ඉඩෝරයක මල් වැස්සක් – 72

“ඒයි…මේක පාක් එකක්වත් ෆිල්ම් හෝල් එකක්වත් නෙමෙයි. වැඩිහිටියන්ට පමණයි දර්ශන මෙතන පෙන්නන්න තියාගන්න එපා. පොඩි එවුන් ඉන්නවා.”

ඉසුරිත් බිනරත් එකටම සේ හිස එස වූයේ මාලිංග ඒ අයුරින් කෑ ගසද්දීය. ඒ හා සමගම ඇගේ කොපුල් මත රැඳී තිබුණු ඔහුගේ දෑත පහතට හෙළුනේය. ඉසුරි යළිත් ඉක්මන් වූයේ බිම බලා ගන්නටය. 

“තමුසෙලා ඔක්කෝම එකතුවෙලා ප්ලෑන් කරලා. ගිනි තියලා දැන් හිනා වෙවී බලාගෙන ඉන්නවා.  ඇවිත් මේ ගින්න නිවහං.”

“උඹල ගිනි තියාගත්තා මිසක්කා අපි ගිනි තිබ්බේ නෑ…”

“සුලක්ෂා අක්කා..මට ඔයාවත් කියන්න මේවයෙ අග මුල මොකක්ද කියලා. මේක මට මාර සප්‍රයිස් එකක් තමයි. ප්ලීස් මෙයාට කියලා දෙන්න මම කාගේ කවුරු වුණත් මේ යාළුකම ඇත්තක් මිසක් බොරුවක් නෙමෙයි කියලා.”

සුලක්ෂා ඉසුරි අසලට ළං වූයේ ඔහු  එසේ පැවසුවාට පසුවය. යුවතියගේ කොපුල් රත් පැහැ ගැන්වී තිබිණ. ඒ දෑස් වල තවමත් කඳුළුය. යෙහෙළියව අනුගමනය කරමින් හංසිකාත් ඇය අසලට ළං වූවාය. බිනර එතැනින් ඈත් වූයේ ඒ අවසරයෙන්ය. 

“අපේ තාත්තා කොහොමත් එදා ඉදලම හරි අමුතු වැඩ කළේ. ඒ උනාට ඒ අමුතු වැඩ ඇතුලේ තිබුණේ  අපිට තිබුණු ආදරේ. ඔයා දන්නවද ඉසුරි අපේ අක්කා යාළුවෙලා ඉඳපු බෝයිව තාත්තා ගෙදරට එක්කරගෙන එනකල් අපේ අක්කවත් දන්නේ නෑ. හැබැයි එයා ඒ හැම දෙයක්ම කලේ තමන්ගෙ කියල හිතෙන මිනිස්සුන්ට. මම මැරි කරන්න ඉන්න කෙනාගේ ගෙදරට ගිහින් එයා අපේ මැරේජ් එක තීන්දු කරනකල් අපිවත් දන් නෑ. අපි හිතනවා කොහොමද ගෙවල් වලට අපි ගැන කියන්නේ කියලා. එයා අපිව සතුටු කලේ ඒ විදිහට. ඔයා හිතනවනං මල්ලි ඔයාට වංචාවක් කළා කියලා ඒක එහෙම නෙමෙයි කියලා මං ඔයාගේ ඉස්සරහ දිවුරනවා ඉසුරි.”

“අනේ හංසිකා මැඩම් මං හීනෙකින්වත් එහෙම හිතන්න කැමති නෑ. බිනර සර් මට ඒ හැම දෙයක්ම කිව්වා. ඇත්ත බිනර සර් කිව්වා වගේ එයා කාගේ කවුද කියලා දැනගත්තනම් මං මෙච්චර එයාට ලං නොවෙන්න තිබුණා. එහෙනම් මේ කිසිම දෙයක් මට නොලැබෙන්න තිබුණා. අපිට අපේ ගේත් නැති වෙලා පාරට වැටෙන්න තිබුණා.  අපි අතරේ තිබුණේ අපිව තේරුම් ගත්ත ලොකු යාළුකමක්. ඒ යාළුකමේදී බිනර සර්  මට කිසිම වරදක් කළේ නෑ මැඩම්. ඉතින් මං කොහොමද වැරදියට හිතන්නේ.”

“දැන් ඔයා අපේ එකා  ළඟදි බිනර සර්  කියලා කතා කළාද?”

“නෑ මැඩම් මට සර් එක්ක කතා කරන්න හම්බවුනේ නැහැ. මට දුකයි ඇත්තටම අර කිව්වා වගේ අදින් පස්සේ සර්ටයි මටයි මේ තරම් සමීප වෙන්න බැරි වෙයි. බිනර් සර් මගේ බොස් කියන සිතුවිල්ල අපේ යාළුකමට වැටක් බැන්දා කියලා මට හිතෙනවා. මට දුකයි ඒ නිසා….”

යුවතිය පැවසූයේ ඉකි බිඳුමක්ද සමගය. 

“ඔයාට පිස්සුද මොනවද මේ කියන්නේ. ඔය ටික ඇහුනොත් ඇති මෙතන උඩු යටිකුරු කරලා දාන්න. අනේ සුලා ඉසුරිට කියන්නකෝ. මට තේරෙන් නෑ කොහොමද පැහැදිලි කරන්නේ කියලා”

“ඉසුරි…මං කෙලින්ම ඔයාට කියන්නම්. අපි තවදුරටත් මේවා හංග හංග කතා කරන එකේ තේරුමක් නෑ. මං හිතන්නේ බිනරට ඔයාගේ යාළුකම හැමදාම ඒ විදිහටම ඕන වෙයි. යාළුකම විතරක් නෙමෙයි ඔයාවත්. මං හිතන්නේ ගේ ඇතුලෙ ඒ ගැන ලොකු සාකච්ඡාවක්. ඉසුරි මේ කාටවත් ඔයාලගේ යාළුකමටවත් ඇති වෙන්න යන රිලේෂන්ෂිප් එකටවත් වැට බඳින්න උවමනාවක් නෑ. එහෙම උනානම් මේ කවුරුවත් මෙතනට එන්නේ නෑ”

“ඩොක්ටර් ඒ කියන්නේ….”

“අංකලුයි ආන්ටියි ඇවිල්ලා ඉන්නේ මේ යාලුකමට අලුත් නමක් දෙන්න. ඇත්තටම කිව්වොත් ඒක බිනරගේ හිතේ කාලෙක ඉඳලා තිබුණු උවමනාවක්. හැබැයි බිනර කැමති උනේ නැහැ මේ ඇත්ත ඔයා හරි හැටිම දැනගන්නකල් ඒ යෝජනාව ඔයාට ගේන්න. හැබැයි ඔයා  ඇරෙන්න මේ හැමෝම දැනගෙන හිටියා බිනරගේ හිතේ ඔයා ගැන තියෙන්නේ යාළුකමට එහා ගිය හැඟීමක් කියලා.”

“අනේ ඩොක්ටර් මොනවද මේ කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ. බිනර සර් කවදාවත් මට එහෙම දෙයක් අගවලා නෑ.”

“ඒක ඉතින් තේරුම් කරලා දෙන්න පුළුවන් එයාටම විතරයි.”

ඉසුරි  හිස ඔසවා බැලුවේ බිනර දෙසය. ඔහු අතපය දිගු කරමින් මාලිංගත් ඇගේ පෙම්වතියත් සමඟින් ලොකු කතාවකය. නිවස තුළින් වරින් වර ඇසෙන්නේ උස් සිනහ හඬකි. මඳක් එහාට වන්නට සිටගෙන සිටින නංගීගේත් මල්ලීගේත් මුහුණෙහි මල් පිපී ඇතුවා සේය. 

“හංසිකා මැඩම්, ඩොක්ටර්…මට කවදාවත් බිනර සර්ගෙන්  එහෙම වෙනසක් දැනිලා නෑ.”

“ඒ තමයි බිනර. සමහරවිට මේ ලෝකෙටම එක්කෙනෙක් වෙන්නන පුළුවන්…. මං ඒක දන්නවා ඉසුරි. බිනර හැම තිස්සේම පරිස්සම් වුණේ ඔයාගේ ළඟදි හිත තද කරගෙන ඉන්න. මොකද එයාගේ හිතේ ඔයා ගැන තිබුනේ හරි පවිත්‍ර හැඟීමක්. ඒ හැඟීම වචනෙකින්වත් කිලිටි  වෙන්න බිනර ඉඩ තිබ්බෙ නෑ. එයාට ඕන උනා හෙමින් ඔයාගේ හිතේ ඉඩක් සොයා ගන්න”

“දන්නවද ඉසුරි. එයා ඒ හැම හැඟීමක්ම හංගගෙන ඔයා ඔයාගේ ලොකු අයියව මැරිකලානම් ඒකටත් ආශිර්වාද කරන්න හිත හදාගෙන හිටියේ. මං විශ්වාසයෙන්ම කියනවා. එයාට දකින්න ඕන උනේ ඔයාගේ හිනාව විතරයි. මගේ මල්ලි තරම්  කවුරුවත් ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.”

හංසිකා එසේ පැවසූයේ යුවතියගේ දෑත් අල්ලාගෙනය. ඒ කොපුල් දිගේ කඳුළු බේරී යමින් තිබිණ. ඈ සිටියේ බිනර දෙස බලාගෙනය. බිනර ආපසු හැරුනේත් ඒ දෑස් එකට පැටලුනේත් එකම නිමේෂයකය.  කොහොමටත් ඉසුරිගේ දෑස්වල කඳුළු තරම් ඔහුව නොසන්සුන් කරන අන් කිසිවක් වූයේ නැත. අඩියට දෙකට ඉසුරි අසලට පැමිණි තරුණයා ඇගේ කොපුල් දෝතින් අල්ලා ගත්තේ සොහොයුරියත් සුලක්ෂාත් ඉදිරිපිටමය. 

“ඇයි මේ….ඇයි ඔයා අඬන්නේ…අක්කා මොනවද ඔයාලා ඉසුරිට කිව්වේ. ප්ලීස් අඬන්න එපා කවුරුවත් ඔයාට කිසි දේකට බල කරන්නේ නෑ…”

“අනේ සර්….”

“මොන සර් කෙනෙක්ද කවුද සර්..ඉසුරි මේ ඉන්නේ ඔයාගේ හොඳම යාළුවා විතරයි. ප්ලීස්..”

හංසිකා සොහොයුරාත් ඉසුරිත් අසළින් ඈත් වූයේ සුලක්ෂාගේ දෑස් බැල්මකට එකඟවය. අවසන ආලින්දයේ තනිවූයේ ඔහුත් ඇයත් පමණි. බිනර තවමත් ඉසුරිගේ කොපුල් දෝතින් අල්ලා ගත් ගමන්ය. 

“ඔයා කතා කරන්න ඕන ඉසුරි. එහෙම නොවුනොත් ආපහු අපිට ඉස්සර වගේ අපේ ජීවිත බෙදා ගන්න බෑ.”

“සර් සොරි! මම දැනගෙන හිටියේ නෑ…”

“මොන….මොනවද… දැනගෙන හිටියේ නැත්තේ.”

“සර් මට…සර් මට…”

“ආදරය කරනවා කියලද…ඔයාට ආදරය කළේ සර් නෙමෙයි බිනර. ඒක කාලයත් එක්ක මගේ හිතේ ඇතිවෙච්ච හැඟීමක් ඉසුරි. අදත් මට ඔයාට ප්‍රොමිස් වෙන්න පුළුවන්. ඉස්සර වෙලාම අපි දෙන්න අතර ඇතිවුණේ හොඳ යාළුකමක්. කාලයත් එක්ක මං ඔයා දිහා බලාගෙන හිතුවා මං ආස කරන සැහැල්ලුව, සැනසීම ඔයාගේ ළඟ තියෙනවා කියලා. මං දන්නවා ආදරේ වගේ හැඟීමක් ඒක පාර්ශවිය හැඟීමක් වෙන්න බෑ.”

“ඒත් සර්…”

“කියන්න ඉසුරි…ඔයා ඔයාට දැනෙන දේවල් කියන්න. මං තරහ නෑ. අපි කතා කරන්න ඕන ඉසුරි.” 

“සර්ගේ යාළුකම මට ගොඩක් වටිනවා. ඇත්තටම මං හැමදාම කිව්වා වගේ මං හිටියේ මහා අඳුරු ලෝකයක හිරවෙලා. සර් තමයි මට පෙන්නුවේ ඒ අඳුර තිබුනේ මං හිතින් මවාගෙන ඉඳපු එක තැනක විතරයි කියලා. ඊට පස්සේ මං ලෝකෙ දිහා බැලුවේ සර්ගේ ඇස් දෙකෙන්. මගේ ජීවිතේ ගැන හැම තීරණයක්ම ගන්න මං සර්ගේ උදව් ඉල්ලුවා. ටිකෙන් ටික ටිකෙන් ටික මං ඒ අඳුරු ලෝකෙන් එලියට ආවා. මට ඕන උනා මේ ලෝකේ අනිත් අය විඳින සතුට සැහැල්ලුව විඳින්න. මගේ හැම ප්‍රශ්නෙකටම උත්තර සර් ලඟ තිබුණා.  මේ ගෙදරට එන්න තීරණය කලාට පස්සේ මං මගේ නංගිගෙයි මල්ලිගෙයි මූණුවල  කවදාවත් නොදැකපු තරම් සතුටක් දැක්කා. අවුරුදු පහළොවකට විතර පස්සේ අපේ ගෙදර අය සතුටින් හිනාවෙලා ඉන්නවා දැක්කා. සමහර මිනිස්සුන්ගේ ඇත්ත ස්වරූපය ඇස් පනාපිටම සර් මට පෙන්නුවා. මගේ අම්මයි තාත්තයි පුංචි අම්මයි අර චූටි නංගීයි… අපි හැමෝම එක පවුලක් විදිහට එකතු වුණා. අද උදේ වෙනකල්ම මං හිතාගෙන හිටියේ මේ ලෝකෙ තියෙන හැම සතුටක්ම මං දන්නෙම නැතුව මගේ ළඟට ඇවිල්ලා කියලා.”

“ඔව් ඉසුරි ඒක එහෙම තමයි…”

“නෑ සර්…ආපහු මම ප්‍රශ්නයක් ඉස්සරහ නේද මේ නතර වෙලා ඉන්නේ.”

“මොකක්ද ඉසුරි ප්‍රශ්නේ.

“හංසිකා මැඩමුයි ඩොක්ට සුලක්ෂායි කියනවා සර් මට ආදරේ කරනවා කියලා. අද ජයවර්ධන සර්රුයි මැඩමුයි ආවෙ ඒ ගැන කතා කරන්න කියලා.” 

“ඔව් ඒක මමත් දන්නෙ දැන්. එයාල මගේ කැමැත්තට මේ තරම් ලේසියෙන් ඉඩ දෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ ඉසුරි. හැබැයි මං මෙච්චර ඉක්මනට මේ වගේ සිටුවේෂන් එකක් බලාපොරොත්තු උනෙත් නෑ. මට හැමදාම ඕන වුණේ ඔයා හෙමිහිට හිත හදාගන්නව දකින්න. ඊට පස්සේ ඒ හිත ඇතුලේ මට ඉඩක් හොයාගන්න. මං ඒ දේවල් කරන්න කලින් තාත්තලා අම්මලා අපි ගැන තීරණ අරගෙන. මං මේ වෙලාවෙත් කියනවා ඉසුරි ඔයාගෙ කැමැත්තට මිස අකමැත්තට කිසිම දෙයක් වෙන්නෙ නෑ කියලා. ඉස්සර වෙලා ඔයාගේ පපුවට මාව දැනෙන්න ඕනේ ඉසුරි. මට තනියම ආදරේ කරන්න බෑ”

“සර්ට මාව දැනුනද…..සර් මේ ගොඩක් හිතලා ගතපු තීරණයක්ද…”

“එහෙම නොවුන නං ළමයෝ මම මගේ හිතින් ඔයාට ආදරේ කර කර මෙච්චර දුරක් යනවද. සුලා අක්කා ලොකු අක්කා පොඩි අක්කා විතරක් නෙමෙයි මාලිංගයි අනුරාදීත් ඒ ගැන දැනගෙන හිටියා. හැබැයි ඔයාට ඒ දේවල් කියන්න තාම සුදුසු කාලය නෙමෙයි කියලා මම හිතුවා. ඔයා හිමි හිමිහිට ශක්තිමත් වෙන හැටි මං බලන් හිටියා.”

“සර්ට හිතුනෙ නැද්ද අපි දෙන්න අතර අහසයි පොළොවයි තරං දුරක් තියෙනවා කියලා. සර්ගේ ජීවිතය හරි වටින එකක්. මං නිකම්ම නිකං සාමාන්‍ය පවුලක කෙල්ලෙක්”

“ඉසුරි මගේ ජීවිතේට සුදුසු මොනවද නුසුදුසු මොනවද කියලා තීරණය කරන්න ඕන මම. මේ අවුරුදු දෙක ඇතුළත ඔයා යම් මට්ටමකට හරි මාව තේරුම් ගන්න ඇති. ඔයා හිතනවද මාත් එක්ක ජීවත් වෙන්න අපහසුවෙයි කියලා…”

“අනේ නෑ දෙයියනේ නෑ…මේ තමයි මට ජීවත් වෙන්න පහසුම තැන. මට මං වෙන්න පුළුවන් එකම තැන..”

“එහෙනම් ඇයි ඉසුරි මේ ඇස් වල කඳුළු පුරවගෙන…”

“සර්ට මම වගේ කෙනෙක් ගැලපෙන්නෙ නෑ කියලා මගේ හිත කියනවා. මට එච්චර සුදුසුකම් නෑ කියලා මගේ හිත කියනවා සර්. සර්ට තියෙන්නෙ හරි ලස්සන ජීවිතයක්. හැබැයි මට තියෙන්නේ බාධක ගොඩක් එක්ක බොහොම අමාරුවෙන් ඉස්සරහට ආපු ජීවිතයක්.”

“ඉසුරි මාව චෙක් කරන්න හේතුවු ඒකද…..”

“අනේ මං කොහොමද….”

“ඉසුරිමුලින්ම ඔය සර් කියන එක නවත්ත ගන්න. ඔයා ඉස්සෙල්ලා බිනර ගාවට එන්න. ඊට පස්සේ ඔයා හිතන්න බිනරව අහිමි කරගෙන ඔයාට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. එක පාරක් ඔය හිතෙන් අහල බලන්න බිනරව ඔයාට දැනුනේ නැද්ද කියලා. බිනර නැති වෙයි කියලා බයක් ඔය හිතේ තිබුනෙ නැද්ද කියලා. බිනරගේ කටහඬ අහන්න ලොකු උවමනාවක් ඔයාගේ හිතේ තිබුණෙ නැද්ද කියලා. බිනරගේ පපුවට ඔලුව තියා ගත්තහම ලෝකෙම අමතක වුනේ නැද්ද කියලා…..”

“අනේ සර්….ම…මට….”

“සර් නෙමෙයි ඉසුරි බිනර. මගේ අම්මයි තාත්තයි අක්කල දෙන්නයි ඔයාව පිළි අරගෙන ඉවරයි. දැන් ඕනේ ඔයාගේ තීරණය. ඒ තීරණය මොකක් උනත් මං ඒක සතුටින්  බාරගන්නවා. කියන්න මට…. බිනරට හිස් අතින් යන්න දෙනවද?”

“අනේ දෙයියනේ…..”

“යුවතිය ඒ පපුවට තුරුළු වූයේ හඬාගෙනමය. නිවස තුළ සිට ආපසු ආලින්දයට පැමිණෙන්නට ආ හංසිකාට  බිනර ඇසක් ගැසුවේ ආපසු නිවස තුළට යන්නයැයි පවසමින්ය. ඇය සිටියේ බියෙන්ය. නිවස තුළ සියල්ලෝම සතුටු සාමීචියේ යෙදී සිටියදී හංසිකා නිවසින් පිටතට පැමිණියේත් ඒ නිසාය. සොහොයුරාගේ තරම ඈ හොඳින් දනී. ඉසුරි අහිමිවුවහොත් ඔහු සියල්ල දමා ගසා යන්නට වුවද හැක.  බිනර තම  මහපට ඇඟිල්ල ඔසවා සියල්ල නිවැරැදියැයි පැවසූයේ යුවතියව තම දකුණතින් තුරුලු කරගන්නා ගමන්මය. 

“කියන්න…ඔයාට බිනර ඕනේ නේද…දවසක් කිව්වා මතකද ඔයා මාව දාලා ගියොත් මට හුස්ම ගන්නත් අමතක වෙයි කියලා. ඉතින් බිනර නැතුව හුස්ම ගන්න පුළුවන් වෙයි කියල ඔයා හිතනවද.?”

“නෑ දෙයියනේ නෑ…”

“එහෙනම් ඇයි මේ බයෙන් ගැහෙන්නේ…”

“ජයවර්ධන සර් හිතයි මම ඔයාව රවට්ට ගත්තා කියලා. මැඩම් ඔයා ගැන මීට වඩා බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති…ඔයාලගේ ජීවිත වලට ගැලපෙන හොඳම කෙනා මම නෙමෙයි වෙන්න ඇති. ඔයාව සතුටු කරන් එයාලා අමාරුවෙන් හරි මට කැමති වෙන්න ඇති.”

“ඇත්ත තමයි ඉතින් ඔයා මාව රවට්ට ගත්තනේ..”

“අනේ බිනර….

“කඳුළු පෙන්නලා. අහිංසක කම පෙන්නලා ඔයා මාව රවට්ට ගත්තා කියලා කියන්න වෙනවා තමයි.”

“අනේ මං එහෙම කළේ නෑ….”

“නෑ මැණික….ඔයාට මාව ඕන උනාට වඩා සිය දහස් ගුණයක් මට ඔයාව ඕන වුණා. කාලෙකදි මං බය වුණා කවද හරි දවසක ඔයා පාරින්දව කසාද බැඳලා යන්න යයි කියලා. එදාට මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා මං තනියම හිතුවා. හැම තිස්සෙම ඔයාව ළඟ තියාගෙන ඉන්න ඕන වුණා. ඒ හැඟීම හරි පුදුමාකාර එකක්…ඔයාට එහෙම හිතුනෙ නැද්ද මැණික…”

අනේ ඇයි නොහිතුනේ…ඔයාගේ ළඟ ඉඳලා ගෙදර ගියාට පස්සේ මට මහා  තනිකමක් පාළුවක් දැනුනා. හැමදාම රෑට ඔයත් එක්ක කියව කියව ඉඳලා නිදාගන්න මට ඕන වුණා. මගේ ජීවිතයට කවුරු නැති උනත් කවද හරි දවසක ඔයා නැති වෙයි කියලා හිතද්දි  කවදාවත් නොහිතුණු විදිහේ වේදනාවක් දැනුනා. ඇත්තටම ඔයා නැති දවසක මට හුස්ම ගන්න බැරි වෙයි කියලා මට හිතුනා. ඔයාව හම්බුනාට පස්සේ ජීවිතේ කිසිම තීරණයක් මම තනියෙන් ගත්තේ නෑ බිනර..සමහරවිට ඔයා කිව්වට වඩා මට ඔයාව ඕන වුණා…මං ආයෙත් ඔයාගෙන් අහන්නේ මේ තීරණේ ඔයා හොඳට හිතලා ගතපු එකක්ද. බිනර මගේ පවුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපිට ඒක ප්‍රශ්නයක් නොවුනට සමහර වෙලාවට අපි ඔක්කොම මෙහෙම එකට එකතු වෙලා ඉන්නවා  දකින එක කාට හරි හිනාවට කාරණයක් වෙන්න පුළුවන්. ඔයා වෙනුවෙන් ඔයාගේ ළඟට අරගෙන එන්න දෙයක් මට නෑ බිනර. අපි හරි දුප්පත් හරි අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. මගේ ජීවිතයට කවුරු ආවත් එයාට මගේ නංගි මල්ලි වෙනුවෙන් වගකීම් දරන්න වෙනවා…මගේ ජීවිතයේ බර වැඩී බිනර…”

“අපි දෙන්නම එකතු උනහම ඒ හැම දෙයක්ම පහසු වෙයි. ඔයාගේ මේ ලොකු පවුල ඇතුලේ සාමාජිකයෙක් වෙන එක මට සතුටක්..

පැය බාගෙකට වඩා ගෙවිලා යන්න ඇති. එක තත්පරයක් ඔළුව උස්සලා මගේ දිහා බැලුවෙ නෑ… කෝ මැණික.. එන්න අපි ගෙට යමු. අමාරුවෙන් හරි දැන් අපිට එයාලට මුහුණ දෙන්නම වෙනවා. අපිට වඩා අපි දිහා බලන් ඉදලා තියෙන්නේ එයාලනේ..”

බිනර පැවසූයේ තම පපුවට මුව තද කරගෙන සිටිනා යුවතියගේ හිස හෙමිහිට ඔසවනා අතරේය. මින් පෙරත් කිහිප වතාවක් ඒ නළලත සිපගෙන තිබුණත් ඔහු වෙනදාට වඩා වෙනස් හැඟීමක් දරාගෙන ඒ නළලත මත තම දෙතොල් තැබුවේය. තම බඳ වටා එතී තිබු  යුවතියගේ දෑත් ග්‍රහණය දැඩි වෙන අයුරු බිනරට දැනෙන්නට විය. විශ්වාසය මේ ඒ පැතූ ආදරයමය.

ඉන්පසු ඔහු නිවස තුළට ගියේ දකුණතින් ඇයවත් සිය ගතට තුරුළු කරගෙනමය. 

“දෙන්නත් එක්ක ප්‍රශ්න විසඳ ගත්තනම් මෙහෙන් ඇවිල්ල වාඩි වෙමුකෝ. දැන් ඉතින් අපිට කියන්නකො ඉදිරි සැලසුම් ගැන.”

එසේ පැවසූයේ ජයවර්ධනය. ඉසුරි නයනා අසලින්ම අසුන් ගත්තේ ඇගේ ආරාධනයෙන්ය. 

“ඒ හැමදේටම කලින් මට කියන්නකෝ තාත්තයි සුරංග අංකලුයි මෙච්චර හිතවත් උනේ කොහොමද කියලා…මාර ප්ලෑන්නේ මෙව්වා”

බිනර එසේ ඇසුවේ සියල්ලන්ගේම මුහුණුවල මදහසක් තබමින්ය. 

“තාත්තල එහෙම තමයි දරුවන්ව සතුටු කරන්න යාළු වෙනවා, එකතු වෙනවා.” 

“රාජිණි, මධාරා…මෙයා කරන්නෙ මෙහෙම වැඩ තමයි. ලොකු දුව යාළුවෙලා ඉදපු  පුතා දුවගේ උපන් දිනේ දවසේ ගෙදරට එක් කරගෙන එනකල්ම ඒ දරුවා දන්නෙත් නෑ. ඒක තමයිලු ඒ අවුරුද්දේ මෙයා අපි ලොකු දුවට දීපු උපන්දින තෑග්ග. ඊට පස්සේ මේ පොඩි දුව යාළුවෙලා ඉඳපු දරුවාගේ ගෙදරට ගිහිල්ලා මඟුල් තුලා කතා කරගන්නකල්ම මේ දරුවො දෙන්න දන්නෙත් නෑ. ඒ පුතා අදටත් කියනවා තාත්තා මට හැමදේම ලේසි කරලා දුන්නා කියලා. මේ වැඩෙත් එහෙමනේ…..”

එසේ පැවසූයේ නයනාය. 

“මං මීට ටික වෙලාවකට කලින් කිව්වෙ අංකල් වගේ තාත්තලා හැමෝටම ඉන්න ඕනේ කියලා. දරුවන්ගේ සතුට ගැන මේ තරම් හිතන දරුවන්ව මේ තරම් තේරෙන තාත්තලා හරි අඩුයි. මටනම් අංකල් කියන්නේ හීරෝ කෙනෙක්.”

සුලක්ෂා  පැවසූයේ කෝසල ජයවර්ධන දෙස බලාගෙනය. 

“ඔයා හොඳ කෙනෙක් හින්දා තමයි අක්කේ ඔයාට මේ තරම් හරි ගියේ. ඔයාට දැන් පුළුවන් රැජිණක්  වගේ ජීවත් වෙන්න.”

ඉඩක් ලද ඇසිල්ලේ නංගීත් මල්ලිත් පැවසූයේ එහෙමය. අම්මා තවමත් සිටින්නේ මේ කිසිවක් විශ්වාස කර ගැනීමට නොහැකි ලෙසය. තමාගේ ජීවිතයට වසන්තය මේසා ඉක්මනින් පැමිණේයැයි ඉසුරිට සිතුනේ නැත. 

                                        *****************

පාරින්දව පොලිසියෙන් රැගෙන ගිය පුවත ගම්වැසියෙකු විසින් රැගෙන එද්දී නාලනී සිටියේ අව්වේ වේලෙන්නට දැමූ රෙදි යළි ගෙට ගනිමින්ය. ඒ අතරේම ඕ නිවසේ කිසිදු වැඩක් පලක් නොකරන තම දියණියට දොස් පවරමින් උන්නාය. සමරජීව නිවසින් පිටතට පැමිණියේ තම බිරිඳගේ උස් හඬ ඇසෙද්දීය. පණිවිඩය ගෙන ආ පුද්ගලයා පැවසූ පරිදි ඔහුව පොලිසියට රැගෙන යන්නට හේතුව වූයේ වොලි බෝල් පිට්ටනියේදී ඇතිවූ ගැටුමකි. 

“මං කොච්චරවත් මූට කියනවා මේ සෙල්ලම නවත්තහං කියලා. මූ මොකට ඒවට යනවද උන් මොකට මූව ගන්නවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. හැමදාම මොකක් හරි රණ්ඩුවක්. දැන් ඉතින් පොලිසි උසාවි ගානේ දුවන්න එපැයි.

නාලනී නිවසට ඇතුළු වූයේ උස් හඬින් එසේ පවසාගෙනය. ඒ වනවිටත් සමරජීව සිටියේ සරමෙන් කලිසමට මාරු වෙමින්ය. 

( හෙටත් හමු වෙමු ආදරයෙන් )

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles