දෑත දරා – 83

මනුජ පියවි සිහියත්, අඩ සිහියත් අතරේ දෝලනය වෙමින් යහනේ  හිඳ උන්නේය. සින්දුපා යහනේ කොනක හිඳ උන්නේ මනුජ දෙස නොබලාය. මනුජ විටින් විට සින්දූපා දෙස බලමින්, ඇයට කුමක් පවසන්නටදැයි සිතමින්, තම හිසද, ගතද මෙතරම් රිදුම් දෙන්නේ ඇයිදැයි සිතමින් උන්නේය. මනුර්‍යා  හා සමඟ වූ කතාබහට පසු මනුජගේ හැසිරීම් පිළිබඳව බොහෝ දෑ අවබෝධ කරගෙන උන් සින්දූපා උන්නේ ඔහු හා සමඟ වන කෝපය සමඟින්මය.

“ දරුවාට ගැහුවේ ඇයි ?…”

සින්දූපා එක්වරම මනුජ දෙස හැරී ඇසුවාය. මනුජ කිසිවක් නොමැති බව පවසන්නට හිස සැලුවේය. සින්දූපා ඉන් තවත් කෝප ගත්තාය.

“ දරුවා තාම ඉන්නේ ශොක් වෙලා.. සමහරවිට, කවදාවත් ආයේ ඔයා ළඟට ආදරෙන් නේන්නත් පුලුවන් …. ඔයාට තේරෙනවාද ඔයා කරන කියන දේවල් වල තියෙන බරපතලකම ?…”

සින්දුපා දැඩි හඬකට ආරූඩ වෙමින් ඇසුවාය. මනුජ ඉන් තිගැස්සුණා වුවද උන් අඩ සිහිය නිසාම, කිසිවක් නොපවසා ඉවතක් බැලුවේය. සින්දූපාගේ කෝපය ඉන් තව තවත් ඇවිස්සුණි.

“ ඔයා ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි නම්, මම එලියෙන් ඉඳලා එන්නම් කමාන්ඩර් මනුජ ….”

සින්දූපා වේගවත් වචන පේලියකින් දම ගසමින් යහනෙන් නැගිට්ටාය. මනුජ එක්වරම යහනේ උන් ඉරියව්වෙන් සින්දූපා දෙසට දිග ඇදී, ඇගේ අතින් අල්ලා ගත්තේය.

“ යන්නෙපා …”

“ විකාර … බේබද්දෙක් වගේ බීලා බීලා නැහෙනවකෝ …”

සින්දූපා ඔහුගේ අත ගලවා ගන්නට උත්සාහ කරමින් කීවාය. එහෙත් මනුජ  සින්දූපාට වඩා සවිමත්ව නැඟුනේය.

“ බයින්නෙපා … මාත් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක් ..  රිදෙනවා.. දන්නවාද ?… මගේ මෙන්න මෙතන හරියට රිදෙනවා….. කරන්න දෙයක් නෑ .. රිදෙන්න ඕනි … තව රිදෙන්න ඕනි … නේ ?… නේ ?…”

ඔහු සින්දූපාව ඔහු වෙතට ඇද ගනිමින් විමසුවේය.  ඊළඟ තත්පරයේ සින්දූපා උන්නේ ඔහුට නතුවය.

“ යන්න දෙන්න … නිදාගෙන , නැගිට්ට වෙලාවක කතා කරමු …”


ඔහු සිදු කරන්නට සූදානම්ව ඇත්තේ කුමක්දැයි තවත් විමසා වටහා ගන්නට දෙයක් නොමැති වග සින්දූපා දනි. එනිසාම තහවුරු කරගන්නට කාරණා නැත. ඔහු, ආදරයේ නාමයෙන් ආදරය අත් හරින්නට සූදානමින් හිඳ ඇත.

“ තනියෙන්ද ආවේ සින්දූ ?.. කකුල කොහොමද ?..”

“ මං ගැන හොයන්න කරදර  වෙන්න ඕනි නැ .. මට මතකයි නේ කියපුවා …”

“ මරන්නද හදන්නේ  මාව ?…”

මනුජ වඩ වඩා සංවේදී රෝමාන්තික හඬකට මාරු වෙමින් උන්නේය. ඔහු සැබැවින්ම ඕ අසල දියවී ගොස් උන්නේය. තවදුරටත් තමාගේ සැළසුම් මතම තමා  ජීවත් විය යුතුද යන්නවත් ඔහුට සිහියක් වූයේ නැත.

“ තව පොඩ්ඩෙන් මැරෙන්නේ මාව…. නිදාන්න මනුජ …”

සින්දූපා ඉවතට වන්නට උත්සාහ කරමින් කීවාය.  එහෙත් මනුජගෙන් ඉඩක් වූයේ නැත.

“ නිදාගන්න  ඕනි .. ඒත් යන්නෙපා.. ඇහැරෙනකල් මෙහෙම ඉන්න ටිකක් … ඇස් දෙක වහලා ආයේ ඇරෙන ඩිංගට ඔයා යාවි කියලා හිතට බයයි සින්දූපා…”

“ අනේ මනුජ .., ඔයාට මාව ඔය කියන තරමට වටිනාකමක් තිබ්බා නම් ඔහොම නෙවෙයිනේ ඔයා හැසිරෙන්නේ.. මලයාලම් ෆිල්ම් වල ඉන්න කොල්ලෝ වගේ, නාඩගම් පිටපත් ලියාගෙන, හතර වටේ මිනිස්සු හවුල් කරගෙන ඒවා රඟ පපා .. ඔයා මාව නැති කරගන්නවාද ?… මට නම් ඔයාගේ මේ වචනත් නිකම්ම නිකම් වචන … ඔයා කොච්චරක් කොහොම මොනවා කිව්වාත්, එදා මට ඔයා කීව වචන අමතක කරන්න බෑ මට …. ඔයා නෙවෙයි, එදා මමයි මැරෙන්නේ…”

මනුජ සින්දූපාගෙන් ඉවතට වූවාය. ඉන් පසුව යහනේ පසෙකට ගුලි වූයේය.

“  අපි කවුරු කවුරුත් කාගේ කාගේ හරි කතාවක දුෂ්ඨයා වෙන බව මම දැනගෙන හිටියා .. හැබැයි,  මං දැණ් දන්නවා, ඔය හැම හැමෝගේම කතාවල දුෂ්ඨයා මම කියලා… ඒකට කමක් නෑ … කොහොමත් දැන් මට කෙලවිලා ඉවරයි ….  මට හෙණ ගහපු දෙන් සින්දූ ..උඹට හොඳක් වෙනවා නම් …. “

මනුජ සින්දූපාට නොවැටහෙන සේ යමක් පවසමින්, නින්දට වැටුනේය. සින්දූපා මදල් නැවී ඔහුගේ හිස්මුදුන සිම්බාය.

“ සිහියෙන් කතා කරමු …”

ඇය ඔහුට නෑසෙන සේ සෙමින් කීවාය.

සින්දූපාගේ දෙමාපියන් , මනුජගේ දෙමාපියන් සමඟ වූ කතාබහ සුහද කතාබහක් තෙක් දිග් ගැස්වී තිබුණි. සින්දූපා විත් ඔවුන් අසලින් හිඳගත්තාය. සැබැවින්ම තම දෙමාපියන් තුළ සිදුවී ඇති වෙස් පෙරලිය කුමක්දැයි ඇයට වටහා ගන්නට උත්සාහ කරන්නටවත් හැකි වූයේ නැත.

“ අපේ මිනිහා මොකක්ද කියන්නේ ?…”

මනුජගේ පියා සින්දූපාගෙන් විමසුවේ බැරෑරුම් බවක් එක්කය.

“ නිදි අංකල් … “

“ බීලා බීලා ….”

මනුජගේ මවගේ ඉඟියෙන් පියා ඉන් නැවතුනේය.

“ කොල්ලාගේ හිතේ වේදනාවට බොන්න ඇත්තේ … ඕක හරියාවි නින්දක් දාලා නැගිට්ටම … කොච්චරක් හයි හත්තිය තියෙන මිනිස්සු උනත් ගෑණුන්ගේ අහිමිවීම් ඉස්සරහ දියවෙලා යනවා… ඒ ගෑණි තමන්ගේ  ජීවිතේ වඩාම වටිනා ගෑණි උනාම උන්ට දියවෙන වෙලාවක් ගැනවත් අදහසක් ගන්න ඉඩක් දෙන්නේ නැතුවයි දියවෙන්නේ….”

සින්දූපා තම පියාගේ පැහැදිලි කිරීමෙන් තව තවත් පුදුමයට පත් වෙමින් බලා උන්නාය. පියා මෙලෙසින් වන කාරණා පවසන්නේ කෙලෙසදැයි කියාවත් ඇයට වැටහුණේ නැත.

මනුර්‍යා සියලු දෙනාට තේ පානය සඳහා ආරාධනා කලාය. දියණිය යලි සින්දූපාගේ ඇසුරට වැටී උන්නාය. හෝරාවකට පමණ පසු, සින්දූපාගේ දෙමාපියන් නිවෙස බලා පිටත් වූයේ සින්දූපා රැගෙන යන්නට පැමිණෙන්නට අවශ්‍ය වූ විට ඇමතුමක් දෙන ලෙසින් පවසාය්ට.

“ අපේ තාත්තාට මොකක්ද ඒ වෙලා තියෙන්නේ විශ්ව අයියේ ?…”

“ මට සම්පූර්නෙන්ම කොයිල් වෙලා ඉන්නේ ඕයි… මිනිස්සුන්ට වෙස් පෙරලෙනවා… සංස්කෘතිකයි … එකඟයි.. ඒත් මේක …”

“ මට හිතාගන්නත් බෑ අයියේ.. ටිකට්ස් පවා බුක් කරලා මට .. එහෙම තියෙද්දී ඇයි මෙහෙම …”

“ අරූ මොකක කියන්නේ?…”

“ එයාට සිහියක් නෑ …”

 විශ්ව සිනාසුනේය.  සින්දූපා රැව්වාය.

“ ඌට සිහි නැතිවෙන්නේ මාමණ්ඩිගේ වෙස් පෙරලිල්ල හරියටම දැනගත්තාම …”

“ අනේ මන්දා … මට තේරෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනි කියලා… ඔක්කොටම වඩා දරුවා මනුඅජ්ව නිග්ලෙක්ට් කරන්න අරගෙන …”

“ ඒක එච්චර හිතන්නෙපා.. ඌ හරි සිහියට ඇවිල්ලා, දෝණිව වඩාගෙන කරගෙන චුට්ටක් නැලෙව්වාම ඕවා ශේප්.. අපි ඔහොමද බං පොඩි කාලේ ගුටි කෑවේ..”

 සින්දූපා එයට කිසිත් නොපවසා උන්නාය.

“ නිර්ධා මනුර්‍යාට කතා කරලා කියලා තිබ්බා, ඔක්කොම දේවල් …”

“ කොයි වෙලේද ?…”
“ ටිකකට කලින් … මනුර්‍යා ඕකේ එහෙන් මෙහෙන් දැනන් උන්න බවක් නොකියා ඔක්කෝම අහගෙන …”
“ එතකොට ඒ ඔක්කොම ඇත්ත ?..”

“ ඔව් …. එහෙම තමා හිතෙන්නේ ..”

සින්දූපා ගැඹුරු සුසුමක් හෙලුවාය. නන්නාදුනන්නන් සේ වෙන්ව යන්නට තිබූ කතාවක්, යළි පිට පෙරලෙමින් ඇත. විශ්වය,  කුමක්දෝ පවසමින් ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles