ඔබේ ශරීරයට වැඩි විවේකයක් අවශ්‍ය බවට හැඟවෙන සංඥා

අද කාර්යබහුල ලෝකයේ, බොහෝ දෙනා තම ශාරීරික හා චිත්තවේගීය සීමාවන් ඉක්මවා වැඩ කරනවා. දිගු වේලාවක් වැඩ කිරීම, ආතතිය, නින්ද නොමැතිකම සහ ඉටු කිරීමට තිබෙන වගකීම් නිසා බොහෝ විට පුද්ගලයන් හට විවේක ගැනීම අවශ්‍යතාවයක් ලෙස දැනෙන්නේ නැහැ. නමුත් මිනිස් සිරුර වෙහෙසට පත් වූ විට සෑම විටම  සන්නිවේදනය කරනවා. එවැනි සංඥා මුලදී සියුම් විය හැකි නමුත් ඒවා නොසලකා හැරියහොත් ඇතිවිය හැකි තත්ත්වයන් වඩා බරපතල විය හැකියි . මෙම සංඥා තේරුම් ගැනීම ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට , ඔබේ ඵලදායිතාව වැඩි දියුණු කර ගැනීමට සහ චිත්තවේගීය සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වනවා. ඒ නිසා ඔබේ ශරීරය වැඩි විවේකයක් ඉල්ලා සිටින බව හැඟවෙන සංඥා කිහිපයක් ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ.

නිදා ගැනීමෙන් පසුව පවා ඔබට වෙහෙසක් දැනීම

ඔබේ ශරීරයට විවේකය අවශ්‍ය බවට පැහැදිලි සංඥා වලින් එකක් වන්නේ සම්පූර්ණ රාත්‍රී නින්දකින් පසුව වුවද ඔබට අඛණ්ඩව දැනෙන තෙහෙට්ටුවයි. සමානවත් නින්දකින් පසුවත් ඔබට කිසිදු ප්‍රබෝධමත් බවක් , ජවසම්පන්න බවක් හෝ ඔබේ දෛනික කාර්යයන් වල නිරතවීමට උනන්දුවක් දැනෙන්නේ නැතිනම් එයින් අදහස් වන්නේ ඔබේ ශරීරය නිසි ලෙස විවේකයක් ලබා නොමැති බවයි

මෙය සිදුවිය හැක්කේ,

  • දුර්වල නින්දේ ගුණාත්මකභාවය
  • ආතතිය
  • අධික ලෙස සිතීම
  • ශාරීරික වෙහෙස
  • අක්‍රමවත් ලෙස නිදා ගැනීම

හේතුවෙන්‍ ය. ඔබේ ශරීරයට නින්ද පමණක් නොව, විවේකී, අඛණ්ඩ නින්දක් ද අවශ්‍ය වනවා. මෙය සිදු නොවන විට, ඔබේ ශක්තිය දිනෙන් දින අඩු වනවා.

නිතර හිසරදය හෝ ශරීර වේදනාව

ඔබේ ශරීරය අධික ලෙස වෙහෙසට පත් වූ විට, ඔබේ මාංශ පේශි ආතතියට පත් වන අතර ඔබේ ස්නායු සංවේදී  වීමද සිදු වනවා.මෙය බොහෝ විට,

  • බෙල්ලේ වේදනාව
  • උරහිස් වේදනාව
  • පහළ පිටුපස වේදනාව
  • ආතති හිසරදය
  • සාමාන්‍ය ශරීර වේදනාව

ලෙස ඔබට දැනිය හැකියි. මෙම වේදනාවන් ඔබේ ශරීරය “මට විවේකයක් අවශ්‍යයි” යැයි ඔබට සන්නිවේදනය කරන ආකාරයයි. විවේක ගැනීමෙන් ඔබේ මාංශ පේශි ලිහිල් කිරීමට, දැවිල්ල අඩු කිරීමට සහ ශක්තිය යථා තත්වයට පත් කිරීමට ඉඩ සලසනවා.

අවධානය යොමු කිරීමේ අපහසුතාව සහ අමතක වීමේ හැකියාව

මානසික වෙහෙස ශාරීරික වෙහෙස තරම්ම ඔබව පීඩාවට පත් කරනවා.එහිදී ,

  • මන්දගාමී චින්තනය
  • අවධානය යොමු කිරීමේ ගැටළු
  • සරල දේවල් අමතක වීම
  • නොසැලකිලිමත් වැරදි කිරීම
  • මානසිකව අධික ලෙස බරක් දැනීම

සිදුවෙනවා. එය ඔබේ මොළය අධික ලෙස බර වී ඇති බවට සලකුණකි. ඔබේ මනස පැහැදිලිව ක්‍රියා කිරීමට නම් ඔබට අනිවාර්යයෙන්ම විවේකයක් අවශ්‍ය වෙනවා. විවේකයක් නොමැතිව, ඔබේ ඵලදායිතාවය පහත වැටෙන අතර තීරණ ගැනීම දුෂ්කර වී ඔබේ නිර්මාණශීලිත්වය ඔබ කෙරෙන් නැති වී යනවා

මනෝභාවය වෙනස් වීම, කෝපය හෝ චිත්තවේගීය සංවේදීතාව

ඔබ වෙහෙසට පත් වූ විට, කුඩා දේවල් පවා ඔබට අධික ලෙස දැනෙන්නට පටන් ගන්නවා. ඔබ පහසුවෙන් කෝපයට පත් වීම, හේතුවක් නොමැතිව දුකක් දැනීම , නැතහොත් චිත්තවේගීය වශයෙන් සංවේදී වීම නිතර සිදුවනවා. චිත්තවේගීය සමතුලිතතාවයේ විවේකය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.

ප්‍රමාණවත් විවේකයක් නොමැතිව,

  • ආතති හෝමෝන වැඩි වීම 
  • ඉවසීම අඩු වීම
  • කාංසාව නිතර ඇතිවීම 
  • කුඩා ගැටළු විශාල ලෙස දැනීම

සිදුවනවා.ඔබේ මනෝභාවය බොහෝ විට පිළිබිඹු කරන්නේ ඔබ ලබා ගන්නා විවේකයේ මට්ටමයි.

කුසගින්න වැඩිවීම හෝ සීමාවක් රහිත ආහාර ගැනීම 

ඔබේ ශරීරයට ශක්තිය නොමැති විට, එය ඉක්මන් ඉන්ධන ප්‍රභවයන් සඳහා අධික ලෙස ආහාර ගැනීමට ඔබව පොළඹවනවා. සාමාන්‍යයෙන් සීනි හෝ අධික කාබෝහයිඩ්‍රේට් ආහාර රසකැවිලි, කෙටි ආහාර වෙනදාට වැඩියෙන් පරිභෝජනය කිරීමට ඔබට සිතනවා නම් සමහර විට එයින් අදහස් වන්නේ ඔබේ ශරීරය ආහාර භාවිතා කරමින් අවදියෙන් සිටීමට උත්සාහ කරනවා වීම විය හැකියි.

මෙම අධික ලෙස ආහාර ගැනීම, බර වැඩිවීම සහ අස්ථායී ශක්ති මට්ටම් වලට හේතු වනවා.ඒ නිසා එවැනි ආහාර ගැනීමේ තත්ත්වයන් වෙනුවට ඔබේ ශරීරයට සැබවින්ම අවශ්‍ය වන්නේ විවේකයයි.

නිතර අසනීප වීම

විවේකය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුවම බලපානවා.ඔබ ප්‍රමාණවත් විවේකයක් නොගන්නා විට, ඔබේ ශරීරය වෛරස් හා බැක්ටීරියා සමඟ සටන් කිරීමේදී දුර්වල වනවා.

  • නිතර සෙම්ප්‍රතිශ්‍යාව
  • මන්දගාමී සුවය
  • නිරන්තර තෙහෙට්ටුව
  • ශරීරය අඩපණ බවක් දැනීම
  • නිතර හිසරදය 

වැනි තත්ත්වයන් ඇති වනවා නම් එයින් අදහස් වන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සුවය ලැබීමේ කාලයක් අවශ්‍ය බවයි. හොඳින් විවේක ගත් ශරීරයක් ශක්තිමත්ව හා සෞඛ්‍ය සම්පන්නව පවතින අතර නිතර අසනීප තත්ත්වයන් ඇති වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම හොඳ විවේකයක් ලබා ගත යුතුයි.

අභිප්‍රේරණය සහ උනන්දුව නැතිවීම

ඔබේ ශරීරය සහ මනස වෙහෙසට පත් වූ විට, සියල්ල දුෂ්කර බවක් දැනෙන්නට පටන් ගන්නවා වගේම පහසු යැයි හැඟුණු කාර්යයන් හදිසියේම බරක් ලෙස, කළ නොහැකි ලෙස  දැනෙනවා. විනෝදාංශ, වැඩ හෝ සමාජ ක්‍රියාකාරකම් කෙරෙහි ඔබට ඇති උනන්දුවද නැති වී යා හැකියි.මෙයින් අදහස් කරන්නේ ඔබ කම්මැලි බව නොවේ .එය ඔබ තුළ ඇති ශක්තිය ක්ෂය වීමේ ලකුණකි. විවේකය ඔබේ අභිප්‍රේරණය යථා තත්ත්වයට පත් කරන අතර ඔබේ ඉලක්ක සමඟ නැවත සම්බන්ධ වීමට ඔබට උපකාරී වනවා.

ඔබ වෙහෙසට පත්ව සිටියදී පවා නිදා ගැනීමේ ගැටළු

සාමාන්‍යයෙන් ඔබ වෙහෙසට පත් වූ විට ඔබට හොඳින් නිදා ගැනීමට හැකියාව තිබුනත් සමහරවිට අධික ලෙස වෙහෙසට පත්වීම ඔබේ සාමාන්‍ය නින්දේ චක්‍රයට බාධා එල්ල කරනවා. ඔබේ මනස රාත්‍රියේ ධාවනය වෙමින් පවතී නම් හෝ ඔබ නිතර අවදි වන්නේ නම්, එය ඔබේ ශරීරයට රාත්‍රියේ පමණක් නොව දිවා කාලයේදී නිසි විවේකයක් අවශ්‍ය බවට ලකුණකි. එම නිසා ඔබ වැඩ කරන අතරතුරදී පවා නිසි විවේකයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා.

ඔබේ ශරීරය සෑම දිනකම ඔබ හා සන්නිවේදනය කරනවා. තෙහෙට්ටුව, මනෝභාවය වෙනස්වීම්, තෘෂ්ණාවන්, වේදනාවන් සහ අවධානය අඩු වීම කිසි ලෙසකින්වත් අහඹු සිදුවීම් වන්නේ නැහැ.ඒවා ඔබ විවේක ගත යුතු බවට ලැබෙන සංඥා යි.

විවේකයක් ලබා ගැනීම යනු කම්මැලිකම නොවේ. විවේකය යනු සුවය ලැබීමයි.ඔබේ ශරීරයට සවන් දෙන්න.ඔබ විවේක ගැනීමෙන් හැඳින්වෙන්නේ ඔබ පසුබට වීම නොවේ.ඔබ ශක්තිමත්ව නැගී සිටීමට සූදානම් බවයි.

Related Articles

Don't Miss


Latest Articles