රෑට නිදාගෙන ඉද්දි වහලෙ ඉඳන් කවුරුහරි ඔයා දිහා බලාගෙන ඉන්නවා කියලා හිතුණොත් ඔයාට මොකද හිතෙන්නෙ?
ඔයාගේ හැම රහසක්ම, ඔයා ආදරය කරන විදිහ, ඔයා රණ්ඩු වෙන විදිහ..
මේ හැමදේම සීලිම අස්සේ තියෙන පුංචි සිදුරකින් කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා හිතන්න.
මේක ත්‍රාසජනක චිත්‍රපටියක කතාවක් නෙවෙයි.
මේක ආදරය සහ මානසික වහල්භාවය නිසා සිද්ධ වුණු ලෝකේ භයානකම සහ අමුතුම True Crime සිදුවීමක්.
මේ කතාවේ ප්‍රධාන චරිතෙ නම වෝල්බර්ගා ඔස්ට්‍රරිච්. හැබැයි ලෝකයම එයාව අඳුරගත්තේ The Bat-man of Milwaukee විදිහට. දශකයකට වඩා වැඩි කාලයක් තමන්ගේ සැමියාටත් හොරෙන්, තමන්ගේම ගෙදර සීලිම අස්සේ පෙම්වතෙක්ව හංගාගෙන හිටපු මේ ගැහැනියගේ කතාව ඔයාගේ හිත හිරිවට්ටන එක අපිට හොඳටම විශ්වාසයි.
වෝල්බර්ගා ඉපදුණේ 1880 වසරේදී.
ඇත්තටම එයා ඉපදුණේ කොහේද කියන එක පවා අදටත් රහසක්. එයා හැදී වැඩුණේ ඇමරිකාවේ විස්කොන්සින්වල, ජර්මානු සංක්‍රමණිකයන් හිටපු පාලු පරිසරයක. පොඩි කාලේ ඉඳලම වෝල්බර්ගා ළඟ අමුතුම ආකර්ෂණයක් තිබුණා. ඕනෑම කෙනෙක්ව තමන්ගේ වචනවලින් වසඟ කරගන්න එයා උපන් හපන්කම් පෑවා. හැබැයි එයාගේ පවුල හරිම දුප්පත්. ඒ නිසාම වයස අවුරුදු 12 වෙද්දීම මේ පුංචි කෙල්ලට රෙදි කම්හලක වැඩට යන්න වුණා.
ඒ රෙදි කම්හලේ අයිතිකාරයා වුණේ ෆ්‍රෙඩ් විලියම් ඔස්ට්‍රරිච්. ෆ්‍රෙඩ් කියන්නේ හරිම නිහඬ, හැඟීම් පිටතට පෙන්වන්නේ නැති, සල්ලි තියෙන මනුස්සයෙක්. මේ සල්ලිකාර මුදලාලිගේ හිත වෝල්බර්ගා ළඟ නතර වුණේ හරිම ඉක්මනට. ෆ්‍රෙඩ් කවදාවත් එක්ස්පීරියන්ස් කරලා නැති හරිම කෙලිලොල්, දඟකාර ගතියක් වෝල්බර්ගා ළඟ තිබුණා.
අන්තිමේදී වෝල්බර්ගාට වයස 17 වෙද්දී, එයා තමන්ට වඩා අවුරුදු ගාණක් වැඩිමල් ෆ්‍රෙඩ්ව කසාද බැන්දා. හැමෝම හිතුවේ මේක හරිම සාර්ථක පවුල් ජීවිතයක් කියලා. ඒත් කාටවත් නොපෙනුණු ඒ ගේ ඇතුළේ, අන්ධකාරෙ පිරෙන්න පටන් ගත්තේ එයාගේ කසාදෙත් එක්කමයි.
ෆ්‍රෙඩ්ගේ රෙදි කම්හලේ වැඩ කරපු කම්කරුවෝ අතර වෝල්බර්ගා හරිම ජනප්‍රියයි. මොකද ෆ්‍රෙඩ් කියන්නේ හරිම තද, නීති රීති තියෙන, කා එක්කවත් වැඩිය කතාබහ නොකරන මිනිහෙක්. ඒත් වෝල්බර්ගා ඒකට හරියටම අනිත් පැත්ත. එයා ඕනෑම කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන, ප්‍රශ්නයක් වුණාම මැදිහත් වෙලා ඒක විසඳලා දෙන කෙනෙක්.
පිටතින් බලද්දී එයා හරිම පින්වන්ත, තමන්ගේ සැමියාට පක්ෂපාතී බිරිඳක්. හැබැයි මේ ලස්සන මතුපිටට යටින් ඕපදූප පැතිරෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ෆ්‍රෙඩ් කම්හලේ වැඩ කරන දහවල් කාලයේදී, වෝල්බර්ගා තමන්ගේ ගෙදරට වෙනත් පිරිමින්ව ගෙන්න ගන්නවා කියලා මිනිස්සු හෙමින් හෙමින් කටකතා පතුරුවන්න ගත්තා. මේ දේවල් ෆ්‍රෙඩ් දැනගෙන හිටියද, නැත්නම් නොදන්නවා වගේ හිටියද කියන එක අදටත් රහසක්.
කොහොම වුණත් 1913 අවුරුද්දේදී එයාට මුණගැහෙනවා එයාගේ ජීවිතේ භයානකම රහස බවට පත්වෙන ඒ පුද්ගලයාව.
1913 වෙද්දී වෝල්බර්ගාට වයස අවුරුදු 33ක්. එයාට ඔටෝ සැන්හියුබර්ව මුණගැහෙන්නේ තමන්ගේ සැමියාගේ කම්හලේ මැෂින් හදන කොල්ලෙක් විදිහට. එතකොට ඔටෝට වයස අවුරුදු 17යි! මේ දෙන්නගේ වයස් පරතරයම ඒ කාලේ හැටියට ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ කාලෙ ඔය Age is just a number වගේ දාර්ශනික ටෝක්ස් ප්‍රසිද්ධ නැති හන්දා.
වෝල්බර්ගා හරිම සූක්ෂම විදිහට ඔටෝව තමන්ගේ ගෙදරට ගෙන්න ගත්තේ “මහන මැෂිම හදන්න තියෙනවා” කියන බොරු හේතුව දාලා. හැබැයි ඒ ගමන කෙළවර වුණේ දරුණු ආදර සම්බන්ධයකින්. වෝල්බර්ගා කියන්නේ අත්දැකීම් තියෙන, ඕනෑම කෙනෙක්ව නටවන්න පුළුවන් ගැහැනියක්. ඔටෝ කියන්නේ කිසිම දෙයක් නොදන්න, වෝල්බර්ගාගේ ආකර්ෂණයට අහු වුණු තරුණ කොල්ලෙක්.
ටික දවසක් යද්දී මේ සම්බන්ධය මාරාන්තික උමතුවක් වෙනවා. වෝල්බර්ගාගේ ගෙදරට මේ කොල්ලා නිතරම යන එන එක අසල්වැසියන්ට නෝට් වෙන්න ගත්තා. ඒකෙන් බේරෙන්න වෝල්බර්ගා අමුතුම බොරුවක් ගෙතුවා.
“මේ මගේ අනාථ වෙලා හිටපු බාප්පාගේ පුතෙක්” කියලා එයා හැමෝටම කිව්වෙ රහස හංගගෙන ඉන්න.
හැබැයි මේ රහස දවසින් දවස භයානක වුණා. අවුරුදු 17ක පොඩි තරුණ පිරිමි ළමයෙක් එක්ක තිබිච්ච සම්බන්ධෙ වෝල්බර්ගාව පිස්සු වට්ටන්න හේතුවෙච්ච එකක්. ඒ පිස්සුව නිසාම වෝල්බර්ගා තීරණය කළා ඔටෝව තමන්ගේ ගෙදරම හංගගන්න. හැබැයි ඒක නිකම්ම හංග ගැනීමක් විතරක් නෙවෙයි. එයා ඔටෝව පදිංචි කළේ තමන්ගේ නිදන කාමරයේ සීලිම අස්සේ තියෙන පුංචි ඉඩක. ඒ කියන්නේ වෝල්බර්ගා තමන්ගේ හස්බන්ඩ් එක්ක නිදාගන්න ඇඳට අඩි කිහිපයක් උඩින්.
සීලිම ඇතුළට යන්න තිබුණේ වෝල්බර්ගාගේ අල්මාරිය ඇතුළෙන් තිබුණු රහස් දොරකින් විතරයි. එයා ඔටෝට එතන ජීවත් වෙන්න ඕන කරන හැමදේම දුන්නා.
නිදාගන්න පුංචි ඇඳක්, කෑම සහ වතුර, පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය වගේ දේවල් එයා එතන ස්ටොක් කරා.
දවල්ට ෆ්‍රෙඩ් වැඩට ගියාම ඔටෝ හොරෙන්ම පල්ලෙහාට ඇවිත් ගෙදර දොරේ වැඩපළ කළා. හැබැයි රෑට ෆ්‍රෙඩ් ගෙදර ආවාම ඔටෝට සිද්ධ වුණේ හොල්මනක් වගේ සද්ද නැතුව සීලිමට වෙලා ඉන්න. තමන්ගේ පාළුව නැති කරගන්න ඔටෝ දිගටම විද්‍යා ප්‍රබන්ධ කතා ලියන්න ගත්තා. පස්සේ කාලෙක ඔටෝ කිව්වේ එයා වෝල්බර්ගාගේ ලිංගික වහලෙක් විදිහට දවසට අට වතාවක් විතර සම්බන්ධකම් පැවැත්වූවා කියලා. ෆ්‍රෙඩ් මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. තමන්ගේ ඔළුවට උඩින් තමන්ගේ බිරිඳගේ පෙම්වතා ඉන්නවා කියලා හීනෙකින්වත් කිසිම මනුස්සයෙක් කොහොමත් හිතන්නෙ නෑනෙ නේද?
1918 දී මේ පවුල ලොස් ඇන්ජලීස්වලට පදිංචියට ගියා. වෝල්බර්ගා ඒකට එකඟ වුණේ එකම එක කොන්දේසියක් උඩයි. ඒ තමයි ගෙදර තෝරන්නේ මම කියන එක. එයා හිතාමතාම තෝරාගත්තේ සීලිමක් තියෙන ගෙයක්. ෆ්‍රෙඩ් ගෙදරට එන්නත් කලින් ඔටෝ හොරෙන්ම ඒ ගෙදර සීලිම අස්සේ පදිංචි වෙලා ඉවරයි. ඒ විදියට අවුරුදු ගාණක් මේ බොරුව දිගටම ඇදුණා.
1922 අගෝස්තු 22 වෙනිදා රෑ මේ හැමදේම කණපිට හැරුණා. ෆ්‍රෙඩ් සහ වෝල්බර්ගා අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා. සීලිම අස්සේ ඉඳන් මේ සද්දේ අහගෙන හිටපු ඔටෝට හිතුණේ වෝල්බර්ගා අනතුරේ කියලා. එහෙම නැත්නම් තමන් අහුවෙයි කියන බයට එයා තුවක්කු දෙකකුත් අරන් සීලිමෙන් පල්ලෙහාට පැන්නා.
එතන ඇති වුණු පොරබැදීම මැද වෙඩි හඬවල් තුනක් ඇහුණා. ෆ්‍රෙඩ් එතනම මැරිලා වැටුණා.
බය වුණු පෙම්වතුන් දෙන්නා මේක හොරකමක් වගේ පෙන්වන්න තීරණය කළා. වෝල්බර්ගා ඔටෝට සල්ලි සහ ෆ්‍රෙඩ්ගේ ඩයමන්ඩ් ඔරලෝසුව දීලා එයාව සීලිමට යැව්වා. ඊට පස්සේ ඔටෝ වෝල්බර්ගාව අල්මාරියක් ඇතුළට දාලා එළියෙන් ලොක් කරලා යතුරත් අරන් සීලිමට ගියා.
පොලිසිය එද්දී වෝල්බර්ගා අල්මාරිය ඇතුළේ හිරවෙලා. පොලිසියට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ “ගෑනු කෙනෙක් තමන්වම අල්මාරියක් ඇතුළට දාලා එළියෙන් ලොක් කරගන්නේ කොහොමද?” කියන එකයි. ඇත්තටම ඒකට උත්තරේ තිබුණේ ඒ වෙලාවේ පොලිස් නිලධාරීන්ගේ ඔළුවට හරියටම උඩින් සීලිම ඇතුළේ.
මිනීමැරුමෙන් පස්සෙත් ඔටෝ ඒ සීලිම අත්හැරලා ගියේ නැහැ. විශ්වාස කරන්න, තවත් අවුරුදු අටක් එයා ඒ අඳුරු කුටිය ඇතුළේ ජීවත් වුණා. දැන් එයාට බය වෙන්න කෙනෙක් නැති නිසා වෝල්බර්ගා එයාට ටයිප් රයිටරයක් පවා අරන් දුන්නා.
හැබැයි රහස් කියන ඒවා හැමදාම හංගන්න බැහැ. 1930 දී නීතිඥ ශපීරෝට වෝල්බර්ගා ගැන සැක හිතුණා. ඒකට හේතුව වුණේ එදා හොරු අරන් ගියා කියපු ෆ්‍රෙඩ්ගේ ඩයමන්ඩ් ඔරලෝසුව වෝල්බර්ගා ශපීරෝට තෑගි දීපු හන්දා. ඒ විතරක් නෙවෙයි, වෝල්බර්ගාගේ තවත් පෙම්වතෙක් වුණු රෝයි ක්ලම්බ් පොලිසියට ගිහින් කිව්වා, මිනීමැරුමෙන් පස්සේ වෝල්බර්ගා තුවක්කුවක් දීලා ඒක විනාශ කරන්න කිව්වා කියලා. තවත් අසල්වැසියෙක් කිව්වා තවත් තුවක්කුවක් රෝස පඳුරක් යට වළලන්න කියලා වෝල්බර්ගා කිව්වා කියලා.
පොලිසිය මේ තුවක්කු දෙකම හොයාගත්තා. ඒවාවලින් විදපු උණ්ඩ ෆ්‍රෙඩ්ව මරපු උණ්ඩවලට හරියටම මැච් වුණා. අන්තිමේදී වෝල්බර්ගා හිරේට ගියා.
හිරේ ඉද්දි බය වුණු වෝල්බර්ගා මේ රහස ශපීරෝට කිව්වා. “මගේ අනාථ සහෝදරයා තාම සීලිම අස්සේ ඉන්නවා” කියලා එයා පාපොච්චාරණය කළා. ශපීරෝ ඒ ගෙදරට ගිහින් සීලිමේ රහස් දොරට තට්ටු කළා.
එතකොටයි ඒ මනුස්සයා එළියට ආවේ.
අවුරුදු දහයක් තිස්සේ මිනීමැරුමක් වුණු තැනකට උඩින්, අඳුරේ ජීවත් වුණු නිසා එයා හරිම කෙට්ටු වෙලා, ඇඟේ ලේ නැති තරමටම සුදුමැලි වෙලා හිටියෙ. පත්තර මේ මිනිහව නම් කරේThe Bat-Man කියලා.
ඔටෝව මිනීමැරුම් චෝදනාවට වැරදිකරු වුණත්, වුණෙ හිතාගන්න බැරි දෙයක්. ඒ වෙද්දී මේ අපරාධය වෙලා සෑහෙන කාලයක් ගතවෙලා තිබුණු නිසා, නීතිමය කාලසීමාව ඉක්මවා ගිහින් තිබුණා. ඒ නිසා ඔටෝ නිදහස් වුණා. එයා තමන්ගේ නම වෙනස් කරගෙන කැනඩාවට ගිහින් කසාදයක් බැඳලා සාමාන්‍ය විදිහට ජීවත් වුණා.
වෝල්බර්ගාගේ නඩුවත් සාක්ෂි මදි නිසා අන්තිමේදී ඉවත් කෙරුණා.
එයා 1961 වෙනකම්ම, ඒ කියන්නේ වයස අවුරුදු 80ක් වෙනකම්ම නිදහසේ ජීවත් වෙලා මියගියා.
වෝල්බර්ගා ඔස්ට්‍රරිච්ගේ මේ අමුතු ජීවිතය පස්සේ කාලෙක චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් රැසකට වස්තු විෂය වුණා. හැබැයි ඒ කිසිම නිර්මාණයකට මේ කතාවේ තියෙන ඇත්තම භීතිකාව විස්තර කරන්න පුළුවන් වුණේ නෑ.
අවුරුදු දහයක් තිස්සේ සීලිම අස්සේ හැංගිච්ච මිනිහෙක්
තමන්ගේ ඇඳට උඩින් හොර පෙම්වතාව හංගපු බිරිඳක්
හොරකමක් වගේ පෙන්වපු මිනීමැරුමක්
මේ හැමදේම අපිට මතක් කරලා දෙන්නේ එකම එක දෙයයි.
ඒ තමයි සමහර වෙලාවට භයානකම රහස් වළලලා තියෙන්නේ පොළොව යට නෙවෙයි. ඒ රහස් ඔයාටත් හොරෙන් ඔයාගේම සීලිම අස්සේ හුස්ම ගනිමින් ඉන්න පුළුවන් කියන එක!











