“අවුල මොකක්ද කියලවත් හිතාගන්න බැරි තැනක මං ඉන්නේ ශෙනෝලි”
රිහාන්ගේ වචන ශෙනෝලි හට නැවත සිහිවූයේ නිවසට පැමිණි පසුවය. ඔහු එසේ පැවසූ මොහොතේ ඔහුගේ මුහුණේ තිබූ බැරෑරුම් බව ඇයට ඒ මොහොතේද සිහි වූ අතර ඔහු එසේ පැවසුවේ තමන්ට යම් දෙයක් පැවසීමට උත්සාහ කරන අතරේද, නැතහොත් ඔහුටම තේරුම්ගත නොහැකි සිතුවිලි අතර සිරවී සිටින නිසාද යන්න ශෙනෝලි හට සිතාගත හැකි වූයේ නැත.
තමන් ගේ සිත තවමත් රිහාන් පිළිබඳව වද වෙන බව ශෙනෝලි ට පිළිනොගෙන සිටීමට බැරිවූ අතර ඔහුගේ වෙනස් හැසිරීම දුටු පමණින් ඒ පිළිබඳව සිතන්නටත්, ඔහුට යම් ගැටලුවක් ඇති බව දැනුණු විට ඒ කුමක්දැයි දැනගන්නටත් සිතෙන්නේ ඇයිදැයි ශෙනෝලි මොහොතකට කල්පනා කළාය. එහෙත් ඒ සිතුවිල්ල දිගේ දිගින් දිගටම සිතන්නට ඇයට අවශ්‍ය වූයේද නැත.රිහාන්ගේ පෞද්ගලික ජීවිතය තුළ විසඳාගත යුතු දේවල් තිබේ නම් ඒවා ඔහුටම විසඳාගන්නට ඉඩ හැරිය යුතුයැයි සිතූ ඇය රාක්කය මත තබා තිබූ තුවාය අතට ගෙන නාන කාමරයට ඇතුළු වූවාය.
ගෝල්ෆේස් පිටිය අසල මෝටර් රථය නතර කරගෙන සිටි රිහාන්ගේ දෑස් යොමු වී තිබුණේ ඉදිරියෙන් දිස් වූ මුහුද දෙසටය. සවස් යාමයේ මුහුදු සුළඟත්, වෙරළ දිගේ ඇවිද යන මිනිසුනුත්, ඈතින් ඇසෙන වාහනවල හඬත් අතරේ ඔහුගේ සිත තිබුණේ ඒ කිසිවකට සම්බන්ධ නොවූ තැනකය. දුරකථනයේ තිරය මත දිගහැර ගෙන සිටි කෙටි පණිවිඩය නැවත විවෘත කළ රිහාන් හට තමා එය කියවූයේ කීවැනි වතාවට දැයි මතකයක් නොවීය.
” Sorry Rihan, මට meeting එකක්. අද එන්න වෙන්නේ නැහැ “
ටික වේලාවකට පෙර ඉෂිනි එවා තිබූ ඒ පණිවිඩය පිළිබඳව රිහාන් නැවත නැවත සිතුවේය.ඇය කාර්යබහුල බව තමා දැන හුන් අතර ඇයටත් ඇගේ රැකියාව සම්බන්ධ බොහෝ වගකීම් තිබෙන බව තමා පිළිගත යුතුව ද ඇත. ඒ නිසාම ඇයට හදිසි රාජකාරී කටයුත්තක් යෙදීම පිළිබඳව මැසිවිලි නැගීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. එහෙත් උදෑසන සිටම ඇය සමඟ කතා කර තමන්ගේ සිතේ තිබූ දේවල් පැහැදිලි කරගන්නට බලා සිටි රිහාන් හට, අවසන් මොහොතේ ලැබුණු ඒ කෙටි පණිවිඩය දැනුණේ බලාපොරොත්තු වූ දෙයක් අහිමි වූවා වැනි බලාපොරොත්තු කඩවූ හැඟීමකි.
රිහාන් දුරකථනය පහළට හෙළා සුක්කානම මත අත තබාගත්තේය. තමන්ට දැනෙන්නේ දුකක්ද, කලකිරීමක්ද, නැතහොත් මේ සියල්ලටම වඩා වෙනස් වූ හිස් හැඟීමක්ද යන්න ඔහුට නිශ්චිතව තේරුම්ගත හැකි වූයේ නැත. තමන් බලාපොරොත්තු වූ ආකාරයට කාරණා සිදු නොවන බව ඔහුට පැහැදිලිවම දැනෙමින් තිබුණු අතර ඒ වෙනස ඇතිවී තිබුණේ කොතැනකින්ද යන්න පමණක් ඔහුට පැහැදිලි කර ගැනීමට අපහසු වී තිබිණි.
රිහාන්ට හදිසියේ සිහිපත් වූයේ වසර ගණනාවක් තිස්සේ ඉෂිනි තමන් පසුපස පැමිණ තිබුණු ආකාරය ය. තමන් වෙනුවෙන් ඇය තුළ තිබූ කැමැත්තත්, ඇය තමා පසුපස හඹා ආ ආකාරයත්, සියල්ල ආරම්භ වූ ආකාරයත් රිහාන් එකින් එක සිහි කළේය. ඒ සියල්ල අතරේ තමන්ගේ සිත ඇය කෙරෙහි නැඹුරු වූයේ කුමන හේතුවක් නිසා දැයි රිහාන් නැවත සිතන්නට උත්සාහ ගත්තේය. එය තමන්ගේම කැමැත්තෙන් ගත් තීරණයක් බැවින් ඒ පිළිබඳව පසුතැවෙන්නට හේතුවක්ද ඔහුට තිබුනේ නැත . නමුත් තමන් ඉෂිනි සමඟ අනාගතයක් ගැන සිතන්නට පටන් ගත් වේගය වැඩි වූවාදැයි කියා ඔහුට සිතෙන්නට වූයේ ඒ සියල්ල සිතා බලා අවසානයේය.
ඔහු නැවතත් දුරකථනය දෙස බැලුවේය. පැමිණීමට නොහැකි බවට පණිවිඩය හැරුණු කොට ඉෂිනිගෙන් වෙනත් පණිවිඩයක් පැමිණ නොතිබුණු බැවින් ඇයගේ කාර්යබහුල බව ගැන සිතමින් සිත සන්සුන් කරගන්නට රිහාන් උත්සාහ කළේය. අනතුරුව ඔහු හිස අසුනට බර කර දෑස් මොහොතකට පියාගත්තේය. මේ සියල්ල පිළිබඳව තීරණයකට එළඹීමට තවත් කාලය අවශ්‍ය බවත් තමන් බලාපොරොත්තු වූ සම්බන්ධතාවය සහ මේ වන විට අත්විඳිමින් සිටින සම්බන්ධතාවය අතර යම් වෙනසක් ඇති බව පිළිගන්නට ඔහුට තවදුරටත් අපහසු වූයේ නැත.
රොහාන් එදිරිසිංහ නිවසට පැමිණෙන විට සාලයේ වාඩි වී සඟරාවක් කියවමින් හුන් ශ්‍යාමලී දොරකඩට පැමිණ ඔහු අත තිබූ laptop පරිගණකය අතට ගත් අතර රොහාන් ටයිපටිය ලිහා දමමින් සෝෆාවේ වාඩිවන විට ශ්‍යාමලී අත තිබූ ලැප්ටොප් පරිගණකය ටීපෝව මත තබා රොහාන් දෙස බලා උන්නාය.
“පුතා තාම ගෙදර ආවේ නැද්ද ශාමලී?”
“නෑ. තාම ප්‍රැක්ටිස් ඉවර නැතුව ඇති.මේ වීකෙන්ඩ් එකේ කොන්සට් එකකුත් තියෙනවානේ “
රොහාන් හිස සැලුවේය. ඔහු සෝෆාවට බර වී මොහොතක් නිහඬව උන්නේ යමක් සිතමිනි. අනතුරුව ශ්‍යාමලී දෙස බැලූ ඔහු ඇයට තමන් අසලින් වාඩි වන ලෙස අතින් සංඥා කළේය.
“පොඩ්ඩක් මෙහෙන් වාඩි වෙන්නකෝ “
ශ්‍යාමලී ඔහු අසලින් වාඩි වූයේ ඔහු කුමක් හෝ වැදගත් දෙයක් කතා කරන්නට සූදානම් වන බව ඔහුගේ හැසිරීමෙන් දැනුණු නිසාය.
“අද බෑන්ඩ් එකේ මීටින් එකක් තිබුණා මගේ ඔෆිස් එකේ. මම වැඩියෙන්ම මීටින් එක තිබ්බෙ ඊයේ සෝෂල් මීඩියා කේස් එක ගැන ශෙනෝලි ගේ ඔලුවෙන් ටිකක් අයින් කරන්න ඕන නිසා. මොකද ඒ ළමයා ඔය වගේ දේකට අවුල් වෙනවා කියලා මම දන්නවනේ. ඒ දේවල් ගැන පොඩ්ඩක් කතා කරලා එයාගේ හිත හදන්නත් මට ඕන වුණා. ඒ අතරේ මං බෑන්ඩ් එකේ ඉස්සරහට කරන්න තියෙන ප්‍රොජෙක්ට්ස් ගැනත් කතා කළා.”
ශ්‍යාමලි තම සැමියාට සවන් දෙමින් බලා උන්නාය. දවස අවසානයේ පැමිණ සියල්ලම තමා සමඟ බෙදා ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දක් බැවින් මේ කතා බහ ඇයට අමුතු හැඟීමක් ගෙන ආවේ නැත.
“හැබැයි මට මීටින් එක අතරේ තව දෙයක් නෝටිස් වුණා ශාමලී.”
“ඒ මොකක්ද?”
“මට හිතෙනවා පුතා එච්චර හොඳින් නෙමෙයි ඉන්නේ කියලා.”
ශාමලීගේ මුහුණේ තිබූ සැහැල්ලු බව මඳක් වෙනස් විය.
“ඒ කිව්වේ? පුතා මොනවා හරි කිව්වද?”
“නෑ. එහෙම විශේෂ දෙයක් කිව්වේ නැහැ. ඒත් ඔයා දන්නවනේ අපේ පුතාගේ හැටි. සාමාන්‍යයෙන් එයා ප්‍රශ්නයක් තිබුණත් ඒක ලොකුවට පෙන්නන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ උනාට මට අද හිතුනා එයා මීටින් එක වෙලාවේ ලොකුවට ෆෝකස් කරගෙන හිටියේ නැහැ කියලා.”
රිහාන්ගේ ජීවිතයේ යම් වෙනසක් සිදුවී තිබේ නම් එය තමාට නොදැනුනේ මන්දැයි ශ්‍යාමලී කල්පනා කළාය.එහෙත් පසුගිය දින කිහිපය තුළ රිහාන්ගේ හැසිරීම පිළිබඳව විශේෂයෙන් සිතන්නට ද හේතුවක් නොවූ බැවින් ඇය උන්නේ පුදුමයෙනි.
“ආපහු අර ගෑනු ළමයාගේ ප්‍රශ්නයක්ද දන්නෙත් නෑ “
ශ්‍යාමලී පැවසුවේ හදිසියේ සිතට ආ සිතිවිල්ලකට මිස සැකයකට නොවේ.රොහාන්ගේ මුහුණේද ඒ පිළිබඳව නිශ්චිත අදහසක් වූයේ නැත.
“ඒක නම් මටත් හිතාගන්න බැහැ. සමහරවිට එක දිගට වැඩ නිසා මහන්සිත් ඇති. ඒත් ඒ වගේ දෙයක් මූණෙන් පේන්න තරම් දුර්වල ළමයෙක් නෙමෙයිනේ රිහාන්. මම දන්නවා එයාගේ හැටි “
දෙදෙනා අතර මොහොතකට නිහඬතාවක් පැතිර ගිය අතර උදෑසනදී රිහාන්ගේ මුහුණේ දුටු ඒ වෙනස, කල්පනාකාරී බව රොහාන්ගේ සිතේ ඒ වන විටත් පැහැදිලිවම රැඳී තිබිණි.තමන් තුළ තම පුතු පිළිබඳව තිබෙන අවබෝධය අනුව එය නොසලකා හැරිය හැකි දෙයක් නොවන බව ඔහු සිතුවේය.
ඒ මොහොතේම නිවසේ ඉදිරිපසින් රිහාන්ගේ මෝටර් රථය පැමිණ නතර කරන හඬ ඇසුණි. ශ්‍යාමලී වහාම නිවසේ ප්‍රධාන දොර දෙස බැලූ අතර රොහාන්ගේ අවධානයද ඒ දෙසට යොමු විය.
තවත් තත්පර කිහිපයකින් රිහාන් නිවස තුළට ඇතුළු වූයේ බිම බලාගෙනය. සුපුරුදු පරිදි සාලය දෙස නොබැලූ ඔහු තරප්පු පේළිය දෙසට පියවර තබමින් සිටි බැවින් සාලයේ වාඩි වී සිටි දෙමව්පියන්ව ඔහුගේ නෙත ගැටුණේ නැත.
“පුතා “
රොහාන්ගේ හඬ ඇසුණු සැණින් රිහාන් හිස හරවා බැලුවේ වරදකාරී හැඟීමෙනි. තමන් නොදැනුවත්වම වෙනත් කල්පනාවක ගිලී සිටි බව වටහා ගත් රිහාන් මව දෙසත්, පියා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. ශ්‍යාමලී ඒ මොහොතේදී මදක් ව්‍යාකූලව බලා සිටි නමුත් රොහාන් පුරුදු සන්සුන් බවින් තම පුතු දෙස බලා උන්නේය.
“පොඩ්ඩක් මෙහෙන් වාඩි වෙන්න “


