මීට දශක පහකට විතර කලින්, ඒ කියන්නේ 1967 ඔක්තෝබර් 15 වැනිදා, කොළඹ කුරුඳුවත්ත පැත්තේ පට්ටම අභිරහස් සිද්ධියක් වුණා. අද කොළඹ ලිබර්ටි සිනමා එක ගාව තියෙන Capri Club රෙස්ටුරන්ට් එක තියෙන තැන එදා තිබුණේ Carlton Lodge කියන ලස්සන මන්දිරය. ඒක ඒ කාලේ ලංකාවේ හිටපු බුරුම තානාපති සාවෝ බූන්වාට්ගේ නිල නිවස.
මෙන්න මේ මන්දිරය ඇතුළේ තමයි ලංකා ඉතිහාසයේ දරුණුම සහ අභිරහස්ම මිනීමැරුම සිද්ධ වුණේ.
මේ මිනීමැරුම කළේ එයාගේම සැමියා වුණු එවකට බුරුම තානාපති සාවෝ බූන්වාට් කියලා හැමෝම සැක කළත්, එයාට තිබුණු රාජ්‍ය තාන්ත්‍රික බලය නිසා නීතියෙන් බේරෙන්න එයාට පුළුවන් වුණා. ඒ කාලේ මේ තානාපති නිවස හැඳින්වූයේ Carlton Lodge කියලා. ප්‍රවීණ මාධ්‍යවේදී කේ. කේ. එස්. පෙරේරා ඩේලි නිවුස් පුවත්පතට ලියපු ලිපියකට අනුව, එදා මේ නිවස ඉස්සරහා තිබුණු ගොඩනැගිල්ලක වැඩ කරමින් හිටපු තරුණයන් දෙන්නෙක්ට තානාපති නිවස ඇතුළෙන් වෙඩි හඬවල් ඇහිලා තියෙනවා. ඒ වෙලාවේ නයිට් ඩ්‍රස් එකක් ඇඳගත්ත ගැහැනියක් ගේ ඇතුළේ ඉඳන් පාර පැත්තට දුවගෙන එනවා ඒ අය දැකලා තියෙනවා.
ඒ තරුණයෝ දෙන්නා පස්සේ පොලිසියට කියලා තිබුණේ, ඒ ගැහැනිය පස්සෙන් ආපු මනුස්සයෙක් දෙවැනි වෙඩිල්ලත් තියනවා දැකලා තියෙනවා කියලා. ඒ වෙලාවේ ඒ අය හිටියේ පුදුම වෙලා, ගල් ගැහිලයි. ඊට පස්සේ තවත් මනුස්සයෙක් ගෙයින් එළියට ඇවිත්, අඩපණ වුණු ඒ ගැහැනියව බිම දිගේ ඇදගෙන ආපහු ගේ ඇතුළට අරන් ගිහින් තියෙනවා. පාරේ හිටපු සාක්ෂිකරුවන්ගේ ඇස් ඉස්සරහම මේ වගේ දරුණු සිද්ධියක් වුණත්, ඒක තානාපති නිවසක් වුණු නිසා සහ රාජ්‍ය තාන්ත්‍රික බලය පාවිච්චි කරපු නිසා පොලිසියට ඒ ගේ ඇතුළට යන්න අවසර ලැබුණේ නැහැ.
යටගැසූ පරීක්ෂණ
ඒ කාලේ ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, එවකට බුරුමයේ ශ්‍රී ලංකා තානාපති විදිහට වැඩ කරපු නන්දදේව විජේසේකර මහතා හරහා බුරුම රජයත් එක්ක සම්බන්ධ වුණා. තානාපතිවරයාගේ බිරිඳගේ මරණය ගැන පොලිසිය කරපු පරීක්ෂණවල සම්පූර්ණ වාර්තාවක් ඔහු විසින් බුරුම රජයට දුන්නා කියලා කියනවා. බුරුම රජය ඒ වෙලාවේ කිව්වේ ලංකා රජයේ වාර්තාවයි, බුරුම තානාපති කාර්යාලයේ වාර්තාවයි දෙකම හොඳට අධ්‍යයනය කරලා බලලා තමයි තානාපති බූන්වාට්ව ආපහු එරටට කැඳවන්නේ කියලා. මේකත් එක්කම සිද්ධිය ගැන පරීක්ෂණ කරන එක ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ අතින් ගිලිහී ගියා.
2019 ජනවාරි 25 වැනිදා ඩේලි නිවුස් පුවත්පතට ලිපියක් ලියමින් කේ. කේ. එස්. පෙරේරා මහතා මේ විදිහට සඳහන් කරනවා:
“බූන්වාට්ගේ බිරිඳගේ මරණය ගැන බුරුම තානාපති කාර්යාලයේ නිලධාරීන් කටවත් ඇරියේ නැහැ. රජයේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලටත් මේකට මැදිහත් වෙන්න විදිහක් තිබුණේ නැහැ. ඒ නිසා වහාම ක්‍රියාත්මක වුණු ආරක්ෂක අමාත්‍යාංශය, තානාපති කාර්යාලයේ කිසිම කෙනෙක්ට රටෙන් පැනලා යන්න ඉඩ නොදෙන විදිහට ගුවන් යානා නවත්තන්න ආගමන විගමන බලධාරීන්ට නියෝග කළා.
ඒ වගේම බුරුම ජාතිකයන් බලහත්කාරයෙන් නැවකට හරි ප්ලේන් එකකට හරි ගොඩ වෙන්න හැදුවොත් ඒක නවත්තන්න කියලා සී.අයි.ඩී එකටයි රේගුවටයි නියෝග ලැබුණා. ආරක්ෂක දැලෙන් රිංගලා කොහොම හරි පැනලා යයි කියලා සැකේට, ආගමන විගමන නිලධාරීන්ව ගුවන් මගින් කන්කසන්තුරේ (KKS) එයාර්පෝට් එකට පවා යවලා තිබුණා. හැම වරායකම සහ ගුවන් තොටුපළකම සී.අයි.ඩී, රේගු සහ ආගමන විගමන නිලධාරීන්ව පැය 24 පුරාම සීරුවෙන් තියන්න රජය පියවර ගත්තා.”
වාර්තා අතරින් අතුරුදන් වුණු සැකකටයුතු මරණය
සිංගප්පූරුවේ ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පත කියන විදිහට, සාවෝ බූන්වාට් මාස කිහිපයකට පස්සේ ආපහු බුරුමයට ගියා. හැමෝම දැනගෙන හිටියත් තමන්ගේ බිරිඳව මැරුවේ එයා කියලා, ඒ වෙනුවෙන් එයාට කවදාවත් නඩුවකට මුහුණ දෙන්න වුණේ නැහැ. විදේශීය තානාපතිවරු කරන අපරාධවලදී “රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය” (Diplomatic Immunity) කියන එක කොයි තරම් නරක විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එකට අදටත් ලෝකෙම තියෙන ලොකුම උදාහරණය තමයි මේ බූන්වාට් කේස් එක.
ෂර්ලි බූන්වාට්ගේ මරණ සහතිකයේ මරණයට හේතුව විදිහට සටහන් වුණේ “අධික රුධිර පීඩනය නිසා මොළයට ලේ වහනය වීමක්” කියලා. සිද්ධිය වෙලා පැයක් යන්නත් කලින් වෛද්‍ය එල්. සී. මැන්දිස් මේ මරණ සහතිකය නිකුත් කරලා තිබුණා. දොස්තර මහත්තයා පොලිසියට කියලා තිබුණේ ෂර්ලිගේ සිරුර පඩිපෙළ පාමුල තිබිලා හම්බවුණු බවයි. හැබැයි මරණ පරීක්ෂණයක් කරන්න දොස්තර කරපු යෝජනාව තානාපතිවරයා කෙලින්ම ප්‍රතික්ෂේප කරලා තිබුණා.
තවත් පුදුම හිතෙන කතාවක් 2017 ඔක්තෝබර් 22 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවුණා. ඒ තමයි, ෂර්ලි බූන්වාට්ව ආදාහනය කළා කියලා කොහේවත් ලේඛනගත වෙලා නැති එක. බොරැල්ල කනත්තේ මළසිරුරු භූමදානය කරන හෝ ආදාහනය කරන ලේඛනවල ඇයගේ නම ඇත්තේම නැහැ. හැබැයි ඒ කාලේ පත්තරවල පින්තූර පවා පළවුණා මේ ජෝඩුවගේ පොඩි දරුවන් බුරුම නිලධාරියෙක් එක්ක ආදාහනාගාරයෙන් එළියට එන දර්ශන.
ඒ පත්තර වාර්තාවේ මෙහෙම සඳහන් වෙනවා: “1967 ඔක්තෝබර් 15 වැනිදා කනත්තේ ලේඛනවල තියෙන්නේ සටහන් 11ක් විතරයි. ඒ කියන්නේ ආදාහන දෙකයි, භූමදාන නවයයි. ඒ ආදාහන දෙකම ශ්‍රී ලාංකිකයෝ—එක්කෙනෙක් පිරිමියෙක්, එක්කෙනෙක් ගැහැනියක්. කිසිම විදේශිකයෙක් ගැන සටහනක් නැහැ! එදා ආදාහනාගාරයේ පුලුස්සලා තියෙන්නෙත් ලාංකික පිරිමියෙක්ව විතරයි.”
මරණයට පාර කැපූ රෙක්ස් ද සිල්වාගේ සම්බන්ධය
අදටත් මේ මිනීමැරුම ගැන ඇත්තම කතාව දැනගන්න එක අමාරු වුණත්, බොහෝ දෙනා සැක කරන්නේ ෂර්ලි බූන්වාට් සහ සංගීතඥයෙක් වුණු රෙක්ස් ද සිල්වා අතර තිබුණු සම්බන්ධය නිසා මේ විනාශය වුණා කියලා.
ෂර්ලි මියගිය දවසේ ඩේලි මිරර් පුවත්පතට රෙක්ස් ද සිල්වා මේ විදිහට කියලා තිබුණා: “මමයි ෂර්ලියි මුලින්ම හම්බවෙලා අදට හරියටම අවුරුදු තුනක් වෙනවා. මට ඒ දවස හොඳට මතකයි, ඒ 1964 ඔක්තෝබර් 27 වැනිදා. මම ඒ කාලේ ‘Blue Leopard’ එකේ මියුසික් ප්ලේ කරද්දී තමයි ෂර්ලි එයාගේ යාළුවෝ ටිකක් එක්ක එතනට ආවේ. එදා තමයි මාව එයාට හඳුන්වලා දුන්නේ.
ෂර්ලි මියගියා කියලා මට තාමත් අදහගන්න බැහැ. එයා මැරෙන්න කලින් දවසේ රෑත් මම වැඩ කරන තැනට ආවා. මම වැඩ ඉවර වෙනකම් ඉඳලා මාව ගෙදරටත් ඇරලුවා. එයා ජීවිතේ ගැන මාරම බලාපොරොත්තුවකින් හිටපු කෙනෙක්. එයා කාට හරි උදව්වක් කරන්න ඕන වුණොත් ඒ වෙනුවෙන් පට්ටම උනන්දුවකින් වැඩ කරනවා. අපි හම්බවෙලා ටික කාලෙකට පස්සේ එයා මට මුලින්ම කියපු දෙයක් තමයි එයා ජීවත් වෙන්නේ ලොකු අසතුටකින් කියන එක.”
පොලිසිය රෙක්ස්ගෙන් ප්‍රශ්න කරපු වෙලාවේ එයා කියලා තිබුණේ, එයා බූන්වාට්ගේ නිවසේ අවුරුද්දකට ආසන්න කාලයක් පදිංචි වෙලා හිටපු බවත්, පස්සේ එතනින් අයින් වෙන්න තීරණය කරපු බවත්.
කේ. කේ. එස්. පෙරේරාගේ පර්යේෂණවලට අනුව රෙක්ස් පස්සේ කාලෙක ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිහින් එහෙදී මියගිහින් තියෙනවා.
සන්ඩේ ටයිම්ස් ලිපියේ සඳහන් වෙන්නේ තානාපති බූන්වාට්ට මොකද වුණේ කියලා කිසිම තොරතුරක් නැති බවයි. ඒ වගේම ඒ කාලේ මේ පරීක්ෂණවලට සම්බන්ධ වුණු ප්‍රධාන නිලධාරීන් සහ අනිත් අයත් දැන් ජීවතුන් අතර නැහැ.
මූලාශ්‍ර: https://archive.roar.media/english/life/identities/murder-mystery-death-shirley-boonwaat











