නිල් චිත්‍රපට නිලියක් වුණ ඇනා ස්මිත්ට මොකද වුණේ?

සාමාන්‍යයෙන් අපේ සමාජයේ නිල් චිත්‍රපට නිළියක් හරි, ක්ලබ් එකක නටන ස්ට්‍රිපර් කෙනෙක් හරි කිව්වම මිනිස්සු බලන්නේ හරිම පහත් විදිහටනේ. 

“ඕකුන් කරන්නේ සල්ලි වලට ඕනෑම දෙයක් කරන එක” කියලා ලේබල් ගහන්න අපි හරිම දක්ෂයි. හැබැයි ඒ ලස්සන රූපවලට යටින් තියෙන කඳුළු කතාව, ජීවත් වෙන්න කරන අරගලය කවුරුත් දකින්නේ නැහැ. ඇනා නිකෝල් ස්මිත් කියන්නෙත් අන්න ඒ වගේ මුළු ලෝකයක්ම “සල්ලි වලට ඕනෑම දෙයක් කරන ගෑනියෙක්” කියලා ලේබල් ගහපු, හැබැයි ඇත්තටම ජීවිතය දිනන්න පට්ටම ගේමක් ගහපු කෙනෙක්.

දුප්පත්කමෙන් බේරෙන්න දඟලපු වික්කි ලින්

ඇනා නිකෝල් ස්මිත්ගේ ඇත්ත නම වික්කි ලින් හෝගන්. එයා හැදුණේ ටෙක්සාස් වල හරිම සාමාන්‍ය, දුප්පත් පරිසරයක. එයා ඉපදෙනකොටම පුදුම ලස්සනක් අරන් ආපු ළමයෙක්. එයාගේ අම්මා පොලිස් නිලධාරිනියක්. එයා කියන විදිහට වික්කි පොඩි කාලේ සුපර් මාර්කට් එකකට ගියත් පිරිමි අය පෝලිමේ එයා පස්සෙන් එනවලු ඒ ලස්සන බලන්න.

හැබැයි වික්කිට ඕන වුණේ මේ දුප්පත් ජීවිතයෙන් කොහොම හරි පැනලා යන්න. එයා ඉස්කෝලෙන් අයින් වෙලා චිකන් රෙස්ටුරන්ට් එකක වැඩට ගියා. එතනදී හම්බවුණු කොල්ලෙක් එක්ක වයස 17දී එයා කසාද බැන්දා. හැබැයි ඒ කසාදය හරිම අසාර්ථක එකක් වුණා. එයාට ඩැනියෙල් කියලා පුතෙක් හම්බවුණා. පුතාට මාස 6ක් වෙද්දී වික්කි තීරණය කළා තමන්ගේ හීන පස්සේ යන්න. එයා පුතාවත් අරන් ඒ ගෙදරින් පැනලා ගියා.

ස්ට්‍රිප් ක්ලබ් එකේ ඇනා ඉපදුණු හැටි

වික්කි මුලින්ම ගියේ හූස්ටන් වල තියෙන ස්ට්‍රිප් ක්ලබ් එකක නටන්න. එතනදී එයා තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. එයා මැරිලින් මොන්රෝව කොපි කළා. කොණ්ඩය රන්වන් පාට කරලා, පිරිමින්ව වසඟයට ගන්න එයා පුදුම ගේමක් ගැහුවා.

එයා එක්ක වැඩ කරපු යාළුවෝ කියන විදිහට වික්කිට පිරිමින්ව නටවන්න කවුරුත් උගන්වන්න ඕන වුණේ නැහැ. එයා ඒකට උපතින්ම දක්ෂයි. එයාට ඕන වුණේ ප්‍රසිද්ධිය සහ සල්ලි. ඒ වෙනුවෙන් එයා පට්ටම මහන්සියක් වුණා. ඔය අතරේ තමයි ලෝක ප්‍රසිද්ධ Playboy සඟරාවෙන් එයාට අවස්ථාව ලැබුණේ. එතනින් පස්සේ තමයි මුළු ලෝකයම ඇනා නිකෝල් ස්මිත් කියන නම දැනගත්තේ.

86 හැවිරිදි බිලියනපතියා සහ අවුරුදු 23ක ඇනා

ඇනාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ 1991දී එයාට ජේ. හොවාර්ඩ් මාෂල් (J. Howard Marshall) කියන බිලියනපතියා හම්බවුණාමයි. එතකොට මාෂල්ට වයස 86යි! ඇනාට වයස 23යි. ලෝකයම කිව්වේ ඇනා මේ මනුස්සයා පස්සෙන් යන්නේ සල්ලි වලට විතරයි කියලා. හැබැයි නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටය කියන විදිහට එයාලා අතරේ ඇත්තම ආදරයක් තිබුණලු. මාෂල් ඇනාට සැලකුවේ දේවතාවියකට වගේ.

මාෂල් ඇනාට කිව්වේ “මම ඔයාව මේ අගාධයෙන් ගොඩ ගන්නම්” කියලා. ඇනාටත් ඕන වුණේ තමන්ගේ පුතා එක්ක ලස්සනට ජීවත් වෙන්න. ඉතින් ඔවුන් 1994දී කසාද බැන්දා. හැබැයි මේ සතුට වැඩි කාලයක් තිබුණේ නැහැ.

ඇනා ඒ 86 හැවිරිදි සීයව බැන්දම මුළු ලෝකයම එයාට හිනා වුණා. “සල්ලි තියෙනවා නම් ඕනෑම ගෑනියෙක්ව සල්ලිවලට ගන්න පුළූවන්” කියලා මිනිස්සු ඇනාට හරිම කැත විදිහට අපහාස කළා. හැබැයි ඇනාට ඒ වෙලාවේ ඕන වුණේ තමන්ගේ පුතා ඩැනියෙල්ටයි එයාටයි සැපවත් ජීවිතයක්. මාෂල් කියන බිලියනපතියා ඇනා වෙනුවෙන් ඩොලර් මිලියන ගණන් වියදම් කළා. හැබැයි මේ සල්ලි මල්ල ඇතුළේ ඇනා තමන්ගේ පාලනය නැති කරගන්න පටන් ගත්තා.

මාස 14ක කසාදය සහ බිලියන 1.6ක සටන

ඇනා සහ මාෂල් කසාද බැඳලා ගත වුණේ මාස 14ක් විතරයි. 1995දී මාෂල් මියගියා. එතනින් පස්සේ තමයි ඇනාගේ ඇත්තම ජීවිතේ පටන් ගත්තේ. මාෂල්ගේ බිලියන 1.6ක (රුපියල් කෝටි දහස් ගණනක) දේපළ වලට මාෂල්ගේ පුතා, පියර්ස් මාෂල් සහ ඇනා අතරේ ලොකු නීතිමය සටනක් පටන් ගත්තා.

ඇනා උසාවියේදී අඬ අඬා කිව්වේ එයා මාෂල්ට ඇත්තටම ආදරේ කළා කියලා. හැබැයි අනිත් පැත්තෙන් මාෂල්ගේ පුතා කිව්වේ ඇනා කියන්නේ නිකම්ම ATM මැෂින් එකක් වගේ තමන්ගේ තාත්තාව පාවිච්චි කරපු ගෑනියෙක් විතරයි කියලා. අවුරුදු ගණනාවක් මේ නඩුව ඇදි ඇදී ගියා. මේ නඩුව නිසා ඇනා ලෝකය ඉස්සරහා පුදුම විදිහට නෝන්ඩි වුණා.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ පාලනයෙන් තොර වුණු ජීවිතය

මාෂල් ජීවතුන් අතර ඉන්න කාලෙත් ඇනා වේදනා නාශක වලට ඇබ්බැහි වෙලා හිටියේ. මාෂල් නැති වුණාට පස්සේ ඒක තවත් දරුණු වුණා. එයාට හරිහමන් මඟපෙන්වීමක් කරන්න කවුරුත් හිටියේ නැහැ. ඇනාගේ ජීවිතේ රියැලිටි ෂෝ එකක් වුණා. එයා ප්‍රසිද්ධ වේදිකාවල මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වැනි වැනි ඇවිදින ඒවා, විකාර කියවන ඒවා මුළු ලෝකයම ටීවී එකෙන් බලාගෙන හිටියා. මිනිස්සුන්ට ඒක විනෝදයක් වුණාට, ඒ හැමදේම පිටිපස්සෙ හිටපු ගැහැනිය ටික ටික මැරෙමින් හිටියේ.

පුතාගේ මරණය

ඇනාගේ ජීවිතේ එයා පණටත් වඩා ආදරේ කළේ එයාගේ පුතා ඩැනියෙල්ට. 2006දී ඇනාට දුවෙක් හම්බවුණා. දුව හම්බවෙලා දවස් තුනක් යද්දී, ඩැනියෙල් තමන්ගේ අම්මාව බලන්න හොස්පිට්ල් එකට ආවා. හැබැයි එදා රෑ ඩැනියෙල් මත්ද්‍රව්‍ය අධික ලෙස පාවිච්චි කිරීම නිසා ඒ හොස්පිට්ල් එකේදීමම මියගියා.

ඇනාට මේක දරාගන්න බැරි වුණා. තමන් ජීවත් කරවන්න, තමන් දිනවන්න උත්සාහ කරපු ඒ එකම වස්තුව තමන්ගේ ඇස් ඉස්සරහම නැති වුණාම ඇනා සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. එයා එතනින් පස්සේ ජීවමාන මළකඳක් වගේ වුණා.

පුතා මැරිලා මාස 5ක් යන්න කලින්, ඒ කියන්නේ 2007දී, ෆ්ලොරිඩාවේ හෝටල් කාමරයක ඇනා නිකෝල් ස්මිත් මියගිහින් ඉන්නවා හම්බවුණා. එයා මියගිහින් තිබුණෙත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් එකවර ශරීරගත වීම නිසා. මියයන විට එයාගේ වයස අවුරුදු 39ක් විතරයි.

නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටය අවසානයේ අහන්නේ එක ප්‍රශ්නයක්. ඇනා කියන්නේ සල්ලි පස්සේ ගිය හස්ලර් කෙනෙක්ද? නැත්නම් හැමෝම තමන්ගේ වාසියට පාවිච්චි කරපු අසරණ ගෑනියෙක්ද? ඇත්තටම එයා මේ දෙකේම එකතුවක්. එයා වැරදි තීරණ ගත්තා, ඒ වගේම ලෝකය එයාට දරුණු විදිහට සැලකුවා.

ඇනා කියපු එක කතාවක් අදටත් හරිම ප්‍රසිද්ධයි: “මම මේ අගාධයෙන් මාව ගොඩගත්තට මාෂල්ට ස්තූති කරනවා. අපි අතරෙ තිබුණෙ ලිංගික බැඳීමක් විතරක් නෙවෙයි, මගේ ජීවිතේ බේරගත්තට දක්වපු කෘතඥතාවයක් තමයි මම එයාට දක්වපු ආදරේ.”

අද කාලේ සෝෂල් මීඩියා තිබුණා නම් සමහර විට ඇනාට මීට වඩා ආදරයක් ලැබෙන්න තිබුණා. හැබැයි එයා 90 දශකයේ ඒ කුරිරු ටැබ්ලොයිඩ් මාධ්‍ය කලාවට බිලිවුණු තවත් එක් ලස්සන රත්තරන් පාට කෙල්ලෙක් විතරයි.

Related Articles

Don't Miss


Latest Articles