මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 33

0
355

“ඇයි මට මේ කිසිම දෙයක් නොකිව්වෙ, මේඝා?”

හේසර ඒක ඇහුවෙ හරිම හෙමින්.

ඒත් ඒ හඬ ඇතුළේ තිබුණ බර කෙලින්ම මගෙ පපුවටම වැදුණා.

අපි හිටියේ රූෆ් ටොප් කැෆේ එකක. ඒ වෙලාවෙ හොඳටම හැන්දෑ වෙලා තිබ්බෙ. පහළින් කොළඹ ට්‍රැෆික් ලයිට්ස් පේනවා. වාහන වල හෝන් සද්ද හරි දුරින් ඇහෙනවා. රූෆ් ටොප් එකේ ‍යෙලෝ ලයිට්ස් ටික ලා පාටට පත්තු වෙලා තිබුණා. ඒ ආලෝකෙ අස්සේ හේසරගේ මූණ තවත් මහන්සි පාටට පේනවා.

එයා ඉස්සරහ තිබුණ කොෆී කප් එක තාමත් අතවත් තියලා තිබුණේ නැහැ.

මං උත්තරයක් නොදී කප් එක දිහාම බලන් හිටියා.

මට දැනුණේ මගේ හිත ඇතුළේ තිබුණ හැමදේම එකපාරටම බර වෙලා වගේ.

“මං” මං කතා කරන්න හැදුවා. “මං කියන්න හිටියෙ.”

හේසර හිනා වුණා.

ඒක හිනාවක් නෙවෙයි. රිදුණ මනුස්සයෙක්ට එන අමුතු හිස් එක්ස්ප්‍රෙශන් එකක්.

“කවදාද?” එයා ඇහුවා. “ඊළඟ පාර මං ඔයාලා දෙන්නව එකට දකිනකොටද?”

මගේ හුස්ම හිරවුණා වගේ දැනුණා.

වැස්සක් වැටෙන්න යනවා වගේ හුළඟක් රූෆ් ටොප් එක හරහා හෙමින් පාවෙලා ගියා. මේසෙ උඩ තිබුණ ටිශූස් ටික ඒ හුලඟ එක්ක ටිකක් එහාට ඇදිලා ගියා.

“මේක එහෙම දෙයක් නෙවෙයි හේසර”

“එහෙනම් මොකද්ද?”

එයා මේ පාර කෙලින්ම මගේ ඇස් දිහා බැලුවා.

“මොකද්ද මං දැක්කෙ එදා?”

ඒ ප්‍රශ්නෙත් එක්ක මගේ ඔලුව ඇතුළට එකපාරටම එදා රෑ සීන් එක ආයෙ ඇදිලා ආවා.

ඩෝ බෙල් එක රින්ග් වෙච්ච එක.

මම පැනික් වෙච්ච එක.

මට පිටිපස්සෙන් බැල්කනි එකේ හිටගෙන හිටපු මතින්ද්‍ර.

දොර ඇරපු තත්පරේ හේසරගේ මූණේ තිබුණ ශොක් එක.

“හේසර”

“නෑ මේඝා.” එයා හෙමින් ඔලුව වැනුවා. “මට එක්ස්ප්ලනේශන් එකක් නෙවෙයි ඕන.”

එයා ටිකක් නිහඬව හිටියා.

“මට තේරෙන්න ඕන ඔයා මාව කොතනද කොහොමද තියාගෙන හිටියේ කියලා.”

මං  කතා කරගන්න බැරිව වගේ එයා දිහා බලන් හිටියා.

“මං මෝඩයෙක් වගේද පේන්නෙ?” එයා හෙමින් ඇහුවා. “ඔයා හිතුවද මට ඒ ඔයාගෙ අපාට්මන්ට් එක ඇතුළේ එවෙලෙ තිබුණ තත්ත්වෙ තේරුණේ නෑ කියලා?”

මගේ ඇඟ සීතල වෙලා ගියා.

“ඔයාලා දෙන්නා” එයා වචන ටිකක් නතර කළා. “ඔයා දෙන්නා අතර මොනාහරි දෙයක් තිබුණා.”

මං ඉක්මනටම අහක බලාගත්තා.

මට එයාගේ ඇස් දිහා බලන්න බැරි වුණා.

“ඇයි මට නොකිව්වෙ?” එයා ආයෙත් ඇහුවා. මේ පාර හරිම නිහඬව. “ඇයි මාව මේ හැමදේකින්ම අයින් කරලා තිබ්බෙ නැත්තෙ?”

මං එකපාරටම උත්තර දුන්නේ නැහැ.

රූෆ් ටොප් එකේ හුළඟ ටිකක් තද වුණා. මගේ කොණ්ඩෙ මූණට වැටුණා. මං ඒක කන පිටිපස්සට කරගන්න ගමන් අහක බලාගත්තා.

“මං හිතුවෙ ඒක නවතී කියලා” අන්තිමේ මං හෙමින් කිව්වා.

හේසර ටිකක් හිනා වුණා.

“ඒක නවත්තන්න ඕන දෙයක් කියලා ඔයා දැනගෙන හිටියනේ එහෙනම්.”

ඒ වචනෙ මට කෙලින්ම වැදුණා.

“මං ඒක ප්ලෑන් කරලා කරේ නෑ හේසර…”

“කවුරුත් එහෙම දේවල් ප්ලැන් කරන්නෙ නෑ මේඝා.”

එයා කප් එක අතට අරගෙන ආයෙත් බොන්නෙ නැතුව ඒක මේසෙ උඩින් තියලා දැම්මා.

“ඒත් ඒවා වෙද්දි නතර කරන්න පුළුවන්.”

මං කිසිම දෙයක් කිව්වේ නැහැ.මොකද මට මතක් වුණේ එදා රෑමතින්ද්‍ර මට ලං වෙච්ච විදිය.මට පස්සට යන්න තිබුණ තත්පර.මං නොගිය තත්පර.

“ඔයා තාම එයාට ආදරෙයි නේද?”

හේසර එකපාරටම ඇහුවා.මගේ හුස්ම තත්පරයකට නතර වුණා වගේ දැනුණා.මං ඉක්මනටම එයා දිහා බැලුවා.එයාගේ ඇස් හරිම සංසුන්.ඒත් ඒ සංසුන් බව ඇතුළේ ලොකු වේදනාවක් තිබුණා.

“හේසර…”

“Just answer me.”

ඊට පස්සෙ ඉතුරු වුණේ ලොකු සයිලන්ස් එකක් විතරයි.

මට බොරු කියන්න ඕන වුණා.

“නෑ” කියන්න ඕන වුණා.

ඒත් මට ඒක කියාගන්න බැරි වුණා.

ඒ සයිලන්ස් එකම එකම එක උත්තරයක් වුණා. හේසර හෙමින් හුස්මක් ගත්තා.

“ශිට්” එයා හිනාවක් වගේ දෙයක් දැම්මා. “මං හිතුවා.”

මගේ පපුව දැන් ලැජ්ජාවෙන්, ගිල්ට් එකෙන්, වේදනාවෙන් බර වෙලා තිබුණෙ.

“මං ඔයාව රිද්දන්න හිතුවෙ නෑ.”

“මං දන්නවා.”

“ඇත්තටම.”

“මේඝා” එයා හෙමින් කිව්වා, “රිද්දන්න කරන මිනිස්සු හැමෝම ඒක හිතලා කරන්නෙ නෑ.”

මං ඇස් පියාගත්තා.

රූෆ් ටොප් එකේ කොනක කෙනෙක් හිනාවෙන සද්දයක් ඇහුණා. කෝප්පයක් මේසයක් උඩ  තියන සද්දයක් ඇහුණා ඒ හැමදේම නෝමල්. හැබැයි මගේ ජීවිතේ හෙමින් ඉරිතලනවා වගේ මට දැනුණා.

“මං ඔයාව ජජ්  කරන්නෙ නෑ,” හේසර හෙමින් කිව්වා.

මං එයා දිහා බැලුවා.

“ඒත් මං මේ අතර මැද ඉන්න කැමති නෑ.”

එයා ඒක කියද්දි තමයි මට ඇත්තටම තේරුණේ එයා කොච්චර හිත රිද්දගෙනද කියලා.

“මට කාගෙවත් ඉතිරි වුණු හැඟීම් අස්සේ හිස්තැනක් පුරවන කෙනෙක් වෙන්න ඕනෙ නෑ මේඝා.”

මගේ ඇස් වලට කඳුළු පිරුණා.

“එහෙම නෙවෙයි”

“එහෙම තමයි.” එයා හරිම නිහඬව කිව්වා. “ඔයා ශරිරෙන් මෙතන හිටියට මනසෙන් තාමත් එයා ගාව ඉන්නෙ”

“ඔයා දන්නවද මට මොකටද වැඩියෙන්ම රිදෙන්නෙ කියලා?” හේසර හෙමින් ඇහුවා.

මං ඔලුව හෙමින් දෙපැත්තට වැනුවා.

“මට මේ හැමදේකම මං පිටස්තරයෙක් වගේ දැනෙන එකයි ප්‍රශ්නේ.”

එයා ටිකක් අහක බලාගත්තා. පහළින් පාරේ යන වාහනවල ලයිට්ස් එයාගේ ඇස්වල රිෆ්ලෙක්ට් වෙනවා මං බලන් හිටියා.

ගෑනු හරි අමුතුයි.

සමහර වෙලාවට අපිටම අපිව තේරෙන්නෙ නැහැ.

ලෝකෙ හිතනවා ගෑනියෙක්ට ආදරේ කියන්නෙ හරිම සරල දෙයක් කියලා. හොඳ මිනිහෙක්ව තෝරගෙන, සැනසිල්ලෙන් ජීවත් වෙන එක. අඩුම තරමේ හිත රිද්දන්නෙ නැති මනුස්සයව තෝරගන්න එක. ඒත් ඇත්තටම ගෑනියෙක්ගෙ හිත වැඩ කරන්නෙ එහෙම නෙවෙයි.

සමහර පිරිමි අපිට සැනසීමක් දෙනවා.
 සමහර පිරිමි අපිව ගිනි තියනවා.

ඒ දෙකෙන් මොකක්ද ජීවිතේට හොඳ කියලා අපි හොඳටම දන්නවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ගෑනු හැමවෙලාවෙම ජීවිතේට හොඳ දේට විතරක් ආදරේ කරන්නෙ නැති එක.

හේසර වගේ පිරිමි ලඟ ගෑනුන්ට ආරක්ෂාවක් දැනෙනවා. එයාලා ළඟ හුස්ම ගන්න ලේසියි. ජීවිතේ ලස්සනට, පිළිවෙලට, රිදවීම් අඩුවෙන් ගෙවෙයි කියලා හිතෙනවා. ඒ වගේ මිනිහෙක් එක්ක ඉද්දි අපිට අපි ගැන බයක්, ගිල්ට් එකක් දැනෙන්නෙ නැහැ. අපි නරක ගෑනු නෙවෙයි කියලා හිතෙනවා.

ඒත් මතින්ද්‍ර වගේ පිරිමි

එයාලා ගාව තිබුණේ සැනසීමක් නෙවෙයි. එයාලා ගාව තිබුණේ කුණාටුවක්. ඒත් අමුතු විදියකට, සමහර ගෑනු කුණාටු වලට ඇබ්බැහි වෙනවා. තමන්වම විනාශ කරයි කියලා දැන දැනම, ඒ හැඟීම අතහැරගන්න බැරි වෙනවා.

ඒක ආදරේද?
නැත්තම් ඇබ්බැහි වීමක්ද?

මං අදටත් හරියටම දන්නෙ නැහැ.

ගෑනුන්ට පිරිමි දෙන්නෙක් අතර හිරවෙන එක හැමවෙලේම “කවුද හොඳ?” කියන ප්‍රශ්නෙ නෙවෙයි. සමහර වෙලාවට ඒක “කවුද මගේ හිතේ ගැඹුරුම තැනට එබිලා බැලුවේ?” ” කියන ප්‍රශ්නෙ.

ඒක තමයි නරකම.

මොකද ඒ උත්තරේ හරි වැරදි බලලා එන්නෙ නැහැ.

හිතට රිද්දයි කියලා දැනෙන මනුස්සයෙක් ගාවටත්, ගෑනියෙක් ආයෙ ආයෙ යන්නෙ ඒ නිසා.

මොකද සමහර බැඳීම් ලොජික් වලින් කැඩෙන්නෙ නැහැ.

ඒවා කැඩෙන්නෙ කාලෙත් එක්කවත් නෙවෙයි.

ඒවා කැඩෙන්නෙ සමහරවිට අපි ඇතුළෙන්ම වෙනස් මිනිස්සු වෙන දවසක විතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here