ඉඩෝරයක මල් වැස්සක් – 68

ඉසුරි පාරින්ද විසින් ඒවා තිබූ කෙටි පණිවිඩය දුටුවේ අලුත් නිවසට ගෙන ගිය බඩුබාහිරාදිය පරිස්සමට අසුරා පැමිණි වෙහෙසකර දවසක අවසානයේය. 

නව නිවසේ පදිංචි වීමට තිබුණේ හෙට දිනයේය. රාත්‍රියේ නිවසේ සියල්ලන්ටම කෑම ගෙන ආවේ මධාරා පුංච් අම්මාය. නිවස තුළ ඉතිරිව තිබුණේ රාත්‍රියේ  බිම එලා ගැනීමට අවැසි වූ පැදුරු කිහිපයකුත්, පොරවන සහ කොට්ට දෙක තුනකුත් පමණි. ඉසුරි නිවස ඉදිරිපස වූ බිත්ති කන්ඩිය මතින් වාඩිවූයේ ගෙතුළින් ඇසෙන සිනහ හඬටත් කතා බහටත් ඇහුම්කන් දීගෙනය. 

“අද අපි ඔක්කොම මේ සාලේ පැදුරු එළාගෙන නිදා ගමු…”

නංගී එසේ පැවසූයේ ඇය ආලින්දයට පැමිණෙද්දීය. 

කෙටි පණිවිඩය කියවූ ඉසුරි දිගු සුසුමක් මුදා හැරියාය. පාරින්ද කෙරෙහි සිතෙහි වූ බයත් හදවත පතුලෙහි නිධන්ගතව තිබූ කලකිරීමත් තවමත් එහෙමමය. එහෙත් ඒ හදවතේම එක් කෙළවරක වේදනා සහගත සිතුවිල්ලක් ද විය. තමා වැරදි කාරියකදැයි ඉසුරි තමාගෙන්ම අසාගත් වාර ගණන අනන්තය. 

අවසන ඕ  දෑස් මුලට කඳුළු කැට දෙකක් එකතු වී එද්දී පාරින්දට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. 

“දැන්ද මතක් උනේ…”

එහා පසින් ඇසුණේ හුරු  පුරුදු රළු පිරිමි කටහඬය. තත්පර කිහිපයක් නිහඩව උන් ඉසුරී සිය හඬ අවධි කළාය. එහෙත් වෙනදා මෙන් ඕ “අනේ ආදරෙන් කතා කරන්නකෝ ලොකු අයියේ” යැයි නොපැවසුවාය.

“ලොකු අයියේ අපි හෙට මෙහෙන් යන්න කියලා.” 

“මම හිතුවා තමුසෙ ගියාට පස්සේ ඒක මට කියයි කියලා.”

“කේන්ති ගන්නෙ නැතුව පුලුවන්නම් මම මේ කියන ටික අහගෙන ඉන්න ලොකු අයියේ.”

“කියනවකෝ බලන්න. දැන් තමුසෙලා යන්නේ කොහෙටද?”

“තාත්තගේ යාළුවෙක්ගෙ ගෙදරක්. මටත් හිතුනා අයියේ මල්ලි, නංගී වෙනුවෙන් හරි අපි මේ පරිසරය මාරු කරන්න ඕනේ කියලා. මගේ හිතටත් දැන් හරි වෙහෙසයි. මේ ගේ ටිකක් අඩු ගානකට අපිට හම්බවුණා.”

සත්‍ය සඟවාගෙන සිටීමට ඉසුරිට උවමනාවක් වූයේ නැත. එහෙත් ඈ එවේලෙහි පාරින්දට  පැවසූයේ තාත්තා ගොතා දුන් කතාවයි. 

“ඉතිං තමුසෙට තිබුණනේ ඕක මට කලින් කියන්න. පරිසරය මාරු කරන්න ඕන උනා නෙමෙයි අතට කීයක් හරි එද්දී තමුසෙලට තටු ආවා. ආපහු පස්ස බිම ඇනෙන කාලේ වැඩි ඈතක නෙමෙයි අන්න ඒක හොඳට මතක තියා ගන්නවා. දැන් තාත්තලා දුවලා පුංචි අම්මලා, අම්මලා ඔක්කොම එකටනේ ඉන්නේ. තීරණ ගන්නේ..අපි මොක්කුද නේහ්…”

“එහෙම ඉන්න එක මට ලොකු සතුටක් ලොකු අයියේ. ඔයාට අමතක නැතුව ඇති ඒගොල්ලෝ ගහමරා ගන්නකොට වැඩිපුරම දුක් වුණේ මම. මොකද ඒ කාලේ මොකක්ද වෙන්න යන්නේ කියලා හරියටම තේරුනෙත් මට. අම්මයි තාත්තයි ඒ විදිහට දෙපැත්තකට වෙද්දි දරුවෙක්ගේ හිතේ ඇතිවෙන බය, දුක මට වචනයෙන් විස්තර කරන්න තේරෙන්නෙ නෑ අයියේ. ඒක මහා අවිනිශ්චිත හැඟීමක්. නංගියි මල්ලියි ඔහේ තේරෙන්නෙ නැති ගානට බලාගෙන හිටියට මට අම්මා වගේම තාත්තත් ඕන උනා අයියේ. ඒකයි තාත්තා  අපිව දාලා ගියාට පස්සේසේ මම ඔයාලගේ ගෙදරට දුවගෙන ඇවිල්ලා මාමගේ  ෆෝන් එකෙන් තාත්තට කෝල් කරන්නේ..”

“ඒ අතීතයත් මතකයි එහෙනම්..”

ඒ හඬෙහි වූ අවඥාව ඉසුරිට හොඳින් හඳුනාගත හැකිය. කොහොමටත් කාලයක සිට ලොකු අයියා තමාගේ පවුලේ අයවලුන් පිළිබඳව කතා කළේ ඒ අවඥා සහගත හඬින්ය. 

“ඒ අතීතයේ විඳපු වේදනා මතක හින්ද තමයි ලොකු අයියේ පුංචි සතුටක් හිතට දැනුනත් ඒක මහ මෙරක් තරමට වටින්නේ.”

“ඒ මගුල් වැඩක් නෑ. දැන් තමුසෙටයි මටයි මොකද වෙන්නේ කියලා කියනවකෝ.”

“ලොකු අයියේ ඔයාට හිතෙනවද තවදුරටත් අපි දෙන්නා ගැලපෙනවා කියලා. ඔයා ඔය පැත්තෙ ඉඳගෙන මං ගැන මගේ ගෙදර අය ගැන හිතේ අපැහැදීමක් තියාගෙන, මං මේ පැත්තෙ ඉඳගෙන ඔයා ගැන හිතේ අපහැදීමක් තියාගෙන අපි එක ගෙදරක ජීවිතය බෙදාගෙන ජීවත් වෙන්නේ කොහොමද අයියේ. ඔයාට මතක ඇති අන්තිම කාලෙ සමහර කාරණා වලදී කතා කරලා පොදු එකඟතාවයකටවත් එන්න බැරි වෙච්ච අපි දෙන්නා කොහොමද අයියේ එක පාරක යන්නේ. ඒකෙන් අපි දෙන්න විතරක් නෙමෙයි නැන්දා, මාමා,  මගේ අම්මා, තාත්තා, නංගි, මල්ලි මේ හැමෝම අසරණ වෙයි.”

“දැන් ඔය තමුන් මොකක්ද මට කියන්න හදන්නේ. 

“අයියේ…සම්බන්ධයකදී තියෙන්න ඕනේ තේරුම් ගැනීම අපි දෙන්න අතර තිබුනෙත් නෑ. විශ්වාසය, අපි දෙන්නා එකට කතා කරලා තීරණ ගන්න එක මේ කිසිම දෙයක් අපි දෙන්න අතර තිබුණේ නෑ අයියේ. සමහර තැන්වලදී අපි හිටියේ සහෝදරයෝ, යාලුවන්ටත් වඩා දුරස් වෙලා. ඔයා කලේ මාව පාලනය කරපු එක. ඔයා හදල දීපු පුංචි කූඩුව  ඇතුලෙ හිරවෙලා මං ඇස් දෙකේ කඳුළු පුරවගෙන බලාගෙන හිටියා. මේ ලෝකෙ  ඊට වඩා හරි ලස්සනයි අයියේ. ඇයි අපි දෙන්නම ඒ ලස්සන දැක්කේ නැත්තේ..”

“කවුරු හරි ආදරේ ගැන ලෙක්චර් එකක් දීලා වගේ. මතක තියාගනින් ඉසුරි මට උඹට  වඩා හොඳ කෙල්ලෙක් මේ ගෙදරට ගේන්න පුළුවන්. ලක්ෂ ගානක දෑවැද්දකුත් එක්ක. කිසි වටිනාකමක් නැති උඹට මං ආදරේ කලාට  වඩා අනුකම්පා කළා. ඒක තමයි ඇත්තම කතාව. තමුසෙ වගේ කෙල්ලෙක් කසාද බඳින්න මොන මිනිහෙක්ද කැමති වෙන්නේ. මේ ගමේ මිනිස්සු මට කොච්චර දේවල් කිව්වද.. රාජිණීගේ  දුවෙක් කසාද බඳින්න යනවා කිව්වහම මගේ යාළුවෝ මට මොනවද කිව්වේ කියලා උඹ දන්නවද..අවුරුදු ගානක් ඒ කතන්දර ඔක්කොම අහගෙන තමයි මම තමුසෙලගේ ගෙදරට ආවේ ගියේ. තමුසෙව කරගහන්න ලෑස්ති උනේ. මං ඇරෙන්න වෙන කවුරුවත් උඹව කරගහන් නෑ.”

“ආදරේ කරල කසාද බඳින එකත් අනුකම්පා කරලා කසාද බඳින එකත් දෙකක් අයියේ. කෙල්ලෙක් විදිහට මගේ හිතෙන් පුංචි පුංචි හීන තිබුණා. ජීවත් වෙන්න කසාද බඳින්නම ඕනෙ නෑ අයියේ. මේ ජීවිතේ ඊටවඩා සැනසීමයි. ඒ දේවල් ඔයා එක්ක කතා කරන්නවත් ඔයා මට අවසර දුන්නේ නෑ.”

“ආ…දැන් මම තමයි වැරදි…”

“එහෙම කියනව නෙමෙයි අයියේ. ඔයා ගොඩක් උගත් කෙනෙක්. මං ගේ ඇතුලට වෙලා හැදුනට ඔයා මේ සමාජෙ හැම තැනකම ඇවිදලා හැම තරාතිරමකම මිනිස්සු ආශ්‍රය කරපු කෙනෙක්. ඔයා මට හැම දෙයක්ම නැති කරද්දි මගේ වයසේ, ඉස්කෝලෙ හිටපු ටියුෂන් ක්ලාසස් වල ඉඳපු මගේ යාළුවෝ ජීවිතය හරි ලස්සනට විඳිනව දකිද්දි මගේ හිතෙත් මහා දුකක් තිබුණා. මහ තනිකමක් තිබුණා. මගේ ගෙදර ප්‍රශ්න මට ඔයාට කියන්න ඕන උනා. මං බලාපොරොත්තු වුණා ඔයා මගේ මල්ලිටයි නංගිටයි ලොකු අයියා කෙනෙක් වෙයි කියලා.”

“තව වැරදි තියෙනවද කියන්න. ඕක මං දැනන් හිටියා. රාජිණීගේ දුවනේ.”

“අනේ මගේ අම්මා වැරදි කරපු කෙනෙක් නෙමෙයි අයියේ. ඇයි අපේ ප්‍රශ්න වලට අම්මව ගාව ගන්නේ. තාත්තා දාල ගියාට පස්සේ අම්මා ගෙදරට වෙලා හිටියනම් කොහොමද අපි ජීවත් වෙන්නේ. ඒ කාලේ අපි හරි පොඩියි. මිනිහා දාල ගිය ගෑනියෙක්, මිනිහා මැරුණු ගෑනියෙක් එළියට බැහැලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන එක වැරදියිද….අයියේ…මේවා වැරදි නෙමෙයි අයියේ. මං ඔයා වැරදියි කියනවා නෙමෙයි අයියේ. ජීවිතේ කවද හරි දවසක කවුරු හරි කෙල්ලෙක් ළඟ ඔයා නතර වුණොත් හොඳට මතක තියාගන්න ආදරේ කියන්නේ තටු කපල දාන එක නෙමෙයි. නිදහසේ පියාඹන්න ඉඩ දීලා පරිස්සම් කරගන්න එක කියලා.”

“ෂා….මාර දේවල්නේ දන්නේ. පහුගිය දවස්වල ඔය ඔෆිස් එකේ කොල්ලෙකුත් ඇවිල්ලා මගේ යාළුවෙක්ගෙන් තමුසේ ගැන අහලා තිබුනේ ඌ වෙන්න වෙන්න ඇති ආදරේ ගැන ලෙක්චර් එකක් දෙන්න ඇත්තේ.”

“තවදුරටත් මේවා අයියා එක්ක කතා කරන එක තේරුමක් නෑ කියල මට හිතෙනවා. ඔයාට පුළුවන්නම් ආපහු මගේ ලොකු අයියා විතරක් වෙලා මගේ ළඟ ඉන්න. ඊට එහා ගියපු සම්බන්ධතාවයකට අපි ඉක්මන් වෙච්ච හින්ද තමයි අයියේ අද මේ හැම හිත් රිදීමක්ම.” 

එහා පසින් දුරකථනය විසන්ධි වී ගියේ සමුගැන්මක්වත් නොකරය. දිගු සුසුමක් මුදාහළ ඉසුරි එහෙමම බිත්ති කණුවකට හේත්තු වූවාය. 

“මාස තුනක් ඇතුළත තමුසෙට වඩා ලස්සන තමුසෙට වඩා සල්ලි තියෙන තමුසෙට වඩා වැදගත් පවුලක් තියෙන කෙල්ලෙක්ව මේ ගමටම පේන්න කසාද බැඳලා ගෙදරට ගෙනාපු නැත්තං මගේ නම පාරින්ද නෙමෙයි. මතක තියාගනින් ඉසුරි  උඹට හූල්ලන්න දවසක් එනවා. මම උඹට කසාද බඳින්න දෙන්නෙත් නෑ. මොකා ආවත් මම ඌට ඇවිල්ල කියනවා අවුරුදු ගානක් තිස්සේ උඹ මමත් එක්ක ජීවත් වුණා කියලා. මේ ගමේ කාගෙන් ඇහුවත් ඒක ඒ විදිහටම ඌට කියයි.” 

ඒ කෙටි පණිවිඩය ඉසුරිගේ ජංගම දුරකථනයට පැමිණියේ විනාඩි දෙකක් පමණ ඉක්මවා යද්දීය. කෑ ගසා හඬන්නට සිතුනත් ඕ මහත් ආයාසයකින් තමාව දරා ගත්තාය. මිනිසුන් පළිගන්නා ආකාරය විවිධාකාරය. අම්මා සේම තාත්තාත් මධාරා  පුංචි අම්මාත් බියෙන් සිටින්නේ හික්මීමක් නොවූ ඔහුගෙන් තමාට යම් කරදරයක් වේයැයි කියාය.

“ඉසුරි ලොකු පුතාටද කතා කළේ.?”

රාජිනී ආලින්දයට පැමිණියේ එසේ අසාගෙනය. ඉසුරි හිස වැනුවේ ‘ඔව්’ යැයි පවසමින්ය. 

“මොකද කියන්නේ….”

“තවමත් එයා මට ඇහුම්කං දෙන්න ලෑස්ති නෑ අම්මේ….”

“ඔයාට හිතෙනවද කාලයක් ගිහිල්ලා හරි ලොකු පුතාව වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා.” 

“නෑ අම්මේ. එයාට කවුරු නිසාවත් කොහොමටවත් වෙනස් වෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.”

“ගෙදර විතරක් නෙමෙයි ඉසුරි අලුත් වෙන්න ඕනේ. අපේ ජීවිතත් හෙමි හෙමිහිට අලුත් වෙයි. එන්න දැන් නිදාගමු. හෙට උදේම අපි යන්න ඕනනේ. පුළුවන්නම් අපි ඒ හැම මතකයක්ම මෙහේ තියලා යමු.”

රාජිණීගේ කටහඬ බිඳී තිබුණු බව විශ්වාසය. එනිසාම ඉසුරි ආපසු හැරී යන්නට ගිය ඇගේ දකුණතින් අල්ලා ගත්තාය. 

“ඔයා මොනවා හරි කියන්න හදනවද අම්මේ..”

“ඉස්සර වෙලාම රතුසාරියක් ඇඳගෙන තාත්තගෙ අතේ එල්ලිලා මට මේ ගෙදරට ආපු විදිහ මතක් වුණා ඉසුරි. ඒක හරි ලස්සන කාලයක්. ජීවිතය ගැන කිසිම බරක් පතලක් නැතුව ඔහේ පාවෙලා ගියපු කාලයක්. ඔයාගේ තාත්තාච්චි ඇවිල්ලා ඉස්සර මට ඇනුම් පද කියනවා. ගෑනියෙක් උනහම මිනිහගේ අස්සේ තොදොල් වෙවී ඉඳලා හරියන්නෙ නෑ කියලා. ඇත්තටම සමහර දවසට ඔයාගේ තාත්තට මම වැඩට යන්න දෙන්නෙත් නෑ. මම හිටියේ කොච්චර හීන ලෝකෙකද කියල කියනවනං ඉසුරි මට ඕන වෙලා තිබුණේ දවසේම ඔයාගේ තාත්තට තුරුල් වෙලා ඉන්න. මම නිසා ඔයාගේ තාත්තගේ රස්සාවල් දෙකක්ම නැති වුණා. ඉස්සරහ දවසක් ගැන සැලැස්මක් මගේ හිතේ තිබුණේ නෑ.” 

එහෙම තමයි අම්මේ අපි කවුරුත් මේ ජීවිතේට මුහුණ දෙන්නෙ අලුත් අත්දැකීම් එකතු කරන ගමන්. ජීවිතය වැරදුනු පැරදුනු තැන් තමයි අපිට පාඩම් වෙන්නේ.”

“තාත්තා එයාගේ ඇඳුම් බෑග් එක අරගෙන මේ ගෙදරින් පිටවෙලා යද්දිත් මම හිටියේ කාමරේ. මට මතකයි ඔයා තාත්තගෙ කකුල් දෙක අල්ලලා කෑ ගහල අඬනවා. නංගිටයි මල්ලිටයි ලොකු තේරුමක් නැති වුනාට ඔයා අඬන දිහා බලන් ඉදල ඒගොල්ලොත් අඬනවා. ඔයාගේ තාත්තා ආච්චි මමත් එක්ක රණ්ඩු වෙලා මේ ගෙදරින් යද්දි මෙන්න මේ පඩියේ පොළොවේ අතගහලා කෑ ගහලාා කිව්වා සුරංග උඹටත් කවද හරි මේ ගෙදරින් යන්න වෙන්නේ මේ විදිහටම තමයි කියලා. නැන්ද ගාවට ගියපු ඒ මනුස්සයා අවසන් මොහොතෙවත් මගේ මූණ බලන්න කැමති වුණේ නෑ. මං කොච්චර වැරදිද කියලා මට හිතෙන්නේ දැන් ඉසුරි..

“අම්මා මට කියනවා වගේම අපි අම්මගේ අතීතයක් මේ ගෙදර තියලා යමු. අම්මගෙන් මං ප්‍රශ්නයක් අහන්නද…”

“ඒ මොකක්ද ඉසුරි…”

“අම්මට දුක හිතෙනවද තාත්තා මධාරා  පුංචි අම්මත් එක්ක ඉන්නව දකිද්දි..%

“අනේ නෑ ඉසුරි. ඒක මට විශ්වාසයි. දුකට පදම් වෙච්ච මේ හිතට දුක කියන එක අමුත්තක් නෙමෙයිද කියන්න මම දන්නෙ නෑ. මට මහා මොකක්දෝ සැනසීමක් දැනෙනවා. ඒ දෙන්නා එහෙම ඉන්නව දකිද්දී…මිනිස්සුන්ට කාලයත් එක්ක ලැබෙන ජීවිතාවබෝධය කියන්නේ ඒක වෙන්න ඇති.”

“එහෙනම් මටත් ඒක එහෙමම දැනෙයි.”

ඉසුරි එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. පෝය පසුවී දෙදවසක් ගත වී ගියත් පැයූ පුන් සඳට අහසින් බැස යන්නට අමතකව තිබිණ. දෑස් මුල එකතු වී පොර අල්ලමින්  උන් කඳුළු කැට දෙකක් ඔහේ ගලා යමින් තිබිණ. 

“ඇයි ඉසුරි එහෙම කිව්වේ…”

“ලොකු අයියත් මට වඩා හොඳ කෙනෙක් එක්කරගෙන එනවා කිව්වා අම්මේ…හොඳ කෙනෙක් එන්න ඕනේ. නැන්දවයි මාමවයි නංගිවයිත් ආදරෙන් බලා ගන්න පුළුවන්. ලොකු අයියව දරා ගන්න ඉවස ගන්න පුළුවන්. අපි යමු අම්මේ මට නිදිමතයි…”

ඉසුරිට උවමනා වූයේ ඒ දුක හිතෙන කතාව නිමා කරන්නටය.

එසේ පැවසූ ඉසුරි නංගී විසින් එලා තිබූ පැදුරක් මත ඇලවූවත් නින්ද ඒ දෑස් මානයකටවත් පැමිණියේ නැත. ක්ලික්…හඬක් නංවමින් පැමිණි කෙටි පණිවිඩය දුටු යුවතියගේ මුහුණෙහි සටහන් වූයේ සිනහවකි. ඔහුගේ නම දුටුවත් සිතෙහි ඇතිවන ඒ සැනසීම පුදුමාකාර එකකි. 

“හෙට දවසට හැම දෙයක්ම ලෑස්තියි නේද..හෙටින් පටන් ගන්න ඔයාගේ ජීවිතේ වෙනස්කම් ගොඩක් වේවි. විශ්වාස කරන්න බැරි තරම් ලස්සන දවස් ජීවිතේ ඉස්සරහට උදාවේවි.”

“ඒත් හෙට දවසේ ඔයා නැති දුක මට දැනේවි…”

ඉසුරි  පිළිතුරු යැව්වේ ඔහුගේ කෙටි පණිවිඩය දුටු සැණින්මය.

“ඒ උනාට මගේ හිත ඔයා ලඟ. ඊට වඩා ලස්සන දවස් ඉස්සරහට උදාකර ගන්නනම් සමහර කැපකිරීම් කරන්න වෙනවා.”

“මේ මෝඩයා කියන සමහර දේවල් මට වෙලාවකට තේරෙන්නෙත් නෑ…”

“එහෙම තමයි මෝඩි…සමහර දේවල් ලස්සන වෙන්නේ තේරෙන්නේ නැති තරමට කියලා කියනවනේ. අපි ඔය එන තුන් හතර දෙනාට හරි තේ ලෑස්ති කරන්න ගතපු දේවල් ඇතිවෙයි නේද. මාලිංග උදේම ඔයාලව ගන්න එයි. මාලිංගගේ අම්මා කිව්වා මම ඔයාට ගතපු ඒ බුදුපිළිමේ අරගෙන නැකතට ඉස්සර වෙලාම ගෙදරට ඇතුල් වෙන්න කියලා. අර ඔයා කිව්වේ මදාර පුංචි අම්මා ස්පයිසස් එකතු කරලා බෑග් එකක් හැදුවා කියලා. තව හාල් එහෙම..ඊට පස්සේ අම්මට කියන්න ඒක අරගෙන ගේ ඇතුලට යන්න කියලා.”

“මම හිතන් හිටියෙත් එහෙම තමයි. කවුද ඔයාට මෙච්චර දේවල් කියලා දුන්නේ..”

ඉසුරි එසේ අසා යැව්වේ හදවතක හැඩයක්ද සටහන් කරමින්ය. 

“මාලිංගගේ අම්මා…මං දන් නැති දේවල් ආන්ටිගෙන් අහ ගත්තා”

“මං පුංචි කතාවක් කියන්නද….

“මේ ළමයාගේ කතන්දර අහං ඉඳලා දැන් මගේ  කන් පිරිලා.”

“ඒ උනාට මේ කතාව අමාරුවෙන් හරි අහන් ඉන්න වෙනවා. දෙවියෝ මේ ලෝකෙට එන්නේ මනුස්ස වෙස් අරගෙනලු. මට වෙලාවකට හිතෙනවා ඔයා එහෙම ආපු දෙවි කෙනෙක්ද කියලා.”

“සමහරවිට…මං දවසක කිව්වොත් මගේ රාජකාරිය දැන් ඉවරයි මට ඒ දේව විමානෙට යන්න ඕනේ කියලා.”

“පිස්සුද ආපහු ජීවිතේට යන්න දෙන්නෙ නෑ. දිව්‍යලෝකෙට යන්න තියෙන වීසා කැන්සල් කරලා මෙහේ  තියාගන්නවා. හොඳම යාළුවනං ආයේ නැති කරගන්නේ නෑ.”

“එතකොට ඔයාට හිතෙන්නේ නැද්ද මේ දෙවියෝ මට ඇත්ත හංගල තමයි මගේ ළඟට වෙලා හිටියේ කියලා.”

“නෑ….දෙවියන්ගෙන් මට වැඩක් නෑ. මට ඕනේ මගේ හොඳම යාළුව විතරයි…”

“පිස්සු කෙල්ලෙක්. දැන් නිදාගන්න. මං උදේම නැගිට්ටවන්නම්…”

“අම්මෝ….උදේම නැගිටින කෙනා තමයි කියන්නේ. කම්මැලියා.”

“හෙට දවසේ එහෙම වෙන එකක් නෑ.

ඔහු සමුගත්තේ සුබ රාත්‍රියක් ප්‍රාර්ථනාා කරමින්ය. උදෑසන තමාට මාලිංගගේ පෙම්වතිය සමග බොරැල්ලට පැමිණෙන්න ඇයි පැවසූ බිනර වටිනා බුදු පිළිමයක් සහ හෙට දින තේ මේසයට අවැසි කැවිලි පෙවිලි සියල්ල රැගෙන දුන්නේය. දවස පුරාම දුරකථනයෙන් කතාකොට අඩුපාඩු විමසුවේය. මේ සසර ගමනේ තමා සමඟ එක්ව ආ අයෙකු යැයි ඉසුරිට සිතුනේ එනිසාය. සැබවින්ම ඔහු මනුස්ස වේසයෙන් මෙලොවට වැඩි දෙවියෙකු විය යුතුය.

(හමු වෙමු ආදරයෙන්….මේ අවසන් කොටස් කිහිපයයි.) 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles