ඉඩෝරයක මල් වැස්සක් – 51

ඉසුරිට කුමක් සිදුවීදැයි දැනගන්නට සහනුත් අශිකාත් දැඩි උත්සාහයක යෙදුණත් එය සාර්ථක වූයේ නැත. අවසන ඔවුන් විවිධ කතා මවන්නට විය. ඉසුරි ජයවර්ධන මහතා හමුවීමට ගියේ හංසිකා සමඟය. බිනර පැවසූ පරිදිම ඇය ඔවුනට කීවේ තමා පය පැටලී මුනින් අතට වැටුණු බවය. 

“හිතේ කලබලෙන් වැඩ කරද්දි එහෙම තමයි ඉසුරි. ප්‍රශ්න එන්නේ අපිව කලබල කරන්න තමයි. අපිට ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ. හැබැයි අපිට පුළුවන් ප්‍රශ්න පරද්දන්න. ඒකට ඔහොම කලබල වෙලා බෑ.”

විනාඩි කිහිපයක් ගතව යනතුරුම ජයවර්ධන මහතා ඉසුරිට උපදෙස් ලබා දුන්නේ කලබල නොවී ප්‍රශ්නවලට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවය. 

“දැන් බලන්න ඒ හදිසිය නිසා ඔයාට මීට වඩා ලොකු එක්සිඩන්ට් එකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔයා දන්නවද එහෙම වැටුනහම සමහර කෙනෙක්ගේ මේ නාස් පොල්ල කැඩිලා සෑහෙන කාලයක් හොස්පිට්ල් ඉන්න වෙන්න පුළුවන්. එහෙම උනානම් ඉසුරි ඔයාට අද මේ වැඩ කොටස මේ විදිහට කරගන්න බැරුව යනවා. අන්න ඒකයි කියන්නේ ප්‍රශ්න වලදි අපි කලබල නොවී උත්තර හොයන්න ඕනේ කියලා. කලබල වුනොත් වෙන්නේ තව ප්‍රශ්න වැඩි කරගන්න එක.”

“මට තේරෙනව සර්..”

“හරි ඔයා දැන් හංසිකා මැඩම්  එක්ක බැංකුවට ගිහිල්ලා ඒ ඕන කරන ඩොකියුමන්ට්ස්  ටික සයින් කරලා එන්න. මං හිතන්නේ සතියක් යන්න කලින් ඔයාට ලෝන් එක අතට ගන්න පුළුවන් වෙයි.”

“මම දන්නෙ නෑ සර් මේ වෙලාවේ මම සර්ට කොහොම ස්තුති කරන්නද කියලා. සර් මේ බේරගත්තේ මාව විතරක් නෙමෙයි. මගේ අම්මගේ, කිරි අම්මගේ, නංගිගේ මල්ලිගේ ජීවිතේ.”

යුවතිය එසේ පවසද්දී ඒ කොපුල් දෙපසින් කඳුළු බේරී  යමින් තිබිණ. හංසිකා ඇයගේ දකුණතින් අල්ලා ගත්තේ ඇයව සන්සුන් කරන්නටය. 

“මේ වෙලාවේ මට මේ විදිහේ ජොබ්  එකක් ලැබුණ  එක ගැන. සර්ල වගේ අය මට මුණ ගස්සපු එක ගැන මං දෙවියන්ටයි මේ විශ්වයටයි ස්තූතිවන්ත වෙනව සර්. අද මට දැනුනා මං හරි හයිය  ගෑනියෙක් කියලා. අපේ ජීවිතවල වැරදුනු එක තැනක් හරි අද මට ආපහු නිවැරදි කරන්න පුළුවන් උනා සර්…දැන් මම දන්නවා මට ජීවිතේ දිනන්න පුළුවන් කියලා. සර් මට මේ දුන්නේ ණය මුදලක් නෙමෙයි. මගේ ජීවිතයේ දිනන්න හයිය. මේ හැම දෙයක්ම පිටිපස්සේ තව එක්කෙනෙක් ඉන්නව සර්. ඒ යාළුකම මගේ ළඟ තියෙනකල් මං කවදාවත් පරදින එකක් නෑ.”

යුවතිය දෙවන වර එසේ පැවසූයේ ජයවර්ධනගේ දෙපා මත  තම දෙඅත් තබමින්ය. උපැස් යුවලින් වැසී තිබූ තාත්තාගේ දෑස්මත කඳුළක් මෝදු වී තිබෙන අයුරු හංසිකා හොඳටම දුටුවාය. ඇය සිය නැහැය ඉහළට ඇද ගත්තේ කඳුළු වලකා ගන්නට සිතාගෙනය. 

අම්මාත් සමඟ නිවසට පැමිණි පාරින්ද දිගින් දිගටම ඇයට බැන වදින්නට විය. ඇය කැඳවාගෙන ගියේ නැගණියට පවා බැන වැදුනේ “උඹ ඇස් දෙක පියාගෙන සිටියාදැයි” අසමින්ය. 

“මං ගියේ මගේ මහ ගෙදරට උඹේ කොහෙටවත් නෙමෙයි.”

“මගේ මහ ගෙදර… ගිහිල්ලා කරලා ආපු හරිය ඇතිනේ. දෙන්නට දෙන්න රෙදි ගලවගත්තේ ගමක්ම ඉස්සරහ. කොහොමද මං ආයෙ ඒ ගෙදරට ගිහිල්ලා අර කෙල්ලගේ මූණ බලන්නේ.”

“ඒවා උඹල කතා බහ කරලා කරගනින්. අද ගිහිල්ලා ඕකිට දෙකක් කතා කරලා ආවෙ නැත්නම් මේ අම්මා පපුවේ අමාරුව හැදිලා මැරෙනවා. උඹට ඒක ගැන කිසි ගානක් නෑ. උඹට විතරක් නෙමෙයි පණ දීලා හදාගත්ත සහෝදරයා කියන එකාට ගානකුත් නෑ.” 

“තාත්තටවත් තිබුණා මට කතා කරන්න. හොඳ වෙලාවට මට චින්තන පණිවිඩය ගෙනාවේ,  නැත්නම් එකෙක් මැරිලා නතර වෙන්නේ.”

“මං දන්නේ කොහොමද බං. මම හිටියෙත් පල්ලෙහා වත්තේ. මුං ගෙදර ඉන්නවද ගෙදරින් ගියාද මොකෝ මුං  මට කියලා යන ජාතියේ ගෑනුයැ.”

“ඇති පොලිසි නොගිල්ල නතර වුණා.”

“අහවල් එකකටද මාව පොලිසියට ගෙනියන්නේ. ඒකි තමයි පොලිසියට ගෙනියන්න ඕනේ. දහදුරාවේ ගිහිල්ලා ඉන්න හිටින්න දීපු තැනත් නැති කරගෙන. ඈ බං පුතේ.. ඉසුරිත් උඹට මේ ගැන කිසි දෙයක් කිව්වේ නෑ නේද. ඒකිත් දැන් වෙනද වගේ නෙමෙයි.”

“නෑ..නෑ එයාට ලැජ්ජ ඇති මට කියන්න.”

“දැන් ඔය ඒකිගෙ පඩියෙන්ලුනේ බැංකු ණය ගෙවනවා කියන්නේ. බැංකු ණය ගෙවලා ජීවත් වෙන්න තරම් ඒකිට පඩියක් තියෙනවද.?”

“ඇති…”

“ඇති කියලා අහන්නේ උඹට කියලා නැද්ද.”

“තිස් හතක් හතළිහක් වගේ වෙන්න ගන්නවලු”

පාරින්ද පැවසුවේ ඕනෑවට එපාවටය.

“ඒකෙන් තිස්දාහක් විතර ලෝන් එකකට කැපුනට පස්සේ කොහොමද මං  ජීවත් වෙන්නේ. උඹ ඔය හම්බ කරන සොච්චම ලෙවකන්නත් මදි එකේ උඹල ජීවත් වෙන්නෙ මේ ගස්වල කොල කාලද..”

“ඒක මං ඒ වෙලාවට බලා ගන්නම් අම්මා.”

“උඹ ඔය බලා ගත්තේ උඹෙත් කට විතරයි… උඹත් කොන්දක් ඇති පිරිමියෙක් නෙමෙයි.”

“මොන මඟුලක් කියනවද මන්දා……”

පාරින්ද කාමරයට වැදී දොර වැසුවේ උස් හඬින්ය.  වෙළුම් පටි වලින් වෙලා තිබූ දකුණත රිදුම් දෙමින් තිබිණ. ඉසුරුට දෙක තුනක් ඇන්නේ වම් අතින් වුවත් ඔහුගේ කමිස කොළරය අල්ලාගෙන සිටියේ මේ දකුණු අතින්ය. 

“තමුසෙ ගහපුවා වැදුනේ ඉසුරිට හලෝ. මං දැක්කා මූණ ඉදිමිලා තඩිස්සි වෙලා තියෙනවා.” 

සොහොයුරිය එසේ පැවසූයේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය. තමා ඉසුරුට ගැසූ පහරවල් මුවා  කරන්නට ඇය තැත් දැරූ අයුරු ඔහුට සිහිවූයේ එවේලෙහිය.

“හොඳ වැඩි ඕකිට…”යැයි උඩු සිත පැවසුවත් යටි සිත වේදනාවෙන් රිදුම් දෙමින් තිබිණ. මේ සිදු වූයේ හොඳක් නම් නොවේ. මාමාගේග අංකය සටහන් කරමින් දිගින් දිගටම නාද වූ ජංගම දුරකථනය පසෙකට දැමූ තරුණයා දෑස් පියා ගත්තේ සුවපහසු වන සේ ඇඳ මත දිග හැරීගෙනයය. 

                                      ****************

බිනර යුවතියව මුලින්ම කැඳවාගෙන ගියේ අග නුවර වූ විසල් ආපන ශාලාවකටය. එහි කෑම කෑමට වෙන වෙනමම ආවරණය කර තිබූ කුටි විය. ඒ එක් කුටියක එක් වරකට කිහිප දෙනෙකුටම අසුන් ගැනීමේ හැකියාව විය. බිනර කෑම වර්ග කිහිපයක්ම ඇනවුම් කලේ ඉසුරිගෙන් කිසිවක්ම නොඅසමින්ය. උදෑසන සිටම ඇගේ තඩිසි වී තිබූ මුහුණ දුටු තරුණයා උන්නේ ඉවසුම් නොදෙන තරම් කෝපයකින්ය. මාලිංගට වරක් දෙවරක්ම කතා කළ බිනර තම කෝපය ඔහු හා පැවසූයේ දත්මිටි කමින්ය.

“දැන් උඹට ඕනේ ඌට ගහන්නනං වරෙන් ගහමු. උඹ ඔතනට වෙලා දත්මිටි කන එකේ තේරුමක් නෑනෙ බං. ඒකෙන් වෙන්නේ ඉසුරි තවත් අප්සට් වෙන එක. කෙල්ලව හවසට චුට්ටක් කොහේ හරි එක්කරගෙන ගිහිල්ලා කන්න බොන්න අරන් දීලා සතුටින් තියන්න බලපන්. උඹ කියනවනං ඌට ගහන්න ඕනෙ කියලා මං ඕන වෙලාවක රෙඩි. හැබැයි මේ වෙලාවේ ඌට මොනවා හරි කරන්න ගිහිල්ලා අර පොඩි එකා අහුවෙයිද දන්නේ නෑ…”

 මාලිංග පැවසූයේ එසේය. එනිසාම බිනර තම කෝපය  සඟවා ගන්නට උත්සාහ දැරුවාය.

“ඉසුරි දැන් ඔයා කන්න ඕනේ. මොකද අද දවසටම ඔයා වතුර උගුරක්වත්  බීලා නෑ කියල මං දන්නවා.”

බිනර උස් හඬින් එසේ පැවසූයේ කෑම වර්ග සියල්ලම මේසය මතට රැගෙන ආවාට පසුවය. 

“අනේ දෙයියනේ..! මෙච්චර කෑම ගොඩක් කාට කන්නද බිනර. මට උවමනාව තිබුණා ඔයාට කියන්න මට හීතලට බොන්න මොනවා හරි අරගෙන දෙන්න කියලා. මට බඩගින්නක් නෑ බිනර. වෙන කල්පනාවක ඉඳපු නිසා ඔයා මේ තරම් කෑම ගොඩක් ගෙන්නුවා කියලා මම දන්නෙත් නෑ.” 

“ඉසුරි මාව තරහ ගස්සන්න එපා. තවම දැකලා නෑ නේද මට කේන්ති යනවා.  ඔයා ඔහොම බඩගින්නේ ඉදිද්දි මට ඉන්න පුළුවන් කියලා ඔයා හිතනවද. ප්ලීස්..මම අද දවල් කෑවෙත් නෑ. අපි දෙන්නම කමු. නෑ.. එපා ඔයාට කවන්න මට පුළුවන්.”

“එපා බිනර…..”

“ඔය ආපහු අඬන්න ගත්තා. අපි ප්‍රශ්න විසඳගමු ඉසුරි. මං ඔයාට බෙදන්නද එහෙනම්. බඩ ගින්නේ ඉන්න එක ප්‍රශ්න වලට විසඳුම නෙමෙයි ලස්සන ගෑනු දරුවෝ”

“චුට්ටක් බෙදන්න. මේ මං කන්නෙ ඔයාට කවන්න ඕන නිසා. මං නිසා ඔයා බඩගින්නේ ඉන්න ඕනෙ නෑ බිනර..මෙච්චර කෑම ගොඩක් ඇයි මෙහෙම සල්ලි නාස්ති කරන්නෙ. සල්ලි ඉස්සරහ මිනිස්සු මොන තරම් අසරණ වෙනවද කියලා ඔයා දන්නවද බිනර.”

“ඔයාට පුළුවන් තරම් කන්න. ඊට පස්සේ අපි මේ කෑම අර පන්සල ළඟ ඉන්න කාටහරි දෙමු. යන ගමන් නංගිටයි, මල්ලිටයි, අම්මටයි, කිරි අම්මටයි කෑම අරගෙන යමු. ඔයා විතරක් නෙමෙයි. අද ඒගොල්ලොත් සමහරවිට කිසිම දෙයක් කාලා නැතුව ඇති.”

“අනේ බිනර මට ඔයා කියනකල් ඒක අහන්නත් අමතක උනා. ඇත්ත… සමහරවිට ඒ ගොල්ලෝ හට්ටි මුට්ටි ඇරල බලලවත් නැතුව ඇති.” 

“ඔයා තවදුරටත් හිතනවද ඔයාගේ ලොකු අයියා ළඟ ඔයාට ජීවිතයක් තියෙයි කියලා.”

“මං අද මගේ ජීවිතය ගැන තීරණයක් ගත්ත බිනර.”

“අකමැත්තක් නැත්තං මට කියන්න පුළුවන්ද…” 

“මගේ අනාගතය, මගේ තත්වය මගේ ඉරණම කොහොම විසඳෙයිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි ලොකු අයියා කියන්නේ තවදුරටත් මගේ ජීවිතේ කොටසක් නෙමෙයි. ඔයාලට පින් බිනර ඒ තීරණය ගන්න මට උදව් කළාට. ඔයා, සුලක්ෂා මැඩම්  විතරක් නෙමෙයි මාලිංග අයියා, අද උදේ හංසිකා මිසුත් මට ඒ තීරණේ ගන්න උදව් කළා.”

“හංසිකා මිස් මොකද කිව්වේ..”

බිනර ඇසුවේ දෑස් ලොකු කරගෙනය.

“ඔයාගෙන් ලොකු අයියා ගැන අහලා තිබුණා කියලා කිව්වා. හංසිකා මිස් මට තදින්ම කිව්වා තවදුරටත් ඔයාගේ වටිනාකම ඒ වගේ මිනිහෙක් ළඟ බාල්දු කරගන්න එපා කියලා. ඒක මට විතරක් නෙමෙයි ගෑනු සංහතියටම ලැජ්ජාවක් කියලා…”

බිනර හිනැහෙමින් බලා සිටියේ කුඩා කුටියේ අඳුර පලවා හැර තිබූ ලා කහ පැහැති විදුලි බුබුළ දෙසය. මිතුරා පවසන පරිදි මේ කස හඬකි. ඒ පෙරහැර ළඟ ළඟම එන බව කරන්නා වූ දැනුම් දීමකි. 

“මට ඔයාගේ අතින් අල්ලගන්න ඕන බිනර. අනේ මන්දා මට මහා රැකවරණයක් දැනෙනවා ඔයා ලඟ ඉදිද්දී..ප්ලීස් මගේ අත අතාරින්න එපා.”

ඇය තම අතැඟිලි ඔහුගේ දිගු අතැඟිලි හා පටලවා ගනිමින් පැවසූයේ ගංගාරාමය දෙසට පාර පනිද්දීය. බිනර තමාගේ අතැඟිලි ඒ අත්ලට තද කළේ සිතා මතාමය. අවසන වැව රවුම අසල වූ බංකුවකින් අසුන් ගනිද්දී යුවතිය ඔහුගේ එක් උරයක් මත තම හිස හොවා ගත්තාය. 

“ඔයාට අඬන්න ඕනේනම් අඬන්න. කියන්න තියෙන ඕනෙම දෙයක් කියන්න මං අහගෙන එන්නම්.”

“කොහොමද බිනර ඔයාගේ ලඟදි මට මෙච්චර සැනසීමක් දැනෙන්නේ. ඔයා හරියට මට භාවනාවක් වගේ මම ටිකෙන් ටික නැගිටිනකල් මගේ ළඟ ඉන්නව නේද බිනර. හැමෝටම කියන්න මං ඔයාගේ හොඳ යාළුවෙක් කියලා. ලස්සන යාළුකං වලට ගැහැණු පිරිමි භේදයක් නෑ කියලා. එහෙම නැත්තං එයාලා ඔයා ගැන වැරදියට  හිතයි බිනර. ඔයා කියන්නේ වචනෙකින්වත් කිළිටි වෙන්න හොඳ නැති කෙනෙක්.”

“අඩ හෝරාවක් පමණ ගතව යනතුරු යුවතිය කියවූවාය. හැඬුවාය. බිනර ඒ සියල්ල අසා සිටියේ ඇගේ බඳ වටා අත දමා ඇයව සිය ගතට තුරුළු  කරගෙනය.”

“රෑ වෙනවා නේද ඉසුරි. ඔයා මීට වඩා රෑ වුණොත් ගෙදර අය බය වෙයි. කවුරු ඇවිල්ල කතා කලත් රෑට දොරවල් අරින්න එපා. හදිසියේ හරි පාරින්ද ආවොත් කිසිම දෙයක් නොවුනා වගේ වචනයක් දෙකක් හොඳින් කතා කරලා එයාව යවන්න. ඔයාට හිතෙනවනං මල්ලි ගෙදර තියාගන්න එක බයයි කියලා මං මාලිංගට කතා කරන්නම් මල්ලිව සතියකට දෙකකට එහෙ නවත්තමු.”

ඉසුරි හිස වැනුවේ මේ සියල්ලටම එකඟ වෙමින්ය. දැන් ඔහු පවසන්නක් ඇස් පියාගෙන පිළිගන්නට තරම් ඇය ඔහුව විශ්වාස කරමින් උන්නාය. යුවතිය සමඟම කුලීරියකට නැගී තරුණයා නිවසේ සියල්ලන්ටම කෑම ගත්තේ ඉසුරි එපායැයි පෙරැත්ත කරද්දීය. ඇය  බසයෙන් බස ගන්නා නැවතුම අසලටම පැමිණි තරුණයා ආපසු හැරුණේ ඇගේ හිස අතගා මොහොතක් ඒ දෑස් දෙස බලා සිටියාට පසුවය. ඒ උණුසුමෙන් රැකවරණයෙන් මිදුණු යුවතියට යළිත් දැනෙන්නට වූයේ බියක, තැතිගැන්මක හැඟීමකි. ඕ නිවස අසලින් බැස ගත්තේ යළිත් පරිසරය සාමකාමීව නිහඬව තිබියදීය. 

( හමු වෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles