ළතෙත් ආදර හැඟුම් ගංගා – 53

*නාද්‍යා සොනාලි සල්වතුර*

මම අහස්ගේ පිටට තට්ටු කරලා දරුවව සන්සුන් කරන්න ගත්තෙ බොහොම අමාරුවෙන් මංජුගෙත් උදව්වෙන් ගයාන්ව ගෙයින එළියට ඇදලා දැම්මයින් පස්සෙ.

 දැන් මොකද වෙන්නේ කියලා හිත අහද්දි මොලේ ඉඳන් ඒකට උත්තර දුන්නා දැන් ඉතින් වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. ඌ ඇත්ත දැනගත්තනෙ. දැන් ඌට තේරෙයි ඌ මොනතරම් විනාසයක්ද කළේ කියලා.

ඒ උනාට අනිත් පැත්තටම හිත ඇහුවම “ඌ ආයෙ මේ දරුවව අරගෙන ගිහින් තව විනාසයක් කරන්න හැදුවොත්?” කියන ප්‍රශ්නෙ ලඟඳි මම ඇත්තටම සයිලන්ට් වුණා.

මට ඕන උනේ ඉස්සර ගෙදරදි අඬන්නෝන උනාම ශවර් එක යට වාඩිවෙලා ඔහේ වතුරට මගේ කඳුළු තෙමාගෙන යන්න ඉඩ දෙනවා වගේ ඉඳගෙන කල්පනා කරන්න උනාට මේ වත්තෙ නාන ටැප් එක ළඟ ඒ සෙල්ලම් දාන්න මට විදියක් නෑ කියන එක මට මතක තිබ්බා. ඒ හන්දම ආයෙම අහස්ව ඇඳෙන් නිදිකරවලා මම කරේ බිම වාඩිවෙලා දණහිස් දෙක අස්සෙ ඔලුව ගහගත්ත එක මගේ ඇඟට දැනුණු මහන්සිය, වේදනාව කියන හැමදේටම වඩා මාව බය කරේ හිත කිව්ව “ගයාන් මේ දරුවව මගෙන් උදුර ගනිවීද?” කියන සැකේ. 

මම මගෙන්මයි ඇහුවෙ මම දැනගෙන හිටියද කියලා කවදහරි මෙහෙම දවසක් එනවා කියන එක. එහෙම නැත්තම් දරුවව මම සිංගල් මම් කෙනෙක් විදියට හදාගන්න හිතන එක නෙවෙයි මේ කතාව අවසානය කියන එක. මම හිතුවට මම සමහර දේවල් ඉවර කරා කියල ඒක එහෙම නොවෙන බවත් මේක අලුත් ආරම්භයක් කියන එකත් කියන ගමන් මම උන්නෙ මගෙ හිතයි මොලෙයි එක්ක සටනක.  සටන පටන් ගන්නේ පිටින් නෙවෙයි, ඇතුළෙන්. ගයාන් දැන් සටන් කරන්නේ මාත් එක්ක නෙවෙයි, ඌ සටන් කරන්නේ ඌ උගේ හිත අස්සෙන්ම හදාගත්ත මහ විකාරයක් එක්ක. සිහි කල්පනාව තියෙන මනුස්සයෙක් විදියට මං කොහොමද ඒ වගේ පිස්සෙක් එක්ක ෆයිට් කරන්නෙ කියන එක මම ඒ වෙලාවෙත් කල්පනා කරා.

කාන්ති අක්කාත්, මංජුත් උන්නෙ අපි ඊළඟට කරන්නෝන මොකද්ද කියන එක මගෙ කටෙන් පිටවෙනකම් මං දිහාවම බලාගෙන.

“දැන් මොකද්ද නංගියෙ අපි කරන්නෙ?” කියලා කාන්ති අක්කා අහද්දිත් මං උන්නේ ඒ විදියටම ඔලුව බර කරගෙන.

“මට තේරෙන්නෙත් නෑ අක්කෙ මොකද්ද මේ වුනේ කියලා. හැමදේම ලස්සනට ප්ලෑන් කරගෙන එද්දි මෙහෙම හෙන ගෙඩියක් පාත්වෙයි කියලා කවුද හිතුවෙ? අනේ මට තේරෙන්නෙ නෑ අක්කෙ මං මොකද්ද කරන්නෝන කියලා. මට හරි බයයි ගයාන් ඇවිල්ලා දරුවව අරගෙන යයි කියලා”

“එහෙම මේ අරන් යන්න යකෝ මේක උගෙ වත්තද? පරයා එදාට තමා දැනගන්නෙ මේ මංජු කවුද කියන එක. ඇයි යකෝ අපේ වත්තවල් වලට ඇවිල්ලා මේ එක එක හු&%4වල් කරන්න පුලුවන් කියලා හිතන් ඉන්නවා නම් ඒවා ඉතින් වානා” කියලා මංජු කිව්වට කටෙන් දාන සෙල්ලම් ඇත්තටම ප්‍රශ්නයක් උනාම ඒ විදියටම එක්සිකියුට් කරන්න බෑ කියන එක දැනගෙන උන්න හන්දම මට වෙනදා වගේ ඒ වචන වලට හිනාවෙන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. 

මං උන්නෙ හිත අස්සෙ පටන් ගත්ත ගින්නක් හන්දා හීතල වෙලා ගිහින්. මංජුගේ කේන්තිය හොඳයි, ඒත් ගයාන් කියන්නේ මංජුට නවත්තන්න පුළුවන් පිස්සෙක් නෙවෙයි කියන එක ඒ හීතල මට කියලා දුන්නා.

“මංජු, උඹ කට වහපං. උඹ දන්නෙ නෑනෙ බං ඒ මිනිහා මෙතන ඇවිල්ලා නැටුව නාඩගම. උඹ ආවෙ අන්තිම මොහොතෙනෙ. අපි දන්නවද තනියෙන් ඇවිත් ඔච්චර හරියක් කල එකේ ඌ තව කාණ්ඩයක් එක්ක ආවොත් කොච්චර දරුණු වෙන්න පුළුවන්ද කියලා. ඌට මේක මේ සෙල්ලමක් වගේ වෙන්නැති. ආයෙ ඌ ආවොත් ලෑස්තිවෙලානෙ. ඌ දැන් දන්නවා මේ ගෙවල්වල කී දෙනෙක් ඉන්නවද අරවද මේවද කියන ඔක්කොම. එහෙමෙකේ මේ ගෑනු දෙන්නෙක්ටයි තනි පිරිමියා වෙච්ච උඹටයි පුළුවන්ද උං එක්කලා හැප්පෙන්න” කියලා කාන්ති අක්කා අහද්දි තමයි මංජු ඇත්තටම කට වහගත්තෙ. මං ඒත් උන්නෙ ඒ කිසිම දේකට කිසිමාකාරෙක උත්තරයක් නොදී. 

“ඇත්තටම දැන් නංගියේ මොකක්ද අපිකරන්නෙ? අපි රෑට මෙතන තනියෙන් ඉන්නේ කොහොමද කියන එකත් අපි හිතන්නෝන නේද? අපි දෙන්නා නම් ඕන එකක් නංගියෙ. ඒ උනාට මේ පොඩි දරුවෙක් එක්ක ගෑනු දෙන්නෙක් කොහොමද නංගියෙ ඔහොම මනුස්සයෙක් එක්ක හක්කලං කරන්නෙ. මංජු, උඹට පුළුවන්ද අද රෑට මෙතන ඉන්න?” කියලා කාන්ති අක්කා අහද්දි ඇත්තටම මාත් කල්පනා කරා හදිසියේ හරි ගයාන් රෑට ආවොත් අපිට පිහිටක් වෙන්න කෙනෙක් නෑ නේද කියලා.

“මම ඉන්නම්, කාන්ති අක්කේ. මම අද රෑට මේ දොර ළඟටම වෙලා හරි ඉන්නම්. මට ඉන්න එක ප්‍රශ්නයක් නෑ. එන්නෙ නැතෑ ඕක කොයි වෙලාවෙ හරි. මං එදාට කනවා ඕකගෙ කැවුත්ත”

මම බිම ඉඳන් නැගිට්ටෙ මංජුගෙ ඒ වචන එක්ක. මගේ කකුල් දෙක රිදෙනවා. ඒත් ඒක දැනෙන්නේ නෑ. මොකද ඊට වඩා මගෙ හිත රිදෙනවා.

“ගයාන් දැන් දන්නවා අක්කෙ මේ දරුවා තමයි මගේ දුර්වලකම කියලා. ඌ ආයෙත් ඇවිත් දරුවව අරගෙන යන්න හදන්නේ නැති වෙයි මොකද මේ රටෙ නීතිය කියලා දෙයක් තියෙනවා කියන එක මිනිහා දන්නවා ඇතිනෙ. හැබැයි මට හරි බයයි ඌ මේක පාවිච්චි කරයි මාව ආයෙත් ඌගේ ලෝකෙට ඇදලා ගන්න.”

මම ඇඳ ළඟට ගිහින් අහස්ව තව ටිකක් ලං කරලා, එයාගෙ තාම කිරි සුවඳ හමන පුංචි නළල ඉම්බා. තමන් මේ සටන දිනන්න සූදානම් කියලා හිත කියන එකම අම්මා කෙනෙක්ට දරුවෙක් වෙනුවෙන් ඕනම සටනකට බය නැතුව ඉස්සරහට යන්න දෙන ලොකුම ලොකු මෝටිවේශන් එකක්.

මම කළින් වතාවෙ ගයාන් ලඟදි දණින් වැටිච්ච එක හරි. හැබැයි එදා ඉඳියෙ නාද්‍යා කියන කෙල්ල.දැන් ඉන්නෙ ඒ කලින් හිටපු, ගයාන්ට බයේ හුළඟටත් ගැස්සිලා ගිය දුර්වල කෙල්ල නෙවෙයි. මේ ඉන්නේ තමන්ගේ දරුවා පරිස්සම්කරගන්න එක වෙනුවෙන් ඕනම වල් සතෙක් එක්ක ෆයිට් කරන්න නියපොතු උල් කරගත්තු අම්මා කෙනෙක්.

ගයාන්ට මේ දරුවා ඕන නම්, ඌට මුලින්ම මාව මරන්න වෙනවා. ඌට මගේ ළඟට එන්න බෑ.මොකද මං ඒකට ඉඩක් තියන්නෙ නැති හන්දා. 

අහස්ගේ හුස්ම, හරිම සුවඳයි, ඒ වගේම හරිම සැහැල්ලුයි. මගෙ හිතේ එවෙලෙ තිබ්බ බරෙන් ටිකක් හරි නිදහස් කරන්න ඒ සැහැල්ලු හුස්මට පුළුවන් වුනා. මගේ හිතට හැම හයියක්ම එන්නේ ඒ හුස්ම එක්ක. ගයාන් වගේ පිස්සෙක් එක්ක හැප්පෙන්න සිහිකල්පනාව තියෙන එකෙක්ට බෑ. ඒකට මමත් පිස්සුවක් හදාගන්න ඕන. 

දරුවා වෙනුවෙන් මට ඒක කරන්න බැරි කමක් නෑ. 

මම තව ටිකක් අහස්ව මගෙ පපුවට තුරුළු කරගත්තා. 

ඒ එක්කම මට මතක් වුණා,

“මං කොහොමද, මං මොනවද තාරානාත්ට කියන්නෙ කියලා”

ඒ හැඟීම මගේ හිත අස්සට කඩං වැදුණේ අලුතෙන් බිඳිලා ගියපු වීදුරු කෑල්ලක් ඇවිත් මස් අස්සෙ ඇමිණුනා වගේ. අහස්ගේ සුවඳ හුස්ම අතරින් තාරානාත්ගේ ඇස් මට මතක් වුනා. මං වගේ ගෑනියෙක්ට මහ මෙරක් ආදරේ දුන්න ඒ මනුස්සයා මේ ගින්නට මැදිහත් කරගන්න මට අයිතියක් නෑ කියන එක වගේම මම එයාට මේ විස ටික පොවන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියන එක මම කල්පනා කරා. මට මේ සටන තනියෙන් දරන්න කොන්දක් තියෙනවද කියන එක මම කල්පනා කරා. මම අහස්ව තව තදින් පපුවට තුරුළු කර ගත්තෙ ඒ උත්තර නැති ප්‍රශ්නවල බරින් මිදෙන්න වගේ.

සමහර වෙලාවට අම්මලට දරුවන්ගේ සතුට වෙනුවෙන් මේ ලෝකේ තියෙන හැමදේම අතාරින්න වෙන තැනුත් එන්න පුළුවන්.

මගේ ලෝකෙ මට අතාරින්න වෙන්නෙ තාරානාත්ව වෙන්නත් පුළුවන්.




අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles