බිරිඳ සමග ලිංගික සබඳතාවයන් පැවැත්වීමට උදාසීන බවක් සැමියන් තුළ ඇති වන්නේ ඇයි?

“එයා දැන් වෙනද වගේ නෑ.. මගේ පැත්තට හැරෙන්නෙවත් නැතුව නිදාගන්නවා. මට එක් වෙන්න ඕනෙ කියල හිතෙන කිසිම වෙලාවක එයා සූදනම් නෑ.. කිසිම ප්‍රතිචාරයක් නෑ.

එයා ඇඳට යන්නෙ ෆෝන් එකත් අරන්. ඉතින් මට නින්ද යනකල්ම එයා ඉන්නෙ ෆෝන් එකේ. අපි මාසෙකට දවසක්වත් එකතුවෙන්නෙ නෑ. දැන් මටත් එහෙම ඕනෙ කියල හිතෙන එක පවා නතර වෙලා.

මෙහෙම වෙන්න අරන් දැන් ටිකක් කල්. එයාට මාව රුස්සන්නෙ නැහැ. හැබැයි එයා ඒකට හරි හේතුවක් එයා මට කියන්නෙත් නෑ. මගේ අතින් ඇල්ලුවත්, මාව තුරුලුකරගත්තත් එයා ඉන්නෙ වෙන කල්පනාවක. වෙන ලෝකෙක. මම අහන දේට උත්තර දෙනවා වෙනුවට එයා වෙන මොකක් හරි කියනවා. අපි අතරෙ ලිංගික ඇසුරක් ඇත්තටම දැන් නැහැ.. එයා ගෙදරට මුදල් වියදම් කරන සැමියෙක් විතරයි.

එයා හරිම ආදරණීයයි. ඒ වගේ ම ඒ ආදරේ හරිම ආකර්ෂණීයයි. එයාට ඕනෙ මාව ට්‍රිප් එක්කගෙන යන්න. යාලුවො එක්ක විනෝද වෙන්න. ලස්සනට, ගැළපෙන්න ඇඳලා මං එක්ක ඇවිදින්න යන්න එයා හරිම ආසයි. ඒත් අපට දරුවො ලැබුණට පස්සෙ එයා වෙනස් වුණා. දැන් එයා මාත් එක්ක ලිංගික ඇසුරකට කිසිම සූදානමක් නෑ.”

එක එක බිරින්දෑවරුන්ට ලිංගික සම්බන්ධතා ඇතුළෙ තියෙන්නෙ, එක එක ප්‍රශ්න. ඒත් මේ හැම ප්‍රශ්නකෙට ම මුල් වුණ හේතු හරිම පොදුයි. සැමියන් ලිංගික එක්වීම් ප්‍රතික්ෂේප කරනවානම්, එහෙමත් නැත්නම් ඊට උදාසීනත්වයක් දක්වනවානම්, පෙර පැවති තත්වයට වඩා ඔබව නුරුස්සනා අයුරින් කටයුතු කරනවානම් ඊට හේතු ගණනාවක් බලපෑ හැකියි.

විවාහ ජීවිතයේ සතුට පවත්වාගෙන යාමට දෙදෙනාගේ ලිංගික එක්වීම් හා එයින් එකිනෙකා ලබන තෘප්තිමත්බව ඉතා වැදගත් සාධකයක්. මේ නිසා ලිංගික උදාසීනත්වයට බලපාන එවැනි හේතු හරියාකාර ව හඳුනාගැනීමත්, බිරිඳක් හැටියට ඔබට ඉතා වැදගත් වේවි. ඔබ තුළින් ඒ වෙනුවෙන් විය යුතු වෙනස්කම් අවබෝධ කරගන්නට ඒ අනුව හැකිවේවි.

ලිංගික උදාසීනත්වය ඇතිවන්නට මනෝවිද්‍යාත්මක හේතු වගේම ජීව විද්‍යාත්මක හේතු බලපානවා. දිගින් දිගටම පවත්නා ලිංගික උදාසීනත්වය දෙපාර්ශවයට ම විශාදය වැනි මානසික රෝග තත්වයන් දක්වා වර්ධනය වන්නටත් මේ හේතුන් නිසාම විවාහ ජීවිතය තිත්ත වන්නටත් බලපෑ හැකියි. ඉතින් බිරිඳක් හැටියට ඔබ මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ කොහොම ද? මුලින් ම එවැනි තත්වයන් ඇතිවීමට සැමියන්ට බලපාන හේතු හඳුනාගනිමු.

ලිංගික එක්වීම බිරිඳට කරන කරදරයක් සේ හැඟීයාම

සැමියා මෙහෙම සිතන්නට හේතුවන්නේ එවැනි එක්වීම් සඳහා බිරිඳ දක්වන නොකැමැත්තයි. එක්වීම්වලදී ශාරීරික ව සහ මානසික ව ඈ ඊට සූදානම් නොවී සිටීම, ඇතැම්විට එක්වීම්වල දී දැනෙන ලිංගාශ්‍රිත වේදනා, පූර්ව ලිංගික අත්දැකීම් තුළ සිදුවූ ඇතැම් අමිහිරි බලපෑම් සමහරවිට බිරිඳගේ නොකැමැත්තට හේතු වී තිබිය හැකියි. බිරිඳගේ නොකැමැත්තට හේතුව හරිහැටි හඳුනාගන්නට අපොහොසත් වූ විට ස්වාමිපුරුෂයින් කරන්නේ ලිංගික එක්වීම් මගහැරදැමීමයි.

බිරිඳගේ නිරුත්සාහය

කැමැත්තට ඉඩ දී සිටීම මිස තමන්ට එවැනි අවශ්‍යතාවක් නොමැති බව දැනෙන අයුරින් ලිංගික එක්වීමක දී කටයුතු කරන බිරින්දෑවරුන් ඉන්නවා. කිසි දිනෙක සුරතාන්තය වෙත ළඟා වී නොමැති ඇතැම් බිරින්දෑවරුන් කායික ව එක්වීමක වටිනාකම ලෙස සලකන්නේ දරුවන් හැදීම පමණයි. හැමවිට ම සැමියාගේ අවශ්‍යතා ඉටුකරගැනීමට ඉඩ දී ලිංගික මොහොත කැපකරන බිරින්දෑවරුන්ට සැමියන් කැමති වන්නේ නැහැ. දෙදෙනෙකු එක්ව තෘප්තිමත් විය යුතු සහ වියහැකි අවස්ථාවන් එසේ මඟහැරදැමීම ඇත්තෙන් ම අනවශ්‍යයි. වාර කිහිපයක් ඉවසීමෙන් මේ තත්වයට මුහුණ දෙන සැමියන් පවා එක් අවස්ථාවක දී බිරිඳ එපාවීමට ඉඩ තිබෙනවා.

පෙර සූදානම මදිකම

ලිංගික එක්වීමක් එකවරම වුවත්, එනම්, පෙර සූදානමක් නැතිව වුවත් සිදුවිය හැකියි. එහෙත් එයින් දෙදෙනා ලබන තෘප්තිය පෙර සූදානමක් ඇතිව වන එක්වීමකට වඩා වෙනස්. විශේෂයෙන්ම බිරින්දෑවරුන්ට එක්වීමකට උත්තේජනයක් ඇතිකරගැනීමට යම් කිසි කාලයක් අවශ්‍ය කරනවා. ඒ සඳහා ගතවන කාලය හැම මොහොතක ම එක සමාන වන්නේත් නැහැ. ඇතැම්විට සැමියන් මේ තත්වය අවබෝධ කර නොගැනීම හෝ බිරින්දෑවරුන් පෙර සූදානමට දක්වන අයහපත් ප්‍රතිචාර සැමියන්ගේ ලිංගික උදාසීනත්වයට හේතු වෙනවා. තවත් සරලව කිව්වොත්, එක්වීමකට පෙර සිපගැනීම්, ස්පර්ශයන්, සඳහා ගන්නා කාලය දෙදෙනාගේ කැමැත්ත අනුව තෘප්තිමත් ව සිදුවිය යුතුයි.

ශාරීරික අපිරිසිදුකම සහ අපිළිවෙළ

ලිංගික ව එක්වන දෙපාර්ශවයට ම මෙය ඉතා වැදගත් කරුණක්. යහන්ගත වන හැම මොහොතක් ම ආකර්ෂණීය ව පවත්වාගැනීමට ශාරීරික පවිත්‍රතාව අත්‍යවශ්‍යයි. අපිළිවෙළට කුමක් හෝ ඇඳුමක් ඇඳ සිටින, නෑම, ඇඟ සේදීම වැනි දේ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන, විශේෂයෙන් ම තමන්ගේ මුහුණ, මුඛය, යෝනි ප්‍රදේශ, කිහිලි ප්‍රදේශවලින් දුර්ගන්ධයක් නිකුත් වේනම් සැමියා ඔබට ළං වීම, සිපගැනීම, සඳහා උනන්දු නොවිම හෝ අකමැත්තක් දැක්වීම අසාමාන්‍ය නැහැ. ඔහුගේ ලිංගික උදාසීනත්වය ඔබ වෙත යොමුවීම නොවැළැක්විය හැකියි.

ආරක්ෂිත වටපිටාවක් නොමැතිවීම

දරුවන් සිටින අඹුසැමියන්ට හෝ නිවසේ තවත් සාමාජිකයන් සමඟ ජීවත්වන අඹුසැමියන්ට මේ ගැටළුවට පිළිතුරු සෙවිය යුතුමයි. ලිංගික එක්වීමක දී පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි, මනස නිරවුල්ව පවත්වාගනිමින් ඒ සඳහා සම්බන්ධ වීමට දෙදෙනාට ම හැකිවිය යුතුයි. දරුවන් ඇහැරේය යන බිය නිසා බොහෝ බිරින්දෑවරුන් එක්වීම් වාර ගණන සීමා කිරීමට හෝ එක්වන අවස්ථාවල දී ඉතා ඉක්මණින් සියල්ල අවසන් කිරීමට පෙළඹෙනවා. ඉතින් මේ තත්වය සැමියන්ගේ ලිංගික උදාසීනත්වයට බලපාන මානසික හේතුවක් විය හැකියි.

රෑ මැදියම වන තුරුත් නිදියහනට නොපැමිණීම

මෙය දෙපාර්ශවයටම ලිංගික එක්වීමක දී බලපාන අහිතකර තත්ත්වයක්. ගෘහ කටයුතුවල දිගින් දිගටම දවස පුරා නිරතවන ඇතැම් බිරින්දෑවරුන්ට කාලය කළමනාකරණය කරගැනීමේ ගැටළු නිසා මේ තත්වයට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ නිසා ම ලිංගික එක්වීම් වෙත යොමුවීමට රෑ මැදියම වන තුරුත් ඉඩප්‍රස්ථා නොලැබී යාම හොඳ විවාහ සම්බන්ධතාවකට බාධාවක්. ඒ වගේම මෙය බිරිඳගේ පාර්ශවයෙන් දිගින් දිගට ම සිදුවීම බිරිඳ තමා මඟහැර සිටීමක් ලෙස සැමියන්ට අවබෝධ වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ම ඔහු ලිංගික උදාසීනත්වයට පත්වීම වැළැක්විය නොහැකියි.

විශාදය වැනි මානසික තත්ත්වයන්

කවර හෝ හේතුවක් මත විශාදය වැනි තත්වයකට පත්ව සිටින සැමියෙක් නම් ඔහුට පොදුවේ බඑවැනි මානසික තත්ත්වයක දී පොදුවේ සියල්ල එපා වී යා හැකියි. ඒ නිසා ලිංගික ඇසුරටත් ඔහු තුළ විශේෂ උද්යෝගයක් එවැනි තත්වයක දී ඇතිවන්නේ නැහැ. මෙවැනි තත්වයන්හි දී දෙපාර්ශවය ම ඊට ඉතා අවබෝධයෙන් ඉවසිල්ලෙන් මුහුණ දිය යුතු වනවා. තනිව සිටීමට කැමැත්ත, රසවත් ආහාරපානවලට, සිරුර ලස්සනට පවත්වාගෙන යාමට, පිළිවෙළට ඇඳීමට, සුවඳවිලවුන් ආලේපනයට, සංගීතය චිත්‍රපට වැනි විනෝදාංශවලට ඇති නොකැමැත්ත විශාදයේ දී පවතිනවා. මේ නිසා ලිංගික ඇසුරටත් ඔහු තුළ ඇති නොකැමැත්ත විශාද තත්වයේ ලක්ෂණයක් විය හැකි බවත්, එය එම රෝග තත්වය පාලනය කිරීමෙන් පසු විසඳී යන බවත් අවබෝධ කරගත යුතුයි.

ලිංගික අවයව හෝ ශරීරය පිළිබඳ පවත්නා අවතක්සේරුව හා හීනමානය

ඇතැම් පිරිමින් කායික ව නිරෝගී ව සිටියත් තමන්ගේ ලිංගික අවයව ප්‍රමාණවත් නොවීම හෝ තමන් ලිංගික එක්විම් සඳහා සුදුසු නොවන්නෙකු විය හැකි බවට ගොඩනගාගත් මිත්‍යාවන් තුළ සිරව සිටිනවා. මේ නිසා ම ලිංගික එක්විම්වල දී ඔවුන් ඇත්තෙන්ම අසාර්ථක වන අවස්ථා ද පවතිනවා. මෙවැනි අවස්ථාවල දී බිරිඳගේ හැසිරීම ඉතා පරෙස්සම් විය යුතුයි. ඇය ඔහුට අපහාස වන අන්දමින් කිසියම් හෝ අදහසක් ඒ සම්බන්ධයෙන් පළ කළොත් එය දිගුකාලීන මානසික ගැටළුවක් ලෙස සැමියාට බලපෑ හැකියි. මෙවැනි තත්වයන්ට පවුල් උපදේශන සේවාවක සහාය ලබාගැනීම ඉතා වැදගත්.

ඉක්මණින් ශුක්‍ර පිටවීම

ලිංගික එක්වීමකට පවත්නා අධික ආශාව නිසා හෝ බොහෝ කාලයකින් ලිංගික එක්වීමකට නොගොස් සිටීම හේතුවෙන් මේ තත්වය සැමියන්ට ඇතිවිය හැකි අතර මේ නිසා තමන්ගේ බිරින්දෑවරුන්ට ප්‍රමාණවත් ලිංගික තෘප්තියක් ලබාදීමට නොහැකි වේය යන බිය හේතුවෙන් ම ලිංගික උදාසීනත්වයට ලක්වන ස්වාමිපුරුෂයින් සිටිනවා. මේ තත්වයන් පාලනය කරගන්නටත් පවුල් ලිංගික උපදේශනයක් ලබාගැනීම අත්‍යවශ්‍යයි.

බිරිඳ කෙරෙහි නුරුස්නාබව

නිතර නිතර රණ්ඩු ඇතිකරගන්නා, එසේත් නැත්නම් කවර හේතුවකට හෝ නිතර චෝදනා කරන, මැසිවිලි නඟන, සැමියාගෙන් අතපසු වූ කටයුතු ගැන නිතර සිහිපත් කරමින් ඔහුට මානසික වදයක් වන බිරින්දෑවරුන් ගැන සැමියන් තුළ ඇතිවන්නේ නුරුස්සනසුළු හැඟීමක්. එකට පවුලක ජීවත්වූ නමුත් මේ නුරුස්නා බව නිසා තෘප්තිමත් ලිංගික එක්වීමකට ඔවුන් අතර අවස්ථා හැදෙන්නේ ම නැහැ.

යම් යම් රෝගවලට ලබාගන්නා ඖෂධ

සැමියා අධික රුධිර පීඩනය හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටිනවානම් එවැනි කාලසීමාවන් තුළ පෙර පැවති ලිංගික උද්යෝගය සැමියාගෙන් දක්නට නොලැබී යාහැකියි. මෙවැනි තත්වයන් තාවකාලික තත්වයන් බව අවබෝධ කරගනිමින් ඉවසිලිමත්ව කටයුතු කිරීම බිරින්දෑවරුන් විසින් සිදුකළ යුතුයි.

ලිංගික ආශාව වෙනත් ලිංගික දිශානතියකට යොමුව තිබීම

විරුද්ධ ලිංගිකයෙකු විවාහය සඳහා තෝරාගත්තා සමහර පුද්ගලයන්ගේ ලිංගික දිශානතිය සමලිංගිකත්වයට නැඹුරුව තිබිය හැකියි. එවැනි පුද්ගලයන් තමන්ගේ බිරිඳ සමඟ තෘප්තිමත් ලිංගික ඇසුරකට මැලි විය හැකියි. නමුත් මේ තත්වය හෙළිදරව් කරගැනීම බිරින්දෑවරුන්ට එක්වරම පහසු වන්නේත් නැහැ. එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතුයි. හිතින් අනුමාන කර විසඳුම් සෙවීමට වඩා මෙවැනි අවස්ථාවන්හි දී මෙවැනි තත්ත්වයන්හි දී ද පවුල් උපදේශන සේවාවක සහාය ලබාගැනීම කළ යුතුයි.

ඒකාකාරී බව

එක්වීමක දී ඉරියව් පවත්වාගෙන යාම ඒකාකාරී වීම පිරිමින් රුචිකරන්නේ නැහැ. බිරින්දෑවරුන් ඇතැම්විට ඉරියව් වෙනස් කිරීමට දක්වන බිය හෝ අකමැත්ත නිසා ම එකම ඉරියව් තුළ ලිංගික එක්වීම් නිරන්තර ව සිදුවීම සැමියාගේ ලිංගික උදාසීනත්වය ඇතිකරන්නට හේතු විය හැකියි. මේ නිසා විවිධත්වයට හුරුවීම, එයින් තෘප්තිමත් ලිංගික ඇසුරකට ඉඩ සකසා ගැනීම ඔබගේත් වගකීමක්.

ඉහත හේතුවලට අමතර ව සැමියා තුළ ලිංගික උදාසීනත්වය ඇතිකරන හේතු තවත් බොහෝ තිබිය හැකියි. ඇතැම්විට ඔහු කුඩාකාලයේ ලැබූ අමිහිරි අත්දැකීමක් ඊට හේතුවිය හැකියි. එක් එක් පුද්ගලයින්ට ආවේණික වූ තවත් මානසික ගැටළු මේ සඳහා බලපෑ හැකියි.

කෙසේ වෙතත්, සැමියා තුළ ලිංගික උදාසීනත්වය දිගින් දිගට වර්ධනය වන්නට ඉඩ හැර බලාසිටීමෙන් ඔබේ විවාහ ජීවිතයට එහි බලපෑම ඉතා අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නට ඉඩ තිබෙනවා. මේ නිසා ඉතා පරීක්ෂාකාරීව ඔබ තුළින් නිවැරදි කරගත හැකි තත්වයන් නිවැරදි කරගනිමින් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සාර්ථකත්වය අපේක්ෂා කරන ස්මාර්ට් බිරිඳකගේ වගකීමක්.

Related Articles

Don't Miss


Latest Articles