එනර්ජි වැම්පයර් කෙනෙක්ව අඳුරගන්නේ කොහොමද?

එනර්ජි වැම්පයර්ස් ලා කියන්නේ සමහර වෙලාවට හිතාමතාම වුණත්  ඔයාගේ මානසික ශක්තිය සම්පූර්ණයෙන්ම උරා බොන මිනිස්සුන්ටයි. ඔයා එයාලට සවන් දෙන්න සහ එයාලා ගැන සොයා බලන්න දක්වන ලැදියාවෙන් තමයි මේ කට්ටිය පෝෂණය වෙන්නේ. අන්තිමේදී එයාලා ඔයාව අන්තෙටම හෙම්බත් කරලා, මහා පීඩනයකට ඇද දමනවා. 

ඉතින් මේ වගේ වෙලාවට අපි කරන්න ඕනේ මොනවාද?

මේ වගේ එනර්ජි වැම්පයර්ස්ලා ඕනෑම තැනක, ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. එයාලා ඔයාට මුණගැසුණු සැනින් ඔයාව මානසිකව වට්ටලා, තෙහෙට්ටුවට පත් කරනවා. සමහරවිට ඒ ඉන්නේ ඔයාගේ සහකරු හෝ සහකාරිය වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔෆිස් එකේ ඔයාගේ ඩෙස්ක් එක ළඟම ඉන්න කෙනා හෝ ඔයාගේ අසල්වැසියා වෙන්නත් පුළුවන්.

මේ වගේ විෂ සහිත හැසිරීම් අඳුනාගන්නේ කොහොමද සහ ඒවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකෙන්, ඔයාගේ මානසික ශක්තිය ආරක්ෂා කරගන්න වගේම මහා විශාල මානසික සහ ශාරීරික පීඩාවලින් ඔයාව බේරාගන්නත් ලොකු උදව්වක් ලැබෙනවා.

මෙයාලා කිසිම වෙලාවක තමන්ගේ වගකීම භාරගන්නේ නැහැ

එනර්ජි වැම්පයර්ස්ලා කියන්නේ ගොඩක් වෙලාවට මාරම ආකර්ෂණීය පෙනුමක් සහ කතාවක් තියෙන ප්‍රියමනාප අය. ප්‍රශ්නයක් ආපු වෙලාවට තමන්ගේ තියෙන ඔය කියන ආකර්ෂණීය කම පාවිච්චි කරලා ලස්සනට ලිස්සලා යන්න ඔවුන් මාරම දක්ෂයි.

මෙයාලා හරිම කපටියි. හැම තිස්සෙම වගේ තමන්ට වෙන ප්‍රශ්න තව කෙනෙක්ගේ පිටින් යවන්නයි මෙයාලා බලන්නේ.

කිසිම වාද විවාදයකදී හෝ ගැටලුවකදී තමන් අතිනුත් වැරැද්දක් වුණා කියලා පිළිගන්න මෙයාලා සූදානම්ම නැහැ. අන්තිමේදී හැම වරදකාරී හැඟීමක්ම, සමහරවිට මුළු වැරැද්දම පැටවෙන්නේ ඔයාගේ පිටින්.

මෙයාලා හැමතිස්සෙම මොකක් හරි drama එකක් මවාගෙනයි ඉන්නේ

එනර්ජි වැම්පයර්ස්ලා හැමවිටම ඉන්නේ මොකක් හරි මහා විනාශයක, අර්බුදයක මැදයි. එයාලා තමන්ගේ මේ හැඟීම්බර සහ නාට්‍යමය හැසිරීම් එක්ක එක අරමුණක ඉඳන් තවත් අරමුණකට දෝලනය වෙනවා.

එයාලා ඔයාව තෝරාගත්තාම, තමන්ගේ මේ හැම ප්‍රශ්නයක්ම ඔයාගේ පිටින් පටවන්නේ ඔයා ඒ දේවල් බාරගෙන, ඒවා විසඳලා, එයාලගේ අවුල් වුණු ජීවිතේ යථා තත්ත්වයට පත් කරලා දෙයි කියන බලාපොරොත්තුවෙන්.

එයාලා හැමතිස්සෙම ඔයාට වඩා වැඩ්ඩා වෙන්නයි බලන්නේ 

එනර්ජි වැම්පයර් කෙනෙක් කවදාවත් තමන්ව පරද්දලා තව කෙනෙක් ඉස්සරහට යනවාට කැමති නැහැ. ඒ වගේම හැමෝගෙම අවධානය තව කෙනෙක් එක්ක බෙදාගන්න එයාලට පොඩ්ඩක්වත් උවමනාවක් නැහැ. මේක එයාලා ළඟ තියෙන ආත්මාර්ථකාමී, තමන් ගැනම විතරක් හිතන ගතිගුණවලින් එකක්.

තවත් කෙනෙක්ගේ සාර්ථකත්වයක් හෝ සතුටක් දැකලා හදවතින්ම සතුටු වෙන්න මෙයාලට මාරම අමාරුයි. ඒ වෙනුවට මෙයාලා බලන්නේ කොහොම හරි ඒ අවධානය තමන් දෙසට හරවාගෙන, තමන්ගේ මානසික පෙරේතකම පෝෂණය කරගන්නයි.

මෙයාලා  ඔයාගේ ප්‍රශ්න බල්ලට දාලා, එයාලගේ ප්‍රශ්න කන්දක් වගේ ලොකු කරලා පෙන්වනවා

එනර්ජි වැම්පයර්ස්ලා පෝෂණය වෙන්නේ ඔයාගේ මානසික ශක්තියෙන්. හැබැයි ඔයා දුකෙන් හෝ අප්සට් එකෙන් ඉන්න වෙලාවට ඔයාගේ ඒ ශක්ති සංචිත තියෙන්නේ සෑහෙන්න අඩු මට්ටමකයි.

ඉතින් ඔයාගෙන් උපරිමයටම ශක්තිය උරා ගන්න නම්, එයාලා  කරන්නේ කතාවේ අවධානය සම්පූර්ණයෙන්ම එයාලා දෙසට හරවා ගන්න එකයි. එයාලා ඔයාගේ ඒ දුක සහ කණගාටුව තමන්ගේ මානසික බඩජාරිකම පිරවීමට පාවිච්චි කරනවා.

එයාලා හැමතිස්සෙම තමන් මහා පරිත්‍යාගශීලියෙක් වගේ පෙනී සිටින්න බලනවා

එනර්ජි වැම්පයර්ස්ලා තමන්ගේ හැම ප්‍රශ්නයක්ම ඉතාම සූක්ෂ්ම විදිහට තව කෙනෙකුගේ කරපිටින් තියනවා. තමන් වැටිලා ඉන්න අමාරු තත්ත්වයට තමන්ගේ අතිනුත් වැරැද්දක් වුණා කියලා පිළිගන්න මෙයාලා  සතපහකටවත් ලෑස්ති නැහැ.

මෙයාලා ඇත්තටම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පළුදු වුණු ආත්ම අභිමානය ඔසවා තබන්න පුළුවන් විදිහේ මානසික සහයෝගයක් විතරයි.

ඔයාගේ හොඳකම එයාල ඔයාටම එරෙහිව පාවිච්චි කරනවා

හිත උණුවෙන, කරුණාවන්ත අයව තමයි එනර්ජි වැම්පයර්ස්ලා ලේසියෙන්ම ගොදුරු කරගන්නේ. ඔයා එයාලට සවන් දෙන්න ලෑස්ති බව එයාලා දන්නවා. ඒ නිසා ඕනෑම පාටියකදී හෝ හමුවීමකදී ඔයාගේ මුළු කාලයම එයාකා වෙනුවෙන් විතරක් වෙන් කරවාගෙන ඔයාගේ ශක්තිය උරා ගන්නවා. බෑ කියන්න බැරි කමට ඔයා කෝපි බොන්න හෝ කෑමකට යන්න කැමති වෙන බව එයාලා දන්නවා.

වැරදිකාරී හැඟීම් ඇති කිරීම සහ තර්ජනය කිරීම 

තමන්ට ඕන දේ කරගන්න එයාලා ඔයාගේ හිතේ ලැජ්ජාවක් හෝ වරදකාරී හැඟීමක් ඇති කරනවා. නැත්නම්, “ඔයා නැතුව මට ජීවත් වෙන්න බැහැ, මම විනාශ වෙයි”, “ඔයා ඇත්තටම මට ආදරේ නම් මම වෙනුවෙන් මේක කරන්න” වගේ දේවල් කියලා ඔයාව බය කරලා, ඔයා අකමැති දේවල් පවා බලෙන් කරවා ගන්නවා.

පරාධීන සබඳතා පැවැත්වීම 

එයාලා හැමතිස්සෙම ආදර සබඳතා පාවිච්චි කරන්නේ තමන්ගේ මානසික පෙරේතකම සහ අර්බුද නඩත්තු කරන්නයි. උදාහරණයක් විදිහට, සම්බන්ධතාවය අසාර්ථකයි කියලා දැන දැනත් තනියම ඉන්න තියෙන බයට ඒකේම එල්ලිලා ඉන්නවා. නැත්නම්, “මම දවස් දෙකක් නොකා නොබී හිටියොත් එයා දණගාගෙන මගේ ළඟට එයි” වගේ විකෘති මානසිකත්වයන් එයාලා තුළ තියෙනවා.

 විවේචනය කිරීම, කොන් කිරීම සහ බිය ගැන්වීම

ඇතුළාන්තයෙන් එයාලා මාරම ආත්ම විශ්වාසයක් නැති  අය. ඒ නිසා එයාලා කරන්නේ ඔයාවත් මානසිකව වට්ටන්න නිතරම ඔයාට අපහාස කරන එක සහ වැරදි කියන එකයි. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ හිතේ බයක් ඇති කරලා ඔවුන්ගේ අහංකාරකම පෝෂණය කරගන්නත් මෙයාලා බලනවා. මෙයාලා හිතාමතාම ඔයාව අප්සට් කරලා ඒකෙන් සතුටක් ලබනවා.

එනර්ජි වැම්පයර් කෙනෙක් ඔයාගේ ජීවිතේ දිගටම ඉන්න දෙන එක ඔයාගේ සෞඛ්‍යයට මාරම අන්තරාදායකයි. දවසින් දවස ඔයාගේ මානසික ශක්තිය මේ විදිහට වැය වෙද්දී, කාලයත් එක්කම ඔයා දැඩි මානසික ආතතියට, විශාදයට, කාංසාවට වගේම හෘද රෝගවලට පවා ගොදුරු වෙන්න පුළුවන්.

ඒ නිසා, මේ වගේ අයගේ හැසිරීම් ඉක්මනින්ම අඳුරගෙන, ඔවුන්ගෙන් හැකිතාක් ඈත් වෙලා ඔයාගේ මානසික සැනසීම බේරාගන්න වහාම පියවර ගන්න එක මාරම වැදගත්!

සීමාවන් පනවාගන්න 

ඔයාගේ ජීවිතේ ඇතැම් සීමාවන් ඇතුළට එනර්ජි වැම්පයර්ස්ලාට එන්න දෙන්න එපා. එයාලා ඉන්න ඩිනර් අවුට්ස්, කොෆි ඩේට්ස් හෝ සති අන්ත චාරිකාවලට සම්බන්ධ වීමෙන් වැළකී සිටින්න. රැකියා ස්ථානයේදී නම්, එයාලා එක්ක එකට දිවා ආහාරය ගැනීමට නොයෑමෙන් සහ කතාබස් නොකිරීමෙන් ඔයාගේ සීමාවන් ආරක්ෂා කරගන්න පුළුවන්.

ඔවුන් ගැන තියෙන බලාපොරොත්තු වෙනස් කරගන්න

ඔයාට කවදාවත් එනර්ජි වැම්පයර් කෙනෙක්ව හදන්න හෝ වෙනස් කරන්න බැහැ. ඒ නිසා එයාලා  ප්‍රශ්නයක් කියවාගෙන එද්දී ඔයාගේ හැඟීම්බර පැත්ත සම්පූර්ණයෙන්ම වහලා දාන්න; කිසිම උපදෙසක් දෙන්න යන්න එපා. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න නිදහස් කරගන්න එයාලව පාවිච්චි කරන්නත් එපා.

ඔවුන්ට ඉඩක් දෙන්නම එපා 

එයාලා කෝල් කළොත්, මැසේජ් කළොත් හෝ ඔයා ළඟට ආවොත් කතාව දිග ඇදෙන්න ඉඩ නොතබා කෙටි නිදහසට කරුණක් කියන්න. “මම මේ වෙලාවේ ගොඩක් බිසී”, “මට ටිකක් මහන්සියි” හෝ “මට සනීප නෑ” වගේ දෙයක් කියා මඟහරින්න. එයාලට අවශ්‍ය කරන මානසික ශක්තිය ඔයාගෙන් ලැබෙන්නේ නැති වුණාම, එයාලා වෙනත් කෙනෙක්ව හොයාගෙන යාවි.

ඔයාගේ හැඟීම් පිටතට පෙන්වීම පාලනය කරන්න 

ඔයා ඔවුන්ගේ කතාවලට දක්වන ප්‍රතිචාර දෙස බලා එයා ඔයාව ගොදුරු කරගන්නවා. ඒ නිසා එයාලා කතා කරද්දී මූණේ කිසිම ඉරියව්වක් පෙන්වන්නේ නැතිව , ඉතාම කෙටි උත්තර විතරක් දෙන්න. එතකොට එයාලට ඔයාගෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා.

 ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න 

සමහර අවස්ථාවලදී මේ වගේ අයව ඔයාගේ ජීවිතයෙන් මුළුමනින්ම කපා හැරීමට සිදුවෙන්න පුළුවන්. ඒක ටිකක් දරුණු තීරණයක් වගේ පෙනුණත්, අන්තිමේදී ඔයා කරන්නේ ඔයාගේම මානසික නිදහස ආරක්ෂා කරගන්න එකයි.

මේ වගේ අයගේ හැසිරීම් වටහාගෙන ඒවාට තිත තැබීමෙන් ඔයා ආරක්ෂා කරගන්නේ ඔයාගේම සෞඛ්‍යය සහ යහපැවැත්මයි. කිසිම කෙනෙකුට ඔයාව මේ විදිහට පාවිච්චි කරන්න හෝ ඔයාට අසාධාරණ විදිහට සලකන්න අයිතියක් නැහැ. ඒ වගේම මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි.

සමහර මිනිස්සු තමන්ගේ මානසික පරිණතභාවය ගැන වගකීමක් ගන්න මැලි වෙනවා. හැබැයි ඒක ඔයා කරගහන්න ඕනේ බරක් නෙවෙයි!

Related Articles

Don't Miss


Latest Articles