දවස් 3096 ක් තිස්සේ කාමාතුරයෙක් එක්ක අපායක හිරවුණු නතාශා

මේ හැමදේම පටන් ගත්තේ බොහොම සාමාන්‍ය විදිහට. 

1998 මාර්තු 2 වෙනිදා තමයි ඇත්තටම මේ සාමාන්‍ය දවස උනේ.

වියානා නගරයේ පාරක ඉස්කෝලේ යමින් හිටපු පුංචි නටාශා කාම්පුෂ් කියන චූටි කෙල්ලට එතකොට වයස අවුරුදු 10යි.

රතු බෑග් එකත් උස්සගෙන, පොඩි සින්දුවක් මුමුණ මුමුණ ගිය නටාශා එයාගෙ වයස අවුරුදු 10 අත්දැකීම් අනුව හිතුවෙ මේ ලෝකෙ එයා කියවන සුරංගනා කතන්දර පොත්වල තියෙන තරමටම හරි ලස්සනයි, ආදරණීයයි කියලා. හැබැයි තව ටික වෙලාවකින් වෙන දේකින් තමන්ගෙ මුලු ජීවිත කාලෙම වෙනස් වෙන්න යනවා කියලා ඒ වෙද්දිත් නටාශා දැනගෙන උන්නෙ නෑ.

සුදු පාට වෑන් එකක් ඇවිත් පාර ළඟින් නතර වුණා.

වාහනයෙන් බැස්ස ආගන්තුකයෙක් එයා ළඟට ඇවිදගෙන ආවා. ඇහි පිල්ලම් ගහන තරමෙ පොඩි වේලාවක් ඇතුළත, නටාෂාගේ මුළු ලෝකෙම උඩු යටිකුරු වුණා.

ඉස්කෝලේ යමින් උන්න තමන්ගෙ අවුරුදු 10 පොඩි දුව අතුරුදහන් කියලා දැනගත්තම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මොන තරම් වේදනාවක් දැනුණා කියලද හිතන්නේ? ඒ වේදනාව නිසාම නටාශාගෙ දෙමව්පියන් ගිහිල්ලා පොලිසියට ඉන්ෆෝම් කරා තමන්ගෙ පාසල් යමින් උන්න දුව අතුරුදහන් වෙලා කියලා.

ඒ අනුව තමයි පොලිසිය හැමදේම පරික්ෂා කරන්න යන්නෙ. නටාශා ගියපු සහ යන්න පුලුවන් කියලා හිතපු හැම පාරක, හැම තැනක්ම, ඒ අවට උන්න හැම කෙනාගෙන්ම ප්‍රශ්න කරන්න පොලිසිය කටයුතු කරත් නටාශා ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න එයාලට පුළුවන් වෙන්නෙ නෑ. ඒ වගේම නටාශාව පැහැරගන්නවා දැක්ක අවුරුදු 12ක දරුවෙක් සිද්දිය විස්තර කරන්නෙ මෙන්න මෙහෙම. 

“සුදු පාට මිනි බස් එකකින් මනුස්සයො දෙන්නෙක් ඇවිත් එයාව වාහනේට දාගත්තා” කියලා. ඒ අනුව සුදු පාට මිනි බස් සහ මිනිස්සු දෙන්නෙක් ගැන පොලිසිය හොයන්න ගන්නවා. 

එයාලා පොඩි වෑන් 776ක් විතර චෙක් කරලා බැලුවා. පොලිසියට හිතාගන්න බැරි උනාට, ඇත්තටම නටාශාව පැහැරගත්ත ප්‍රික්ලොපිල්ගේ වෑන් එකත් මේ අතර තිබුණ කියන එක දැනගන්නෙ පසුකාලීනව.

 ප්‍රික්ලොපිල් හිටියේ වියානා නගරයට ළඟ, කාර් එකෙන් පැය බාගයක් විතර දුර තියෙන පහළ ඔස්ට්‍රියාවේ ගමක. පැහැරගැනීම වෙච්ච දවසේ උදේ එයා ගෙදර තනියම හිටියේ කියලා ප්‍රික්ලොපිල් කිව්වා. එයාගේ ගේ හදනකොට ඉවත් කරපු ගල් කැට අරන් යන්න තමයි වෑන් එක පාවිච්චි කළේ කියන පැහැදිලි කිරීමට පොලිසිය මුලදී ඇත්තටම අහුවුනා කිව්වොතින් හරි.

ඒත් මේ සිද්ධිය නිසා මිනිස්සු අතරේ නොයෙකුත් කතා හැදෙන්න ගත්තා. සමහරු ළමා කාමුක දර්ශන ජාල හෝ අවයව හොරකම් ගැන පවා සැක පළ කරා. කාම්පුෂ්, සිද්ධියට කලින් දවස් ටිකේ හංගේරියාවට ට්‍රිප් එකක් ගිහින් හිටපු නිසා, එයාගෙ පාස්පෝට් එකත් අරගෙනමයි ගිහින් තියෙන්නේ. ඒ හින්දා පොලිසියට සිද්ධ වුණා විදේශ රටවලත් සෙවීම් පුළුල් කරන්න. ඒ විතරක් නෙවෙයි, කාම්පුෂ්ගේ පවුලේ අය ගැනත් නොයෙකුත් චෝදනා එල්ල වුණු නිසා මේ නඩුව තවත් අවුල් වෙච්ච එක තමයි වුණේ.

එදා ඒ විදියට නටාශාව හොයාගන්න පොලිසියට බැරිවෙච්ච නිසා නටාශාට අවුරුදු අටක් හිරවෙච්ච, අන්ධකාර ජීවිතයක් ගෙවන්න සිද්ද වෙනවා.

අවුරුදු අටක් තිස්සේ නටාෂාව හිරකරගෙන හිටියේ ප්‍රික්ලොපිල්ගේ ගරාජය යට තිබුණු පුංචි බංකරයක.

ගරාජ් එකේ බිම යටට වෙන්න තිබිච්ච මේ බංකරේට යන්න තිබ්බෙ පඩිපෙළකින් බැහැලා, ඊටත් පස්සේ අල්මාරියක් පිටුපස්සේ හංගලා තිබුණු පුංචි වානේ දොරකින්. ඒ කාමරේ තිබුණේ වර්ග මීටර් 8ක පුංචි ඉඩක් විතරයි. ජනෙල් තිබුණේ නෑ, ඒක සම්පූර්ණයෙන්ම sound proof වෙන්න හදලා තිබුණා.

හැබැයි භයානකම දේ නටාශාට ඒ බංකරේ හිරවෙන්න වෙච්ච එකම විතරක් නෙවෙයි. මුල් මාස හයේ එයාට ඒ පුංචි කාමරේන් එළියට යන්න පොඩිවත් ඉඩක් හම්බුනේ නෑ. ඊට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ රෑට නිදාගන්න එයාව ඒ බංකරේට දාලා වැහුවා.

ටිකෙන් ටික කාලය ගෙවෙද්දි නටාශාව දවල්ට ගේ ඇතුළට අරගෙන තියෙනවා. ගෙදර ඇතුළේ වැඩ කරන්නත් ඉඩ දීලා තියෙනවා. ඒත් ප්‍රික්ලොපිල් වැඩට යනකොටයි, රෑට නිදාගන්නකොටයි, ආපහු නටාශාව ඒ කාමරේටම යවන්න මිනිහා පුරුදු වෙලා හිටියා.

පස්සේ කාලෙකදී නම් එයා තනියම ගෙවත්තේ ඉන්නවත් සමහරු දැකලා තියෙනවා. ප්‍රික්ලොපිල්ගේ business partner කෙනෙක් දවසක් ගෙදරට ඇවිත් ට්‍රේලර් එකක් ඉල්ලන් යනකොට කියලත් තිබුණා, නටාෂා එදා හිටියේ හරිම සතුටින් වගේ කියලාත්.

ඒ වගේම, එයාට අවුරුදු 18ක් පිරුණාට පස්සේ එයාට ප්‍රික්ලොපිල් එක්ක ගෙදරින් එළියට යන්නත් අවසර ලැබුණා. ඒත් මෙතන ලොකු කොන්දේසියක් තිබුණා. එයා කිව්වා, පැනලා යන්න හරි කාගේ හරි අවධානය ගන්න හරි හැදුවොත් මරණවා කියලා. ඒ නිසාම එළියට යන්න නිදහස හම්බුණත් නටාශා ඇත්තටම උන්නෙ හිරවෙලා.

පස්සේ කාලෙක ප්‍රික්ලොපිල් නටාශාව වියානා නගරෙ ළඟ තියෙන තැනකට ස්කී කරන්නත් එක්කගෙන ගිහින් තිබුණා පැය කීපයකට. මුලදී නම් එයා මේ ගැන බොරු කිව්වත්, පස්සේ ඒක ඇත්ත කියලා පිළිගත්තා. ඒත් එයා කිව්වේ, ඒ වෙලාවේ පැනලා යන්න කිසිම අවස්ථාවක් ලැබුණේ නෑ කියලා තමයි.

නටාෂා නිදහස් වුණාට පස්සේ කිව්වා වගේ, එයාලගේ උදේ දවස පටන් ගත්තේ ප්‍රික්ලොපිල් එක්ක එකට උදේ ආහාරය ගන්න එකෙන්. 

ඒ වගේම තමයි එයා නටාශාට පොත් ගෙනත් දීලා තියෙනවා. ඒ පොත් වලින් තමයි නටාශා තනියම ඉගෙන ගත්තේ. හිරවෙච්ච ජීවිතේකට පුරුදු වුණාට පස්සෙ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්, විශේෂයෙන්ම මේ වගේ වයසක ඉන්න ළමේක් හරි බයෙන් ජීවත්වෙන්න හැදුවත් නටාශා නම් කිව්වෙ “මට සිගරට් බොන්නවත්, බිබී ඉන්නවත්, නරක යාළුවෝ ආශ්‍රය කරන්නවත් සිද්ධ වුණේ නෑ” කියලා සහ එයා ඒක නිසා සතුටෙන් ඉඳියා කියලා. පොඩ්ඩක් අමුතුයි වගේ දැනෙනවා නේද එහෙම කිව්ව එක?

කාලය ගෙවන්න ටීවී එකක්, රේඩියෝ එකක් තිබුණත්, මුලදී බලන්න දුන්නේ කලින් රෙකෝඩ් කරපු වැඩසටහන් විතරයි කියලා නටාශා කියනවා. එයා ගැන හොයන බවට ආරංචි දැනගන්නෙ නැතිවෙන්න, රේඩියෝවෙන් ඇහුවේත් පිටරට ස්ටේෂන්වල වැඩසටහන් විතරයිලු. මේ හැමදේම මැද්දේ එක වෙලාවක එයා ප්‍රික්ලොපිල්ගේ කාර් එකෙන් පනින්නත් උත්සාහ කරලා තියෙනවා හැබැයි.

ගෙදර ඇතුළේ ඉන්නකොට එයා වැඩිපුරම කළේ ගෙදර වැඩයි,  ප්‍රික්ලොපිල්ට උයලා දෙන එකයි. ප්‍රික්ලොපිල් නටාශාට ඇවිදගන්න බැරි තරමට පහර දුන්නා කියලා විතරක් නෙවෙයි පැනලා යන්න බැරි වෙන්න, ශාරීරිකව දුර්වල කරන්න නටාශාව  බඩගින්නේ තියලා තිබුණා කියලා වගේම ඊටත් වඩා දරුණු ලෙස නටාශාව දූෂණයත් කළා කියලා පස්සෙ දැනගන්න පුළුවන් වෙනවා.

එයා හැම වෙලාවෙම නටාශාට තර්ජනය කරලා තියෙනවා වගේම ගේ ඇතුළේ දොරවල්වලටයි, ජනෙල්වලටයි බෝම්බ සවිකරලා තියෙන්නේ කියලා බය කරලත් තියෙනවා.

 ‘මං ළඟ තුවක්කුවක් තියෙනවා, පැනලා යන්න හැදුවොත් තමුසෙවයි අහල පහල උන්වයි මරනවා’ කියලාත් තියෙනවා.

ඒ හැමදේකින්ම බේරිලා යන්න හිතාගෙන නටාශා එක වෙලාවක පොරවකින් ප්‍රික්ලොපිල්ගෙ ඔළුවට ගහන්නත් හිතලා තියෙනවා. හැබැයි ඒ අදහස පස්සෙ එයා අතැරලා තියෙනවා. මුල් කාලෙදී බිත්තිවලට වතුර බෝතල් ගහලා සද්ද කරන්නත්, ප්‍රික්ලොපිල් එක්ක එළියට ගිය වෙලාවල්වලදී උදව් ඉල්ලන්නත් උත්සාහ කළත්, ඒක සාර්ථක වෙන්නෙ නෑ.

2006 අගෝස්තු 23 වෙනිදා ප්‍රික්ලොපිල්ගේ ගෙදරින් පැනලා එද්දි නටාශාට වයස අවුරුදු 18ක්.

නටාශා ඒ වෙලාවේ ගෙවත්තේ තිබුණු, තමන්ව පැහැරගත්ත සුදු වෑන් එක වැකුම් ක්ලීනරයෙන් පිරිසිදු කර කර තමයි ඉඳලා තියෙන්නෙ. ප්‍රික්ලොපිල්ට එයාගේ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් ආවෙත්. වැකුම් ක්ලීනර් එකේ සද්දෙ වැඩි නිසා එයා ෆෝන් එකට ආන්ස්වර් කරන්න ඈතට ඇවිදගෙන ගියෙත් ඒ වෙලාවෙ.

නටාෂාට තේරුණා මේ තමයි අවස්ථාව කියලා.

ප්‍රික්ලොපිල් ඇස් මානයෙන් ඈත් වුණු ගමන්, එයා වැකුම් ක්ලීනර් එක ඔන් එකේ තියලම දාලා දුවන්න පටන් ගත්තා.

එයා ආපස්සට හැරිලාවත් බැලුවේ නැතුව මීටර් 200ක් විතර දුවලා යනවා. වැටවල් පැන්නා, පාර දිගේ දිව්වා. මඟදී හම්බවුණු මිනිස්සුන්ගෙන් පොලිසියට කතා කරන්න කිව්වත්, එයාලා කවුරුවත් ඒක ගණන් ගත්තේ නෑ. හිතන්නකෝ ඒ වෙලාවේ කොච්චර අසරණකමක් දැනෙන්න ඇද්ද කියලා.

විනාඩි පහකට විතර පස්සේ, නටාශා 71 හැවිරිදි අසල්වැසි කාන්තාවකගේ ජනේලයට තට්ටු කරලා කියනවා “මම තමයි නටාෂා කාම්පුෂ්!” කියලා. ඒ වචන ඇහිච්ච ගමන්  අසල්වැසියා වහාම පොලිසියට කතා කරනවා. පොලිසිය ඇවිත් එයාව ඩොයිෂ්-වැග්‍රම් පොලිස් ස්ථානයට එක්කගෙන යනවා.

නටාෂාගේ අනන්‍යතාවය තහවුරු කරන්න පහසු වුණේ, එයාගෙ ඇඟේ තිබුණු කැළලක්, එයාව සිරකරගෙන හිටපු කාමරේ තිබිලා හම්බුණු පාස්පෝට් එක සහ DNA පරීක්ෂණ හන්දා. එය හිටියේ හොඳ ශාරීරික තත්ත්වයෙන් වුණත්, හොඳටම සුදුමැලි වෙලා. එයාගෙ බර කිලෝ 48ක් වුණා. (අතුරුදහන් වෙද්දී කිලෝ 45ක් තිබිලා තියෙනවා.) සිරගත වෙලා හිටපු අවුරුදු අට ඇතුළත නටාශා වැඩිලා තිබුනේ සෙන්ටිමීටර් 15ක් විතරයි.

මේ කේස් එක සම්බන්ධව සහ නටාශාව අවුරුදු 18ක් යනකම් හොයාගන්න බැරිවෙච්ච එක ගැන පොලිසියේ පැත්තෙන් වෙච්ච වැරදි මොනවද කියලා හොයන්න පත්කරපු කොමිසමේ උන්නා ලුඩ්විග් ඇඩමොවිච්. මෙයා කියන එක කතාවක් නිසා ලොකුම ලොකු ආන්දෝලනයක් වෙනවා. 

‘නටාෂා සිරගතව හිටපු කාලය එයා ඒ වෙනකම් ගෙදර හිටියට වඩා හොඳයි’ කියන මේ කතාව නටාශාගෙ පවුලෙ අය තරයේ හෙලා දකින්න හේතුවෙච්ච කතාවක්. ඒ නිසාම සෑහෙන ලොකු නීතිමය ප්‍රශ්නවලට මූණ දෙන්න මෙයාලට සිද්ධ වෙනවා. නටාශාගෙ ගෙදර අය “මේක බොරු” කියලා කිව්වට නටාශා බේරුණයින් පස්සෙ රිලීස් කරපු තමන්ගෙ පොත වෙච්ච ‘දින 3,096’ කියන පොත ලියනකොට ඇත්ත කතාව හෙළි කරනවා. තමන්ව පැහැරගැනීම වුණු දවසේ උදේ වෙලාවේ තමන් හිටියේ සියදිවි නසාගැනීම ගැන හිතමින් කියලා ඒ පොතේ නටාශා සඳහන් කරලා තියෙනවා. 

ඒ වුණාට නටාෂා ඒකත් එක්කම අවධාරණය කරලා කියනවා එයාගෙ අම්මා නරක විදිහට තමන්ට වධ දුන්නේ නැහැ, කොහොම වුණත් සිරගතව හිටපු ජීවිතයට වඩා ගෙදර ජීවිතය කොයි වෙලාවෙත් හොඳයි කියලා. එයා කවදාවත් එයාගේ අම්මාව ප්‍රතික්ෂේප කළේ නැහැ.

වුල්ෆ්ගැන්ග් ප්‍රික්ලොපිල් ගැන කියනවා නම්, මිනිහා 1962 මැයි 14 වියානාවේ ඉපදුණු කෙනෙක්. පවුලෙ එකම ළමයා. තාත්තා කොග්නැක් විකුණපු කෙනෙක්, අම්මා සපත්තු විකුණපු කෙනෙක්. ප්‍රික්ලොපිල් ටික කාලයක් Siemensවලත් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික එයා හුදකලා ජීවිතයකට යන්නෙ.

නටාෂා පැනලා ගියාට පස්සේ, ප්‍රික්ලොපිල් තමන්ගේ රතු BMW කාර් එක අරගෙන පැනලා යන්න උත්සහ කරලා තියෙනවා. පස්සේ ඒ කාර් එක වියානාවේදී දාලා ගිහින් තියෙද්දි හම්බවෙනවා. පොලිසිය වටලනවා කියලා දැනගත්ත ගමන්, මිනිහා තීරණය කළා ජීවිතේ අවසන් කරන්න. ඒ අනුව තමයි වින් නොර්ඩ් ස්ටේෂන් එක ළඟදී දුම්රියකට පැනලා සියදිවි නසාගත්තෙ. එයා කලින්ම නටාෂාට කියලා තිබුණා, කවදාවත් තමන්ව අහුවෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඒකෙන් තේරෙනවා, මේ හැමදේම මිනිහා  කලින්ම ප්ලෑන් කරලා තිබුණා කියන එක.

ප්‍රික්ලොපිල් පාවිච්චි කළේ හරිම පරණ Commodore 64 පරිගණකයක්. මේක නිසා පොලිසියට ඩිජිටල් සාක්ෂි හොයන්න හරිම අමාරු වුණා. මොකද ඒවාට නවීන පරීක්ෂණ මෙවලම් වැඩ කළේ නැති හන්දා. නටාෂා පැනලා යන්න කලින්, ප්‍රික්ලොපිල් ව්‍යාජ හැඳුනුම්පත් ගන්න උත්සාහ කරලා තියෙනවා. ඒකෙන් හිතන්න පුළුවන්, එයා නටාශා එක්ක රටින් පැනලා ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන හිටියා කියලා.

මුලදී බලධාරීන් සැක කළා, ප්‍රික්ලොපිල්ට සහයකයෙක් හිටියද කියන එකත් ඒත් හොඳට පරීක්ෂා කරලා බැලුවට පස්සේ, එයා තනියම තමයි මේ හැමදේම කළේ කියලා නිගමනයකට එනවා.

නටාෂා නිදහස් වුණාට පස්සේ, එයා සිරගතව හිටපු කාලේ පුද්ගලික හෝ සමීප දේවල් ගැන කතා කරන්න අකමැති වෙලා තියෙනවා. ඒ වුණත්, ප්‍රික්ලොපිල් ගැන එයා හරිම සංකීර්ණ දේවල් තමයි කිව්වෙ. ප්‍රික්ලොපිල් ගැන තමන් දුක් වෙනවා කියලා කිව්වා වගේම, එයා මැරුණා කියලා දැනගත්තම නටාශා අඬලත් තියෙනවා. ඒත් ඇය පැහැදිලිවම කියනවා, ප්‍රික්ලොපිල් කියන්නෙ අපරාධකරුවෙක් කියලා. ඒ වගේම නටාශාව “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්” තියෙන කෙනෙක් කියලා ලේබල් කරපු එක ගැනත් එයා විරුද්ධ වෙනවා.

බේරුණාට පස්සේ, නටාශාට සම්මුඛ සාකච්ඡා ඉල්ලීම් සිය ගණනක් එනවා.එයා 2006 සැප්තැම්බර් 6 වෙනිදා ORF කියන ඔස්ට්‍රියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයට ප්‍රධාන සම්මුඛ සාකච්ඡාවක් දෙන්න කැමති වෙනවා.

ඒ වෙනුවෙන් ORF එක එයාට සල්ලි දුන්නේ නැහැ, ඒත් ජාත්‍යන්තර විකුණුම් වලින් එන ආදායම අප්‍රිකාවේ සහ මෙක්සිකෝවේ ඉන්න කාන්තාවන් වෙනුවෙන් පරිත්‍යාග කරන බවට පොරොන්දු වෙනවා. නටාශා ඒ තීරණයට සහය දෙනවා. Kronen Zeitung සහ NEWS වගේ පුවත්පත් වලටත් එයා සම්මුඛ සාකච්ඡා ලබා දෙනවා. ඒ වෙනුවට එයාලා නටාශාට ගෙවල් පහසුකම්, රැකියාවක් සහ අධ්‍යාපනයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා.

 ඊට පස්සේ 2008 සහ 2010 දීත් එයා තමන්ගෙ කතාව තෝරාගත් සම්මුඛ සාකච්ඡා සහ වාර්තා චිත්‍රපට හරහා බෙදාගන්න කටයුතු කරලා තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles