ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.
ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. මේ කතාව අවසානයේ පොඩිත්තාට කතාවේ ඇති අවවාදය ගැනත් කියල දෙන්න අමතක කරන්න එපා..
අද අපි පොඩිත්තන්ට කියා දෙන්නේ චීන ළමා කතාවක්.
ඔන්න එක ගමක අළු හා පැටියෙක් සහ සුදු හා පැටියෙක් හිටියා. මේ දෙන්නා දවසක් මහළු එළු හාමිගේ ගෙදර ගියා.
එළු හාමි හා පැටවුන්ට තමන්ගේ වගා බිමෙන් ගෝවා ගෙඩි කිහිපයක් දුන්නා. අළු හාවා ගෝවා ගෙඩි ලබා ගත්තත් සුදු හාවාට උවමනා වෙනත් දෙයක්
“එළු මාමේ..මට ඔයාගේ ගෝවා ගෙඩි එපා. මට ගෝවා ඇට කීපයක් දෙනවද?”
ඉතින් එළු හාමි සුදු හාවාට ගෝවා ඇට ලබා දුන්නා.
සුදු හාවා එළු හාමිට ස්තූති කරලා ගෝව ඇට ගෙදර ගෙනාවා. ඊට පස්සෙ සුදු හාවාට වැඩ ගොඩයි.
සුදු හාවා බිම සකස් කරලා ගෝව ඇට පැළ කළා. අමතක නොකර හැමදාම වතුර සහ පොහොර දමා ගෝවා පාත්තිය හොඳින් බලා ගත්තා. සාත්තුව හොඳ නිසා ඒවා හොඳින් වැඩුණා.
ඒත් අළු හාවා ලැබුණු ගෝවා කමින් හොඳින් නිදා ගත්තා. ටික කාලයක් යනකොට අළු හාවගෙ ගෝවා ගෙඩි අවසන් වුණා.
දැන් ඉතින් ආයෙත් එළු හාමි මුණ ගැහිල තවත් ගෝවා ඉල්ලා ගන්න වෙනවා.. අළු හාවා හිතුවා..
ඒ නිසා අළු හාවා එළු හාමි මුණ ගැහෙන්න ගියා.

එදා අපූරු දවසක්.එදා තමයි සුදු හාවාත් තමන්ගේ අස්වැන්න නෙළා ගත්තේ..එයා හිතුවා මේ අස්වැන්නෙන් කොටසක් එළු මාමාටත් දීල ස්තූති කරල එන්න ඕන කියලා.සුදු හාවාත් ගෝවා මල්ලක් අරන් එළු හාමි බලන්න ගියා.
ඉතින් සුදු හාවා සහ අළු හාවා එළු හාමිගේ ගොවිපොළේදී මුණ ගැහුණා.
කද මලු බැඳ ගත් සුදු හාවා දැක්ක අලු හාවා තමන් ගැනම ගොඩක් ලැජ්ජා වුණා. තමන් එළු මාම දීපු ගෝව කාලා කම්මැලි කමින් නිදා ගත්තට සුදු හාව මහන්සි වෙලා වැඩ කරල තමන්ට ඕන කෑම තමන්ම වවා ගෙන නේද කියල එයාට තේරුණා.. ඒ නිසා සුදු හාවාට එළු හාමි එක්ක ගෝවා ගෙඩි බෙදා ගන්නත් පුලුවන් වුණා නේද කියලා එයා හිතුවා.
අළු හාවා තමන්ගේ කම්මැලිකම ගැන ලැජ්ජාවට පත් වුණා.
මේ කතාවෙන් පුංචි ඔයාලාට ඉගෙන ගන්න තියන පාඩම තමයි කම්මැලිකම කියන්නෙ නම් හොඳ දෙයක් නෙවෙයි කියන දේ..
කම්මැලි වුණොත් අපිට හැමදාම ලැජ්ජාවට පත් වෙන්න වෙනවා අළු හාවා නම් තේරුම් ගත්තා..