අංගාර – 57

0
54

සස්මිත නිහඬවම උන්නේ චායාගේ කෝපය මතින් බොහෝ දේ වටහාගන්නට උත්සාහ කරමිනි.

” කියන්න ඉතින්.. ඇයි ඔයා එච්චර කලබලෙන් කතා කලේ?..”

චායාගේ හඬෙහි වෙනසක් තිබුනේම නැත. සස්මිත කණ්ණාඩියෙන් පෙනෙන තම රුව දෙස බලා උන්නේය.

” හෙලෝ …”

” සොරි …”

සස්මිත ඇමතුම විසන්ධි කර ජංගම දුරකතනයද නිවා දැම්මේය. ඇයගේ කෝපය සාධාරණ බවක් වටහා ගන්නවාට වඩා යමක් ඔහුගේ මනස තුල පැලවෙමින් තිබුණි.

” අයියාගේ යාලුවා තරිඳු වෙන්න ඇති නේද ? මට එක තේකක් හදලා දීලා නැති උබ, ඒ මිනිහා ආව ගමන් කිරි කෝපිත් හදාගෙන ගිහිල්ලා … උඹට වරදක් කියන්න  බෑ චායා .. වරද කලේ මම …  මේක මට ඒකට ලැබෙන දඬුවම …ඌ හොඳ එකෙක් නම්, ඒක එහෙම වෙද්දෙන් චායා ….. සර් වරදක් වෙන්න දෙන්නේ නෑ … විජේසිරි අංකල් නැතුව, මේ හැමදේම විසඳගන්න කිසිම සැලැස්මක් මගේ ඔලුවේ ඇත්තෙත් නෑ… මම  ඔයාව අල්ලගෙන ඉන්න ඉන්න, විනාස වෙන්නේ ඔයාව…. දෙයියනේ කියල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න ඔයාව කොහොමදමම  දැන දැනම බරක පටලවන්නේ?… ඔයා හරි .. මට ඉවසන්න පුලුවන් … හැමදේම ඉවසගෙන බලා ඉන්න පුලුවන් …”

සස්මිත නාන කාමරය තුල පැයක් පමණම ගෙවා දැමුවේය. ඉදිරිය ගැන දැනෙන අවිනිශ්චිත හැගීම සේදී යන්නට දිය යුතුයැයි සිතුවද, එය පහසු වූයේ නැත.

චායා තම ස්වරය සහ ප්‍රතිචාරය පිළිබඳව පසුතැවෙන්නට ගත්තේ සස්මිතගේ  සමාවෙන්න යන්නේ ස්වරය සහ ඇමතුම විසන්ධි වීම එක්කය.

” එයා දන්නේ නැහැනේ මම තරිඳු අයියා එක්ක හෙනම වැදගත් කතාවක උන්නේ කියලා… මේ ඒ මනුස්සයාගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක් නේ… මගෙත් වරද,  මම සස්මිතට කෑ ගහන්නේ නැතුව,  ඉන්න තිබ්බේ..කවදාවත් ඔහොම දිගට කෝල් ගන්නේ නැති මනුස්සයා එක දිගට කෝ ගන්නකොට මට හිතන්න තිබුනා ..”

දෙදෙනාම, දෙදෙනා අතර සන්නිවේදනය අවම  කරගනිමින්, එකිනෙකා අතර දුරස්ත බව අඩු කරගැනීම උදෙසා උත්සාහ කරගන්නටද නොහැකි වෙමින් උන්නෝය. චායා සමීප වීමේ මඟක් සොයද්දී, සස්මිත උන්නේ චායාගේ ජීවිතයට තමා නිසාවෙන් යම් අවැඩක් නොවිය යුතුයැයි සිතමිනි. මුලුතැන්ගෙයි සේවය කරන කාන්තාව ට පවා වැටහෙන තරිඳු වැන්නෙකු සමග චායාගේ ජීවිතයේ යහපත තමාට නොවැටහෙන්නේ මන්දැයි සස්මිත කල්පනා කලේය.

පලමුව, චරකගේ අවසරය ඇතිව නිවසින් පිටත නවාතැනක් වෙත යොමු විය යුතුයැයි  සස්මිත තීරණය කලේය. ඇය තමාට ඇස නොගැටිමත්, තමා ඇයට ඇස නොගැටීමත් සියල්ල පහසු කරනු ඇත.

සස්මිත මේ සියල්ල සිතමින් උන්නේ පැය කිහිපයක් තුල පටන් ය.  එහෙත්, ඔහුගේ සිතුවිලි වසර දොළහකට පෙර වූ ලෙසින්ම හිතුවක්කාර සහ දැඩි විය.

” ඌට අවුල් යන්නැති උඹ කඩාගෙන පැන්න නිසා… හෙමින් කතා කරාවි ..”

විහඟි චායාට පැවසුවේ එලෙසින්‍ ය. එහෙත් ඉන් විනාඩි කිහිපයකට පසු විහඟිට ලැබුණු පණිවිඩය දැක දෙදෙනාම ගල් ගැසී ගියහ.

“මිස්  විහඟි … අපි මේ කතාව අපි දෙන්නා අතරට විතරක්ම තියාගමු . මම දන්නවා, චායාට හොඳක් වෙනවා නම් වැඩියෙන්ම සතුටු වෙන මිනිස්සු අතරේ ඔයා ඉන්නවා.. .. ඒ වගේම චායාට නරකක් වෙනවා නම්, ඒ නපුරට ඉස්සරහින් හිටගන්න මිනිස්සු අතරෙත් ඔයා ඉන්නවා …. මිස් විහඟි, මම අඳුරු ගුහාවක ඉඳන් ආව මිනිහෙක්… මම පහු කරපු දේවල් ගැන ඔයාලා කාටවත් හිතාගන්නවත් බැහැ … ඒ අඳුරු ගුහාවෙන් එලියට ආවාට, ඒ කතා මගේ පස්සෙන් නොවැටේවි හිතන්නත් බැහැ… ඒ නැතත් මම නිකම්ම නිකන් ඩ්‍රයිවර් කෙනෙක් ලෝකෙට … එහෙව් මා එක්ක චායාට ලැබෙන්නේ කොහොමටවත් ලස්සන ජීවිතයක් නෙවෙයි… තරිඳු කියන්නේ හොඳ කොල්ලෙක් වෙන්නැති.. එහෙම නොවෙන්න, ඔයාගේ මහත්තයා, එයාව චායා වෙනුවෙන් ගේන්නේ නෑනේ.. චායාට හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් එහෙම මිනිහෙක් එක්ක .. මං වගේ මිනිහෙක්ව තෝරගන්න එකෙන් චායාට හැමදාම ලැබෙන්නේ අරගල, ගැටුම් …

මිස් විහඟි.., එක්කෝ මම චරක සර්ට කියලා මෙහෙන් යනවා.. එහෙම නැත්නම්, මේ ජොබ් එකෙන්ම යනවා…. චායාට මම එනකල් බලාගෙන ඉන්න එක පාරමිතාවක් වගේ වුනාට, මාව ආවට පස්සේ ජීවිතේ සෑහෙන්නම නුල් බෝලයක් වෙලයි තියෙන්නේ.. ඒකි එහෙම දුක් විඳින්නෝනි නෑ …

මං අවුරුදු දොළහක් ජීවත් වුනේ චායා කියන බලාපොරොත්තුව පේන මානේ තියාගෙන … ඒත් මට දැන් තේරෙනවා…  අපි දෙන්නාට එකට ඉන්න හිතන එක හරි අමාරු හීනයක්…. අපි දෙන්නා ගැන දැනගත්තාම මං කොහොමටත් මේ ගෙදර මිනිස්සු ඉස්සරහ මේ ලෝකේ ඉන්න නරුමම මිනිහෙක් ගානට වැටෙනවා..  එහෙම වැටුනු කාලෙක, මං වෙනුවෙන් හිටගන්න උන්න ලොකුම හයියත් මට නැතුව ගියා මිස් විහඟි .. ඒ හින්දාම මට චායාව මගේ ජීවිතේ තියාගෙන යන ගමන ගැන විශ්වාස නැහැ …. බැරි වෙලාවත්, චායාට මාවයි, චරක සර්වයි අතරින් එක්කෙනෙක් තෝරගන්න දවසක් ආවොත් … එහෙම දවසක ඒකිගේ ඇස් වල අසරනකම දකින්න මට ඕනි නැහැ … මෙව්වා එක අතකට ඔයාට වැඩක් නැහැ….

… මං ඉල්ලන්නේ මෙච්චරයි … තරිඳු වේවා, එයාගේ හිත නැවතෙන කවුරුම හෝ කෙනෙක් වේවා, එනකල් ,  එයාගේ පස්සෙන් ඉන්න හයිය වෙන්න …මං මෙහෙම ඉල්ලන්නේ දරුවා ලැබුනම ඔයාගේ ලෝකෙත් සෑහෙන්නම වෙනස් වෙන නිසයි .. මං  චායාට පුදුම තරම් ආදරෙයි බං ..උඹලා ඉස්සරහ කොහොම පෙන්නන්න හැදුවත් ඒකි නැතිව යනවා කියනෙක මට මාව මරාගන්න පුලුවන් වේදනාවක්.. ඒත් මගේ වේදනාව නැති කරගන්න, මම ඒකිව මහ වේදනාවකට ඇදලා දාන්නේ කොහොමද ?… පරෙස්සමෙන් බං. මගේ මොකක් හරි  වචනයක් නිසා හිත රිදුනා නම් සමාවෙයං …. මටත් රිදෙනවා බං .”

විහඟි චායා දෙස බැලුවාය. චායා වහාම විහඟි අතේ වූ ජංගම දුරකතනය උදුරා ගත්තාය. එහි සස්මිත නමින් එවා තිබූ කෙටි පණිවිඩය කියවද්දී චායාට දැනුනේ තමා දියවී යන්නාක් මෙනි.

” උඹ හිටපං විහඟි … මං මේක විසඳගෙන එන්නම් ..”

චායා ජංගම දුරකතනය යහන මත තබා නැගිට්ටාය. ඔහුට මෙතරම් ඉක්මනින් හැර දමා යෑමට හැකිද ?.

“මෝඩ වෙන්නෙපා..ඔක්කොමලා ගෙදර ..”

” මම මගේ රූම් එකෙ දොර ලොක් කරලා දාලා යන්නේ.. උඹ ඇහුවොත් කියහං නිදාගන්නවා කිව්වා කියලා….”

” අනේ බං .. “

” මුකුත් වෙන්නේ නැහැ .. “

” උඹ කවදාවත් සස්මිතගේ රූම් එක අස්සේ රිංගුවේ නැහැනේ බංං .. එහෙව් එකේ මොකුත් වෙන්නේ ණෑ කියන්නේ කොහොමද ?…”

” නිදාගනින් … මං මරාගෙන මැරිලා හරි අද රෑම මේ මිනිහාට මේක පැහැදිලි නොකලොත් මට තව අවුරුදු කීයක් බලාගෙන ඉන්න වේවිද කවුද දන්නේ විහඟි … පරෙස්සමට ඇතුලට යන්නම් මම..”

” කැමරා තියෙනවා චායා ..පිස්සුද ?..”

” එව්වා වැඩ නෑ..”

චායා නොවූ සිනහවක් විහඟිට පෙන්වූවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here