යුද්ධ කාලෙක ජීවිතේ එක්ක යුද්ධ කළ කාන්තාවක්

ගෑනුන්ට ලේබල් අලවන්න බලාගෙන ඉන්න මිනිස්සු අපි අතරෙ ඕන තරම් ඉන්නවනෙ. එදත් හිටියා, අදත් ඉන්නවා. හෙටත් ඉඳීවි. කොච්චර නම් ලේබල් ගෑනු අයට වැදෙනවද නේද?

 එයාලා හැඳි මිටේ දිගට විතරයි බුද්ධිමත්, එයාලා අවදානම් ගන්න බයයි, එයාලට තනියම ජීවත් වෙන්න බැහැ වගේ කතන්දර දාහක් අස්සේ හැබැයි මේ වගේ කතා ඇත්තටම බොරු කියලා ඔප්පු කරපු අසීමිත ශක්තියක් තිබුණ ගැහැනු චරිත අපේ ඉතිහාසයේ ඕන තරම් ඉන්නවා.

 ඒ අතරින් එක කෙනෙක් තමයි මාතා හාරි. 

එයා නර්තනයෙන් යුරෝපයේ අයව වශී කරපු කෙනෙක් වගේම, පළවෙනි ලෝක යුද්ධයේදී ඔත්තුකාරියක් කියලා චෝදනා ලැබූ කෙනෙක්. එයාගේ ජීවිතය ආදරයෙන්, කීර්තියෙන් පිරිලා තිබුණා. අන්තිමට ඛේදවාචකයකින් ඉවර වුණා. ලෝකෙම දන්න මේ කතාව අස්සෙත් මාතා හාරි කියන්නෙ ඇත්තටම අපි හිතාගෙන උන්නු කෙනාද කියන සැකේ තාම අපේ හිත්වල තියෙනවා.

අවුරුදු 100කට පස්සෙත් ලෝකෙට තවම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මේ මාතා හාරි කියන්නෙ ඔත්තුකාරියක්ද, නැතිනම් බොරු ලේබල් එකක් ඇඟේ ගහගන්න වෙච්ච අසරණ ගෑනු කෙනෙක්ද? කියලා.

මාතා හාරිගේ ඇත්ත නම මාර්ගරෙටා ගීර්ට්‍රියුඩා සෙල්. එයා 1876 දී නෙදර්ලන්තයේ තමයි උපදින්නේ. තාත්තා තොප්පි සාදන්නෙක්. හැබැයි සල්ලි තිබ්බ මනුස්සයෙක්.ඒත් එයාලගේ සල්ලි නැති වුණාමත් එක්ක මාර්ගරෙටාගේ පොඩි කාලේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අම්මයි තාත්තයි වෙන් වුණාට පස්සේ අම්මා මැරෙනවා. ඊට පස්සේ මාර්ගරෙටාට නෑදෑයෝ ගාව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ හරිම අමාරු වුණත්, එයා ලොකු දේවල් ගැන හීන දකිනවා.ඒ හීන හැබෑ වෙයි කියන බලාපොරොත්තුව ඇතුව තමයි මාර්ගරෙටා විවාහ වෙන්නෙ.

අවුරුදු 19 දී එයා ලන්දේසි හමුදාවේ නිලධාරියෙක් වුණු කපිතාන් රුඩොල්ෆ් මැක්ලියෝඩ්ව බඳිනවා. එයාලා දෙන්නා එකට ඉන්දුනීසියාවට යනවා. හැබැයි මාර්ගරෙටා බලාපොරොත්තු වෙච්ච විදියෙ ලස්සන විවාහයක් නම් එයාට හම්බුවෙන්නෙ නෑ. දැක්ක හීන හැබෑකරගන්න විවාහ උනත්  රුඩොල්ෆ් හරිම දරුණු කෙනෙක් බව මාර්ගරෙටා දැනගන්නෙත් විවාහෙන් පස්සේ. අවුරුදු ගාණක් දුක් වින්දට පස්සේ කසාද ජීවිතේ ඉවර කරන්න මාර්ගරෙටා තීරණේ කරන්නෙ ඒ දුක් තවත් විඳින්න බැරි තැනමයි. ඒ විදියට කසාදෙ ඉවර කරන මාර්ගරෙටා යුරෝපයට එනවා, දික්කසාද වෙනවා. ඒ වගේම එයා එහෙම එන්නෙ කසාදෙන් ලැබිච්ච දරුවව එහෙමත් අත ඇරලා දාලා.

තනි වෙලා, අතේ සතේ නැතිව මාර්ගරෙටා 1903 දී පැරිස් වලට එනවා. එතනදී තමයි එයා අලුත් ජීවිතයක් පටන් ගන්නේ. එයා මාතා හාරි කියලා නමක් දාගන්නවා. මැලේ බාසාවෙන් ඒ නමේ තේරුම “සූර්‍යයා” කියන එක. නමත් වෙනස් කරගත්ත මාතා හාරි බලාපොරොත්තු වෙනවා තමන් හීන දැක්ක විදියෙ ජීවිතයක් පැරිසියෙදි අත් පත් කරගන්න තමන්ට පුළුවන් වෙයි කියන එක.

ඒ විදියට තමයි එයා නර්තන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න පටන් ගන්නේ 1905 දී. එයාගේ නර්තන විලාසය යුරෝපයේ අය දැකලා තිබුණ නර්තන විලාසයන්ට වඩා වෙනස් අබිරහස්, හිතට වදින, සහ නැගෙනහිර රටවල් වලින් ආභාසය ලැබුණු එකක් වෙන නිසාම මාතා හාරිට ජනප්‍රිය වෙන්න මහ කාලයක් යන්නෙ නෑ. එයා ගොඩක් වෙලාවට ඇඳුම් නැතිව වගේ තමයි නැටුවේ. ඒක සමහරුන්ව පුදුමයට පත් කළත් ගොඩක් අයව වශී කරගන්න හේතු වෙච්ච එකක්. ඉතාම ඉක්මනින්ම මාතා හාරි ප්‍රසිද්ධ වෙනවා. එයා පැරිස්වල සහ අනිත් ලොකු නගරවල නර්තනයේ යෙදෙන්න යන්නෙ අන්න ඒ ජනප්‍රියත්වයත් එක්ක. එයාගේ නම හැමෝම හැම තැනම කතා කරන නමක් වෙන්නෙත් ඒ අනුව.

ඔය අතරෙ 1914 දී පළවෙනි ලෝක යුද්ධය පටන් ගන්නවා. යුරෝපය පුරාම බයයි, සැකයි පැතිරෙනවා. මාතා හාරි ලන්දේසි නිසාත්, නෙදර්ලන්තය මධ්‍යස්ථ රටක් නිසාත් එයාට අනිත් අයට වඩා පහසුවෙන් රටවල් අතරේ යන්න එන්න පුළුවන් වුණා. මේක නිසා යුද්ධයේ දෙපැත්තටම එයා වටිනා චරිතයක් වුණා. ඒ වගේම ඒක මාතා හාරිව සැකයට ලක් වෙන්නත් හේතුවක් වුණා.

1916 වෙනකොට ප්‍රංශ බුද්ධි අංශ එයාට ජර්මනියේ ඔත්තුකාරියක් කියලා චෝදනා කරනවා. ජර්මානුවන් පවා එයාට H-21 කියලා සංකේත නාමයක් දීලා තිබුණා කියලා කියනවා. සමහරු කිව්වේ එයා රහස් තොරතුරු දුන්න නිසා සොල්දාදුවන් දහස් ගාණක් මැරුණා කියලා. ඒත් ඇත්තටම ඒකට සාක්ෂි තිබුණේ නැහැ.

1917 පෙබරවාරි 13 වෙනිදා මාතා හාරිව පැරිස් වලදී අත්අඩංගුවට ගන්නෙ ඔන්න ඔය සැකේ උඩ. එයාගේ නඩු විභාගය ජූලි මාසයේදී පැවැත්වෙනවා. ඒක හෙනම dramatic එකක් වුණත්, කිසිම සාක්කියක් මාතා හාරිට විරුද්ධව හොයාගන්න පුළුවන් වෙන්නෙ නෑ. ප්‍රංශය යුද්ධයෙන් ගොඩක් දුක් විඳිමින් හිටියේ. නායකයන්ට කවුරුහරි වගකිවයුත්තෙක් ඕනේ වුණා මේවයි බර කරේ පටවන්න. මාතා හාරි එහෙම නැත්තම් සාමාන්‍ය නීතිවලින් පිටත ජීවත් වුණු පිටරට ගැහැනියක් මේකට හොඳම ගොදුර වුණා.

එයා ප්‍රංශ සොල්දාදුවන් 50,000ක් මැරෙන්න හේතු වුණා කියලා චෝදනා කළත්, පැහැදිලි සාක්ෂි පෙන්වන්න බැරි වුණා උනත්  උසාවිය එයාට මරණ දණ්ඩනය නියම කරනවා.

1917 ඔක්තෝබර් 15 වෙනිදා මාතා හාරි පැරිස් වලින් පිටතදී වෙඩි තැබීමේ කණ්ඩායමකට මුහුණ දෙනවා. සාක්ෂිකරුවන් කිව්වේ එයා ඇස් වෙළුම්පටක් බඳින්න එපා කියලා, වෙඩි තියන්න හිටපු සොල්දාදුවන් දිහා කෙළින්ම බලාගෙන හිටියා කියලා. සමහර කතාවලට අනුව එයා මැරෙන්න කලින් එයාලට හාදුවක් පවා දුන්නා කියලා කියනවා. මොනවා වුණත් එයා එයාගේ මරණයට මුහුණ දුන්නේ කිසි බයක් නැතුව සහ සන්සුන්ව බව මුලු ලෝකෙටම, කොටින්ම එයාව මරපු අයට පවා පිළිගන්න වෙනවා.

එයාව මරණ දණ්ඩනයට පත් කළාට පස්සේ මාතා හාරිගේ ප්‍රසිද්ධිය නැති වෙනවා වෙනුවට ඒක තව තවත් මිනිස්සු අතර කතාවට ලක්වෙන වගේම ප්‍රසිද්ධ වෙන එකයි වෙන්නෙ. පොත්පත්, චිත්‍රපට, සහ නාට්‍ය මාතා හාරිව portray කරන්න “චරිතයක් නැති” කෙනෙක් විදියට. ඒත් ඉතිහාසඥයන්ට මේ ගැන හිතේ ලොකු සැකයක් තියෙනවා. ඒ අනුව තමයි ඇත්තටම මේ මාතා හාරි කියන්නෙ කවුද කියන එක ගැන හොයන්න ගන්නේ. 

ඇත්තටම ගොඩක් අය දැන් විශ්වාස කරන්නේ එයා භයානක ඔත්තුකාරියක් නෙවෙයි කියලා. ජර්මානු රජය පසුව ප්‍රකාශ කරනවා එයා ඔවුන්ට කිසිම වැඩකට ඇති තොරතුරක් දුන්නේ නැහැ කියලා. 2017 දී ප්‍රංශය රහස් ලියකියවිලි එළියට දානවා. ඒකෙන් පෙන්නුම් කරනවා එයා දේශපාලනයේ ගොදුරක් මිසක් ඇත්තටම ද්‍රෝහියෙක් නෙවෙයි කියලා.

මාතා හාරිගේ කතාව නිකන්ම නර්තන ශිල්පිනියකගේ හෝ ඔත්තුකාරියකට චෝදනා ලබපු  ගැහැනු කෙනෙක්ගෙ කතාවක් විතරක් නෙවෙයි. ඒක යුද්ධය, බලය, වගේම අසාධාරණය සහ අගතිය අතරේ හිර වුණු ගැහැනියකගේ කතාවක්. එයා කිසි බයක් නැතුව ජීවත් වුණා, ඒ කාලේ නීති කඩ කළා, සහ අන්තිමේ ඒකට ජීවිතෙන් වන්දි ගෙව්වා. යුද්ධ කාලෙක ජීවිතේ එක්ක යුද්ධ කරන්න වෙච්ච ගැහැනියක් තමයි මාතා හාරි කියන්නේ.

එයා ඇත්තටම ඔත්තුකාරියක්ද? නැතිනම් සම්ප්‍රදාය අතික්‍රමණය කරපු එකට දඬුවම් ලැබූ ගැහැනියක්ද? 

උත්තරය කවදාවත් දැනගන්න අපිට බැරි වෙයි.

 ඒත් එක දෙයක් නම් ස්ථිරයි. ඒ තමයි මාතා හාරි කියන්නේ ලොකුම ලොකු අබිරහසක්, ධෛර්යයක් වගේම ඛේදවාචකයේ සංකේතයක් විදිහට හැමදාටම ඉතිහාසයේ රැඳී ඉන්න කෙනෙක් කියන එක.

Related Articles

Don't Miss


Latest Articles