මේ සිද්ධිය වෙන්නේ 2012 අවුරුද්දේ මැද භාගයේ.
කැනඩාවේ උන්න තරුණ සහෝදරියෝ දෙන්නෙක් වෙන නොඒමි සහ එයාගෙ නංගි අන්ඩ්‍රේ එයාලගේ ජීවිතේ ලස්සනම නිවාඩුවක් ගත කරන්න කියලා හිතාගෙන ලෝකේ සුන්දරම සංචාරක නවාතැන් පොළක් වුණු තායිලන්තයට එනවා. එයාලා හරිම සතුටින්, විනෝද වෙන බලාපොරොත්තු ගොඩක් එක්කයි මේ ගමන ඇවිත් තිබ්බේ.
ඉතින් මේ ගමනෙදි දවසක් රෑ මේ දෙන්නට යන්න හම්බෙනවා එයාලා උන්න හොටෙල් එක කිට්ටුව තිබුණ බීච් පාටි එකකට. මේක සෑහෙන පිරිසක් සහභාගි වෙච්ච පාටියක්. මෙතනදි මේ දෙන්නට හම්බෙනවා වියට්නාම් වලදි අඳුරගත්ත බ්‍රසීල තරුණයන් දෙන්නෙක්. මේ කෙල්ලො දෙන්නා ඉතින් මේ තරුණ කොල්ලො දෙන්නත් එක්ක විනෝද වෙන ගමන් එක කොල්ලෙක් අරගෙන එන කොක්ටේල් බකට් එකකින් බීම බොනවා. මේ බීච් එකේ පාටි එකේ උන්න ගොඩක් අය ඒ කොක්ටේල් බකට් එකේ තියෙන ඩ්‍රින්ක්ස් බොනවා කියලා තේරිච්ච හන්දා මේ දෙන්නත් බය නැතුව ඒක බොනවා. ඇත්තටම ඒකේ තිබිලා තියෙන්නෙ තායිලන්තයේ හදන රම් (Rum) වගේ සැර බීම ජාති. මුලින් කොල්ලො දෙන්නා බීලා, ඊට පස්සේ තමයි කෙල්ලෝ දෙන්නත් ඒකට එකතු වෙන්නෙ. කොහොමහරි කාලා බීලා, නටලා කරලා ඒ රෑ එයාලා හතර දෙනාම හරිම සතුටින් ඉඳලා මේ කට්ටිය රෑ මේ කෙල්ලො දෙන්න නතරවෙලා උන්න හෝටල් කාමරේට එනවා. එදා ඒ විදියට රෑ පහන් කරලා උදේ පාන්දරින්ම අර බ්‍රසීලියානු කොල්ලෝ දෙන්නා සහෝදරියන්ගේ හෝටල් කාමරෙන් යන්න යනවා.
ඊළඟ දවස් තුන පුරාම ඒ කාමරෙන් කිසිම සද්දයක් ඇහෙන්නෙ නැහැ. දෙමව්පියෝ කැනඩාවේ ඉඳන් කතා කරනවා, කාමරේ ඇතුළෙන් කිසිම උත්තරයක් නැහැ. මෙන්න මෙතනදි තමයි හෝටලේ අයට සැක හිතෙන්නෙ මොකක් නමුත් අවුලක් මෙතන වෙලා තියෙනවය කියන එක. හොටෙල් රූම් එක ළඟට ගිහින් දොරට තට්ටු කරත් හෝටල් කාමරේ ඇතුළෙතින් කිසිම සද්දයක් ඇහෙන්නෙ නෑ.
අන්තිමට දොර කඩලා ඇතුළට යන්න හෝටලේ කට්ටියට සිද්ද වෙනවා.
ඒ විදියට හොටෙල් රූම් එක ඇතුළට යන සේවකයන්ට දකින්න වෙන්නෙ කාටවත් අදහගන්න බැරි දෙයක්.
ඇඳ උඩ, සහෝදරියෝ දෙන්නා ඉන්නවා. මුහුණ පහළට හරවගෙන, මියගිහින්. මේ දෙන්නා උන්න ඇඳ උඩ සෑහෙන ප්‍රමාණයක් වමනෙ එක්කහු වෙලා තිබ්බෙ. ඒ නිසාම කාමරේ පුරාම තිබ්බෙ පුදුමාකාර ගඳක්. කාමරේ ඇතුලෙ ඒ වෙද්දිත් ඒසී එක ක්‍රියාත්මක වෙමින් තමයි තිබිලා තියෙන්නෙ.
හෝටලෙන් දුන්න දැනුම් දීමකට අනුව පොලිසිය මෙතනට එනවා. සිද්දිය දකින එයාලා මුලින්ම කිව්වේ, “මේක මත්පැන් වැඩි වීම නිසා සිද්ද උන මරණයක් වෙන්න ඇති, නැත්නම් ඩ්‍රග්ස් වගේ දෙයක් අරගෙන වෙන්න ඇති” කියලා.
හැබැයි පොලිසියේ අයටත් සැක හිතෙන කාරණා කීපයක් මේ සිදුවීම වෙන තැන දකින්න ලැබෙනවා. එකක් තමයි ලේ පැල්ලම්. ඇඳ ලඟ තිබිච්ච මේසය පුරාම සහ කෙල්ලන්ගේ ඇඟිලි තුඩුවලත් පුංචි ලේ බිංදු තිබිලා තියෙනවා. ඒකෙන් පොලිසිය නිගමනයකට එනවා මේක මත් පැන් විශවීමකින් වෙච්ච මරණයක් වෙන්න බෑ කියන එක. හැබැයි කාමරේ කිසිම තැනක පහරදීමක්, ගැටුමක් වෙච්ච සලකුණු පේන්න තිබ්බෙත් නෑ. හැබැයි මේ සහෝදරියන් දෙන්නා එදා රෑ ඒ අඳුන ගත්තු බ්‍රසීල කොල්ලෝ දෙන්නා සිද්ධිය වුණාට පස්සේ ඉක්මනින්ම රටින් පිට වෙලා ගිහින් තියෙනවා කියලා දැනගත්ත ගමන් පොලිසියෙ සැකේ ඒ පැත්තට යනවා.
කොහොමහරි කොල්ලො දෙන්නා ගැන ඉන්ටර්පෝල් එකෙන් හොයද්දි දැනගන්න ලැබෙනවා ගෑණු ලමයි දෙන්නා වගේම මේ බ්‍රසීල ජාතික කොල්ලො දෙන්නත් හරියට අසනීප වෙලා තියෙනවා කියන එක.
තායිලන්තයේ කරපු මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, කෙල්ලෝ දෙන්නා බීලා තිබුණේ ‘4×100’ කියන, තායිලන්තේ ප්‍රසිද්ධ බීම එකක්. මේක හදනකොට DEET කියලා කියන කෘමි නාශකයක් පොඩ්ඩක් දානවාලු.
හැබැයි පුදුමෙට කාරණේ වුණේ, එයාලගේ ඇඟවල් ඇතුළේ ඒ DEET කියන කෘමි නාශකයේ අධික මාත්‍රාවක් තිබිච්ච එක.
ඉතින් පොලීසිය තීරණය කළා බීම එක හදනකොට අත්වැරදීමකින් ඒ විෂ වැඩි වෙලා ඇති කියලා. ඒක වෙන්න ඇති මරණයට හේතුව කියලා. ඒක නිසා දවස් නවයකට පස්සේ මළසිරුරු කැනඩාවට යැව්වේ ‘අත්වැරදීමකින් වුණු අනතුරක්’ විදිහට සටහන් කරලා.
හැබැයි මේ සහෝදරියන්ගෙ දෙමව්පියන්ගේ හිතට මේක කොහෙත්ම ඇල්ලුවේ නෑ. එයාලගේ ප්‍රශ්නේ වූනේ හරිම සරල එකක්: “අපේ කෙල්ලෝ දෙන්නා විතරක් මැරුණේ ඇයි? ඒ බීම එකම බිව්ව වෙරළේ හිටපු අනිත් අයට මොකුත් වුණේ නැත්තේ ඇයි?” කියලා ඒ අම්මලා තාත්තලා අහද්දි ඒක සාධාරණ ප්‍රශ්නයක් කියලා තේරුම්ගත්ත කැනඩාවේ ආණ්ඩුව පවා මේ සිද්ධියට මැදිහත් වෙනවා. ඒ අනුව කැනඩාවේදී දෙවෙනි වතාවට වඩා හොඳ මරණ පරීක්ෂණයක් කරන්න කටයුතු කරනවා.
අන්න එතනදි තමයි රහස එළියට එන්නේ.
දෙවෙනි වාර්තාව හෙලිකරන්නෙ කිසිසේත්ම හිතුවෙ නැතු දෙයක්.
මේ ගෑණු ළමයි දෙන්න බිව්ව බීම එකේ DEET තිබුණත්, ඒක මැරෙන්න තරම් ප්‍රමාණයක් නෙවෙයි. එහෙනම් මොකක්ද මේ මරණවලට හේතුව?
තවදුරටත් හොයනකොට කැනේඩියානු පොලීසියට ලැබුණු තොරතුරු හරිම බය හිතෙන ඒවා. 2009 ඉඳලා 2015 වෙනකම් ඒ පැත්තේ හෝටල්වල හිටපු විදේශිකයෝ 22ක් මේ විදිහටම, අභිරහස් විෂ වීම් වගේ මැරිලා තියෙනවා!
අන්තිමට හොයලා බලනකොට හෙළි වුණේ තායිලන්තයේ හෝටල්වල පාවිච්චි කරන භයානක රහසක්.
ඇඳ මකුණන් වගේ පුංචි සත්තුන්ගෙන් බේරෙන්න, හෝටල් හිමියන් සමහර වෙලාවට නීති විරෝධී, මාරාන්තික රසායනික ගෑස් වර්ග පාවිච්චි කරනවා. මේවා ඇඳ ඇතිරිලිවලට, මැට්ට්‍රස්වලට (Mattress) හෝ වායු සමීකරණ නළවලට ගහනවා. මේ ගෑස් එක හරිම දරුණුයි. ඒක ඇඟට ගියොත් විනාඩි කීපයකින් මැරෙන්න පුළුවන්.
ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මේකයි:
ගෑණු ළමයි දෙන්නා කාමරේට ආවට පස්සේ, ඇඳන් උඩ ඉන්නකොට, ඒ විෂ සහිත ගෑස් එක එයාලගේ හුස්ම ගැනීමෙන් සහ සම හරහා ඇඟට ඇතුළු වෙලා තියෙනවා.
අර බ්‍රසීල ජාතික පිරිමි ළමයි දෙන්නා උදේ පාන්දරින්ම හෝටල් කාමරෙන් ගියානෙ.ඒ හින්දා එයාලගේ ඇඟට ගිහින් තියෙන්නේ ටිකක් විතරයි. ඒකයි එයාලා දරුණු විදිහට අසනීප වුණේ.
සහෝදරියෝ දෙන්නා ගොඩක් වෙලාවක් කාමරේ හිටියා. ඒක නිසා එයාලගේ ඇඟට අධික විෂ මාත්‍රාවක් ගිහින්, එයාලගේ අභ්‍යන්තර අවයවවලට හානි වෙලා, දෙදෙනාම එක වගේ මැරිලා තියෙනවා.
ඇඳ මකුණෙක් මරන්න ගහපු නීති විරෝධී විෂක් නිසා අන්තිමේ විනෝද වෙන්න ගමනක් ආව තරුණ කෙල්ලෝ දෙන්නෙක්ට එයාලගෙ ජීවිත හරිම නරක විදියට නැති වෙනවා.
මෙච්චර බිහිසුණු සත්‍යයක් එළි වුණත්, මේ සිද්ධියට කිසිම හෝටල් හිමිකරුවෙක් හෝ රජයේ නිලධාරියෙක් වගකිව යුතු ලෙස නම් කළේවත්, දඬුවම් කළේවත් නෑ.
සංචාරක හෝටල්වල සඟවලා තිබුණු මේ මාරාන්තික අභිරහස, විදේශිකයන්ගේ ආරක්ෂාව ගැන මුළු ලෝකෙටම ලොකු බියක් සහ විශාල ප්‍රශ්න ගොඩක් ඉතුරු කරන්න හේතු වෙනවා.
ඉතින්, මේ ඛේදජනක කතාවෙන් අපිට තේරෙනවා මේ ලෝකේ හැටි. “Life එක enjoy කරන්න” කියලා හිතාගෙන අපි ගොඩක් ලස්සන සංචාරක ස්ථාන වලට යනවා. ‘දැන් අපි ආරක්ෂිතයි’, ‘දැන් අපි සතුටින්’ කියලා අපි ඒ තැන්වලදි, ඒ විනෝදෙ අස්සෙ හිතනවා.
හැබැයි ඒ සමහර ලස්සන තැන්වල පවා, අපි හිතන්නේවත් නැති විදිහට, අපේ ජීවිතවලට හොරෙන් මාරයා ඇවිත් හැංගිලා ඉන්න පුළුවන්.

