අංගාර – 56

0
304

චරක චායාව විවාහ කරදීමේ අරමුණින් ඇය වෙනුවෙන් මනමාලයන් සෙවිමේ නෝකාඩුව සස්මිත දින දෙක තුනක්ම සිතෙහි සඟවාගෙන උන්නේය. ඔහු චායා සමඟ කතා බහේදී පවා වෙනසක් නොපෙන්වා සිටීමට පරෙස්සම් විය. කවුරුන් කෙලෙසකින් කීවද, චායා වෙනස් නොවෙතැයි විශ්වාසය සස්මිතගේ සිතෙහි ඉතා තදින් තිබුණි.

විහඟිගේ කුස මෝරා එමින් තිබුණේ අට වැනි මසටත් ආසන්නවය. චරක වෙනදාටත් වඩා ජීවිතය උද්‍යෝගී ලෙසින් බාරගනිමින් උන්නේය. එහෙත් විටින් විට අතීතයේ ඔහුගේන දඩබ්බර තීරන වල විඳවීම් ඔහු තමා මත පටවා ගැනීමේ අඩුවක් වූයේද නැත.

” මට සමහර වෙලාවට හරියට බය හිතෙනවා විහඟි..”

විහඟිගේ ඉදිමුණු දෙපා තම දෙපා මත තබා ගනිමින් පිරිමදින අතරේ, එක්වරම චරක පැවසුවේ එලෙස පටවාගත් දිනකය.

” ඒ මොකටද අයියේ ?..”

” දරුවාගේ මූණ බලන්න මට හයියක් නැති වේවි කියලා..”

” මොනවාද අයියේ මේ කියන කතා… ඔයාට මම කොයි තරම් නම් පැහැදිළි කරාද ? කොච්චරක් නම් කිව්වාද ? ඇයි තව තව, ආයේ ආයෙම ඒකම හිතන්නේ?… මිනිස්සු අතින් තීරණ ගන්නකොට, එක එක විදියේ දේවල් වෙන්න පුලුවන් …. ඔයා ට එහෙම හිතුණා..ඉන් පස්සේ, මොකක්ම හරි දෙයක් නිසා ආයෙම මාව හොයාගෙන එන්නත් හිතුණා… එහෙම නේන්න හිතෙන්නත් තිබුණා.. ඒ මොන දේ වුනත්, ඒ තීරණ අපි ආයේ ආයෙම ප්‍රශ්න කරගන්න ඕනි නෑ අයියේ..”

” මිනීමරුවෙක්, මිනීමැරුමක් කරන්නේත් එහෙම තීරණයක් නිසා ..”

” ඔයා දැන් ඇයි එහෙම කතාවක් මේකට ගාවගන්නේ..?”

” මම කරන්න ගියෙත් මිනීමැරුමක්නේ නෝනා ?.. හා නැද්ද ?… “

චරකගේ හඬෙහි බිඳුම විහඟිව හඬවමින් තිබුණේය. චරක ඒ කඳුලු වල බර වහා තමා මත පටවා ගත්තේය.

” ඔය මොකටද ඒ පාර අඬන්න තියාගත්තේ කියනවකෝ.. ඒය් ..කෝ .. නවත්ගන්නව නෝනා..  අම්මා ආවොත් එහෙම, මම ඉවරනේ..”

එහෙත් විහඟි තමාට දැනෙන හැඟීම එහෙමම දිය කරමින් උන්නාය.

” ඔයාට මම කොච්චර කිව්වත්, කොයි තරම් පැහැදිලි කරත්, ඔයා එකම කතාව ආයේ ආයෙම කියනවා අයියේ …  මට සමහර වෙලාවට බය හිතෙනවා, ඔය මනස්ගාත ඔලුවේ තියාගෙන ඉඳලා ඔයාට දරුවාටයි, මටයි ආදරේ කරන්නවත් බැරි වෙයිද කියලා….”

” මොනවද විහඟී ?… මම එහෙම එකෙක්ද ?…”

” එහෙනම් ආයේ ආයේ ඕකම කියන්නෙපා අයියේ … මං ඔයාට ආදරේ කලේ, ඔයා මට ආදරේ නොකරපු කාලෙක .. මං ඔයා ලඟට ඇවිල්ලා, ඔයා එක්ක නිදහස් වුනේ, ඔයා මට ආදරේද කියලාවත් නොදැන, මම මෝඩයි … ඒක මම දන්නවා.. ඒත් මට ජීවිතේ තිබුන එකම බලාපොරොත්තුව ඔයා … ඔයාව නැති වෙලා ගිහින් මම තනි වෙනවාට වඩා, ඔයා මට  දරු පැටියෙක් දීලා මාව දාලා යන්න තීරණය කල එක ගැන ඇත්තටම මම සැනසීමෙන් හිටියේ .. දුක හිතුනා .. නෑ නෙවෙයි .. ඒත් මම හිත හදාගත්තා…ඉක්මනට .. මට එහෙම පුලුවන් වුනානම්, ඔයා කිසිම දෙයක් නොකර ඔහොම වෙන්නෝනි නෑ…”

” උඹ මහ පුදුම විකාරයක් විහඟි … අපි දෙන්නම කරපු දේවල් වල වගකිම උඹ ගන්නවා… මම දුර දිග නොබලා, උඹ මගේ නංගිගේ යාලුවා කියලත් අමතක කරලා කරපු දේවල්, උඹ උඹේ උවමනාවට කරා වගේ කියාගන්නවා.මම මැරිලා ඉපදුනේ නෑ.. මට අමතක නෑ, මම උඹව මට ඇඩික්ට් වෙන්න දීලා උන්න විදිය …”

චරකගේ දෙනෙත් හී වූ මනමාල බැල්මෙන් විහඟිගේ කඳුලු දෝමනස්සයන් වියකී යමින් තිබුණි. චායාට නොදැනෙන්නට, චරකගේ කාමරයට රිංගා තද හාදුවක පැටලුණු මුල්ම දිනයේ පටන්,  සුවපහසු , පරෙස්සම් නවාතැන් වල ජීවිතය  නිදහස්ව ගිය දවස් ඇගේ සිතෙහි සිතුවම්පටයක් සේ ඇඳෙන්නට විය.චරක ඒ මන්දස්මිතය දෙස බලා උන්නේ, එහි වර්ණ තමා මතටද වැටෙන්නට දෙමිනි.

” කරපු කියපු වල් වැඩ මතක් කර කර ඔහොම හිනාවෙන්නෙපා ගෑණියේ .. මටත් කන්ට්‍රෝල් කරගන්න හරි අමාරුයි …”

චරක විහඟිගේ දෙතොල් සිම්බේ ඇයට සිතාගන්නටවත් ඉඩක් නොදීය.

චරකගේ මිතුරෙකු හදිසියේම චරකගේ නිවසට ආවේ චායා දැකගැනීම උදෙසාද බව සස්මිත දැනගත්තේ එදිඅන් සවස මුලුතැන්ගෙයි සේවය කරන කාන්තාවකගෙනි.

” තරිඳු මහත්තයා ඉස්සර ඉඳලාම මෙහෙ ආව ගියා ..ශෝක් කොල්ලා.. පස්සේ එකපාරටම නෑවිදිල්ලා ඇරියා.. ඒ මහත්තයා බඳින්න උන්න නෝනා වෙන මහත්තයෙක් බැඳලා, තරිඳු මහත්තයාට පිස්සු වැටෙන්න වගේ ආවලු ..  ඒ පාර රට ගිහිල්ලා අවුරුදු හය හතක් වගේ ගිහින් ආයේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.. සස්මිත මල්ලිට කියන්න, සල්ලි ආකරයක් .. අපේ චූටි බබාට ආයේ රැජිණක් වගේ ඉන්නයි  තියෙන්නේ?..”

” දැන් එතකොට චූටි බේබිත්  එ මහත්තයාට කැමතිද ..?”

” අකමැති වෙන්න හේතුවක් නෑනේ..කෝමත් ඔය චූටි බේබි පහුගිය කාලේ ගෙව්ව ජීවිතෙන් දැන් සෑහෙන්නම වෙනස් වුනානේ…… එහෙව් එකේ ඔය මහත්තයා එක්ක අලුත් ජීවිතයක් ගැන හිතාවි .. අනෙක, චරක මහත්තයා මේ වතාවේ තදින්ම ඉන්න හදන්නේ….”

සස්මිතගේ හුස්ම හිර වෙමින් තිබුණි.

” හවස තරිඳු මහත්තයා ආව වෙලේ, චූටි බබා තමා කිරි කෝපි හදාගෙන ගියෙත් …. අනේ වාසනාවන් ඒක  හරි ගියොත් .. අපේ ලොකු මහත්තයලාගේ වුනත් හිත් වලට සැනසීමයි … මෙහෙ බැරිනම් දෙන්නා එක්ක රටකට හරි  ගිහින් හිටියාම අහවරයිනේ..”

චරක කිසිවක් නොවිමසා උන්නේ උගුරේ යමක් හිරවන බව දැනුණ නිසාය.  චායා , ඇය රියැලිටියේ උන් තමා එනතුරු බලා උන් බව ඇත්තය. එහෙත්, යතාර්තයේ තමා වෙනුවෙන් ඇයට එලෙසින් සිටින්නට අවැසි නැතැයි සිතෙන්නට හැකිවා නොවේද ?. සුව ජීවිතයක් අත පොවන මානයේ තිබියදී, තමා වැනි අපැහැදිලි මිනිසෙකුගේ අතින් අල්ලාගෙන අඳුර තෝරාගැනීම නොකල යුතු බව ඇයට සිතෙන්නට හැකිවා නොවේද ? ඇය එලෙසින් නොසිතුවත්, චරක වෙනුවෙන් විහඟි චායාට එලෙසින් ඒත්තු නොගන්වා හිඳීවියැයි සිතිය හැක්කේ කෙලෙසද?

” සස්මිත මල්ලිට බඳින්න ගෑණු ළමයෙක් ඉන්නවද ?..”

කාන්තාව එලෙසින් විමසනු සස්මිතට ඇසුණේ සිහිනයෙන් මෙන්‍ ය. ඔහු ඉතා අපහසුවෙන් පියවි සිහියට එලැඹ ඇයට පිළිතුරු දුන්නේය.

” කෝමෙන් හරි හැමොටම  හරියන්නෝනා..”

සස්මිත කාමරය තුළට ගොස් චායාට ඇමතුමක් ගත්තේය. එහි සඳහන් වූයේ ඇය වෙනත් ඇමතුමක බවය. සස්මිත දිගින් දිගටම කිහිප වතාවක්ම ඇමතුම් ගත්තේය. ඒ සියල්ලෙහිම සඳහන් වූයේ ඇය වෙනත් ඇමතුමක බවය.

සස්මිත කාමරය තුල නොනවත්වා ඒ මේ අත  ඇවිදිමින් උන්නේය. විනාඩි විස්සක් ඉක්මයන විට ජංගම දුරකතන තිරය චායා නමට වෙන් විය.

” ඉවසන්න බැරිද සස්මිත චුට්ටක් … මම අයියාගේ යාලුවෙක් එක්ක ඩිස්කෂන් එකක උන්නේ… ඔයා දන්නවානේ මම ගෙදර හිටියේ කියලා.. මොකකද ඔච්චර කලබලේ.. ඔයත් මේ ගෙදරමනේ ඉන්නේ.”

චායා අවලාදයම පිරුණු හඬකින් එලෙස කීවේ වෙනදා නොවූ නොරිස්සුමක් සස්මිතට දැනෙන්නට හරිමින් ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here