අම්මාගෙන් දෝණිට – 7

ආදරණීය මල් පෙත්ත,

ඔයාව මුලින්ම පන්සල් එක්ක යන දවස අද, අත්තම්මලා සීයලා හරිම ආසාවෙන් ඒ ගමනට සූදානම් වෙනවා. ඔයාගේ දිලිසෙන ඇස් දෙක කියන්නෙත් පවුලේ හැමෝම එක්ක ගමනක් යන සතුට වෙන්න ඇති කියලා අම්මට හිතෙන්නේ..

අම්මා, අප්පච්චි දෙන්නා අදහන්නේ බුදු දහම නිසා අපි ඔයාව පන්සල් එක්ක යන්න හිතුවේ. ඔයා ලැබෙන්න ඉන්න දවස්වල කලබලකාරී , සෙනඟ ගැවසෙන පන්සල් වලට යන්න ආස නොහිතුණත් අද අපි යන ගමේ පන්සලට ගිහින් බෝ මළුවට වෙලා ඉන්න අම්මා ආසා කළා. හඳුන්කූරු, මල් සුවඳ විඳින්න මට ඕනෑ වුණා.

ඇත්තටම සැනසීමක් දැනෙන තැනක නිවීමක් තියෙන බව මගේ දූත් තේරුම් ගනියි කියලා අම්මා හිතෙනවා.

ආගම් අන්තවාදී වුණු ලෝකෙක, ආගම් නිසා මිනිස්සු මරා ගන්න ලෝකෙක, ආගම් ඇදහීම අනිවාර්යය ලෝකෙක ජීවත් වෙන එක ඒ හැටි පහසු නෑ. දැන් පන්සල් වල ,පල්ලිවල ආගමික නායකයෝ දේශනා නොකළ හැමදේම අලෙවි වෙනවා. අන්තවාදය ඉස්මතු වෙනවා.

ඔයාට නමක් වගේම ආගමක් තියෙන එක හොඳ බව අපි හිතනවා. හැබැයි ඒ ආගම දවසක ඔයාටම තෝරා ගන්න පුලුවන්. අද පන්සල් එක්ක ගිහින් ඔයා දවසක මේ ආගමම තෝරා ගත යුතු බවක් අපි තීරණය කරන්නේ නෑ.

මේ යන්නේ බොහොම නිස්කලංක ගමනක්. එච්චරයි!

හැබැයි අම්මා ඔයාට එක ආගමක් යෝජනා කරනවා. ඒ තමයි ප්‍රේමය!

ආදරය අමතක කරලා යුධ වැදීම සහ කුළල් කා ගැනීම තෝරා ගත්තු ලෝකෙක ප්‍රේමය පැතිරවීමේ වගකීම තියෙන්නේ මගේ දූගෙ පරම්පරාවට. යුද්ධය සහ නපුර පැතිරවීමෙන් ලබා ගත හැකි දෙයක් නැති බව ලෝකයට කියා දෙන්න ඕනෑ ඔයාලා. පන්සලට පල්ලියට, කෝවිලට හැමතැනටම ගිහින් ආදරය එකතු කර ගන්න. ඒ ආදරය වෛරයෙන් ගිනිගන්න ලෝකය පුරා අරන් යන මල් වැස්සක් වෙන්න.

දවසක මේ ලෝකේ අවුලවන කෙනෙක් නොවී ප්‍රේමයෙන් හිත් නිවන කෙනෙක් වෙන්න.

ඔයා එහෙම වෙන බව අම්මා දන්නවා.

මම ඔයාගේ අම්මා,

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles