වෙලා දැන්…”

“අම්මගේ හිත රිදෙන්න වචනයක්වත් කියන්න එපා මල්ලි. එයා දැන් රිද්දගෙන ඉන්නේ එක පැත්තකින් විතරක් නෙමෙයි. ඔයාට අම්මට මුහුණ දීලා කතා කරන්න අපහසුවක් දැනෙනවනම් එහෙම නොකර ඉන්න. හැබැයි තවදුරටත් අම්මගේ හිතට වරදකාරී හැඟීමක් දැනෙන්න ඉඩ තියන්න එපා. මොකද මේ ප්‍රශ්නවලදී අම්ම මොන තරම් මානසික පීඩාවක් වින්දද කියන්න ඔයාවත් මමවත් නංගිවත් අඩු තරමේ තාත්තවත් දන්නෙ නෑ.”

ඉසුරු පැවසූයේ සොහොයුරාගේ හිස අතගාමින්ය. නිවසට පැමිණියත් ඔහු රාජිණීටවත්  රාජණී ඔහුටවත් මුහුණ දුන්නේ නැත. එහෙත් අවසන රාත්‍රියට සෑදූ සුදු කැකුළු බතත්, බෝංචි ව්‍යාංජනයක් පරිප්පු හොද්දත්  මේසයට බෙදා ඉසුරි මල්ලිට කතා කළාය. ලූණු අමු මිරිස්  යොදා සකස් කල ඔම්ලට දීසිය මේසය මතින් තැබුවේ නැගණියයි. දෙවරක් තුන් වරක් පෙරැත්ත කිරීමෙන් පසුව අම්මා කෑම මේසය වෙත කැඳවාගෙන එද්දී ඉසුරු උන්නේ එහි වාඩි වී ගෙනය. 

                              ***********

පාරින්දගේ නිවස ගිනිගෙන තිබුනේ අනුන්ගේ ප්‍රශ්නයකටය. කිහිප වරක්ම සොහොයුරාට ඇමතුමක් ලබාදෙන්නට තැත් කළ පාරින්දගේ මව අවසන ජංගම දුරකථනය මේසය මතට විසි කළේ කෝපයෙන්ය. 

“මූ දන්නවා මං දැන් කතා කරන්නේ මේක අහන්න කියලා. මේ ගෑනිටනම් හොඳක් සිද්ධ වෙන්නෙ නෑ. ඕක අපේ පරම්පරාවේ මහ ගෙදර. ඒ  අයිතිය මටත් තියෙනවා. කාගෙන් අහලද මේ ගෑනි ගෙවල් දොරවල් උකස් තිබ්බේ. උඹ ඕක හවසම මට කිව්වනං මං එතනට ගිහිල්ලා ගම දෙවනත් වෙන්න දෙකක් කතා කරලා එන්නේ. ගේ උකස් කරලා සල්ලි අරගෙන මොන මිනිහටද දන්නේ නෑ පිදුවේ?. අපේ පරම්පරාවලටත් ඈඳුනානේ මෙහෙම ගෑනියේ…”

අනතුරුව කෑ ගැසුවේත් ඒ කෝපය පිටකර හරින්නට සේය. 

“ලොකු පුතා ගනින් ඉසුරිට කෝල් එකක්. උඹ⁣ට උත්තර දුන්නේ නැති උනාට ඒකි මට උත්තර දෙයි. මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ කියලා මං සහසුද්දෙන්ම අහගන්නම්කෝ. දැන් ඔය ගෑනි මහ උජාරුවට කිව්වේ දුවගෙ දෑවැද්දට ගේ දෙනවා කියලා. බැංකුවට සින්න වෙච්ච ගෙයක් වෙන්න ඇති දෙන්න හදන්නේ.”

“අනේ අම්මේ මං එයාට කතා කරන්න ඕනෙ වෙලාවට කතා කරගන්නම්. මටත් තියෙනවා එයා එක්ක ප්‍රශ්නයක් විසඳගන්න.” 

“උඹ ප්‍රශ්න විසඳනකොට බැරියැ. අරන් දීපංකෝල් එකක්ක් මට.”

පාරින්ද එවේලෙහි ඉසුරිගේ අංකයට ඇමතුමක් ලබා දෙන්නට තැත් කලත් ඒ දුරකථනය ක්‍රියා විරහිත කොට තිබිණ. 

“අම්මණ්ඩි වගේම කපටියි මේකිත්. ඕක අහයි කියල තමයි ෆෝන් එක ඕෆ් කරගෙනයි ඉන්නේ…”

“හරි මහ දුරක් නෙමෙයිනේ. මම හෙට උදේම ගිහිල්ලා අම්මණ්ඩිගෙන්  මේකෙ  ඇත්ත නැත්ත අහගෙන එන්නම්කෝ.”

ඕ දිගින් දිගටම කෑ ගැසුවා පමණක් නොව පරුෂ වචන කිහිපයක්ද පැවසුවාය. නිහඬව සිටියාට පාරින්ද වූයේත් දත් මිටිකමින්ය. මේ සා  බැරෑරුම් රහසක් ඉසුරි තමාට වසං කිරීම ගැන ඔහු කෝපයට පත්ව සිටියේය. කොහොමටත් ඊයේ පෙරේදා සිට ඇය හැසිරෙන්නේ තමාව ගණනකට නොගෙනය. ඒ රැකියාවේ උෂ්ණයයැයි පාරින්ද සිතුවේය. 

සවස මාමාව හමුවීමට ගොස් එන ගමනේදී මිතුරාගේ හිතවතෙකු හමු වූයේ නගර මධ්‍යයේදීය. මින් පෙරත් වතාවක් දෙවතාවක් පාරින්ද  හමු වී සිටි ඔහු තමාගේ පිටට තට්ටුවක් යෙදුවේ “උඹට කියන්නත් මට දෙයක් තියෙනවා…” යනුවෙන්පවසමින්ය. 

පසුගිය දිනවල ඉසුරිගේ කාර්යාලයේ තරුණයෙකු පැමිණ ඈ ගැන විස්තර සෙවූ බව පැවසූයේ ඔහුය. 

“මං ඉතින් උඹ ගැන ඔක්කොම විස්තර ටික කිව්වා. කවුද කෙල්ල ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි කිව්වේ. කෝකටත් ඇහැ ගහගෙන ඉඳින්. සමහර ගෑනුන්ට නිදහස හම්බුනහම කොච්චර දුර පියාඹනවද කියලා වැටහීමක් නෑ. ගෑණු අපි යටතේ තියාගන්න ඕනනම් කොහොමත් තටු කපල දාන්න ඕන. මේක මං උඹට කියන්නම තමයි හිටියේ. මගේ යුතුකම මම ඉෂ්ට කළා. උඹ  ඉස්සරහ ටික බලාගන්න.” 

පෙර දිනයේත් තරුණයෙකු ඇගේ නිවසට පැමිණ තිබේ. මේ දැන් ගොස් ඇගේ කනට දෙකක් දී ඒ කවුරුන්දැයි අසන්නට සිතුණු සිතුවිල්ල ඔහු යටපත් කරගත්තේ බොහෝ අසීරුවෙන්ය. කොහොමටත් මින් පසු ඇගේ තටු කපා දැමිය යුතු බව ඔහු තරයේම සිහි තබා ගත්තේය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්…)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles