5th Avenue – 64

0
996

“මං ඔයාලත් එක්ක මීටින් එකක් තියන්න හිතපු ලොකුම හේතුව තමයි ශෙනෝලි. ඊයේ සෝෂල් මීඩියා සිද්ධියෙන් පස්සේ එයා ටිකක් අවුලෙන් ඇති කියලා මට හිතුණා පුතා. ඒක නෝමල් කරන්න තමයි මට ඕන වුණේ. Anyway, I wanted to discuss the new projects with you guys as well.”

රොහාන් එදිරිසිංහගේ ඒ වචන රිහාන්ගේ සිතේ නැවත නැවතත් දෝංකාර දෙන්නට විය. කාර්යාලයෙන් පිටතට පැමිණ තම මෝටර් රථයට නැඟුණු පසුවත් රිහාන් මොහොතක් නිහඬව සුක්කානම මත අත තබාගෙන ඉදිරිය බලා උන්නේය. කණ්ඩායමේ ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කිරීම රැස්වීමේ අරමුණක් වූ බව තමා දැන හුන් නමුත් ඒ සියල්ල අතරේ තම පියා විශේෂයෙන්ම ශෙනෝලි පිළිබඳව සිතා තිබූ බව දැනගත් විට රිහාන්ගේ සිතට දැනුණේ වෙනස්ම හැඟීමකි.

තම පියා පිළිබඳව ඔහු තුළ තිබූ ගෞරවය ඒ මොහොතේ තවත් වැඩි වූවාක් මෙන් ඔහුට දැනුනු අතර වෘත්තීය ජීවිතයේදී දක්ෂ කළමනාකරුවෙකු වීමට අමතරව, මිනිසුන්ගේ හැඟීම් තේරුම්ගත හැකි සංවේද පුද්ගලයෙකු වීමත් කෙතරම් වැදගත්ද යන්න රිහාන්ට නැවතත් සිතිණි.

ඒ සමඟම රිහාන්ගේ දුරකථනය නාද වීමට පටන් ගත් අතර තිරය මත දිස් වූ නම දුටු සැණින් ඔහු මොහොතක් එදෙස බලා උන්නේය. 

ඉෂිනි.

පෙර දිනයේ තමා කිහිප වරක්ම ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය සාර්ථක නොවූ අතර ඇය හවස් වරුව ගෙවූයේ කෙසේදැයි කියා වත් තමා දැන උන්නේ නැත. රිහාන් ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තේ ඒ සිතිවිල්ලෙනි

“හෙලෝ ඉෂිනි “

“අනේ සොරි රිහාන්. මේ ටිකේ මම මාර විදිහට බිසී. ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. ඇවිත් එහෙම්මම නිදාගන්නවා. ඔයාට කෝල් එකක් ගන්නවත් වෙලාවක් නැති වුණා.”

ඉශිනි එක දිගටම කියාගෙන ගියාය. ඇගේ හඬෙහි තිබුණේ තමන්ගේ නිහඬතාවට හේතුව පැහැදිලි කරමින් ඔහුගේ සිතේ ඇති විය හැකි වැරදි වැටහීමක් නැති කිරීමට දරන උත්සාහයක් මිස තමාගෙන් සිදුවූ අතපසුවීම පිළිබඳව පසුතැවීමක් නොවේ. එම නිසා රිහාන් පිළිතුරු දීමට පෙර තත්පර කිහිපයක් නිහඬව උන්නේය.

“එහෙමද?”

ඔහුගේ කෙටි පිළිතුරත් සමඟ ඉශිනි ගේ පසින්ද මොහොතක නිහඬතාවක් ඇති විය.

“අනේ ඔයා මාත් එක්ක තරහද රිහාන්?”

“නෑ ඉෂිනි “

රිහාන් එවැනි පිළිතුරක් දුන්නද සිතේ තිබූ සියල්ල ඒ වචනයෙන් පැහැදිලි කළ නොහැකි බව ඔහුට දැනිණි. තමා ඉශිනි සමඟ තරහ වී නොසිටියද තමන් බලාපොරොත්තු වූ සම්බන්ධතාවය සහ මේ වන විට තමා සහ ඇය අතර පවතින තත්ත්වය අතර යම් නොගැළපීමක් තිබෙන බවක් ඔහුට පැහැදිලිවම දැනෙමින් තිබිණි.

සම්බන්ධතාවයක් තුළදී දුක සතුට බෙදා හදා ගැනීමට, වෙහෙසට පත් වූ දවසක වුවද මොහොතක් එකිනෙකා වෙනුවෙන් වෙන් කරගන්නට හැකි වීම දෙදෙනා තුළම තිබිය යුතු හැඟීමක් බව රිහාන් විශ්වාස කළේය. එහෙත් ඉශිනි ගේ සහ තමාගේ ජීවිත මේ වන විට ගලාගෙන යමින් තිබෙන්නේ එකිනෙකට සමාන්තර මාර්ග දෙකක් බව පෙනෙන්නට තිබීම රිහාන් තුළ ඇති කළේ දෙගිඩියාව මුසු හැඟීමකි. නමුත් දෙදෙනාගේ කාර්ය බහුල බව හමුවේ දෙදෙනාගේම ජීවිත එකිනෙකට වඩාත් සමීප කරගන්නේ කෙසේද යන්න ඔහුට සිතාගත හැකි වූයේ නැත.

“ඔයා මොකද කතා කරන්නේ නැත්තේ රිහාන් ?”

රිහාන් දිගු සුසුමක් හෙළුවේය.ජීවිතය පෙරට වඩා සංකීර්ණ වෙමින් පවතිනවා යයි ඔහුටට සිතිණි.

“මං හිතනවා අපි දෙන්නගේ ලයිෆ් එක මීට වඩා පිළිවෙළක් වුණොත් හොඳයි කියලා.”

ඔහුගේ වචන ඇසුණු ඉෂිනි මොහොතක් නිහඬ වූවාය.

“ඔයා කියන්නේ මොන වගේ පිළිවෙළක් ගැනද රිහාන්?”

තමන්ගේ සිතේ ඇති අදහස නිශ්චිතව වචනවලට පෙරළා ගැනීමට රිහාන්ට ඒ වන විටත් හැකියාවක් තිබුණේ නැත. එහෙත් තමන් දෙදෙනාගේම ජීවිත වලට පැහැදිලි දිශාවක් තිබිය යුතු බවත්, දෙදෙනාගේ අනාගතය පිළිබඳව එකට සිතා තීරණ ගත යුතු බවත් ඔහුට හැඟෙමින් තිබිණි.

“අපි හවසට හම්බවෙලා කතා කරමු ඉෂිනි. මම දැන් තාත්තගේ ඔෆිස් එකට ඇවිත් ආපහු ස්ටුඩියෝ එකට යන්න හදන්නේ.”

“හරි. එහෙනම් හවසට කතා කරමු.”

රිහාන් ඇමතුම අවසන් කළ නමුත් මෝටර් රථය පණගන්වා පිටත්ව යාමට ඔහුට සිතුණේ නැත. දුරකථනය පසෙකින් තැබූ ඔහු අසුනට බර වී දෑස් ඉදිරියේ දිස් වන කාර්යාල ගොඩනැඟිල්ල දෙස මොහොතක් බලා උන්නේය.

තම ජීවිතය පිළිබඳව බැරෑරුම්ව සිතා බලා ඉදිරිය තීරණය කළ යුතු බව රිහාන් සිතුවේ අනතුරුවය.මේ වනතෙක් තමන් උපයාගත් මුදල් වලින් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගෙන තිබෙන බැවින් එයින් තමන් වෙනුවෙන් නිවසක් මිලදී ගෙන අනතුරුව ඉෂිනි සමග විවාහය පිළිබඳව සිතා බැලිය යුතු යැයි සිතූ ඔහු තමන්ගේ අදහස් පිළිබඳව පළමුවෙන්ම දෙමව්පියන් සමඟ කතා කළ යුතු බව තීරණය කළේය. ඔවුන්ගේ අදහස් දැනගෙන, ඉදිරි පියවර ගැන සැලසුම් කර, පසුව ඉෂිනි සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සිතූ පසුව රිහාන්ගේ සිතේ තිබූ අවිනිශ්චිත බව යම් තරමකට පහව ගියේය.

රිහාන් ස්ටුඩියෝවට පැමිණෙන විට අනෙක් සාමාජිකයන් එහි පැමිණ සිටි අතර, දවසේ පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතුද සූදානම් කර තිබිණි.උදෑසන රැස්වීමෙන් පසුවත්, ඉෂිනි සමඟ කතා කිරීමෙන් පසුවත් සිතට පැමිණි අදහස් සියල්ල ඒ වන විටත් එකිනෙක ගැටෙමින් තිබුණු බැවින් රිහාන්ගේ සිත තිබුණේ නොසන්සුන් තැනකය.

ඔහුගේ එම වෙනස පැහැදිලිවම දුටුවේ ශෙනෝලිය.

රිහාන්ගේ මුහුණේ තිබූ සුපුරුදු සැහැල්ලු බව වෙනුවට රැඳී තිබුණේ යම් ව්‍යාකූල බවකි. ඔහු අනෙක් අය සමඟ කතා කළත්, ඒ කතාබහ තුළ ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම රැඳී නොතිබූ බවද ඇයට දැනිනි. පුහුණුවීම් ආරම්භ වූ පසුවත් ශෙනෝලිගේ අවධානය විටින් විට රිහාන් වෙත යොමු වූ අතර සංගීතයට අවධානය යොමු කරගෙන සිටියද, ඔහුගේ හැසිරීමේ තිබූ වෙනස ඇයට නොසලකා හැර සිටීමට හැකි වූයේ නැත. 

“හරි, අදට ඇති නේද? උදේ වරුවේ මීටින් එකට ගිය හින්දා ඕගොල්ලන්ට මහන්සිනේ.අපි ආපහු හෙට ප්‍රැක්ටිස් දාගමු “

මේඝ එලෙස යෝජනා කළ පසුව සාමාජිකයන් සියලු දෙනාම එකිනෙකා සමග කතාබහ කර ගනිමින් පිටව යන්නට සූදානම් වූහ.සියලු දෙනාම පිටව ගිය පසු ශෙනෝලි තම ලැප්ටොප් එක සහ සටහන් පොත බෑගයට දමාගෙන ස්ටූඩියෝවේ විදුලි පහන් එකින් එක නිවා දමා අනතුරුව සියල්ල නිසි පරිදි සකස් කර තිබේදැයි තවත් වරක් පරීක්ෂා කර ප්‍රධාන දොර ද වසා දමා අගුළු දැමුවාය.

ඉන්පසු පඩිපෙළ දිගේ පහළට පැමිණි ඇයගේ නෙත ගැටුණේ මෝටර් රථය අසල සිටගෙන සිටි රිහාන්ය. ඔහු වාහනය අසල නැවතී දුරකථන තිරය දෙස බලාහුන් අතර ඔහුගේ බැල්මෙන් පෙනුණේ දුරකථනයේ තිබූ දෙයකට වඩා වෙනත් සිතුවිල්ලක ඔහු ගිලී සිටින බවකි.

ශෙනෝලි ඉදිරියට තැබූ පියවර නතර කර ඔහු දෙස මොහොතක් බලා උන්නාය.විනාඩි කිහිපයක් එසේ බලා හිඳ අවසානයේ ඇය ඔහු දෙසට පියවර කිහිපයක් තැබුවාය.

“රිහාන්…”

හදිසියේ ඇසුණු ඇගේ හඬින් තිගැස්සුණු රිහාන් හිස එසවූයේය. ඔහු මොහොතකට ශෙනෝලි දෙස බලා උන්නේ තමන් සිටියේ වෙනත් කල්පනාවක ගිලී බව සිහිපත් වූවාක් මෙනි.

” ශෙනෝලි. ඔයා තාම ගියේ නැද්ද?”

“නෑ. ස්ටුඩියෝ එක ලොක් කරලා දැන් ආවේ.”

රිහාන් හිස සැලුවේය.

“ඔයාගේ ටැක්සි එක තාම ආවේ නැද්ද?”

“ඒක එන ගමන් තියෙන්නේ.”

“ආ, හරි.”

එසේ පැවසූ රිහාන් නැවතත් තම දුරකථනය දෙස බැලුවේය. ශෙනෝලි තමා අසලට දින නැවතුනේ කුමක් හෝ් විමසන්නට යැයි ඔහුට දැනුනේ ඉවෙන් මෙනි. රිහාන් වහාම දුරකථනය සාක්කුවට දමාගෙන ඇය දෙසට හැරුනේය.

“ඔයා මොකක් හරි අහන්නද නැවතුණේ ශෙනෝලි?”

ශෙනෝලි මොහොතක් නිහඬව උන්නාය. තමා රිහාන්ගෙන් අසන්නට සූදානම් වන්නේ ඇසිය යුතු යමක් දැයි ඇය නැවත කල්පනා කළාය.

“රිහාන්, මම මේක අහන එක හරිද නැද්ද කියලා දන්නෙත් නෑ. අනික මේක මට අදාළ දෙයක්ද කියලවත් මම දන්නේ නෑ “

රිහාන්ගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් ඇඳිණි.

“මොකක්ද ශෙනෝලි?”

ඇය ඔහුගේ දෑස් දෙස බැලුවාය.

“ඔයා මොකක් හරි අවුලකින්ද ඉන්නේ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here