මේ ළමයා මේවා කොහෙන් ඉගෙන ගත්තද මන්දා

“නෙතුම් ගැන තව චුට්ටක් බලන්න වෙයි නෙතුම්ගෙ අම්මෙ. නෙතුම් හරියට පංතියෙ අනිත් යාලුවන්ට ගහණවා.”

පන්තිය ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා උන්නු මං එහෙම කිව්වෙ මගේ ඉස්සරහ පුටුවක වාඩිවෙලා උන්නු නෙතුම්ගෙ අම්මට. 

නෙතුම් කියන්නෙ අපේ පන්තියෙ ඉන්න ටිකක් කරදරකාරී ළමයෙක්. හරියටම කිව්වොත් අනිත් ළමයි එක්ක හැමදාම වගේ මොකාක් හරි ප්‍රශ්නයක් ඇතිකරගන්න ළමයෙක්.

 කවුරුහරි එයාගෙ පැන්සලක් ගත්තොත් ගහනවා. 

සෙල්ලම් කරන වෙලාවක තමන්ට ඕන සෙල්ලම් බඩුව තව ළමයෙක් ගත්තොත් තල්ලු කරනවා. 

පොඩි දෙයක් උනත් හොඳටම කේන්ති ගන්නවා.

අපි ඉස්කෝලෙ යන කාලෙ අඹ යාලුවො කියවලා කල්පනා කරානෙ “සුනිල් අච්චර අඹේට රණ්ඩුවෙලත් නිමල් නෙවෙයි පාරක් ගැහුවෙ” කියලා. ඒ උනාට දැන් ඉන්න ළමයි එහෙම නෑ අනෙ. පොඩ්ඩ ඇත්තන් හරිම ප්‍රචණ්ඩකාරී වෙනවා කියලා කියන්න තරම් මට නෙතුම්ගෙන් හරිම කරදර වුණා.

මං අන්න ඒ හන්දමයි නෙතුම්ගෙ අම්මා එක්ක මේ විස්තරේ කියන්නමයි කියලා තීරණේ කරේ.

එදත් කා එක්ක හරි මොකක් හරි එහෙකට රණ්ඩු කරගෙන නෙතුම් උන්නෙ ඇඟ හොඳටම හූරගෙන. ඇඳුම්වලත් දූවිලි එකයි. 

“ඇයි නෙතුම් ඔයා පසිඳුට ගැහුවෙ?” කියලා මං අහද්දි නෙතුම් කිව්වෙ, “එයා මට මුලින් ගැහුවා මිස්” කියලා. ඒත් අනිත් ළමයාගෙන් අහද්දි කතාව ටිකක් වෙනස්. නෙතුම් තමයි මුලින්ම එයාව තල්ලු කරලා තිබුණෙ.

“අනේ මන්දා මිස්. මං හැමදාම ගෙදරින් එක්කරගෙන එන්න කලින් කියනවා යාළුවො එක්ක රණ්ඩුවට යන්නෙපා කියලා. හැමදාම ගෙදර එන්නෙ කා එක්ක හරි රණ්ඩුවක් දාගෙන. මම ගෙදරදිත් එයාට කොච්චර කිව්වත් අහන්නෙ නෑ.”

අම්මා එහෙම කියද්දි මට හිතුණෙ ඇයත් මේ ගැන සෑහෙන්න මහන්සි වෙනවා ඇති කියලා.

“ඔයා ගෙදරදි එයා එක්ක මේ ගැන කතා කරලා බැලුවද?”

“අනේ මිස්, කොච්චර කියනවද. එයාට කිසිම අඩුවක් නෑ. ගෙදරදිත් මමයි තාත්තයි හොඳින් ඉන්නෙ. එයාට ඕන හැමදේම අපි අරන් දෙනවා. මොකක් අඩුද කියලා නම් මට තේරෙන්නෙ නෑ.”

“අම්මා ගෙදරදි නෙතුම් එක්ක මේ ගැන කතා කරලා බැලුවද?”

“අනේ මිස්, කොච්චර කියනවද. එයාට කිසිම අඩුවක් නෑ ගෙදර. ගෙදරදිත් මමයි තාත්තයි හොඳින් ඉන්නෙ. එයාට ඕන හැමදේම අපි අරන් දෙනවා. මොකක් අඩුද කියලා නම් මට තේරෙන්නෙ නෑ. මෙහෙම දේවල් ඉස්කෝලෙදි ඇවිල්ලා කරලා තරහා පිරිමහගන්න ඉතින් හේතුවක් තියෙන්න ඕන නෙ. ඒත් එහෙම හේතුවක් මට නම් ඇත්තටම තේරෙන්නෙ නෑ”

“නෙතුම්ගෙ තාත්තා එයාට කොහොමද?”

“තාත්තා නම් ටිකක් සැරයි මිස්. නෙතුම්ට හරියට ආදරෙයි. ඒත් එයා කරන වැඩවලට තරහ ගියාම බනිනවා. මමත් සමහර වෙලාවට කියනවා පොඩි ළමයෙක්නෙ, ඔච්චර බනින්න එපා කියලා. ඒත් එයා කියන්නෙ ළමයා දැන්ම හදලා ගන්න ඕන නැත්තම් ලොකු වෙද්දි කරදරයි කියලා.”

“නෙතුම් ඉස්සරහත් බනිනවද?” මං එහෙම ඇහුවම නෙතුම්ගෙ අම්මා ටිකක් වෙලා මගේ දිහා බලන් හිටියෙ මොනාහරි දෙයක් කියනවද නැද්ද කියලා හිතාගන්න බැරුව වගේ කියන එක මට නොතේරුණා නෙවෙයි.

“ඉතින් සමහර වෙලාවට. එයා මොකක් හරි වැරැද්දක් කළොත් තාත්තාට කේන්ති යනවනෙ මිස්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නෙ නේද? ඒ වෙලාවට ඉතින් මෙයා ඉන්න තැනම බණීනවා. තාත්තත් චූටි කාලෙ මෙයා වගේමලු හරියට ඉස්කෝලෙදි එහෙම තරහා ගන්නවලු”

මට ඒ වෙලාවෙත් හිතුණෙ මේක ඉති ඕනම ගෙදරක වෙන්න පුළුවන් දෙයක්නෙ කියලා. තාත්තලා ළමයින්ට බනිනවා. අම්මලා ඒ ගැන පැමිණිලි කරනවා. ඊළඟ දවසෙ හැමෝම ආයෙ හොඳින් ඉන්නවා. අපිත් ඒ වගේ දේවල් ඕන තරම් දැකලා තියෙනවනෙ. අපෙ ගෙවල් වලත් ඉතින්  ඒ වගේ දේවල් ඕන තරම් වෙනවනෙ කියලා. ඒ හින්දා මං ඒ ගැන තව හාරා අවුස්සන්න ගියේ නෑ. අනික ඉතින් අපි ගුරුවරු උනා කියලා අපිට එහෙම වෙන මනුස්සයෙක්ගෙ ගෙදර සිද්ද වෙන දේවල් වලට ඇඟිලි ගහන්නයි, ඒවා හාරවුස්සලා බලන්නයි පුළුවන්කමක් නෑනෙ.

“කොහොම උනත් නෙතුම් ගැන ටිකක් බලන්න. එයාට තරහා කන්ට්‍රෝල් කරගන්න උදව් කරන්න ඕන. ඉස්කෝලෙ ඉන්න වෙලාවෙ අපි එයාට කියන ටිකම විතරක් මදි මම හිතන්නෙ එකට ගෙදරදිත් නිතරම ඒ ගැන මතක් කරලා දෙන්න වෙයි. නැත්තම් අම්මා මේක ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.” කියලා මං කිව්වෙ අන්න ඒ හන්දා. 

මමත් ඒ සිද්ධිය එතනින් අමතක කරලා දැම්මා. ඒත් නෙතුම්ව අමතක කරන්න මට පුළුවන් උනේ නෑ. මොකෝ ඊළඟ සතියෙත් එයා ගහගත්තා. ඊට පස්සෙ සතියෙත් එහෙමයි. කොච්චර කිව්වත් එයා ගහ මරාගන්න එකනම් නතර වුණේ නැති තරම්. 

දවසක් පන්තියෙ ළමයෙක් නෙතුම්ගෙ මකනෙ අරගෙන විහිළුවට වගේ දුවගෙන ගියා. නෙතුම් ඒ ළමයා පස්සෙන් දුවගෙන ගිහින් තල්ලු කරලා බිම දැම්මා. ළමයාගෙ දණහිසත් තුවාල උනා.

“නෙතුම්!” මං නෙතුම්ට හයියෙන්ම කතා කරේ අන්න එවෙලෙ. ඇත්තටම ඒ වෙද්දි මම උන්නෙ නෙතුම්ගෙ මේ කරදර තවත් ඔළුවට දරාගන්න අමාරු තැනක. හැමදාම අනිත් ළමයින්ගෙ අම්මලගෙන් කම්ප්ලේන් “නෙතුම් අපෙ පුතාට ගැහුවා, අරක මේක” කියලා. ඉස්කොලෙ අනිත් ගුරුවරු උනත් හිතනවා ඇති මම මහ නරක ගුරුවරයෙක් කියලා නෙතුම්ව කන්ට්‍රෝල් කරගන්න බැරි හන්දා. ඒ තරහා මගෙ වචන වලින් පිට වෙච්ච හන්දද මන්දා නෙතුම් එතනම නතර උනා.

“ඇයි මෙහෙම කරන්නෙ?”

“එයා මගේ මකනෙ ගත්තා.”

“හරි එහෙමයි කියලා ඔයා ඒකට ඒ ළමයට ගහලා හරියනවද?”

“එයා මකනෙ ගන්න කලින් ඇහුවෙ නෑනෙ.”

“ඉතින් ඔයාට මගෙන් තව මකනයක් ඉල්ලන්න තිබුණනෙ. එහෙමත් නැත්තම් ඔයාට යාලුවට කියන්න තිබුණා “අනේ මගේ මකනෙ අරගෙන යන්නෙපා ඒක මට දෙන්න” කියලා. එහෙම නොකියා පුතා යාළුවට ගහපු එක වැරදි නේද?” කියලා මං අහද්දි නෙතුම් මුකුත් කිව්වෙ නෑ.

මං එයා දිහා බලන් ඉද්දි මට තේරුණේ නෙතුම්ට කේන්ති එන එක විතරක් නෙවෙයි ඒ කේන්තිය ආවම තමන් මොනවා කරනවද කියලා හිතන්න තරම්වත් තේරුමක් නැති බව.

“නෙතුම් කවුරුහරි ඔයාට කරදර කළොත් මොකද කරන්න ඕන?”

“මිස්ට කියන්න ඕන.”

“හරි. ගහන්න බෑ.”

එයා පිළිගන්න වගේ ඔළුව වැනුවට මොකෝ ඒත් ඊළඟ දවසෙත් එයා ගහගත්තා. මේ පාර නම් මටත් ටිකක් කේන්ති ගියා. ඇයි අනේ කවදා වෙනකම් ඉවසන්න කියලද.

“මං ඊයෙත් ඔයාට කිව්වනෙ නෙතුම්. ගහන්න එපා කියලා. ඔයා ඇයි අහන්නෙ නැත්තෙ?”

මං එහෙම අහද්දි නෙතුම් මගේ දිහා බලන් හිටියා.

“මට කේන්ති ගියා”

“මොකටද?” එයා මුකුත් කිව්වෙ නෑ.

“කවුරුහරි ඔයාට මොනවා හරි කරනවද?” එතකොට නම් එයා නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.

“ගෙදර ප්‍රශ්නයක් තියෙනවද?”

මං අන්න එහෙම අහද්දි  එයා එකපාරටම මගේ දිහා බැලුවා. ඒ බැල්ම මට අදටත් අමතක වෙන්නෙ නෑ. ඒක “නෑ” කියන බැල්මක් නෙවෙයි. “අහන්න එපා” කියන බැල්මක්.ඒ හන්දම මං එදා තවත් මුකුත් ඇහුවෙ නෑ.

පහුවදා දවල් කෑම කන වෙලාවෙ නෙතුම්ට කෑම කන්න උනේ නෑ. කෑම පෙට්ටිය වහලා පැත්තකින් තියලා එයා ඔළුව මේසෙ උඩින් තියාගෙන හිටියා.

මං ළඟට ගිහින් “ඇයි පුතේ කන්නෙ නැත්තෙ?” කියලා ඇහුවා.

“බඩගිනි නෑ.”

“උදේත් කෑවෙ නෑනෙ.”

“මට බඩගිනි නෑ මිස්.”

මං එයා ළඟින් වාඩිවුණා.

“නෙතුම් ඔයාට ගෙදරදි බය හිතෙනවද?” මං එහෙම අහද්දි එයා එකපාරටම මගේ දිහා බැලුවා. මං එහෙම ඇහුවෙ ඇයි කියලවත් මට ඒ වෙලාවෙ තේරුණේ නෑ.ඒත් එහෙම අහන්න ඕන කියලා මට හිතුණා.  ටික වෙලාවක් මගේ දිහා බලන් හිටපු නෙතුම් හෙමින් කතා කළා.

“තාත්තා අම්මට බනිනවා.”

මට ඒ වචන ඇහුණෙ හරිම හිමින්.

“හරී ඉතින්”

“තාත්තා අම්මට හැමදාම බනිනවා.”

“මොනවද තාත්තා කියන්නෙ?”

“මං දන්නෙ නෑ මිස්. මට තේරෙන්නෙ නෑ” කියද්දි මෙච්චර දවසක් දඩබ්බර ළමේක් වගේ දැක්ක නෙතුම්ගෙ ඇස් දෙකේ කඳුළු පිරෙනවා මම දැක්කා.

“සමහර දවසට තාත්තා බඩුත් පොළේ ගහනවා.”

මං ඒ වෙලාවෙ මුකුත් කියාගන්න බැරුව හිටියෙ. ඇත්තටම කියන්න ඕන මොකද්ද කියලා මට හිතාගන්න බැරිවුණා.

“ඔයාට ඒ වෙලාවට බයද?”

“ඔව්.”

“අම්මා?”

“අම්මාත් බය වෙනවා.”

“එතකොට ඔයා මොකද කරන්නෙ?”

නෙතුම් ටික වෙලාවක් සද්ද නැතුව හිටියා මං එහෙම ඇහුවම.

“මං අම්මා ළඟට යනවා.”

“ඇයි?”

“අම්මා අඬනවනෙ.”

ඒ වචනෙත් එක්ක නෙතුම්ගෙ ඇස් අස්සෙ හිරවෙලා තිබිච්ච කඳුළු කම්මුල් දිගේ බේරිලා බිමට වැටුණා.

“මං අම්මව බේරගන්න යනවා.”

මට එදා තමයි තේරුණේ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ළමයි එක්ක ගහගන්නෙ ඇයි කියලා.

“එතකොට තාත්තා ඔයාටත් බනිනවද?”

“ඔව්. ඔයා මොකටද මැද්දට එන්නෙ කියලා අහනවා.”

“ඊට පස්සෙ?”

“මං කාමරේට යනවා.”

“ඒ වෙලාවට ඔයාට මොනවද හිතෙන්නෙ?”

නෙතුම් මගේ දිහා බලලා කිව්වෙ මට කිසිම දවසක අමතක නොවන වචන ටිකක්.

“මට කාටහරි ගහන්න හිතෙනවා මිස්.”

“ඇයි?”

“මට අම්මව බේරගන්න බැරි නිසා මං ඉන්නෙ තරහෙන් නෙ. මට තාත්තට ගහන්න බෑනෙ”

මං නෙතුම්ගෙ ඔළුව අතගෑවෙ මට ඒ වචන දරාගන්න අමාරු වෙච්ච හන්දා. . එදා වෙනකම් මට නෙතුම් පෙනුණෙ පන්තියෙ අනිත් ළමයිට කරදර කරන, පොඩි දෙයක් උනත් ගහගන්න යන, හිතුවක්කාර ළමයෙක් විදිහට. ඒත් එදා මට තේරුණා නෙතුම් හොයන්නෙ රණ්ඩුවක්  වෙන්න හේතුවක් නෙවෙයි කියලා.

එයා එළියෙදි කරන්න හදන්නෙ එයාට ගෙදරදි කරන්න බැරි දෙයක්.

තමන්ට පරිස්සං කරගන්න බැරි වෙන කෙනෙක්ව පරිස්සං කරන්න පුළුවන් තැනක්.අම්ම ඒ හන්දා එදා හවස මං නෙතුම්ගෙ අම්මට ආයෙත් කතා කළා.

“මිස්, නෙතුම් ආයෙ මොනවා හරි වරදක් කරලද?”

අම්මා ඇහුවෙ වෙනදා වගේම හරිම බයෙන්.

“නෑ. මං ඔයාගෙන් වෙන දෙයක් අහන්නයි කතා කළේ.” කියලා මං අහද්දි නෙතුම්ගෙ අම්මා මං දිහාම බලාගෙන උන්නෙ ඇස්වල බයක් පුරවගෙන.

“නෙතුම් ගෙදරදි තාත්තා අම්මට බනිනවා කියලා කිව්වා” මං එහෙම ඇහුවට එයා මොකක් කිව්වෙ නෑ.

“මිස්” එයා කතා කරේ ටික වෙලාවකට පස්සෙ.

“නෙතුම්ට ඒවා තේරෙනවද?”අම්මා එහෙම ඇහුවෙ හිතාගන්න බැරි තරම් බයෙන්.

“එයා හැමදේම දන්නවා නෙතුම්ගෙ අම්මෙ. අපි හිතනවට වඩා දේවල් දරුවෝ දන්නවා. අපි නොහිතුවට දරුවො අපි දිහාම බලාගෙනයි ඉන්නෙ. එයාලට අපි කියන දේවල් ඇහෙනවා පේනවා. එයාලා දකිනවා”

මං එහෙම කියද්දි නෙතුම්ගෙ අම්මා හොඳටම ඇඬුවා.

“මං හිතුවෙ එයා පොඩි ළමයෙක් නිසා එයාට ඒවා තේරෙන්නෙ නෑ කියලා මිස්.”

“පොඩි ළමයෙක් තමයි. ඒ නිසාම තමයි එයාට ඒ දේවල් මෙච්චර තදින් දැනෙන්නෙ.”

එදායින් පස්සෙ නෙතුම් ගැන මට තිබුණු අදහස සම්පූර්ණයෙන්ම වෙනස් උනා.අපි සමහර වෙලාවට දරුවෙක් හැසිරෙන විදිහ දැකලා “මේ ළමයා හරිම නරකයි”, “හරිම හිතුවක්කාරයි”, “කියන දෙයක් අහන්නෙ නෑ” කියලා තීරණය කරනවා. ඒත් සමහර දරුවන්ගේ හැසිරීම් පිටිපස්සෙ තියෙන්නෙ අපිට නොපෙනෙන කතාවක්.

සමහර දරුවෙක් ගහගන්නෙ ගහන්න ආස නිසා නෙවෙයි.

සමහර දරුවෙක් කේන්ති ගන්නෙ එයා  නරක නිසා නෙවෙයි.

සමහර වෙලාවට ඒ දරුවා ගෙදරදි දකින දේවල් එක්ක ගනුදෙනු කරන්න දන්න එකම විදිහ ඒක වෙන්න පුළුවන්.

අපි දරුවන්ට “කේන්ති ගියාම ගහන්න එපා” කියලා කියනවා.

“ප්‍රශ්නයක් ආවම කතා කරලා විසඳගන්න” කියලා කියනවා.

හැබැයි ඒ දරුවා ගෙදරදි දකින්නෙ අම්මට කෑගහන තාත්තෙක්, බඩු පොළේ ගහන තාත්තෙක් නම් මොකද්ද වෙන්නෙ?

අපි කියන වචනවලට වඩා එයා දකින දේ තමයි එයා ඉගෙනගන්නෙ.

මොකද දරුවෙක් අපි කියන දේ අහගෙන විතරක් ලොකු වෙන්නෙ නෑ.

අපි හැසිරෙන හැටි බලගෙනත් ලොකු වෙනවා.

ඒ නිසා දරුවෙක්ගෙ හැසිරීමක් අපිට තේරෙන්නෙ නැත්තම්, මුලින්ම ඒ දරුවාට දොස් කියන්න කලින් අපි මෙන්න මේ ප්‍රශ්නෙ දරුවගෙන් අහලා ඉමු නේද,

“මේ ළමයා මේවා කොහෙන් ඉගෙන ගත්තද මන්දා?”

More Stories

Don't Miss


Latest Articles