“ඔයාට නම් දුව ගැන ලොකුවට ආදරේ හිතෙන් නැතුව ඇති නේද.. ඇයි ඉතින් සිසේරියන් නෙ.”
ඔයාව බලන්න ආව නැන්දා කෙනෙක් හරිම පුදුම කතාවක් කියන්න අරන්.
“ප්‍රසූත වේදනාව මහ පුදුම එකක් තාරුකා. කෑගහලා වේදනා විඳලා පැය ගාණක් දුක් විඳලා දරුවා බිහි කරාම දැනෙන ආදරේ බඩ කපලා බබාව එළියට ගත්තු ඔයාට දැනෙනවා කියලා මම නම් හිතන් නෑ.ඇරත් ප්‍රයිවෙට් ඉස්පිරිතාලේ. පහසුකම් මැද්දේ”
එයා ඔහේ කියවනවා. හමේ ස්ථර එකින් එක කපලා ඔයාව එළියට ගත්තු තුවාලෙන් තවම ඉඳහිට එන වේදනාවට ඉඩ දීලා මං හීන් හිනාවක් විතරක් ම දෙනවා.
“ඕක හරිම වැරදි කතාවක් අක්කා..”
හිතන්නෙවත් නැති වෙලාවක තමයි ඔයාගේ චූටි නැන්දා මගේ උදව්වට ආවේ. වෛද්‍ය විද්‍යාලේ ඉගෙන ගන්න නිසා නැන්දි මම වගේ අම්මලාවත් ඔයා වගේ පුංචි බබාලාවත් ඕනෑ තරම් දකිනවා ඇති. ඉතින් හැමෝටම තමන්ගේ කතාවක් තියෙන බව දන්නවා ඇති.
“සිසේරියන් කරන එක හරිම ලේසි වැඩක් නෙවේ අක්කා.ඒක ඔපරේෂන් එකක්. ඒ තුවාල වල වේදනාව සරල නෑ අමාරුයි. හිරි වැටෙන ඉන්ජෙක්ෂන් එක ඉඳන් හැමදෙයක්ම දරා ගන්න ඕනෑ. අනික අපේ චූටි දූ හැරිලා හිටිය නිසා තමයි ඩොක්ට සිසේරියන් එක තීරණය කරේ. පෞද්ගලික රෝහලක බබා ඉපදුණු එක නම් ඉතින් අක්කලාගේ පෞද්ගලික තීරණයක්. හැබැයි එතන අපේ අයියා හිටියට අයියා තාරු අක්කාගේ වේදනාව බාගයක් ශෙයාර් කරගත්තේ නෑනේ.. ”
නැන්දා කරුණු පැහැදිලි කරනකොට තමයි සමහරවිට ඒ නෑදෑ නැන්දා ඇත්ත තේරුම් ගන්න ඇත්තේ. සමහරවිට නැතුවත් ඇති.
“අනිත් කාරණාව ඉතින් කොයි විදියෙන් දරුවා ලැබුණත් මාස නවයම හැම අම්මාම විඳින්නේ එකම වේදනාව. හැමෝටම මව් සෙනෙහස දැනෙනවා”
අත්තම්මාත් අන්න එහෙම කියනවා.
ඒක ඇත්ත මල් පෙත්ත,
ඔයා කුසට ආව දවසේ ඉඳන් අම්මාට ජීවිතේ පහසු වුණේ නැහැ. පරිස්සමින් ජීවිතේ ගත කරන්න මම වග බලා ගත්තා. සමහර වෙලාවට අපහසුතා නිසා රෝහල් ගත වෙන්න වුණා. තවත් වෙලාවක දරා ගන්න බැරි අපහසුතා අම්මා අඬවන්නත් සමත් වුණා. අම්මා එක්ක හරිහරියට නිදි මරන්න අප්පච්චිටත් සිද්ධ වුණා.
අම්මා කෙනෙක් වීම පහසු නෑ. ඔයා මගේ තෝරා ගැනීමක්. ජීවිතේ ලස්සන වෙන්න ඔයත් උවමනා බව අප්පච්චිත් මමත් හොඳට හිතලා තීරණය කළා. ඔයාට තව නංගිලා මල්ලිලාත් හිටියොත් හොඳ බවත් සමහර විට අපි ඉස්සරහට හිතයි.
ඉතින් ඔයා ආවේ අපේ ආදරේ ප්‍රතිඵලයක් විදියට. සිසේරියන් බබෙක් නිසා අම්මාට දරු දුක දැනෙන්නේ නෑ නෙවෙයි . ඕනෑවටත් වඩා දැනෙනවා.
මම ඔයාගේ අම්මා. මම ඔයාට ආදරෙයි. අන්න ඒක තමයි ඇත්ත.
-නිබන්ධිකා-