මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 27

0
153

ජීවිතයට සෘතු එන්නේ අපි ප්ලෑන් කරන විදියට නෙවෙයි.

 සමහර වෙලාවට මාරම රස්නෙ කාලෙක ඉඳලා දැන් නම් වැස්සක් වැටුණොත් හොඳයි කියලා අපි හිත හිත ඉද්දි, කොහේවත් නැති කුණාටුවක් ඇවිත් මුළු ලෝකෙම අඳුරු කරලා දානවා. 

ආදරෙත් අන්න ඒ වගේමයි. 

ඒක අපිට ඕන වෙලාවට එන්නෙත් නෑ, ඒ වගේම අපි හරිම අමාරුවෙන් හිත හදාගෙන, හිත ඇතුළේ ලොකු තාප්ප බැඳගෙන දැන් නම් ඔක්කොම හරි, මං ඒ මනුස්සයව අමතක කරලා ඉවරයි කියලා ඉන්න වෙලාවක, හරිම සයිලන්ට් විදියට ඇවිත් පපුව අස්සට ආයෙත් රිංගනවා.

මැරිලා ගියා කියලා අපි හිතපු, පස් යට කරලා වළදාලා තිබුණ හැඟීම් ආයෙත් පණ ගහලා එන්න ගත වෙන්නෙ එකම එක බැල්මක් විතරයි නේද ? 

මං අහන්නෙ ඔයාලට කවදාවත් එහෙම හිතිලා නැද්ද? 

අපි කොච්චර නම් රඟපානවාද මං දැන් හරිම ස්වාධීනයි, මට දැන් ඒ මතකවලින් වැඩක් නෑ කියලා. හැබැයි අහම්බෙන් හරි ඒ ඇස් ඉස්සරහට ආවම, අපේ ඒ ඔක්කොම ඩ්‍රාමා එක තත්පරෙන් කුඩු වෙලා යනවා. ඇත්තටම කිව්වොත් අපි මේ කරන්නෙ අපිටම කරගන්න ලොකු රවටා ගැනීමක්, බොරුවක් නෙවෙයිද?

සමහර මතක තියෙනවා , ඒවා හරියට අළු යට තියෙන ගිනි පුපුරු වගේ. උඩින් බැලුවම නිවිලා වගේ පෙනුණට, පොඩි හුළඟක් වැදුණු ගමන් ආයෙත් ඇවිළෙනවා. ඉතින් ඒ ගින්නට පිච්චෙන්න තියෙන බය දන්නවා වුණත්, ඇයි අපි ආයෙ ආයෙත් ඒ රස්නෙටම ලං වෙන්න හදන්නේ? ඔයාට කවදාවත් හිතිලා නැද්ද අපි මේ ආදරේ කරන පිරිමින්ට වඩා, ඒ ආදරේ නිසා ලැබෙන රිදීමටද ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා?

“ඔයා තාමත් මං දිහා බලන්නේ ඉස්සර විදියටමද??” කියලා මතින්ද්‍ර එවපු ඒ මැසේජ් එක දැක්කම මට හුස්ම ගන්නත් ටිකක් අමාරු වුණා.

 ඒක එක වචන පේළියක් විතරක් වුණාට, ඒ වචන ටික ඇතුළේ තිබුණේ මං මෙච්චර වෙලා හංගගෙන ඉන්න උත්සාහ කරපු සම්පූර්ණ ඇත්ත. හරියට කාලය නතර වෙලා ආයෙත් අවුරුදු දෙක තුනකට කලින් අපි හිටපු තැනටම මාව ඇදලා ගත්තා වගේ. එදා ඒ ඇස්වල තිබුණ ලෝකයම අදත් ඒ විදියටම තියෙනවා කියලා එයා මට මතක් කරනවා. මං එයා එයි කියලා බලාගෙන හිටියා තමයි, ඒක මට කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක්. මං එයාව බලාගෙන හිටියා තමයි, ඒක මට කොහොමටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දෙයක්.  

“ශිට්” මං මටම හෙමින් කියාගත්තා. 

ඇඟ පුරාම මහා ලොකු රස්නයක් විහිදිලා යනවා වගේ මට දැනුණා. ඒ ලැජ්ජාවද, තරහද, නැත්නම් ආදරේද කියලා මට හරියටම වෙන් කරලා අඳුරගන්න බැරි වුණා. 

මං වෙවුලන ඇඟිලිවලින් “තමුන්ගේ හිතට හිතෙන හිතෙන දේවල් ඇත්ත කියලා හිතන්න එපා.” කියලා ටයිප් කරලා යැව්වා.

 ෆෝන් එක අතේම තියාගෙන ඉද්දී තත්පර දෙකක් යන්නත් කලින් රිප්ලයි එකක් ආවා, “එහෙනම් මට කියන්න මං මොන විදියටද හිතන්න ඕන කියලා.” 

ඒක දැකලා මට හිනා ගියත් ඒ හිනාවේ කිසිම සතුටක් තිබුණේ නැහැ.

 මං ආයෙත් “මුකුත් නෑ” කියලා ටයිප් කරලා යැව්වා.

මේ වතාවෙ එයාගෙන් රිප්ලයි එකක් එන්න ටිකක් පරක්කු වුණා. ඒ තත්පර කිහිපය ඇතුළේ මගේ ඇස් ස්ක්‍රීන් එකෙන් අහකට ගන්න මට පුලුවන් වුණේ නෑ. ඒක හරියට මාරාන්තික ඇබ්බැහි වීමක් වගේ. මට හිතුණා මතින්ද්‍ර දැන් මේ රිප්ලයි මැසේජ් එක ටයිප් කරලා ආයෙ මකනවා ඇති කියලා. නැත්නම් එයා මන්දස්මිතා ළඟ ඉඳගෙනමද මට මේ රිප්ලයි කරන්නේ? ඒ සිතුවිල්ල මාව ඇතුළෙන් පිච්චුවා. එයාට මාව රිද්දන්න තියෙන හැකියාව පුදුමයි. මං දන්නවා එයා මේ කරන්නේ මාව ලෙහෙසියෙන් එයාගේ ග්‍රහණයට ගන්න එක කියලා, ඒත් මට ඒකට විරුද්ධ වෙන්න පණක් තිබුණේ නැහැ.

 “පුදුමයි, සාමාන්‍යයෙන් ඔයාට කියන්න ඕන තරං දේවල් තියෙනවනෙ” කියලා ආයෙත් මැසේජ් එකක් එද්දී මට එකපාරටම මතක් වුණේ අපි දෙන්නා රෑ දෙක වෙනකම් ෆෝන් එකෙන් කතා කරපු ඒ පරණ දවස්. මං නතර වෙන්න දන්නේ නැතිව කියවද්දී එයා හිනාවෙලා “ඔය කියවිල්ල නතර කරන හැටි දන්නවා මම ළඟ උන්න නම්” කියල කිස් කරන ජිඩ් එකක් එවලා කියපු හැටි මගේ මතකෙට ආවා. 

මං ඇස් දෙක තදින් පියාගෙන “එහෙම වුණේ ඉස්සර, මිනිස්සු වෙනස් වෙනවා” කියලා ටයිප් කරලා යැව්වා. ඒ අතරේ මං සෝෆා එකෙන් නැගිටලා ජනේලෙ ළඟට ගියා. රුවිනි අද කාර් එකේදී අහපු දේ මට ආයෙත් මතක් වුණා. “උඹට තේරෙනවද උඹ මේ කරන්න යන්නේ මොකක්ද කියලා?” රුවිනි ඒක ඇහුවේ මගේ හොඳට කියලා මං දන්නවා. හේසර වගේ පිරිමියෙක් මගේ වෙනස් වීම් පවා අඳුරගෙන ඒත් වෙනස් නොවී හෙවනැල්ලක් වගේ ඉද්දී, මං මේ කොහේවත් නැති විනාශයක් පස්සේ දුවන්නේ ඇයි? මං ජනේලේ වීදුරුවට නළල තියාගෙන හුස්ම ගත්තා. වීදුරුවේ මගේ හුස්මට මීදුම බැඳෙද්දී, මට පෙනුණේ මතින්ද්‍රගේ ඇස් විතරයි.වීදුරුවෙන් එහා පැත්තේ පේන කොළඹ අහස අද හරිම අඳුරුයි. පාරේ යන වාහනවල හෙඩ් ලයිට් එළි අතරින් මං මගේම රූපය වීදුරුවෙන් දැක්කා. මං ඇත්තටම වෙනස් වෙලාද? නැත්නම් මං මටම බොරු කරගන්නවාද? පහළ පාරේ වාහන යන සද්ද, ටවුන් එකේ ලයිට් එළි මැද හැමෝම තමන්ගේ සාමාන්‍ය ජීවිත ගත කරද්දී මගේ ඇතුළේ තිබුණේ මහා ලොකු කලබලයක්.

“ඇත්ත. හැබැයි හැමෝම නෙවෙයි. විශේෂයෙන්ම ඔයා එහෙම නෙවෙයි” කියලා ආයෙත් මැසේජ් එකක් එද්දී මට එයාට නෙවෙයි මගේම හිතට බනින්න හිතුණා.

 මං “ඇයි ඔයා මට මැසේජ් කරන්නේ?” කියලා ඇහුවා. හදවතේ ගැස්ම වේගවත් වෙද්දී එයාගෙන් ආපු උත්තරේ මාව සම්පූර්ණයෙන්ම හෙල්ලුවා. 

“මොකද, ඔයා මං දිහා බලාගෙන හිටියෙ හරියට මේ හැමදේම තවම ඉවර නෑ වගේ.”

 මට හුස්ම ගන්න අමාරු වුණා. මං තවමත් එයා ගැන හිතන එක ඉවර නැහැ කියන එක පිළිගන්න බැරි වුණත්, ඒක බොරුවක් කියලා කියන්නත් මට බැරි වුණා. ඒ බැල්ම ඇතුළේ තිබුණේ අවසන් නොවුණු ගනුදෙනුවක්. හරියට අපි දෙන්නා අතරේ කියවෙන්න ඉතුරු වෙච්ච දහස් ගණනක් වචන, රණ්ඩු, හිනාවන් ඒ බැල්ම අස්සේ අකුරු වෙලා තිබුණා වගේ. එයා ඒ බැල්මෙන් මගේ මුළු ආත්මයම කියවලා ඉවරයි. මං මටම වෛර කළා ඒ තරම් ලෙහෙසියෙන් මතින්ද්‍රට මාව කියවන්න ඉඩ දුන්න එක ගැන. මං ආයෙමත් සෝෆා එකේ වාඩි වෙලා “ඔයා කසාද බැන්ද මිනිහෙක්” කියලා යැව්වා. ඒත් එක්කම ආපු “ඉතින්?” කියන වචනෙ මගේ ඇස් උඩ ඉන්දවන්න හේතු වෙච්ච එකක්. ඒ වචනෙ ඇතුළේ තිබුණේ මහා බය හිතෙන හැඟීමක්.  හරියට සීමා මායිම් මොකුත් නැති, ලෝක සම්මතයන්ට පයින් ගහන මහා භයානක නිදහසක් ඒ එක වචනයක් ඇතුළේ හැංගිලා තිබුණා. එයා මගෙන් අහන්නේ ඒ බැඳීම අපේ මැදට එන්න ඉඩ දෙන්නේ ඇයි කියලා වගේ.

මං “ඒ හේතුව ඇති හොඳටම මේ හැමදේම දැන්වත් නතර කරන්න” කියලා යවලා තත්පර ගණන් කළා. මිනිත්තු තුනක් ගියත් එයාගෙන් රිප්ලයි එකක් තිබුණේ නැහැ. ඒ වතාවෙ ඒ සයිලන්ස් එක මට රිද්දන්න ගත්තා.

මං ෆෝන් එක අයින් කරන්න හැදුවත් ඒක මට කරන්න පුළුවන් වුණේ නෑ. අන්න ඒ වෙලාවෙම තමයි එකපාරටම ඩෝර් බෙල් එක රින්ග් වුණේ. 

මං ගැස්සුණා. 

“මේ වෙලාවේ කවුද?” කියලා හිතනකොටම ෆෝන් එක ආයෙමත් වයිබ්‍රේට් වුණා.

 මං ස්ක්‍රීන් එක බලන්නද දොර අරින්නද කියලා දෙගිඩියාවෙන් ඉඳලා හෙමින් දොර ළඟට ගියා. 

අත හැන්ඩ්ල් එකට තියලා මං තත්පරයක් නතර වුණා.

 මගේ මොළේ “මතින්ද්‍ර වෙන්න එපා” කියලා කියද්දී, මගේ හිත “මතින්ද්‍රම වෙන්න” කියලා කෑ මොරදුන්නා. 

මං ඇස් දෙක පියාගෙන දොර ඇරියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here