ඔයාට කවදාවත් හිතිලා තියෙනවද, අපේ ජීවිතේ ඉස්සරහට යන්න බැරි වෙන්නේ අපිට බැරි නිසා නෙමෙයි අපිට ලේසි වැඩි නිසා වෙන්න පුළුවන් කියලා?
අපි හැමෝම කැමතියි ලේසි ජීවිතයකට. වැඩිය මහන්සි වෙන්න ඕන නැති, කරදර අඩු, හැම මාසෙම ගාණක් අතට එන, අපි හුරු වෙලා ඉන්න විදිහටම හැමදේම සිද්ධ වෙන ජීවිතයකට.
ඒකේ කිසිම වැරැද්දක් නැහැ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අපි ඒ සුවපහසුවට කොච්චර හුරු වෙනවද කියන එක.
මොකද අද අපිට හොඳයි කියලා දැනෙන ඒ සුවපහසුවම, තව අවුරුදු කීපයකින් අපිව එකම තැනක හිර කරලා තිබුණොත්? අන්න එතන නම් පොඩි ඩාම් වීමක් ඩූම් වීමක් තියෙන්න පුළුවන් නිවිහැනහිල්ලෙ හිතලා බැලුවම.
මේක තේරුම් ගන්න පුළුවන් හරිම ලස්සන කතාවක් තියෙනවා. ගොවියෙක් සහ මීයෙක් ගැන.
ඔන්න එක පුංචි ගමක ගොවියෙක් ජීවත් වුණා.
ගමේ කෙළවරේ තිබුණු කුඹුරු යායක් මැද පුංචි ගෙයක් හදාගෙන, පවුලත් එක්ක බොහොම සරල ජීවිතයක් තමයි මේ ගොවියා ගත කළේ. මේ ගොවියා ගොඩක් සල්ලි තිබුණු කෙනෙක් නෙමෙයි. හැබැයි මහන්සි වෙලා වැඩ කළා. පාන්දරින් නැගිටලා කුඹුරට යනවා. දවස පුරා අව්වෙ වැඩ කරනවා. දහදිය දාගෙන මහන්සි වෙනවා. හවසට මහන්සි වෙලා ගෙදර එනවා.
කුඹුරෙන් ලැබෙන හැම ධාන්‍ය ඇටයක්ම මේ ගොවියාට හරිම වටිනවා. මොකද ඒ හැම ඇටයක් පිටිපස්සෙම තිබුණේ එයාගේ මහන්සිය කියලා එයා දැනගෙන හිටපු හන්දා.
මෙහෙම ඉන්න අතරවාරෙ දවසක් ගෙදරට මීයෙක් රිංගගත්තා.
මුලදී ගොවියා ඒක ගැන එච්චර ගණන් ගත්තේ නැහැ. “පොඩි මීයෙක්නේ. මොනවා කරන්නද?” කියලා හිතුවා. හැබැයි ඒ පොඩි මීය ටික දවසක් යනකොට ලොකු කරදරයක් වුණා.
ධාන්‍ය ගෝනි විදලා ධාන්‍ය කනවා. රෙදිපිළි කනවා. කුස්සියට රිංගලා කෑම කාලා කෑලි හැම තැනම දාලා අපිරිසිදු කරනවා.
මුලින් කරදරයක් නෑ කියල හිතුවට මොකෝ ඔන්න කල් යද්දි චුට්ට චුට්ට ගෙදර හැමෝටම මේක හරිම කරදරයක් වෙන්න පටන් ගත්තා.
ඒ හන්දා. ගොවියා මීයව අල්ලන්න කිහිප වතාවක්ම උත්සාහ කළා. ඒත් මීයා හරිම ෆාස්ට්. මතකනෙ mouse hunt film එකේ මීයා. මූ ඊට හපන්. ගොවියා ලං වෙනකොටම කොහේ හරි පොඩි සිදුරකට රිංගලා බේරෙනවා. ඉතින් ඔහොම කොච්චර ට්‍රයි කරත් මීයව අල්ලගන්න බැරිවෙච්ච එකේ දවසක් ගොවියා එළියට වෙලා මේ ගැන කල්පනා කර කර හිටියා.
“මේක කොහොමහරි නවත්තන්න ඕන. මම මහන්සි වෙලා හම්බ කරන දේවල් මේ මීයා විනාශ කරනවා. ගෙදර කෑමත් විනාශ කරනවා. මං කොහොමද මේක නවත්තන්නේ? මං කොහොමද මීයව අල්ලගන්නෙ?” කියලා හිත හිත ඉද්දි ගොඩක් වෙලා කල්පනා කරලා අන්තිමේදී එයාට අදහසක් ආවා.
පහුවදා උදේම වෙළඳපොළට ගිහින් ලොකු වීදුරු බෝතලයක් අරගෙන ආවෙ අන්න ඒ විදියට. ඒක ධාන්‍යවලින් උඩටම පුරවලා ගෙදර පිටිපස්සේ තැනකින් තියලා ගියා. පියනක් දැම්මේ නැහැ. ගොවියා හිතුවේ මීයා මේක දැක්කම මෙතනින් කෑම කයි. එතකොට ගෙදරට එන එක නවතියි කියලා. ටික වෙලාවකට පස්සේ මීයා එළියට ආවා.
ගෙදර වටේ දුව දුව ඉන්නකොට මීයා ඔන්න අර බෝතලෙ දැක්කා. වීදුරු බෝතලයක්. ඒක ඇතුළේ ධාන්‍ය පිරිලා. මීයාට ඉතින් හරි සතුටුයි.
“අම්මෝ මෙච්චර කෑම ගොඩක්. දැන් මට කෑම හොය හොය දුවන්න ඕන නෑ. කිසිම අවදානමක් ගන්න ඕනත් නෑ. දෙන දෙයියො ගෙට ගෙනැල්ලම දීලනෙ” කියලා හිතලා මීයා බෝතලේ උඩට නැගලා ධාන්‍ය කන්න පටන් ගත්තා.
බඩ පිරෙනකම් කෑවා. ඊට පස්සේ ගුලට ගිහින් නිදාගත්තා. පහුවදාත් ඕකම කර. බඩගිනි වුණාම බෝතලේට ලඟට යනවා. කනවා. බඩ පිරුණාම ආපහු නිදාගන්නවා.
දැන් මීයාට ජීවිතේ කිසිම අමාරුවක් නැහැ. කෑම හොයන්න දුවන්න ඕන නැහැ. මහන්සි වෙන්න ඕන නැහැ. බය වෙන්න ඕන නැහැ. කාලයක් යනකොට මීයාට මේ ජීවිතේ හරිම සුපිරියි කියලා හිතුණා. අන්තිමේදී ගුලට යන එකත් නතර කළා.
බෝතලේ උඩම කනවා. එතනම නිදාගන්නවා.ආයෙත් නැගිටලා කනවා. ඒක තමයි දැන් ජීවිතේ. ඔය විදියට දින ගෙවිලා සති වුණා. හැබැයි ඒ අතරේ බෝතලේ තිබුණු ධාන්‍ය ටික ටික අඩු වෙමින් තිබුණා. මීයා ඒ ගැන හිතුවේ නැහැ.
මොකද අද කන්න කෑම තියෙනවනේ.
“හෙට ගැන මොකටද හිතන්නේ? අද තියෙන ටික කාලා ඉන්නවා” කියලා තමයි පොර හිතුවෙ.
ඒ විදිහට දවසින් දවස ගෙවිලා ගියා. ඒත් එක දවසක ධාන්‍ය කාලා ඉවර වුණාට පස්සේ මීයා එළියට එන්න හැදුවා. එතකොට තමයි මීයාට තේරුණේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ධාන්‍ය මට්ටම දැන් ගොඩක් පහළට ගිහින්. ඒ නිසා බෝතලේ කටට පනින්න කලින්ට වඩා ගොඩක් උඩට පනින්න ඕන.
මීයා පැන්නා.
බැහැ. ආයෙත් පැන්නා. ඒත් බැහැ. තමන්ට තිබුණු මුළු ශක්තියම දාලා පැන්නත්, එළියට එන්න බැරි වුණා. එතකොට තමයි මීයාට තේරුණේ කාලයක් තිස්සේ දුවලා, පැනලා, කෑම හොයලා ජීවත් වුණු තමන්ට දැන් ඒ දේවල් කරන්න පුළුවන් තරම් හයියක් නෑ කියලා.
ඇඟ බර වෙලා.කකුල් දුර්වල වෙලා.ඉස්සර තිබුණු වේගය නැහැ. කලින් කෑම දුන්න මේ බෝතලේම දැන් හිරගෙයක් වෙලා. මීයා ආයෙත් ආයෙත් පනින්න උත්සාහ කළා. ඒත් වැඩක් වුණේ නැහැ.
අන්තිමේදී මහන්සි හන්දා හයියෙන් හුස්ම ගන්න ගමන් බෝතලේ ඇතුළේම වාඩි වුණා.
එතකොට තමයි මීයට ඇත්ත තේරුණේ. එදා ලේසියෙන් ලැබුණු හැම දෙයක්ම අද තමන්ගෙ ජීවිතේ තමන්ගෙන් උදුරගෙන තිබුනා කියන එක. එදා සුවපහසුවෙන් ගත කළ හැම දවසක්ම අද තමන්ගේ නිදහස ටික ටික අරගෙන තිබුණා කියන එක.
අන්තිමේදී ධාන්‍ය ඉවර වුණා. එළියට එන්න තරම් ශක්තියක් මීයා ළඟ තිබුණේ නැහැ.දවස් කිහිපයකට පස්සේ මීයා ඒ බෝතලේ ඇතුළෙම බඩගින්නේ මැරුණා.
ගොවියා මේක දැකලා ටික වෙලාවක් සද්ද නැතුව හිටියා.
මොකද මේ සිද්ධියෙන් එයාටත් එක දෙයක් තේරුණා.
මීයා මැරුණේ බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටපු නිසා විතරක් නෙමෙයි. මීයා ටික ටික තමන්ගේ ශක්තිය නැති කරගත්තා. ටික ටික තමන්ට තිබුණු හැකියාවන් අමතක කළා.ටික ටික සුවපහසුවට හුරු වුණා. අන්තිමේදී එළියට එන්න ඕන වුණාට එළියට එන්න පුළුවන් හැකියාවක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.
ඉතින් අපේ ජීවිතේත් මේ වගේ තැන් තියෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට, අපිට හොඳ රස්සාවක් තියෙනවා. මාසෙට පඩියක් ලැබෙනවා. ජීවිතේ කොහොමහරි ගැටගහගෙන යන්න පුළුවන්.
ඉතින් අපි හිතනවා,
“දැන් හොඳයිනේ. තව මොකට මහන්සි වෙන්නද?” කියලා
ඊට පස්සේ අලුත් දෙයක් ඉගෙනගන්න එක නවතිනවා. අලුත් දෙයක් උත්සාහ කරන්නෙ නැහැ. අපේ skills වැඩි කරගන්නෙ නැහැ. දේවල් try කරලා බලන්නෙ නැහැ. අපිට තියෙන දේවල් එක්ක සෑහීමකට පත්වෙලා ඉන්නවා.
ඒකෙන් අද අපිට සැනසීමක් ලැබෙනවා. හැබැයි අවුරුදු කීපයකට පස්සේ ඒ සැනසීමම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
මොකද ජීවිතේ හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැනේ. අද තියෙන රස්සාව හෙට නැති වෙන්න පුළුවන්. අද හොඳට තියෙන ආදායම හෙට අඩු වෙන්න පුළුවන්. අද අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් කියලා හිතෙන ශක්තිය හෙට නැති වෙන්න පුළුවන්.
එතකොට අපිට තේරෙන්න පුළුවන්, මේ අවුරුදු ගාණ පුරාවට අපි අලුත් දෙයක් ඉගෙනගෙන නැහැ. අපේ හැකියාවන් වැඩි කරගෙන නැහැ. වෙන දෙයක් කරන්න පුළුවන් විදිහක් හදාගෙන නැහැ කියලා.
ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම පාඩම.
සුවපහසුව නරක දෙයක් නෙමෙයි. හැබැයි සුවපහසුව වෙනුවෙන් අපේ හැකියාවන්, උත්සාහය සහ නිදහස අතහරින්න පටන් ගත්තොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.
ඒ නිසා ජීවිතේ හැම අභියෝගයක්ම මගහරින්න එපා.
අලුත් දෙයක් ඉගෙනගන්න. නොදන්න දෙයක් try කරලා බලන්න. තමන්ට පුළුවන් දෙයක් තව හොඳට ඉගෙනගන්න. අලුත් ආදායම් මාර්ගයක් ගැන හිතන්න. මොකද අද ටිකක් මහන්සි වෙන එකෙන්, හෙට අපිට වැඩි දෙයක් ලබා දෙන්න පුළුවන්.
අද අමාරුයි කියලා අපි මගහරින දේම හෙට අපිට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්.
ඉතින් අද ඔයාගේ ජීවිතේ තියෙන්නෙ කොතනද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න.
ඔයා සුවපහසු තැනක ඉන්නවද? නැත්නම් ඔයත් දන්නෙ නැතුව ඔයාවත් නොදන්න වීදුරු බෝතලයක් ඇතුළේ හිරවෙලා ඉන්නවද?











