පතිනියකගේ සටහන් -27

හැන්දෑ හවස පුදුමාකාර ලස්සන බව මට හිතුණේ ගස් අතරින් අතරින් ඉර බහින දිහා බලාගෙන ඉන්නකොට.පුංචි අමුත්තා එන දවස් අත ළඟටම ඇවිත්. භානුකත් වෙනදට වඩා පරිණත වෙලා කියලා මට දැනෙනවා.
“මොනවාද පුතේ කල්පනා කරන්නේ”
අම්මා තේ එකකුත් අරන් මම ළඟට ආවේ එහෙම අහගෙන.
“කාලේ ගිය ඉක්මන අම්මා.. අතේ ඇඟිලි ගණන් කරන තරම් දවස් අත ළඟට ඇවිත්.. අමාරු කාලේ පහුකරගත්තා කියලා හිතෙනවා”
මගේ කතාවට අම්මා දුන්නේ හිනාවක්.
“අමාරු කාලේ ඉස්සරහට පුතේ, දරුවෙක් වදන එක වගේ හදන එකත් ලේසි නෑ.. භානුකටයි ඔයාටයි ඒක පුලුවන් කියලත් මම දන්නවා”
අම්මාගේ විශ්වාසය මට සතුටක්.
“ලබන සතියේ හොස්පිටල් එකේ ඉඳලා ඔයා ගෙදර එන්නේ ගෑනියෙක් ජීවිතේ විඳින ලොකුම අමාරුව විඳලා. දැන්ම හිත සංසුන්ව තියා ගන්න.. ආ.. තව එකක්.”
අම්මට ලොකු කතාවක් තියෙන හැඩයි.
ඔෆිස් එකේ යාලුවො බබා හම්බුණු ගමන් දුවගෙන එන්න හදයි,  ටික දවසක් ඉන්න කියන්න. මම නෑයන්ටත් එහෙම කිව්වා. භනුකගෙ අම්මයි මමයි ඉන්නවනෙ ඔයාට උදව් වෙන්න. කිරි මදි කියලා හිත රිද්දන කතා, දරුවා භානුක වගේද ඔයා වගේ ද කියලා අනුමාන කරන ඒවා, බබාගේ නාහෙ කට හදන්න කියන යෝජනා ඕවා අහන්න ඔයා ටිකක් ශක්තිමත් වෙන්න ඕන.. “
අම්මාගේ කතාව ඇත්ත. දරුවෙක් ලබන අම්මා කෙනෙක් මානසිකව ගොඩ නැගෙන්න ටික දවසක් යනවා. ඇය අලුත් තත්වයට හුරු වෙන්න ඕන.දුවගෙන ඇවිත් දේවල් තීරණය කරන අය එක්ක ඒක අමාරු වෙන්න පුලුවන්.
තව දවස් කීපයකින් මම අම්මා කෙනෙක්. ඒ හැඟීම විඳගන්න ඇඟිලි ගනින එකම මොන තරම් සුන්දර දෙයක් ද?
-නිබන්ධිකා-

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles