ඉඩෝරයක මල් වැස්සක් – 52

සුලක්ශා  හංසිකාගේ නිවසට පැමිණියේ රාත්‍රියකය. හංසිකාගේ විවාහයේ වැඩ කටයුතු භාරදී තිබුණේ සුලක්ශා  දන්නා හඳුනන විවාහ මංගල්‍යය සැලසුම් කරනා ආයතනයකටය. හංසිකාගේ දෙවැනි මනමාලිය ලෙස පෙනී සිටීමට නියමිත වූයේත් සුලක්ශාය. මංගල උත්සවය සැලසුම් කරනා ආයතනය විසින් එවා තිබූ සේයා රූ කීපයක් නරඹමින් උන් මිතුරියන් දෙදෙනා දුටු බිනර කාමරයට නොගොස්ම ඔවුන් අතරට පැමිණියේය. මිතුරන් පිරිසක් හමුවට ගොස් සිටි ඔහු නිවසට පැමිණියේ එවේලෙහිය. 

“ඉසුරිගෙ වැඩේ හරිද මල්ලි?”

සුලක්ෂා ඇසුවේ එවේලෙහිය. 

“ඩොකියුමන්ට්ස්  ඔක්කොම බාර දීලා තියෙන්නේ බෑන්ක් එකෙන් ඇප්‍රවල්  කරලා තියෙන්නේ. මං හිතන්නේ තව දවස් දෙක තුනකින් එයාගේ අතට සල්ලි ලැබෙයි.”

“එක පැත්තකින් ඒක හරි පින්කමක්. අනිත් පැත්තෙන් අපි ළඟ වැඩ කරන කෙනෙක් ගේ ප්‍රශ්නයකට එහෙම මැදිහත් වෙන්න කැමති වුණා කියලා කියන්නේ ජයවර්ධන අන්කල්ලා උනත් හරි උතුම් මිනිස්සු.”

සුලක්ෂා පැවසූයේ සැබෑවටමය. ඔවුන් උපයමින් පොදි බඳිනා මිනිසුන් නොවේ. පසුගිය දිනවලත් දුෂ්කර ප්‍රදේශයක පාසලක වැසිකිළි පේළියක් ඉදි කිරීමේ කර්තව්‍යයකට සුලක්ෂාත් දායක වූයේ හංසිකාගේ ඉල්ලීම පරිදිය. ඒවා අන් සියල්ලටම වඩා උතුම් වූ පින්කම්ය.

“දැන් කෙල්ල මොකද කියන්නේ මල්ලි….”

“මං අක්කට කතා කළෙත් නෑ. ගොඩක් දේවල් උනා පහුගිය දවස්වල. දැන් ඒගොල්ලන්ගේ ගෙදරයි අර ලොකු අයිය කියන ගෙදරයි මිනිස්සු නයි වෛරයි. ඉසුරි කියන්නේ තමන්ගේ ආත්ම අභිමානය රැකගෙන හරි ලස්සනට ඉන්න ආස ගෑණු ළමයෙක්. එයා අද හවස මට කියනවා බස් එකෙන් බැහැලා බිම බලා ගත්තට පස්සේ එයා ආපහු ඔළුව උස්සන්නේ ගෙදර ගේට්ටුව දැක්කට පස්සේ කියලා. එයා ඒ තරං අපහසුවකින් අක්කේ ඒ සමාජෙ ඇතුලේ ජීවත් වෙන්නේ.”

“පව්…වැඩිහිටියෝ දුර දිග හිතන්නෙ නැතුව ගන්න තීරණවලින් දරුවෝ කොච්චර අසරණ වෙනවද. මම ෆැමිලි කවුන්සලින් තෝර ගත්තෙත් ඒ නිසාමයි. සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තා දෙපැත්තකට උනාට පස්සේ මානසික රෝගීන් බවට පත්වෙච්ච. ෆැමිලි එකක් ඇතුළෙ තියෙන්නෙ ආදරේ, බැඳීම, සෙක්ෂුවල් රිලේෂන්ෂිෆ් එකක් විතරක් නෙමෙයි යුතුකම් වගකීම් කියලා කොටසකුත් තියෙනවා.”

“ඉසුරිනම් හරි පව් තමයි. ඇත්තමයි සුලා මම  ඒ තරම් අහිංසක ළමයෙක් වෙන දැකලම නෑ.”

“මල්ලි,  ඒ ළමයට බැරිද ඉතින් ඒ ඉන්න පැත්ත මාරු කරන්න. මං කියන්නේ රෙන්ට් එකකට වගේ වෙන පළාතකට යන්න.”

“ඒවා අපි හිතන තරම් ලේසි නෑ සුලා. එයාලා කොහොමද රෙන්ට් එකක් ගෙවන්නේ”

එසේ පැවසූයේ හංසිකාය. 

“එයාලගේ ගෙවල් සාමාන්‍යයෙන් වැලි්‍යුබල් ප්ලේස් එකකද තියෙන්නේ.?” 

“ඔව්….මං හිතන්නේ…මහරගමට මෙහා මෙන් රෝඩ් එකෙන් බැහැගත්තට පස්සේ මීටර් දෙසීයක්වත් නැතුව ඇති අක්කේ.” 

“ඉතින් එයාලට පුළුවන්නේ ඒකෙ රෙන්ට් කරලා වෙන ගෙදරකට යන්න.”

“ඇත්තටම එහෙම පුළුවන් මල්ලි..ඔයා ඒ ගැන කතා කලේ නැද්ද ඉසුරි එක්ක.”

“නෑ පොඩි අක්කේ..එහෙම දෙයක් මට මතක් උනෙත් නෑ. අනිත් එක මේ දවස්වල එයා එයාගේ මල්ලි ගැන හරි බයෙන් ඉන්නේ. ඔය ලොකු අයියා කියන මනුස්සයා මඟකදි හරි හම්බවෙලා මල්ලිට කරදරයක් කරයි කියලා. ඒ ප්‍රශ්නෙත් විසඳෙනවා එතකොට”

“ඔව්.. ඔය කියන විදිහට ඉසුරිට තියෙන ප්‍රශ්නෙට හොඳම විසඳුම ඒක. අනිත් එක ඒ ගෙවල් දොරවල් තියෙන්නේ අම්මගේ නමටනං බය වෙන්න හේතුවකුත් නැහැනේ. මං හිතන්නේ එයාලට එහේ  දාලා එන්න තරම් වැදගත් දෙයක් නැතුව ඇති. ලොකු දුරකට නෙමෙයි මල්ලිටයි නංගිටයි ඉස්කෝලෙත් යන්න පුලුවන් දුරකට ආවොත් ප්‍රශ්නයක් නැහැනේ.” 

“ඒ දෙන්න කොහොමත් නුගේගොඩට එනවනේ අක්කේ  ඉස්කෝලේ යන්න. මං ඒ ගැන ඉසුරි  එක්ක කතා කරන්නම් අක්කා. ඔයාල දෙන්න වැඩ ටික කරගන්න. තෑන්ක්ස් ආ…මට දෙන ඇඩ්වයිස් වලට..”

“මේ… මේ…පැනල දුවන්න කලින් අපි දෙන්නටම අහන්න තියෙන එකම එක ප්‍රශ්නෙකට උත්තර දීලා යන්න. දැන් ඉසුරිගෙයි ඔයාගෙයි යාළුකම තියෙන්නෙ මොන වගේ තැනකද?” 

එසේ ඇසුවේ සුලක්ශාය. බිනර බිම බලා ගත්තේ හිනැහෙමින්ය. සැබැවින්ම ඔහු වෙනදාටත් වඩා ඉසුරිට ළංව උන්නාය. තම දෛනික ජීවිතයේ සිදුවන සියල්ල ඔහු හා පවසන්නට තරම් ඈ ඔහුව විශ්වාස කරමින් උන්නාය. ජීවිතයේ යම් යම් තීරණ ගැනීමේ දී ඔහුගේ අදහස් විමසන්නට තරම් ඈ ඔහුට බැඳී උන්නාය. සැක බිය හැර මට ‘අරෙහෙ යන්න ඕනෑ…මෙහේ යන්න ඕනෑ’යැයි පවසන්නට තරම් ඔහුව විශ්වාස කරමින් උන්නාය. 

“ඇත්තටම මල්ලි කියන්නකෝ…..”

“යාළුකමයි ප්‍රේමයයි අතර අතරමං වෙලා…..”

බිනර එසේ පැවසූයේ පෙර වූ සිනහවම මුව මත තබාගෙනය. සැබවින්ම දැන් ඔවුන් සිටියේ එතැනය. හිනැහෙමින් බලාවුන් පොඩි අක්කාගේ කොපුළකට තට්ටුවක් දැමූ බිනර එතැනින් ඉවත් වූයේ අඩියට දෙකටය. 

“දැක්ක නේද කොල්ලගේ හිනාව…”

“මං අපේ ලොකුත් එක්කත් ඊයේ පෙරේදා මේ ගැන කතා කලා සුලා. ලොකු කොහොමත් හරි වෙනස් අදහස් තියෙන කෙනෙක් නේ. එයා කියන්නෙත් මල්ලිට සැනසීමෙන් ජීවත් වෙන්න, සතුටින් ජීවත් වෙන්න පුළුවන් තැනක එයා නතර වෙනවනම් අපි ඒක පිළිගන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ කියලා. එයා කියන්නෙත් අපේ මේ බැඳීම් හැමදාම ගැට ගහලා තියාගන්න පුළුවන් කෙනෙක් තමයි බිනර ළඟට එන්න ඕනේ කියලා. ගමක ඉඳලා ආපු දුප්පත් ගෑණු ළමයෙක් වෙච්ච අපේ අම්මට තාත්තව හරි පාරක ගෙනිහිල්ලා අපිව මෙච්චර ලස්සනට හදන්න පුළුවන් වුනානම් ඉසුරිට අපේ ගොනාව හරි පාරක දක්කගෙන යන්න බැරිකමක් නෑ කියලා ලොකු කියනවා…”

හංසිකා පැවසූයේ සිය සිනහව ගිලගෙනය.

“ඒක මරු කතාව අපේ ගොනාව හරි පාරක දක්කගෙන යන්න බැරිකමක් නෑ…මටත් හිතෙනවා. කොල්ලගේ මූණ දිහා බැලුවහම ඌ හරිම තැනක නතර වෙලා කියලා.”

සුලක්ෂා පැවසූයේ යළිත් මිතුරියන් දෙදෙනා ඉදිරිපසවන ලැප්ටොප් පරිඝණකය දෙසට හැරෙමින්ය. 

                                       ************

සහන් සිටියේ මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගී වීගෙනය. මත් පැන් පානය කරමින් සිටි මිතුරන්ගෙන් එක් අයෙකු ඔහු දෙසට හැරුණේ ‘කොහොමද දැන් උඹේ ඔෆිස් එකේ ලව් එක’යැයි අසාගෙනනය. 

“ඒක ගැන මතක් කරන්න එපා බං. බලන් ගියහම ඒකි  මාර බඩුවක්. මූණෙන් පෙන්නන අහිංසකකම නෑ බං කෙල්ලන්ගේ හිත්වල”

“ඇයි ඒකී උඹට බූට්  එක තියලා තව කාත් එක්ක හරි යාළුවෙලාද?”

“අපේ ඔෆිස් එකේ ඉන්නවා බං බිනර කියලා කොල්ලෙක්. ඌ මොකට මේකේ වැඩ කරන්න එනවද කියන්න මං දන්නෙ නෑ. ඌ කාගේ කවුද කියන්න දන්නෙත් නෑ. මැනේජ්මන්ට් එකේ  එවුන් එක්කත් මොකක් හරි සම්බන්ධකමක් උගේ තියෙනවා. උඹලට කියන්න බන් ඌ අපිත් එක්ක තමයි වැඩට ගියේ. මෙලෝ සංසාර දෙයක් කරගන්න බෑ. ඒ වුනාට බං බොස් කතා කරලා ලංකාවේ උන්ගේ තියෙන බුක් ෂොප් දහයම බලන්න ඌට  බාර දුන්නා. 

අපිත් දැන් සමහර වැඩ කරන්න ඕනේ ඌ යටතේ. ඌ බං බොස්ගේ දුවටත් හේත්තු වෙලා ඉන්නේ. මේකි  අපි දැක්කහම මග ඇරලා ගියාට ඌ දැක්කහම ඇඹරෙනවා.”

“එහෙමද…”

“මචං ඌ අඳින්නේ බ්‍රෑන්ඩර්ඩ් ෂර්ට්. දාන්නේ බ්‍රෑන්ඩර්ඩ් සපත්තු. බඳින ඔරලෝසුවම ලක්ෂයක් විතර වෙනවා ඇති බං. අතේ තියෙන ෆෝන් එක අර ඇපල් එකේ ආපු අලුත්ම වර්ෂන් එක.” 

“ඒ කියන්නෙ බං ඌ සල්ලිකාරයෙක්නෙ.”

“ඒක තමයි මටත් තියෙන අවුල. මං දන්න තරමින්  උගේ සැලරි එකත් අපේ සැලරි එකම තමයි. එහෙම එකෙක් ඇයි බං මුං ගාව තුට්ටු දෙකට වැඩ කරන්නේ.”

“ඒකනං අවුලක් තමයි ඉතින්…දැන් උඹට හොඳින් හරි නරකින් හරි ඔය කෙල්ල ඕනෙමද?”

“ඕන නිසා නේන්නම් බං බලාගෙන ඉන්නේ. උඹත් බූරු ප්‍රශ්න අහන්න එපා.”

“උස්සමු ඉතින්..”

“ඇයි උස්සල බර බලන්නද…මෝඩ කතා කියන්න එපා බං. කෙල්ලෙක්ව පුළුවන්ද උස්සල ගෙනිහිල්ලා තියාගෙන ඉන්න. කොහොම හරි ඒ කෙල්ලගේ හිතේ මූ ගැන හැඟීමක් ඇති කරන්න ඕනේ. ඌ ගැන ආදරයක් ඇතිවෙන්න ඕනේ. උස්සල ගිහිල්ල කෙල්ලෝ තියන් ඉන්න පුලුවන්නම් මේ ලෝකේ හැමෝම ඒක කරයිනේ බං.”

එසේ පැවසූයේ තවත් මිතුරෙක්ය. ඉන්පසු මිතුරන් යම් යම් දේ කියවමින් සිටියත් සහන් වූයේ වෙනමම කල්පනාවකය. අද දහවලේත් එක්ව ආහාර ගනිද්දී බිනරගේ දෑස් ඉසුරිගේ වත  මත්තේ රැඳී තිබෙන අයුරු සහන් බලාගෙනය. මිතුරන් කුමක් පැවසූවත් ඔහුට වූයේ වෙනමම කල්පනාවකි. ඔහු මේ කල්පනාවෙහි උන්නේ දින කිහිපයක සිටය. ජයවර්ධනත් බිනරත් අතර වන විශ්වාසය පළුදු කළහොත් ඔහුට තවදුරටත් මෙම කාර්යාලයේ පැවැත්මක් නොමැත. ජයවර්ධන බොහෝ දුරට තමාගේ සේවකයන්ගෙන් විශ්වාසයත් වගකීම් ඉටුකිරීමත් සියයට සියයක් බලාපොරොත්තු වනබව සහන් දැන් දනී. බිනර අතින් සේවා ස්ථානයට තදින් දැනෙන යමක් සිදු වුවහොත් ජයවර්ධන මහතා ඔහුව එක තත්පරයක්වත් තමාගේ ආයතනය තුළ රඳවා නොගන්නා බව විශ්වාසය. සහන් පසුගිය දින කිහිපයේම විමසිලිමත් වූයේ ඔහුට එවන් වරදක් සිදුවිය හැකි ස්ථානයක් සොයන්නටය. ඔහු ජයවර්ධන ගෘප් එකෙන් පන්නා ගතහොත් ඉසුරිගේ සිත දිනා ගැනීමට තමා දන්නා උපාය මාර්ග ප්‍රමාණවත් වේයැයි සහන් සිතුවේය. මිතුරන් දැන් දේශපාලන කතාවකය. පමණට වැඩියෙන් මත්පැන් නොගත් සහන් ඔවුන් දෙස බලා සිටියේ ‘පාර්ලිමේන්තු යවන්න තිබුණේ මුං…’ වැනි අදහසකින්ය. 

                                    ***********

රාජිනීට යළිත් රැකියාවක් ලැබුණේ සුරංග දැන හඳුනාගෙන උන් මිතුරෙකුගේ මාර්ගයෙන්ය. ඒ පුද්ගලික ලීසින් සමාගමක තේ සෑදීමට සහ කාර්යාලය පිරිසිදු කිරීමටය. ඒ සඳහා ඇගේ සහයට තවත් මැදිවයසේ ගැහැණියක ද  විය. 

“අම්මා ගෙදර ඉන්න. අපි කොහොමහරි ජීවත් වෙමු.”

ඉසුරි එසේ පැවසූයේ වරක් දෙවරක් නොවේ. එහෙත්  රාජිනීට වුවමනා වී තිබුණේ දියණියව මේ වගකීම් වලින් මදකට හෝ නිදහස් කරන්නටය. 

“අම්මා ඒ රස්සාවට ගියපු දෙන් ඉසුරි. මමත් දන්න අඳුන තැනක් හින්දා හොයලා බලන්න පුළුවන්. මොලේ තියෙන මනුස්සයෙක් රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නෑ. රස්සාවක් කරන එක ගෙදරට වෙලා කල්පනා කර කර ඉන්න අම්මගේ මානසිකත්වයටත් හොඳයි. මෙතන වැඩ කරන්නේ පහළොවක් විතර. ඒ අයට තේ හදන එකයි ඔෆිස් එක අතුපතු ගාලා මොප් කරන එකයි අම්මට අමාරු දෙයක් නෙමෙයි. කරන රස්සාව නෙමෙයි පුතේ වැදගත් වෙන්නේ අපි ඒ තැන්වලට ගිහිල්ලා අපේ ආත්ම ගරුත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ කරන එක. ඔයා බයවෙන්න එපා….”

ඉසුරි යම් පමණකට හෝ අම්මාට එකඟ වූයේ තාත්තා එසේ පැවසුවාට පසුවය. අවසන බිනර පවා පැවසූයේ තාත්තාගේ වදන් නිවරදි බවය. 

ණය මුදල ලැබුනාට පසුව නිවස බේරා ගැනීමේ කටයුත්තට අම්මාත්, ඉසුරිත්, තාත්තාත් බැංකුව වෙත ගියේ එකටමය. අම්මා සිටියේ වෙනමම ලොවකය. ඇගේ දෑස් අග නිරතුරුවම කඳුලක් රැඳී තිබිණ. 

“අපි මිනිස්සුන්ට කොච්චර රැවටෙනවද ඉසුරි. ඒ මනුස්සයා මමත් එක්ක මේ හැම වැඩකටම බැංකුවට ආව ගියා. බොහෝම ආදරයෙන් මගේ ළඟට වෙලා හිටියා. අපේ අනාගතය ගැන කතා කළා. ඔයාලගේ අනාගතය ගැන කතා කළා. ඔයාලට පෙන්නුවේ නැතුවට ඉසුරු ගැන හැමදාම මගේ හිතේ බයක් තිබුණා. ඒ මනුස්සයා මට කිව්වා ඉසුරුව බිස්නස් එකකට යොමු කරමු කියලා.මං බලන් හිටියා එයා ගැන විශ්වාසෙන්. ආයෙත් යුතුකම්, වගකීම් එක්ක ආදරේ පිරිච්ච ජීවිතයක් මට ලැබෙයි කියලා හිතුනා. මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන්න යන්නේ කොච්චර පොඩි වෙලාවක්ද ඉසුරි. ඔයා ජීවිතේ හදාගන්න වෙන කිසිම කෙනෙක් දිහා බලන්න එපා. මම දිහා බලන්න ඒ ඇති. අම්මට වැරදුණු තැන් අවබෝධ කරගන්න ඒ ඇති.”

ඉසුරි රාජිනීගේ දකුණත තදින් අල්ලා ගත්තේ ඈ එසේ පවසද්දීය. ඇය උස මහත තරුණ පිරිමියෙකු සමග පැමිණ එහෙටත් මෙහෙටත් දුව පනිමින් බැංකුව තුළ වැඩ කටයුතු කරගන්නා ආකාරය ඉසුරිගේ දෑස් වලට මැවී පෙනෙන්නට විය. අම්මා තම රූපය ගැන වඩාත් සැලකිලිමත් වූයේ ඒ දිනවලය. ඇඳුම් පැළඳුම් ගැන වඩාත් සැලකිලිමත් වූයේ ඒ දිනවලය. අලුත් ජීවිතයක් පටන් ගන්නට බලාපොරොත්තුවක් ඒ සිතෙහි තිබෙන්නට ඇත. ආදරයට වයසක් හෝ තරාතිරමක් නොවේ. ආදරයට ගැහැණු පිරිමි භේදයක් නොවේ. මෙලොව වාසය කරන සතා සර්පයා පවා ආදරයට ප්‍රියය. ලෝබය. 

“හැම කෙනෙක්ගෙම බලාපොරොත්තු පතන විදිහටම ඉෂ්ඨ වෙනවානම් මේ ලෝකේ හැම කෙනෙක්ගෙම මූණුවල හිනාව විතරක් තියේවි අම්මේ..”

ඉසුරිට මෙවේලෙහි උවමනාවී තිබුනේ ඇයව බදා වැළඳගෙන සනහාලන්නටය. එහෙත් මේ පොදු ස්ථානයේදී එසේ කිරීමේ හැකියාවක් වූයේ නැත. 

“හරි රාජිනී….ඔයාට දැන් පුළුවන් මැනේජර් ළඟට ගිහිල්ලා ඔප්පුව ගන්න.”

එහෙටත් මෙහෙටත් දුව පනිමින් සේවකයන් හමුවෙමින් සියල්ල නිරවුල් කර ගැනීමට උදව් වූ සුරංග පැවසූයේ රාජිණිත් ඉසුරිත් වෙත ඇවිද එමින්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles