බොලිවුඩයේ සුපිරි ප්‍රේමවන්තයාගේ සුඛෝපභෝගී වාහන

ජවාන් බැලුවද ?

ඉන්දියානු රුපියල් බිලියන 10 කටත් වඩා ආදායම් හිමි කරගනිමින් තවමත් තිරගත වන ජවාන් චිත්‍රපටය මේ වෙද්දි බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කීපයක් බිඳ දමපු අති සාර්ථක සහ දැවැන්ත චිත්‍රපටයක් බවට පත්වෙලා තියෙනවා. 

ජවාන් චිත්‍රපටයේ ප්‍රධාන නළුව වගේම බොලිවුඩ් සිනමාවෙ සදාතනික ආදරවන්තයා වුන ශාරුක් ඛාන් ජවාන් චිත්‍රපටය සමඟ දකුණු ඉන්දියානු සිනමාවටත් සම්බන්ධ වුණා. 

දළ වශයෙන් ඩොලර් මිලියන 730 ක වත්කම් හිමි මේ සුපිරි රංගන ශිල්පියා 2023 සැප්තැම්බර් මාසය වෙද්දී ලෝකයේ ධනවත්ම නළුවන් අතර හතරවන ස්ථානය හිමිකර ගන්නත් සමත්වෙලා තියෙනවා. 

ඔන්න ඔබත් ශාරුක් ඛාන් රසිකයෙක් නම් ඔහු ගැන බොහොම රසවත් තොරතුරක් අරන් තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්නෙ.

අපිත් එක්ක එකතු වෙලා මේ ධනවත් සහ කඩවසම් නළුවා සතුව ඇති වාහන එකතුව ගැන බලමුද ?

Rolls Royce Cullinan Black Badge

මේ ශාරුක් ගේ රථ වාහන එකතුවට එක්වුන අලුත්ම සාමාජිකයායි.

Rolls royce cullinan රථයක සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 8.5 ක් පමණ වෙනවා.

නමුත් මෙම වාහනය ශාරුක් ඛාන් විසින් Arctic White වර්ණයෙන් සහ 0555 ලෙස ඔහුටම අනන්‍ය වූ අංක තහඩුවක් සහිතව විවිධ වෙනස්මක් කරමින් නිපදවා ගැනීම නිසා එහි වටිනාකම කෝටි 10 ක් ලෙසයි දැක්වුනේ.

මෙම වාහනය බල ගැන්වෙන්නෙ ලීටර් 6.75 ක ධාරිතාවයකින් යුතු twin-turbocharged V12 එන්ජිමක් මඟිනුයි. 

එහි බලය අශ්ව බල 600 ක් ලෙස දැක්වෙන අතර මෙම සුඛෝපබෝගී රෝල්ස් රොයිස් රථයට පැයට කිලෝමීටර 250 ක උපරිම වේගයක් ලබාගත හැකියි. 

Hyundai Creta

ශාරුක් ඛාන් hyundai සමාගමේ සන්නාම තානාපතිවරයා ලෙස ක්‍රියාකරනවා. ඒ නිසාම ඔහුට මෙම සමාගමෙන් වාහන කීපයක් ප්‍රධානයන් ලෙස ලැබී තිබෙනවා. 

ඒ අතර all-new second-generation Hyundai Creta රථය විශේෂයි. 2020 දිල්ලි හි පැවති Auto expo ප්‍රදර්ශනයේදී ශාරුක් ඛාන් විසින්ම මාධ්‍යට මේ රථය නිරාවරණය කරනු ලැබුවා. 

වෙළඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 17.87 ක් වෙන මෙම රථය ලීටර් 1.5 ක ධාරිතාවයකින් යුතු අශ්ව බල 115 ක බලයක් ඇති ඩීසල් එන්ජිමකින් ද සමන්විත වෙනවා.

Mitsubishi Pajero

ශාරුක්ගේ වාහන එකතුවෙ පරණම සහ වැඩිපුරම දකින්න ලැබෙන වාහනය තමයි මේ mitsubishi pajero රථය. 

මෙහි වෙළඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 25 ක් ලෙස තමයි සඳහන් වෙන්නෙ. 

සිලින්ඩර හතරකින් යුතු ලීටර් 2.8 ක ධාරිතාවයක් සහ අශ්ව බල 122 ක බලයකින් යුතු එන්ජිමක් මේ වාහනය සතුව තිබෙනවා. 

Toyota Land Cruiser

නළු නිළියන් අතර බොහොම ජනප්‍රිය toyota land cruiser රථයක් ශාරුක් ඛාන්ගේ වාහන එකතුවටත් ඇතුළත් වෙනවා. 

ලීටර් 4.5 ක ධාරිතාවකින් වගේම අශ්ව බල 285 ක බලයකින් යුතු V8 වර්ගයේ එන්ජිමක් සහිත මෙහි වෙළඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 1.5 ක් ලෙසයි සඳහන්ව තිබුණේ. 

Land Rover Range Rover Sport

ශාරුක්ගේ වාහන එකතුවේ බලවත්ම රථය ලෙස හඳුන්වා දෙන්න පුළුවන් මේ සුදු පැහැති land rover range rover sport රථයෙහි වෙළඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 2.19 ක් ලෙස දැක්වුණා.

ලීටර් 5 ක ධාරිතාවකින් යුතු අශ්ව බල 520 ක supercharged V8 වර්ගයේ එන්ජිමකින් මෙම රථය සමන්විත වෙනවා. 

Audi A8 L

වෙලඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 1.57 කින් යුක්ත වූ මේ අති සුපෝඛභෝගී රථය ලීටර් 4.2 කින් යුතු සහ අශ්ව බල 384 ක බලයකින් යුතු V8 එන්ජිමකින් සමන්විත වෙනවා. 

BMW i8

ශාරුක්ගෙ රථ වාහන එකතුවේ BMW රථ කීපයක්ම දකින්න ලැබෙන නිසා ඔහු ඇත්තටම BMW වාහනවල රසිකයෙක් කියල හඳුන්වාදෙන්න පුළුවන්. 

කොහොම වුනත් ඔහු සතුව තිබෙන මේ sport car වර්ගයේ BMW i8 රථය ඒ අතරින් විශේෂ වෙනවා.

සිලින්ඩර තුනකින් යුතු ධාරිතාව ලීටර් 1.5 කින් සහ අශ්ව බල 360 ක බලයකින් යුතු එන්ජිමකින් සමන්විත මේ BMW රථයේ වෙළඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 2.8 ක් බවයි සඳහන් වෙන්නෙ. 

මීට අමතරව ඉන්දියානු රුපියල් කෝටි 1.19 ක වටිනාකමකින් යුතු BMW 6-Series Convertible රථයක්, ඉන්දියානු රුපියල් කෝටි 2.82 ක වටිනාකමකින් යුතු BMW 7-Series රථයක් ද ඔහුගේ වාහනේ එකතුවේ දකින්න පුළුවන්. 

Bentley Continental GT

ශාරුක් ඛාන් සතුව ඇති ඊළඟ මිල අධික සුඛෝපභෝගී රථය තමයි bentley continental GT රථය.

ඉතාම ආකර්ෂණීය වාහනයක් වන මෙහි වෙළඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 3.57 ක් ලෙසයි. ලීටර් 4 ක ධාරිතාවකින් යුතු සහ අශ්ව බල 505 ක බලයක් සහිත V8 වර්ගයේ පෙට්‍රල් එන්ජිමකින් මෙම රථය සමන්විත වෙනවා. 

Rolls Royce Phantom Drophead Coupe

RR cullinan රථය හැරුනු විට ඔහුගේ වාහන එකතුවේ ඇති මිල අධිකම කාර් රථය ලෙස rolls royce phantom drophead coupe රථය හඳුන්වාදෙන්න පුළුවන්. 

එහි වෙළඳපොල වටිනාකම දැක්වුනේ ඉන්දියානු රුපියල් කෝටි 7.60 ක් ලෙසයි. 

ලීටර් 6.8 ක ධාරිතාවයක් සහ අශ්ව බල 465 ක බලයකින් යුතු V12 වර්ගයේ එන්ජිමකින් මෙම වාහනය සමන්විත වෙනවා. 

Customised Vanity Van

ඉහත සඳහන් වාහන වලට අමතරව ශාරුක්ගේ වාහන එකතුවට Vanity Van-Volvo BR9 රථයක් ද ඇතුළත්.

2015 දී ඔහු මිලදී ගත් මෙම රථය ඉන්දියානු සුප්‍රසිද්ධ වාහන නිර්මාණ ශිල්පියෙක් විසින් ශාරුක්ට අවශ්‍ය පරිදි වෙනස් කර නිර්මාණය කර තිබෙනවා. 

මෙහි වෙළඳපොල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 4 ක් ලෙසයි සඳහන් කරන්නෙ. 

මේ වාහන වලට අමතරව ශාරුක් සතුව ලෝකයේ වේගවත්ම කාර් රථය ලෙස හඳුන්වන Bugatti Veyron රථයක් ද ඇතිබව වරක් times of India විසින් වාර්තා කර තිබුණා.

නමුත් එය ප්‍රතික්ෂේප කරමින් ඔහුට bugatti veyron රථයක් නොමැති බවත් ඒ රථයේ වාඩිවී සිටීම ඔහුට සුවපහසු නොවන බවත් ශාරුක් මාධ්‍ය සාකච්ඡාවකදී පසුව සඳහන් කළා.    

ඉතාම සාමාන්‍ය පවුලක ඉපදී අනේකවිඳ දුක් කම්කටොළු මැද හින්දි සිනමාවේ සදාතනික කඩවසම් ආදරවන්තයා ලෙස කිරුළු පැළඳි ශාරුක් ඛාන් අද ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නෙ ඔහුගේම හැකියාව, දක්ෂතාව සහ කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙසයි. 

ඉතිං, අපිත් උත්සහ කරමු !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles