“මිනිහෙක් වැඩ්ඩෙක් වෙන්නේ ඉපදෙනකොටම අරන් එන වාසනාව නිසාද? නැත්නම් මහන්සි වෙලා දිනාගන්න දෙයක්ද?”
මේ ප්රශ්නය අපේ ලංකාවේ අය අතරෙත් හැමදාම තියෙනවා. හැබැයි මේ කතාව කියෙව්වට පස්සේ ඔයාට තේරෙයි, වාසනාව කියන්නේ නිකම්ම වචනයක් විතරයි කියලා. මේක ලාස්ලෝ පෝල්ගාර් කියන හංගේරියානු පර්යේෂකයා තමන්ගේම පවුල ඇපයට තියලා කරපු අමුතු පරීක්ෂණයක්.
අපි ගොඩක් වෙලාවට සුපිරි වැඩ්ඩෙක් දැක්කම කියන්නේ “අම්මෝ, ඒක නම් ඉපදෙනකොටම අරන් ආපු දක්ෂතාවයක්” කියලා. හැබැයි ලාස්ලෝ පෝල්ගාර් කියන මනුස්සයා මේ කතාව පිළිගත්තේම නැහැ. එයාට ඕන වුණා ලෝකෙටම පේන්න එක දෙයක් ඔප්පු කරන්න. ඒ තමයි, “ජීනියස්ලා අහසින් වැටෙන්නේ නැහැ, ඕනෑම දරුවෙක්ව නිවැරදි විදිහට පුහුණු කළොත් වැඩ්ඩෙක් කරන්න පුළුවන්” කියන එක. මේක කියන්න විතරක් නෙවෙයි, එයා තමන්ගේම පවුල පාවිච්චි කරලා ඒක ඇත්ත කියලා ඔප්පු කරලම පෙන්නුවා.
ප්ලෑන් එකකට අනුව බිරිඳක් හොයාගත්ත හැටි
ලාස්ලෝ මුලින්ම කළේ එයාගේ මේ අදහසට එකඟ වෙන බිරිඳක් හොයාගන්න එක. එයා ක්ලාරාට ලිපියක් ලියලා කෙලින්ම කිව්වා, “මට ඕන දරුවන්ව ලෝකෙම දන්න වැඩ්ඩෝ කරන්න, ඒ පරීක්ෂණයට ඔයා මගේ බිරිඳ වෙලා උදව් කරනවාද?” කියලා. ක්ලාරාත් ඒකට කැමති වුණා. එයා හිතුවා චෙස් කියන්නේ මේ පරීක්ෂණය කරන්න හොඳම තැන කියලා. මොකද චෙස් වලදී දක්ෂතාවය ලකුණු වලින් මනින්න පුළුවන්, අනික එතනදී පිරිමි/ගැහැණු කියලා ශාරීරික වෙනසක් අදාළ වෙන්නෙත් නැහැ. ලාස්ලෝගේ ගෙදර චෙස් පොත් වලින්, චෙස් බෝඩ් වලින් පිරුණා. එයා දරුවන්ට ඉස්කෝලේ යන්න ඉඩ දුන්නේ නැහැ, ගෙදර ඉඳන්ම තමයි හැමදේම ඉගැන්නුවේ.
සුසෑන් – වයස 5දී ලැබුණු පළමු ජයග්රහණය
ලාස්ලෝගේ පළමු දුව තමයි සුසෑන්. එයාට වයස 4 ඉඳන්ම ලාස්ලෝ චෙස් උගන්වන්න පටන් ගත්තා. දවසක් සුසෑන්ට වයස 5 වෙද්දී එයා එයාගෙ රටේ තිබුණ තරඟයකට ගියා. එතන හිටපු ඔක්කොම වැඩිහිටි පිරිමි අය. සමහරු හිනා වුණා “මේ පොඩි කෙල්ල කොහොමද අපේ මට්ටමට සෙල්ලම් කරන්නේ” කියලා. හැබැයි සුසෑන් ඒ තරඟයේදී දහයෙන් දහයක්ම දිනලා හැමෝවම පුදුම කළා. එයා වයස 15 වෙද්දී ලෝකෙම දන්න චෙස් වැඩ්ඩියෙක් වුණා වගේම ග්රෑන්ඩ් මාස්ටර් නාමය දිනාගත්ත පළමු කාන්තාව වුණා. ලාස්ලෝගේ පරීක්ෂණයේ පළමු අඩිය සාර්ථක වුණේ එහෙමයි.
සෝෆියා- ලෝකය හෙල්ලූ රෝම සටන
ලාස්ලෝගේ දෙවැනි දුව සෝෆියා. එයාත් අක්කා එක්කම සෙල්ලම් කරලා චෙස් වලින් වැඩ්ඩියෙක් වුණා. 1989දී රෝමයේ තිබුණ ලොකු තරඟයකදී සෝෆියා දැක්වූ දක්ෂතාවය අදටත් චෙස් ලෝකයේ පුදුම සහගත දක්ෂතාවයක් විදිහටයි සලකන්නේ. එයා එතන හිටපු හුඟක් පිරිමි ග්රෑන්ඩ් මාස්ටර්වරුන්ට අන්තිම නරක විදිහට පරාජය කළා. සෝෆියා ලෝකයේ 6 වැනි දක්ෂතම කාන්තා ක්රීඩිකාව වුණත්, ලාස්ලෝගේ තුන්වැනි දුව ඒ හැමෝටම වඩා ඉස්සරහට ගියා.
ජුඩිත් – කැස්පරොව්ගේ ආඩම්බරය කුඩු කළ හැටි
ජුඩිත් තමයි ලාස්ලෝගේ සාර්ථකම නිෂ්පාදනය. එයා ඉපදුණේම අක්කලා දෙන්නාම චෙස් සෙල්ලම් කරන පරිසරයක. ජුඩිත් වයස 15 වෙද්දී ග්රෑන්ඩ් මාස්ටර් නාමය ලැබුවා, ඒක එතෙක් බොබී ෆිෂර් තියලා තිබුණ ලෝක වාර්තාව බිඳ දැමීමක්. ඒ කාලේ හිටපු චෙස් රජා වුණු ගැරී කැස්පරොව් මුලින්ම කිව්වේ “ගෑනු අයට පිරිමි තරම් චෙස් ගහන්න බැහැ” කියලා. හැබැයි 2002දී ජුඩිත් එයා එක්ක සෙල්ලම් කරලා එයාව පරාජය කළා. කැස්පරොව්ට කොච්චර ලැජ්ජ හිතුණාද කියනවා නම් එයාට ඇඩෙන්න වගේ ආවා. එදා තමයි ලෝකෙම පිළිගත්තේ ලාස්ලෝ පෝල්ගාර් කියපු කතාව ඇත්ත කියලා. ජුඩිත් ලෝක ශූරයන් වුණු විස්වනාදන් ආනන්ද්, ඇනටෝලි කාර්පොව් වගේ වැඩ්ඩන්ව පවා පරාජය කරලා තියෙනවා.
අපිට ගන්න තියෙන ලොකුම පාඩම
ලාස්ලෝ මේ පරීක්ෂණයෙන් ලෝකෙට පෙන්නුවේ එකම දෙයයි. ඒ තමයි “Hard work beats talent” කියන එක. දක්ෂතාවය කියන්නේ ඉපදෙනකොට අරන් එන පැකේජ් එකක් නෙවෙයි, ඒක ගොඩක් මහන්සියෙන් ගොඩනගා ගන්න ඕන දෙයක්. ලාස්ලෝ එයාගේ දුවලා තුන්දෙනාවම ලෝකේ මුදුනටම ගෙනාවේ උපතින් ආපු දක්ෂතාවයකින් නෙවෙයි, නිවැරදි පුහුණුවෙන් සහ නොසැලෙන කැපවීමෙන්.
ඔයාටත් ජීවිතේ මොකක් හරි හීනයක් තියෙනවා නම්, “මට ඒක කරන්න බැහැ, මට ඒ තරම් දක්ෂතාවයක් නැහැ” කියලා හිතන්නේ නැතුව ලාස්ලෝගේ මේ කතාව මතක් කරගන්න.
එයා ඔප්පු කළේ නිවැරදි විදිහට මහන්සි වෙන ඕනෑම කෙනෙක්ට ජීනියස් කෙනෙක් වෙන්න පුළුවන් කියන එකයි.
ලෝකේ දිනන්න ඕනේ උපතින් ලැබෙන වාසනාව නෙවෙයි, හිතේ තියෙන ධෛර්යයයි!











