සඳ දිය දහරා – 2

0
4686

මුළුතැන් ගේ තුළ පේළියට තබා තිබුනේ සවස ඉවීමට ගන්නා අඩුම කුඩුමය. දහරා මෙම නිවසට පැමිණි දා සිට ඉවීම ඇගේ රාජකාරිය වී තිබිණ. ගැබිණි සමයේ විවිධ සංකූලතා ඇතිවේ. විටෙක බඩවැල් කලතාගෙන එන ඔක්කාරය දරාගෙනම ඇය ඉවීම් පිහිම් සිදුකරයි. උහුලන්නට අපහසුම වූයේ බත ඉඳෙනාවිට එන සුවඳයි. විටෙක දහරාට ආහාර ගන්නට නොසිතෙන්නේත් එනිසාය. අදටත් ආච්චීගේ කෑම සිහි වද්දී දැනෙන්නේ පුදුමාකාර ආසාවකි.

වට්ටක්කා කෑල්ලකුත්, පරිප්පු මිටවල් දෙකකුත්, හාල්මැස්සන් ටිකකුත් මේසය මත විය. 

මනුජිත්ගේ අම්මා  උයන්නට තබන්නේ ගැලපෙන ලෙස තෝරාගත් ආහාර නොවේ. වට්ටක්කාත්, පරිප්පුත් එකට පෑහෙන්නේම නැත. මුලදී ඒ ගැන විමසුවත් ඈ දුන් පිළිතුරෙන් පසුව දහරා ශීතකරණයෙන් එළියට ගෙන තබන දෙයක් විනා ගැලපෙන ලෙස කිසිවක් සාදන්නට නොගියාය. 

“තියෙන දේ තමයි ළමයෝ හදන්නේ. එහෙම කෑමවල ගැලපිල්ලක් මම දන්නේ නෑ ගුණයක් මිසක්කා. අනිත් එක ගලප ගලප කන්න ගියානං අපිට වෙන්නේ කන්න නෙමෙයි ලෙවකන්න. පොළේ  ගියහම ඒ සතියට අඩුවට දෙයක් අරන් එනවා මිසක්කා ගලපන්නේ නෑ. ඔය ළමයි ඉතින් කොළඹ හතේනේ…”

ඒ අවසන් වදන් කිහිපය තමාට එල්ලකළ ඇනුම් පදයක් බව විශ්වාසය. 

විටක බීට්රූටුත්,  කැරටුත් එකට උයනා දවස් වේ. සමහර දිනක නිවිති වලට පරිප්පු දමා, කොහිළ  දළුත් පරිප්පු දමා උයන්න යැයි පවසයි. පුදුමයනම් මනුජිත් හෝ පියා ඒ කිසිවක අඩුපාඩුවක් නොකීමයි.

විසිත්ත  කාමරයේ  වූ රූපවාහිනියෙහි හඬ ඇසුණේ දහරා සහල් ගරා ලිප තබද්දීය.  දැන් ඈ පැය දෙකකටවත් එතනින් නැගිටින්නේ නැත. එක් අතකින් එය හොඳය. වැඩක් කරගන්නට වුවමනා වූ විට ඇයට බැරි අමාරුකම් රැසකි.

“අනේ ළමයෝ මෙන්න මේ ගේ අතු අතුගාලා පහන තියන්න මගේ කොන්ද කැක්කුමයි.” 

“අන්න අර වැලේ තියෙන රෙදි ටික ගෙට ගත්තනම් මට නිකං කලන්තයක් වගේ ඇල්ලුවා.”

“අර බේසං වල තියෙන රෙදි ටික හෝදල දාන්න දරුවෝ මගේ ඔලුව කරකැවිල්ලයි.”

දැන් දහරා ඈ එසේ පවසන්නට පෙරම නිවසෙහි වැඩ කොටස නිම කරන්නට දනී. හදිසියේ කවුරුන් හෝ ඇය රෙදිවැල අසල සිටිනු හෝ මිදුල අතුගාමින් සිටිනු හෝ දුටුවහොත් දිවගෙන එන මනුජිත්ගේ  මව පවසන්නේ “මේ ළමයට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ ඉතින් කොයි වෙලාවෙත් මොනවා හරි වැඩක් පලක් කරන්නම ඕනේ. කම්මැලිකමට හැදිච්ච දරුවෙක් නෙමෙයි. මට චුට්ටක් ඇහැ පියවෙන්නෙ නෑ ඔක්කොම වැඩ ටික කරනවා. එපා කිව්වට අහන්නේ නෑ ඉතින්….” යනුවෙන්ය. 

ගැහැණු දරුවෙකු ජීවිතය වරදාගන්නට පෙර එක් වරක් දෙවරක් නොව දස දහස් වතාවක් සිතිය යුතුය. දහරා පොල් අඩලය අතට ගත්තේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. මනුජිත්ගේ ජීවිතයේ සේම ඔහුගේ නිවැසියන්ගේ සිත් වලද ඈ අවලංගු කාසියක් හා සමානය. 

අදටත් ඒ අතීතය සොඳුරු මතකයක් පමණක් වූයේ එනිසාය. කාලයක්ම ගතවූයේ පාට පාට මල් පිපී තිබුණු සොඳුරු ලෝකයක ඇයව අතරමං කරමින්ය. එදවස මනුජිත්ගේ  ආදරයට තරම් දහරා අන් කිසිවකට ලෝභ වූයේ නැත. පන්ති කට්‌කර ඔහු හා ගිය ගමන් සේම නිවසට හොර රහසේ ගිය ගමන් අනන්තය. ඒ ලැබුණු නිදහස ගැහැණු දරුවෙකුට සුදුසු නොවන බව දහරාට පසක් වූයේ නැත. 

දහරාගේ පියා මියගොස් තිබුණේ ඇයට අවුරුදු හතරේදීය.  කර්මාන්ත ශාලාවක රියදුරෙකු ලෙස සේවය කළ ඔහුගේ ලොරිය හැප්පී තිබුනේ හොරණ ප්‍රදේශයේදීය. යළිත් අම්මාට සිදු වූයේ දහරාවත් රැගෙන  ආච්චිගේ පිළිසරණ සොයා එන්නටය. අම්මා විසිතුරු බඩු නිෂ්පාදනය කරන ආයතනයක සේවයට ගොස් තිබුණේ යළි ආච්චීගේ  නිවසට පැමිණියාට පසුවය. දහරාගේ ජීවිතයට වඩාත් සමීප වූයේ චූටි මාමාය. ආච්චීට අනුවනම් ඔහු රස්තියාදුකාරයෙකි. අවුරුදු හතළිස් පහකට  ආසන්න වූවාට ඔහුට අදත් ස්ථිර රැකියාවක් නොවේ. නිවසින් පිටව යන්නට හෝ යළි නිවසට පැමිණෙන්නට වේලාවක්ද නොවේ. එහෙත් අවශ්‍යතාවයක් ඇතිවූ ඕනෑම මොහොතක ඔහුගේ අතෙහි මුදලක් ගැවසේ. සේකර වත්තේ මිනිසුන්ට අනුවනම් නිරංජන් යනු හිත හොඳ මිනිසෙකි. 

“උඹ ඉතින් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ තමයි….”

ආච්චී එසේ පවසනු දහරාට ඕනෑ තරම් ඇසේ තිබිණ. සිව් දෙනාම ජීවත් වූයේ අම්මාට ලැබුණු කුඩා වැටුපෙන්ය. එනිසාම ජීවිතය ලෙහෙසි පහසු එකක් වූයේ නැත. 

“මම ඔයා සේකරවත්තේ කියලා දැනගෙන හිටියේ නෑ….”

මනුජිත් එසේ පැවසූයේ ඔහු හා විහාරමහා දේවී උද්‍යානය තුළ තනි වූ එක් සවසකය. තමා විලියෙන් රතුව ගිය අයුරු දහරාට මතකය. බේස්ලයින් පාරෙන් හැරී ගිය පසුව හමුවන සේකර වත්ත එතරම් හොඳ තැනක් නොවේ. එහි ජීවත් වූයේ විවිධ තරාතිරම්වල මිනිසුන්ය. පවුල් දෙසීයක් පමණ ජීවත් වූ ඒ ප්‍රදේශයේ පාතාල නායකයන්ගේ සිට සොරුන්, කුඩුකාරයන්, සිඟන්නන්, මංකොල්ලකාරයන්ගෙන් අඩුවක් නොවේ. වැඩි හරියක් වූයේ ලෑලි ගෙවල්ය. දරිද්‍රතාවයෙන් බැට කෑ මිනිසුන්ගේ දරුවන් බොහෝ දුර ඉගෙන ගත්තේද නැත. යන්තම් අවුරුදු පහළොව දහසය සපිරෙද්දී ඔවුන් උත්සාහ කලේ කීයක් හෝ සොයා ගන්නටය.

දහරා මනුජිත්ගේ දකුණත තද කරගත්තේ ඔහු මේ දැන් තමාව අතහැර යාවියැයි බියකින් සේය.මේ ඒ දෙදෙනා ආදරය කරන්නට පටන් ගත් මුල් කාලයයි. එහෙත් දහරා වෙන් වීමක් ගැන සිතන්නට බැරි තරමටම ඔහු හා බැඳී උන්නාය. 

“ඔයාලගේ ගෙවල් වලත් ඉන්නේ චණ්ඩිද දන් නෑ…”

“අනේ නෑ මනූ මගේ අම්මයි ආච්චියි හරි අහිංසකයි.. මාම උනත් කවදාවත් වැරදි වැඩක් කරලා පොලිසි උසාවි ගානෙ ගිහිල්ලා නෑ.”

ඔහු තමාගේ ඒ වචන ගැන විශ්වාසය තැබුවාද නැද්ද යන්න ගැන දහරා අදටත් නොදනී. එහෙත් මනුජිත්ගේ  මුවින් සුසුමක් පිටවූවා ඇයට මතකය. 

“ඉතින් ඔයා මට කලින් කිව්වෙ නෑනේ ඔයා සේකර වත්තේ කියලා…”

“එහෙම කියන්නෙ නෑ ඉතින්. එහෙම කිව්වහම මිනිස්සු වැරදියට හිතයි කියලා  ආච්චියි,  අම්මයි හැමදාම කිව්වේ කවුරුහරි ඇහුවොත් බොරැල්ලේ  කියලා කියන්න කියලා. ඒ පුරුද්දට කවුරු කොහොම ඇහුවත් මට කියවෙන්නේ බොරැල්ලේ  කියලා. ඔය මිනිස්සු කියන තරම් නරක මිනිස්සු අපේ වත්තේ නෑ මනූ. ඒ මිනිස්සුන්ගේ තියෙන්නේ දුප්පත්කම විතරයි. ඔයා….ඔයාට..ඒක ප්‍රශ්නයක්ද…

දහරා එසේ ඇසුවේ දෑස්වල කඳුළු පුරවාගෙනය. සත්තකින්ම ඈ සිතා මතා යමක් සැඟවූවා නොවේ. තමන් ජීවත්වෙන ප්‍රදේශය පිළිබඳව විමසන සෑම විටකම ඇගේ මුවින් පිටවූයේ බොරැල්ල යනුවෙන්ය. 

“ම….මං එහෙම නරක කෙනෙක් නෙමෙයි….අපේ ගෙදර කවුරුත් එහෙම නරක අයත් නෙමෙයි…”

එසේ පවසද්දී දහරාගේ දෑස්වල වූ කඳුලක් කොපුල් දිගේ බේරී  යමින් තිබිණ. මේ තමා ලබා උපන් දෛවයයැයි සිතාවත් මනුජිත්ව අහිමි කර ගැනීමට හැකියාවක් දහරාට වූයේ නැත. වෙනදා සේ ඔහු තමාව සිප ගත්තත්, දෑත් වලට මැදි කරගෙන තුරුලුකර ගත්තත් කොපුල් හා  නළලත සිපගත්තත් ඒ දෙතොල් තම දෙතොල්වල පැටලී ගියත් වෙනදා තරම් ලෙන්ගතු බවක් දහරාට දැනුනේ නැත. වෙනදා සේ ඔහුගේ ඉස්කූටර් වර්ගයේ යතුරුපැදියේ නැගී පැමිණ බොරැල්ලෙන් බැස්සාට පසුව තමා ඇවිද ගොස් සර්පන්ටයින් පාරෙන් හැරෙන තුරු ඔහු බලා සිටියේ ද නැත. තමාට නොදැනුනාට මනුජිත් වෙනස් වන්නට පටන් ගත්තේ එදා සිටයැයි දහරාට සිතෙන්නේ දැන්ය. 

“ඈ ළමයෝ  උදේ පන්ති ගියපු පාර නේද…දැන් මං බත් එක බෙදලා කොයි වෙලාවෙද. උදේටයි දවල්ටයි රෑටයි තුන් වේලටම හරියට කෑමක් නෑ. පන්ති යනවා කියලා යනවා ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා කල්පනා කර කර ඉන්නවා.”

ආච්චී කෑ ගැසුවේ කී වෙනි වතාවටදැයි මතකයක් දහරාට වූයේ නැත. . ඇගේ  ප්‍රථම රාජකාරිය වනුයේ ඉවීමත් දරුවන්ට බඩ කට පුරා කන්න දීමත්ය. මාමා පවසන්නේ ‘උඹලයි ආච්චි හිතන් ඉන්නේ බං මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ උයන්නයි, කන්නයි විතරයි කියලා..’යනුවෙන්ය. වෙනදා  දහරා සොඳුරු කරදරයක් සේ ඉවසා සිටි ආච්චීගේ ඇවිටිල්ල එදා දැනුනේ මහා හිසරදයක් සේ ය. එනිසාම ඕ  අන් කවරදාවත් නොවූ ලෙස ආච්චිට සැර වූවා මතකය. අවසන මීටර් පන්සීයක් පමණ එහායින් පිහිටි නිශාදිගේ  නිවසට ඇවිද ගියේ, ‘ඒ පාර උඹ මේ හදිසියේ කොහේ යන්න හදනවාදැයි’ ඇසූ ආච්චිට ඔරවමින්ය. 

“ඌ ඇඹලයා වගේ උඹේ පස්සේ ආපු විදිහෙන් මම හිතන්නේ නෑ එහෙම වෙනස් වෙයි කියලා. අනිත් එක එයා කවද හරි කසාද බඳිනවනම් බඳින්නේ උඹ මිසක් සේකර වත්තයෑ..”

යාබද  නිවසකින් ඝෝෂාවක් සේ ඇසුණු හෙන්රි කල්දේරාගේ  සින්දුවක හඬ පරදන්නට මෙන් නිෂාදී උස් හඬින් පැවසූවා දහරාට මතකය. දහරාගේ මතකය නිවැරදිනම් යාබද නිවසේ කැසට් රෙකෝඩරයෙන් ඇසෙමින් තිබුනේ, 

කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ

අද සතුටු ගඟේ කිමි දෙනවා දාලා කරාඹූ……යන ගීතයයි. මාමා නිවසේ සිටින වේලාවට දහරාගේ නිවස ද මීට වඩා වෙනසක් වූයේ නැත. 

“මෙන්න මේක නවත්තහං  බං.  මිනිස්සු හිතයි මේක සයිවර් කඩයක් කියලා..”

යනුවෙන් ආච්චී කෑ ගසන්නේ වරක් දෙවරක් නොවේ. දහරා  පාඩම් කරමින් සිටින වේලාවකනම් ඔහු මුළු නිවසටම වූ එකම කාමරයට එබී “සොරි චූටි මිස්” යැයි පවසන්නේ ආච්චී කෑ ගැසුවාට පසුවය. අම්මාට දහරා වූත් ආච්චීට කෙල්ලකවූත් යුවතිය මාමාට ‘චූටි මිස්ය’. කොයි වේලාවේ නිවසට ආවත් දහරා වෙනුවෙන් රස කැවිල්ලක් ඔහු අත වරදින්නේ නැත. 

මනුජිත්ගේ  නම සදහන් කෙටි පණිවිඩයක් පැමිණෙද්දී දහරා උන්නේ නිශාදිගේ නිවසේ ය. 

“අනේ සොරි මැසේජ් එක දැක්කේ දැන්. අම්මට අසනීප වෙලා මම එයා එක්ක බෙහෙත් ගන්න ගියා. අයියෝ මැණික ඕව ගණන් ගන්න දේවල්ද ඔයා දිව්‍යලෝකේ වුනත් අපායෙ උනත් ඔයාව වටින්නේ මටනේ. හෙට උදේ අටහමාර වෙද්දි බොරැල්ලට එන්න අපි ටිකක් දුර ගමනක් යමු.”

ඔහුගේ ඒ කෙටි පණිවිඩය දුටු ඇයට ඇති වූයේ මෙතෙක් වේලා නොතිබූ කුස ගින්නකි. නිශාදිගෙන්  සමුගෙන එක හුස්මට දිව ආ  තමා ආච්චී බෙදා තිබූ බත් පිඟානම හිස් කලේ කිසිවෙකුගේ පෙරැත්තකින් තොරව බව දහරාට සිහි වෙද්දී පොල් අඩලය ගා නිම වී උන්නාය. එළවළු දහයක් හැදුවත් මනුජිත්ගේ මව එළියෙන් තබන්නේ පොල් අඩලයකි. පරිප්පුවටත්, වට්ටක්කා හින්දුමටත්, හාල්මැස්සන් හොද්දටත් සියල්ලටම ඒ පොල් අඩලය පිරිමහා ගත යුතුය. එයත් හිරමණයට තලයට සමීප කරගත්තේ බොහෝ වෙහෙස වූවාට පසුවය. 

(හමුවෙමු ආදරයෙන්)         

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here