බෙල්ල කළු වෙලා නිසා අවුලෙන්ද?

ඔයාත් කන්නාඩිය ඉස්සරහට ගිහින් බෙල්ල පිටිපස්ස, කිහිලි එහෙමත් නැත්නම් ඉකිලි ප්‍රදේශ කළු වෙලා තියෙනවා දැකලා හිතින් වද වෙන කෙනෙක්ද? “මම හරියට හෝදන්නේ නැති නිසා වෙන්න ඇති” කියලා හිතලා ලෙලි යනකම් සබන් ගාලා ඇතිල්ලුවාද? එහෙමත් නැත්නම් කවුරු හරි කියපු පලියට ෆාමසිවලින් ක්‍රීම් වර්ග ගෙනත් ගෑවාද? හැබැයි කිසිම වෙනසක් වුණේ නැද්ද?

ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට තියෙන, ඒත් ලැජ්ජාව නිසා කාටවත් කියන්න බැරිව ඉන්න ප්‍රශ්නයක්. අපි අද කතා කරමු ඇයි මෙහෙම වෙන්නේ සහ මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා.

මොකක්ද මේ “Nigrican Acanthosys” කියන්නේ?

අපි මේ කතා කරන ශරීරයේ සමහර තැන් කළු වීම වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ Acanthosis Nigricans කියලා. මේකේ තියෙන විශේෂත්වය තමයි සම කළු වෙනවා විතරක් නෙමෙයි, ඒ හරිය වෙල්වට් රෙද්දක් වගේ සිනිඳු ගතියක් ගන්නවා. ඒ වගේම සමේ රැළි වැටීම වැඩියි. හැබැයි මේක දිලීර ආසාදනයක් වගේ කැසීමක් හෝ රතු වීමක් ඇති කරන්නේ නැහැ. අන්න ඒ නිසයි ඇන්ටි-ෆංගල් (Anti-fungal) ක්‍රීම් ගෑවට මේක සුව වෙන්නේ නැත්තේ.

ඇයි මෙහෙම වෙන්නේ? 

අපි හැමෝම හිතන්නේ මේක හමේ ප්‍රශ්නයක් කියලා. හැබැයි සැබෑ ප්‍රශ්නය තියෙන්නේ හමේ නෙමෙයි, අපේ සිරුර ඇතුළේ. මේකට ප්‍රධානතම හේතුව තමයි ඉන්සියුලින් රෙසිස්ටන්ස් (Insulin Resistance) කියන තත්ත්වය.

අපේ ඇඟේ සීනි මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝනයෙන්. හැබැයි අපේ වැරදි ආහාර රටාව හෝ වෙනත් රෝග නිසා මේ ඉන්සියුලින් වලට තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙනවා. අන්න එතකොට අපේ අග්න්‍යාශය හිතනවා ඉන්සියුලින් මදි කියලා තව තවත් ඉන්සියුලින් නිපදවනවා. ඇඟ ඇතුළේ මෙහෙම ඉන්සියුලින් වැඩි වුණාම, ඒවා ගිහින් සමේ සෛල වලට බලපෑම් කරනවා. ප්‍රතිඵලයක් විදිහට සම අසාමාන්‍ය විදිහට ඝනකම් වෙලා කළු වෙන්න පටන් ගන්නවා. සරලවම කිව්වොත්, බෙල්ල කළු වීම කියන්නේ ඔබේ ඇඟ ඇතුළේ ඉන්සියුලින් අවුලක් තියෙනවා කියලා දෙන “රතු එළියක්”.

මේ අනතුර කාටද වැඩියෙන්ම තියෙන්නේ?

  • අධික දේහ බර: ඔ‍යා ටිකක් මහත කෙනෙක් නම්, විශේෂයෙන් බඩ අවට මේදය වැඩි නම්, ඔයාගෙ සිරුරේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය අඩාල වීමේ සම්භාවිතාව වැඩියි.
  • පූර්ව දියවැඩියාව (Pre-diabetes): ඔයාට දියවැඩියාව වැළඳෙන්න කලින් ඔයාගෙ සිරුර දෙන ලොකුම ඉඟිය තමයි මේ බෙල්ල කළු වීම. මේක “අනතුරු ඇඟවීමේ සංඥාවක්” විදිහට සලකලා ජීවන රටාව වෙනස් කළොත් ඔයාට දියවැඩියා රෝගියෙක් නොවී බේරෙන්න පුළුවන්.
  • කාන්තාවන්ගේ හෝමෝන ගැටලු (PCOS): Polycystic Ovary Syndrome තත්ත්වයෙන් පෙළෙන තරුණ ගැහැණු ළමයින්ට මේ කළු වීම් බහුලව දකින්න ලැබෙනවා. ඒකටත් හේතුව මේ ඉන්සියුලින් ප්‍රශ්නයම තමයි.
  • ජානමය බලපෑම: සමහර විට පවුලේ කාට හරි මේ තත්ත්වය තිබුණා නම් ඔයාටත් ඇති වෙන්න පුළුවන්.
  • ඖෂධ වර්ග: සමහර උපත් පාලන පෙති, ස්ටෙරොයිඩ් වර්ග (Steroids) හෝ නයිසින් වැනි විටමින් වර්ග අධිකව භාවිතය නිසාත් මෙහෙම වෙන්න පුළුවන්.

මේකෙන් ගොඩ එන්නේ කොහොමද? (පියවරෙන් පියවර)

හොඳම ආරංචිය තමයි මේ කළු වීම සදහටම නැති කරගන්න පුළුවන් කියන එක. හැබැයි ඒකට රූපලාවන්‍යගාරවල “Bleaching” කරලා වැඩක් නැහැ. ඔයා කරන්න ඕනේ ඔයාගෙ අභ්‍යන්තර සෞඛ්‍යය හදන එකයි.

  1. කෑම රටාව “අප්ඩේට්” කරන්න:

සීනි සහ පැණිරස බීම (Soft drinks) සම්පූර්ණයෙන්ම වගේ නතර කරන්න.

සුදු බත්, පාන්, බනිස් වැනි පිරිපහදු කළ පිටි කෑම (Simple Carbs) අඩු කරලා නිවුඩු බත්, කුරක්කන් වැනි කෙඳි සහිත කෑම වලට මාරු වෙන්න.

එළවළු සහ පලා වර්ග ඔයාගෙ කෑම පිඟානෙන් 50% පුරවන්න.

  1. දිනපතා ඇඟ වෙහෙසන්න:

ව්‍යායාම කරනකොට ඔයාගෙ මාංශ පේශිවලට සීනි ඇදගන්න ඉන්සියුලින් උදව්වක් නැතිවම පුළුවන්. දිනකට විනාඩි 30ක්වත් වේගයෙන් ඇවිදින්න හෝ ක්‍රියාශීලී වෙන්න.

  1. බර පාලනය (Magic of weight loss):

ඔයාගෙ වර්තමාන බරින් 5%-10%ක් වැනි කුඩා ප්‍රමාණයක් අඩු කරගත්තත්, මේ කළු ලප පුදුම විදිහට මැකිලා යනවා ඔයාටම දකින්න පුළුවන් වේවි.

  1. සැඟවුණු රෝග ගැන පරීක්ෂා කරන්න:

ඔයාට මේ තත්ත්වය තියෙනවා නම්, නිකම්ම ඉන්නේ නැතිව වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිරයේ සීනි මට්ටම (HbA1c පරීක්ෂණය වැනි) සහ හෝමෝන මට්ටම පරීක්ෂා කරගන්න.

  1. නින්ද සහ මානසික නිදහස:

අඩු නින්ද නිසා සිරුරේ ආතති හෝමෝන (Cortisol) වැඩි වෙනවා. ඒකත් ඉන්සියුලින් වලට බාධා කරනවා. ඒ නිසා රෑට පැය 7ක්වත් සුව නින්දක් ලබන්න.

අන්තිමට කියන්න තියෙන්නේ බෙල්ල කළු වෙලා තියෙන්නේ ඔයා අපිරිසිදු නිසා කියලා හිතලා හීනමානයක් ඇති කරගන්න එපා. ඒක ඔයාගෙ සිරුර ඔයාගෙන් “උදව්” ඉල්ලන අවස්ථාවක්. මිල අධික ක්‍රීම් වර්ග වලට සල්ලි නාස්ති කරන එක නතර කරලා, අදම ඔයාගෙ කෑම වේල සහ ජීවන රටාව වෙනස් කරන්න. නිවැරදි ආහාර රටාවක් (Diet Plan) අනුගමනය කරන්න පටන් ගත්තොත් මාස 3ක් 6ක් ඇතුළත ඔයාට පිරිසිදු, ලස්සන වගේම නිරෝගී හමක් ලබාගන්න පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles