ළතෙත් ආදර හැඟුම් ගංගා – 60

*නාද්‍යා සොනාලි සල්වතුර*

“රස්සාවක් කියලා ඉතින් අපිට කරන්න පුලුවන් එකම දේ කිචන් හෙල්පර් කෙනෙක් විදියට කුස්සියෙ වැඩට අරගන්න එක තමයි. ඒ වගේ රස්සාවක් කරන්න පුලුවන් නම් සහ ඕකේ නම් හෙට ඉඳලා එනවද?

පඩිය කොච්චර වගේ බලාපොරොත්තු වෙනවද?”

කෑම හදන බිස්නස් එකක් තිස්සමහාරාම වගේ මිනිස්සු පූජාවල් වලට විතරක් එන පලාතක කරන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි කියන එක තේරුම් ගියාට පස්සෙ තමයි මම තව රස්සාවල් හොයන්න මහන්සි උනේ. අපේ ගේ තිබ්බෙ ගම ඇතුලට වෙන්න හන්දා වගේම වැව අද්දර කෑම කඩවල් දාන්න හොඳ තැන් කට්ටිය ඒ වෙද්දිත් අල්ලගෙන උන්න හන්දා අපිට එහෙමකට කියලා බිස්නස් හම්බුනේ නෑ. 

මාසයක් විතර වැඩේ කරගෙන ගියාට පස්සෙ වැඩේ පාඩුයි කියලා තේරුණයින් පස්සෙ අපිට කරන්න තිබිච්ච එකම දේ උනේ වෙන රස්සාවක් හොයාගන්න එක. අන්න ඒ විදියට තමයි මට තිස්ස වැව කිට්ටුවවම තිබ්බ පුංචි රෙස්ට් හවුස් එකක කුස්සියෙ වැඩට යන්න පුලුවන්කම ලැබුනෙ. මං වෙනුවට කාන්ති අක්කා ඒ රස්සාවට යන්නන්‍ය කියලා කිව්වට මං හන්දා තමන්ගෙ උන් හිටි තැන් පවා දාලා ආව වයසක ගෑනිව ආය කට්ට කන තැනකට ඇදලා දාන්න කිසිම උවමනාවක් මට තිබ්බෙ නෑ. ඒ හන්දා මම කැමැත්තෙන්මයි ඒ රස්සාවට ගියේ. මං එනකම් කාන්ති අක්කා ගෙදර ඉඳන් දරුවව බලාගත්ත හන්දා මට හිතේ ලොකු බරක්, බයක්, සැකක් නැතුව ඒ ගමන උදේ හවා ගිහින් එන්න පුලුවන්කම තිබ්බා.

මම හැම උදේකම ඉර එළිය වැටෙන්න කලින් ගෙදරින් පිටත් වුණා. කාන්ති අක්කා තමයි ළමයව බලාගන්න ගෙදර හිටියේ. මගේ දරුවාට එයාගේම ළමයට වගේ ආදරේ කරන, කවදාවත් මාව විවේචනය නොකරන, ප්‍රශ්න අහන්නේ නැති කෙනෙක් ළඟ ළමයා ඉන්නවා කියලා දැනගෙන හිටිය එක විතරක් මට ඇති වුණා ජීවිතේ ඉස්සරහට මූණ දෙන්න. ඒ නිසා මට දුකක්, වෙන් වෙනවා වගේ හැඟීමක් නැතුව මගේ රස්සාවට යන්න හයියක් තිබ්බා.

මම වැඩට ගියපු පුංචි රෙස්ට් හවුස් එකේ කුස්සිය මට දැනුණේ තවත් ලෝකයක් වගේ. අමුතු ලෝකයක්. මං නොදන්න, ගෙදර, කැම්පස් එක, වත්තෙ මිනිස්සුන්ට වඩා වෙනස් මනුස්සයො ඉන්න ලෝකයක් වගේ. අමනුස්සයෙක් හන්දා හරි මට එක එක තැන්වල ජීවත්වෙච්ච එක එක විදියෙ මනුස්ස ගති තියෙන මිනිස්සුන්ව අඳුරගන්න ලැබිච්ච එක ගැන මං හිතේ එක පැත්තකින් සන්තෝස වුණා.

ඒ වගේම මම ආවෙ කොහෙන්ද, කාගෙ කවුද කියන ඒවයින් එහාට ගිහිල්ලා එතන උන්න හැමෝටම මම මම නිකම්ම නිකන් ලූනු කපන, භාජන හෝදන, කන්න බොන්න එන නානාප්‍රකාර මිනිස්සු වෙනුවෙන්  හොදි ඒදන කරන තවත් අත් දෙකක් විතරක් වෙච්ච එකත් මට සන්තෝසයක් උනා. මිනිස්සු මං කවුද කියලා හොයන්න යන එකම මට ඕන නැති ප්‍රශ්න ඇති කරන්න හේතුවෙන විත්තිය දන්න හන්දම එහෙම හැංගිලා ඉන්න එක හොඳයි කියලා මම මටම කියාගත්තා.

ඒත් අමුතු විදියකට උනත් හිතට සැනසිල්ලක් ගෙනාපු දෙයක්.

ඒ කුස්සියේ කිසිම කෙනෙක් මම කවුද කියලා දැනගෙන හිටියේ නෑ.

මම කොළඹින් පැනලා ආවා කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ.

මට ජීවිතේ ඉතාම ලේසියෙන් එපා කරපු කෙනෙක් සහ මාව සම්පූර්ණයෙන්ම පිළිගත්ත තවත් කෙනෙක්, ඒ දෙන්නාම තමන්ගේ විදියට මාව හොයනවා කියලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ.

තාරානාත් එක්ක තනියෙන් ගෙවිච්ච වෙලාවල්, එයා මාව තුරුල් කරගත්ත, වඩාගත්ත, කිස් කරපු හැම මොහොතක්ම මතක් වෙද්දි දුවන් ගිහින් තාරානාත්ට තුරුල් වෙන්න තිබ්බා නම් හොඳයි කියල මට හැම දවසකම හැම විනාඩි ගානකට සැරයක්ම වගේ මතක් උනා.

කොයියම්ම මොහොතක හෝ තාරානාත් මාව හොයාගෙන ඇවිත් වඩාගෙන මාව කිස් කරාවි කියල මම බලාපොරොත්තු වෙච්ච අවස්තා තිබ්බා. එහෙම නෑ කියලා බොරු කියන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. 

ඒත් එහෙම කිසි දෙයක් උනේ නෑ.

සමහර වෙලාවට මම හිතුවා පැනලා ආව එක වැරැද්දක්ද කියලා.

මට සැනසීම මග ඇරිච්ච නිසා නෙවෙයි.

මට තාරානාත්ව මග ඇරිච්ච නිසා නෙවෙයි.

මට දාලා එන්න උන මිනිස්සු නිසා වත් නෙවෙයි.

මම දැනගෙන හිටියා මේ ජීවිතේ අමාරු වෙනවා කියලා. එහෙම නැත්තම් ලේසි වෙන්නෙ නෑ කියලා. අහස්ව බලාගන්න, පරිස්සම් කරන්න, සැප දෙන්න බලාගෙන අම්මෙක් විදියට ඇඟට දෙන්න වෙච්ච හැම දුකක්, වේදනාවක්ම, කට්ටක් කියලා කෙනෙක් හිතනවනම් මම උන්නෙ ඇත්තටම ඒක ගාණක් නැතුව දරාගන්න පුළුවන් මට්ටමක. ඇත්තටම මම දුක් වුණේ මේ ශරීරයට දැනුණු වේදනාව ගැන නෙවෙයි. මිනිහෙකුට තියෙන ලොකුම දුක කියන්නේ හිතේ වේදනාව. ඇඟේ තුවාලයක් වෙලා  රිදෙනකොට බෙහෙතක් දාලා හරි සනීප කරගන්න පුළුවන්. සනීප වෙන්නෙ නැති එකම දේ තමයි හිතේ ඇතිවෙන තුවාල කියන්නෙ. ඒවා එහෙම ලේසියෙන් සනීප වෙන්නෙ නෑ.

මම ගත්ත තීරණ, පැනලා ආව එක, දරුවව මෙහෙම තනි කරපු එක වගේ හැම තීරණේකම ප්‍රතිඵල නිසා මගේ ඇතුළේ ඇති වුණු දුක මට දැනුනෙ හිත ඇතුලෙ ඇතිවෙච්ච මහ ගින්නක් මාව චුට්ට චුට්ට පුච්චලා දානවා වගේ. මගේ හිතේ කොනක ඉඳන් කවුරු හරි “උඹ කලේ වරදක්” කියලා කෑගහනවා කියන එක මට ඇහුණා.

ගයාන් වගේ සතෙක්ගෙන් බේරෙන්න පැනලා ආව එක කොච්චර හරි වුණත්, තාරානාත්ව, මාව විශ්වාස කරපු එකම මනුස්සයාව දාලා ආපු එක ගැන මං උන්නෙ කවදාවත් මට සමාව දෙන අදහසක නෙවෙයි.

මංජු අපිව බලන්න තිස්සෙ ආවෙ අන්න එහෙම දවසක.

“තාරානාත් මහත්තයා පිස්සෙක් වගේ නාද්‍යා හැසිරෙන්නෙ” කියලා මංජු කියද්දි හිත කොච්චර ඇඬුවත් මං මූණෙන් ඒ කිසිම වේදනාවක් පෙන්නන්න හිතුවෙ නෑ.මට කරන්න පුලුවන් වෙච්ච එකම දේ මහ හයියෙන් හුස්මක් හෙලන එක විතරයි. ඒ හුස්මට අහුවෙලා පපුව අස්සෙ පත්තුවෙන ගින්දර නිවෙයි කියලා මං හිතුවට මට ඇත්තටම එවෙලෙ අමතක වෙලා තිබ්බෙ හුලං පාරකදි ගින්දරක් කරන්නෙ තව තව ඇවිලෙන එක කියන එක.

“මොනා කියලා කරන්නද මංජු. මං තාරානාත් එනකම් හරි එයා මේ ප්‍රශ්න විසඳනකම් කොළඹට වෙලා උන්න නම් වෙන්නෙ ගයාන් මගෙ දරුවව අරගෙන ගිහිල්ලා මට පිස්සෙක් වෙන්න වෙන එක. එහෙමෙකේ මේ වෙච්ච දේවල් මෙහෙම වෙච්ච එක හොඳයි. තාරානාත් මහත්තයා කවදහරි හිත හදාගන්නෙ නැතෑ”

“ඔයා එහෙම හිතුවට මං නම් හිතන්නෙ නෑ ඒ මනුස්සයා ඉන්නෙ එහෙම හිත හදාගන්න පුලුවන් මට්ටමක කියලා. බිස්නස් වැඩත් වෙන යාලුවෙක්ට බලාගන්න දීලා අතන මෙතන ගිහින් නාද්‍යාවයි දරුවවයි හොයනවලු. ඊටත් එහා අමරසූරිය මට කිව්වෙ හැමදාම දැන් හවසට බාර් එකට යන එකලු කරන්නෙ.

ලොකු මහත්තය ආය ලංකාවට ඇවිල්ලා මේව දැකලා ලෙඩ වෙයි කියන බයට එහෙ නෑයො ලොකු මහත්තයව එංගලන්තෙම නවත්තගෙන. තාරානාත් මහත්තය විතරලු ගෙදර ඉන්නෙ”

“ගයාන් ආය වත්තට ආවද?”

“වත්තට ආව නම් එකක්. ඒ යකා තාරානාත් මහත්තයලගෙ ගෙදර ගිහින් හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බ පහුගිය දවසක.

මට කිව්වෙත් අමරසූරිය. තාරානාත් මහත්තයා ගහන්න ගිහින් පොලිසිත් යන්න වෙලා අන්තිමේ”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles