සිරුරේ බර අඩු කරන චියා ඇට.

ලොව දැනට ඇති ආහාර අතුරෙන් පෝෂ්‍යදායී ම ආහාර ලැයිස්තුවේ ඉහළින් රැඳෙන ආහාරයක් ලෙස චියා ඇට හඳුනාගන්නට අපට හැකියි. මොළයට සහ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් චියා ඇට පිරී ඉතිරී පවතිනවා. අපි අද ඒ ගැන ගැඹුරින් කතා කරමු. 

චියා ඇට හඳුනාගනිමු.

චියා ඇට ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ ඇට වර්ගයක්. Salvia hispanica නම් ලද ශාකයේ මේවා හටගන්නවා. මෙය මින්ට් පවුලේ ශාකයක්. චියා ඇට මායාවරුන්ගේ සහ ඇස්ටෙක්වරුන්ගේ ජනප්‍රිය ආහාරයක් වූ බවට සාධක තිබෙනවා. ඔවුන් ශක්තිය ස්ථායීව පවත්වා ගනු පිණිස මෙය යොදාගත් බව සඳහන්. සැබැවින් ම, චියා (Chia) යනු ශක්තිය (Strength) යන්නට මායාවරුන් භාවිත කළ වචනයයි. 

චියා ඇටවල අඩංගු පෝෂ්‍යපදාර්ථ 

එංගලන්තයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සටහන්වලට අනුව චියා ඇට අවුන්සයක, එනම් ග්‍රෑම් 28ක අඩංගු දේවල් මෙසේයි.

තන්තු ග්‍රෑම් 11යි. කාබෝහයිඩේ‍්‍රට ග්‍රෑම් 13යි. ප්‍රෝටීන් ග්‍රෑම් 5යි. මේදය ග්‍රෑම් 9යි. ඉන් පහක් ම ඔමේගා මේද අම්ලයි. දෛනික කැල්සියම් අවශ්‍යතාවයෙන් 18%ක් සහිතයි. 

දෛනික මැංගනීස් අවශ්‍යතාවයෙන් සහ මැග්නීසියම් අවශ්‍යතාවයෙන් 30% බැගින් පූර්ණය කරන්නට චියා ඇටවලට හැකියි. දෛනික පොස්පොරස් අවශ්‍යතාවයෙන් 27%ක ගුණයක් සහිතයි. ඊට අමතරව සින්ක්, විටමින් B1, විටමින් B2, විටමින් B3 සහ පොටෑසියම් ද සැලකිය යුතු ප්‍රමාණයක්  චියා ඇටවල අඩංගු වෙනවා. කැලරි 131කින් යුතුයි. 

චියා ඇටවල සුවිශේෂී ම කාරණා කිහිපය වන්නේ එය කාබනික ව වගා කරන්නක් වීමත්, නිවුඩ්ඩ සහිත වීමත්, ජාන වෙනස් නොකරන ලද්දක් වීමත්, ස්වාභාවිකව ම ග්ලූටන්වලින් තොර වීමත් ය.

චියා ඇටවලින් ඇති ප්‍රයෝජන

නිරෝගී සමකට උපකාර වීම

චියා ඇට ඉහළ Antioxidants ප්‍රමාණයකින් සමන්විත වනවා. එමගින් නිරෝගී සමකට මග පාදනවා. එමෙන්ම වියපත් වීමේ ලකුණු අඩු කරන්නටත් උදව් වෙනවා.

බර අඩුවීමට උපකාරී වීම.

චියා ඇටවල ඇති තන්තු ජලය විශාල වශයෙන් උරාගනු ලබනවා. එමගින් ඒවා ආමාශයේදී ප්‍රසාරණය වනවා. එවිට බඩ පිරුණු ස්වභාවයක් දැනෙන නිසා බඩගිනි එන්නේ අඩුවෙන්. අඩු කැලරි ප්‍රමාණයකින් වැඩි පෝෂ්‍යපදාර්ථ ප්‍රමාණයක් ලැබෙන නිසා ගැටලුවකුත් නැහැ.

හදවත් රෝගවලින් වැළකීමට උදව් වීම.

චියා ඇටවල ඇති මේ පෝෂණ ගුණයන් නිසා හදවත් රෝග වලින් වැළකීමට ඉතා උපකාරී වනවා. අසංතෘප්ත මේද ඉහළ දැමීමට සමත් වීමත් ඊට හේතුවක්. එහෙත් බරපතල හදවත් රෝගී තත්ත්ව ඇති අයෙක් චියා ඇට ආහාරයට ගත්තා කියා එක රැයින් සුවවන්නේ නැහැ. චියා ඇටවලට ඇත්තේ හදවත් රෝග වලින් වැළකීමට උදව් කිරීමේ හැකියාවක් පමණයි. 

අස්ථි සෞඛ්‍යයට ඉතා ගුණදායක වීම.

චියා ඇට කැල්සියම්, මැග්නීසියම්, පොස්පොරස් සහ ප්‍රෝටීන්වලින් අනූන නිසා අස්ථිවල නීරෝගීභාවයට සෘජු බලපෑමක් එල්ල කරනවා. කිරි ආශ්‍රිත නිෂ්පාදනවලට සාපේක්ෂව චියා ඇට ඒ සඳහා වැඩි වශයෙන් උපකාරීවනවා. 

නිර්මාංශ පුද්ගලයන්ට සුදුසු ආහාරයක් වීම.

පෝෂණයෙන් පිරුණු ආහාරයක් නිසා නිර්මාංශ අයටත් මනාව ගැළපෙන ආහාරයක් ලෙස චියා ඇට හඳුන්වන්නට පුළුවන්. මොවුන්ගේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලීමට චියා ඇට භාවිතා කළ හැකියි. එමෙන් ම,සමහර ආහාර වට්ටෝරුවලට බිත්තර වලට විකල්ප ලෙස ජලයේ පොඟවන ලද චියා ඇට යොදාගන්නට පුළුවන්.

දියවැඩියා රෝගීන්ට ගුණදායක වීම.

තන්තු සහිත වීමත්, දිරවීමේදී රුධිරයට සීනි මුදා හැරීම සෙමින් සිදුවීමත් නිසා චියා ඇට දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි. ඔමේගා මේද අම්ල ඇතුළු අනෙක් පෝෂක කොටස් ද දියවැඩියාවට ගුණදායක වනවා.

චියා ඇට ආහාරයට ගත හැකි ආකාර

චියා ඇට ආහාරයට ගත හැකි ආකාර විවිධයි. අමු චියා ඇට තනිකර ආහාරය ගැනීම එතරම් සුදුසු නැහැ.

චියා ඇට සීරියල්, යෝගට්, එළවලු, පලතුරු, යුෂ වර්ග, කැඳ වර්ග ආදියට එකතු කර ආහාරයට ගන්නට පුළුවන්. 

ජලයට එකතු කර පානය කිරීමෙන් කුසගිනි අඩු වෙනවා.

කිරි කෝප්ප කාලකට චියා ඇට තේ හැන්දක් එක් කර විනාඩි පහක් තැබීමෙන් ඔබට ලැබෙන්නේ මූලික චියා ඇට පුඩිමයි. පැණිරස හෝ පලතුරු එක්කර එය රසවත් කරගැනීම ඔබට භාරයි.

ඉතා අඩු කැලරි ප්‍රමාණයකින් වැඩි පෝෂ්‍යපදාර්ථ ප්‍රමාණයක් ලබා ගත හැකි චියා ඇට වෙළඳපොළේ නම් තරමක් මිල අධිකයි. එහෙත්, චියා ඇට කියන්නේ ඔබ ජීවිතයේ එක් වරක් හෝ පාවිච්චි කර බැලිය යුතු ආහාරයක්.

Related Articles

Don't Miss


Latest Articles