අත්තම්මා ගේ ගෙදර ට ආ මුල් දිනයේ පටන් ම යුගාන්ත ව මට මුණ ගැසී තිබිණි ද ඔහු හා මා අතර ලොකු ඇයි හොඳයියක් ඇති වූයේ නැත. වචන දෙක තුනකට වඩා අප අතර හුවමාරු වී තිබුණේත් නැත. කොහොමටත් මා ඉක්මනින් කිසිවෙකු හා හිතවත් ව ඇසුරක් ගොඩ නගා ගන්නා විදිහේ කෙනෙක් නොවේ. පාසල් කාලයේදී ත් මා එබඳු කුලෑටි කෙල්ලකි. සමහරු එය මගේ අහංකාර කමක් සේ ද දුටහ.
කුසල් සමග පෙම් පලහිලවුවක පැටලීමෙන් පස්සේ පිරිමින් විෂයේ මම වඩාත් පසුගාමී වූයෙමි.
“මාත් එක්ක වගේ එෆ් බී එකේ වෙන කොල්ලොත් එක්ක නැටිල්ලට ගියොත් එහෙම බලාගන්නංකො මං”
ඔහු මුල සිට ම මට නීති දැම්මේ ය.
“මොකද්ද අර කොල්ලෙක්ගෙ පෝස්ට් එකකට දාල තිබුණ කමෙන්ට් එක…ලැජ්ජ නැද්ද හලෝ…මාර කෙල්ලෙක්ව තමයි ඉඳල ඉඳල මාත් සෙට් කර ගත්තෙ”
පිරිමි ළමයෙකුට ප්‍රතිචාර දැක්වූවත් කුසල් මගේ ඇඟ ට ගොඩ වූයේ ය. සත්තකින් මුලදී මාත් හිතුවේ ඒවා පෙම්වතියක අතින් පෙම්වතෙකුට විය හැකි බරපතල ගණයේ වැරදි කියා ය. ඒ නිසා ම හැකි තාක් පිරිමින් ගෙන් දුරස් වී හිඳීමට හැම විට ම මම උත්සාහ කළෙමි. මෙහි දී යුගාන්ත ව මුණ ගැහුණත් මා වැඩිපුර ඔහු හා ඇයි හොඳයියකට නො ගියේ ද එබැවින් වන්නට ඇත.
“මොකද්ද කරන්නෙ…අර කොල්ල බලං ඉන්නව”
මා උඩ බිම බලමින් කල්පනා කරත්දී තුෂී මගේ සිතිවිලි ලෝකයට ඇඟිල්ලෙන් ඇන්නා ය. මම විපිළිසර වූ සිතිවිලි වලින් පිටතට ගියෙමි.
යුගාන්ත ඉස්තෝප්පුවේ හිට ගෙන, නත්තසූරිය වැටෙන් ඉස්මත්තේ පෙනෙන ඔහු ගේ අලුතෙන් ඉදි වන නිවස්නය දෙස සාඩම්බරයෙන් බලා සිටියේ ය.
“අයිය මට කතා කළාද…”
ඔහු ව ඒ ධ්‍යානයෙන් මිදවීමට ලෝභී සිතිවිල්ලක් උපන්නත්, මම හෙමිහිට කතා කළෙමි. යුගාන්ත හැරී බැලුවේ ලා හසරැල්ලකිනි.
“ඔයාගෙ හෑන්ඩ් රයිටින් ලස්සන ඇති කියල මට හිතුණ. අනේ ගයා මට මේ ෆෝම් ටික ෆිල් කරල දෙන්නකො නංගි”
ඔහු ෆයිල් එකක් මවෙත පෑවේ ය.
“බලාපල්ලකො ඒකෙත් හැටි”
මට පිටුපසින් තුෂී ගේ හඬ ඇසිණි. යුගාන්ත හිස වඩාත් බිමට හරවාන ඇඟිලි තුඩගින් ඇස් කෙවෙනි පිරිමැද ගත්තේ සිනහවට හොඳ හැටි පිපෙන්නට ඉඩ නො දෙමිනි.
“එයාටම කතා කරන්න කිව්වෙ…අපි අකුරු දන්නෑ කියල හිතල වෙන්නැති”
“අනේ එහෙම නෑ. ඒත් මට හිතුණා ගයාගෙ හෑන්ඩ් රයිටින් ලස්සන ඇති කියල”
යුගාන්ත යම් කිසි අපහසුතාවයකට පත් වී ද කියා නො දනිමි. ඔහු ලජ්ජාශීලී වූවාට නම් සැක නැත.
“හැබැයි ඔයා හරියටම ගෙස් කරනව ආ. ඉස්සර ඉස්කෝලෙ දිත් මිස්ල ගයාගෙ නෝට් බුක්ස් තමයි අරං යන්නෙ…අනිත් ක්ලාස් වලට නෝට් එක කියවන්න. ඇයි ඉතිං මෙයා මුතු අකුරෙං ලියල…නීට් එකට ඩයග්‍රම්ස් ඇඳල…”
“එයා එහෙම කෙනෙක් කියල පේනව”
මට වහා යුගාන්ත දෙස බැලිණ. ඔහු ඇස් වලින් සිනාසුණේ ය.
“කරන්ට් එකයි වතුරයි ගන්න ෆෝම්ස්”
ඉස්තෝප්පුවෙහි වන රවුම් තේක්ක කෝපි මේසය මතින් ලිපි ගොනුව දිග හැර ගෙන මම පුටුවක් ළඟට ගත්තෙමි. යුගාන්ත ද පුටුවක් ඇද ගෙන එහි හිඳ ගත්තේ ය. තුෂී මගේ පුටුවෙහි වත මත ට බර වූවා ය.
“මැරි කරන්න ළඟයිද?”
තුෂී ඇසූ ප්‍රශ්නය නිසා යුගාන්තට වඩා ලජ්ජාවක් දැනුණේ මට ය. ඔහු ගේ පෞද්ගලික ජීවිතය හාරා අවුස්සන්න ට අපට ඇති අයිතිය කුමක් ද? මම ඇගේ කලවයට වැලමිටෙන් ඇන්නෙමි.
“ඌයි ඉතිං අනින්නෙ මොකටද…මං ඇහුවෙ දැනගන්නනෙ…කොල්ලෙක් ගෙයක් දොරක් එහෙම හදන්නෙ පිළිවෙලක් වෙන්න බලාගෙනනෙ. ඒකයි මං ඇහුවෙ…අපිට කේක් කෑල්ලක් එහෙමත් ලැබෙයිද බලන්න”
යුගාන්ත හඬ නගා හිනැහුණේ ය. ඒ නම් කොල්ලෙකුට කදිම සිනහවකැයි මට සිතිණ. කුසල් කියන්නේ සැහැල්ලුවෙන් සිනහ වෙන්නටවත් දන්නා පුද්ගලයෙකු නොවේ. ආදරයත් පිරිමි කමත් කියන දෙක ම ගැන ඔහු තුළ වන්නේ අමුතු අදහසකි. ඒ මා ඒ ගැන හිතනාකාරයට ප්‍රතිවිරුද්ධ පැත්තයි.
“මොන කේක්ද අනේ…ඕනනං කඩෙං කේක් ගෙනත් කමු”.
ඒ සිනහව අතරින් ම ඔහු කීවේ ය.
“ඒ කියන්නෙ අපිට වෙඩින් කේක් දෙන්න අදහසක්වත් නෑ නේ…”
“කවුද ඉතිං අපිත් එක්ක එන්න කැමති වෙන්නෙ…දෙමව්පියන්ට වුණත් බරක් නොවී දවසක තවියම හරි නිදහසේ වැටිල ඉන්න තමයි මං මේ ගේ හදන්නෙ”
“ආන්න පුතා මරු කතාවක් කියනව ඇහුණා. නියම පිරිමියෙක්නං ගෙයක් හදල ගහක් හිටවල පුතෙකුත් හදන්න ඕනයි කියනවනෙ”
මේ වෙලාවට කෙටි හවස් නින්දකට වැටෙන අත්තම්මාත් සීය ත් අවදිව පිටතට එමින් සිටියහ.
“ඕකට පොතක් ලියන්න ඕන කියලත් එකතු වෙන්න ඕන මයෙ හිතේ”
සීයා ගේ කතාවේ තිබූ අඩුපාඩුවක් අත්තම්මා ඌණපූර්ණය කළා ය. සීයා උස් හඬින් හිනැහිණ.
“හැබැයි මට පොතක් ලියාගන්න බැරි වුණා පුතා. ඒක නිසා මං නියම පිරිමියෙක් නෙවෙයි නෙමෙයි”.
ඒ සිනහව නත්තසූරිය මල් වැට තෙක් ම හමා යන්නට ඇත.
“ඇයි අනේ ඔයා අපේ ආදායම් වියදම් පොත් කීයක්නං මේන්ටේන් කළාද…ඒක නිසා ඔවාගෙ අඩුපාඩුවක් නෑ”
බරාඳය සිනා සාගරයක් බවට පත් ව තිබිණි. යුගාන්ත විසින් මා ඉදිරියේ තබන ලද තොරතුරු දෙස බලා ගෙන මම පෝරමය පුරවමින් හිටියෙමි.
“හරි ඉතිං සීයා. දැන් යුගාන්තයිය ගෙයක් හදලනෙ තියෙන්නෙ. පුතෙක් හදන්න කලින් කේක් කෑල්ලක් දෙන්න වෙනවනෙ අපිට”
තුෂී ලෙහෙසියෙන් ඒ කතාව අත්හරින සූදානමක හිටියේ නැත.
“නැතුව නැතුව. මේ අල්ලපු වැටේ ඉන්න අපිට නොදී කේක් කන්න ඇහැකියැ”
“අපිට කේක් දෙන්න වෙනවට මෙයා කියනව එයාට මේ ගෙට කැන්දං එන්න කෙනෙක් නෑලු”
“ඒකනං අලි බොරුවක් තමයි”
“බොරු නෙවෙයි සීයා. මං තාම යහතින් ඉන්නව. ඔය කරදර වලට අහු නොවී”
“එහෙනං ඉතිං ඉක්මනට කරදරේක පැටලේවා කියල ප්‍රාර්ථනා කරමු. නේද ළමයිනේ…”
අත්තම්මා කීවා ය.
“මං කියන්නෙ මේ අපිට කේක් කන්න”
කුසල් ගෙන් පැමිණි දුරකතන ඇමතුම නිසා හිතෙහි ඇති වී තිබූ මූසල කණස්සල්ල, කොහේ ගියා ද කියා සොයා ගත නො හැකි ලෙස වියැකී ගිහින් තිබිණි. පෝරම පුරවා ගෙන යුගාන්ත් නික්ම ගිය පසුත් සිතෙහි අමුතු ප්‍රීතිමත් බවක් පිනුම් ගසමින් තිබිණි. අප වත්තේ ඇවිදින්නට ගිය විට, දෙතොල් පෙති මත වූ හේතුවක් නැති මන්දහාසය තුෂී අල්ලා ගත්තා ය.
“මට ගාණක් ගෙවන්න වෙයි හරියට නිවුස් එක හොයල දුන්නට”
“මොන නිවුස් එකක්ද…”
“හමිං බර්ඩ් තාම තනිකඩයි කියන එක”
“අනේ…ඉතිං මට මොකද…”
“පේනව ඒක මූණෙංම”
“අනේ මේ…අපි කොහොමත් දැං අනුංගෙ”
තුෂී මගේ මූණ දෙස ම බලා ගෙන සිටියේ මා නො කියන යමක් එහි ලියැවී තිබෙන ලදුව කියවා ගන්නට මෙනි.
“කොතනද ඔයා හිර වෙලා ඉන්නෙ ගයා…”
මට පැන යන්නට මගක් නො විණි. එතෙක් වත මත වූ මඳහස මුළුමනින් ම තුරන් වී ගොස්, මූණේ වැහි වලාකුළු පා වෙනවා සේ මට දැනෙන්නට ගති. මම ඈතින් පෙනෙන බැලුම් ගල පැහැදිලිව දතින්නට ඇස් දෙක වඩාත් කුඩා කොට බැලුවෙමි.
“ඔයාගෙ ඇස් වල තියෙන්නෙ එකට කැළතිච්ච දුකකුයි බයකුයි. ඕක කලිං තිබුණ එකක් නෙවෙයි. මේ සැරේ එනකල් මං දැකල තිබුණ එකක් නෙවෙයි. ඒ කියන්නෙ මං නැති අතරෙ වෙච්ච දෙයක්. ඒක කුසල් ට අදාල දෙයක් කියලමයි මට හිතෙන්නෙ”
“නෑ අනේ”
“මම මූණිච්චාවට සිනහවක් නගා ගන්නා උත්සාහයක් ගතිමි.
“මාව බය කරන්නනං එපා ගයා”
ඔන්න ඇඬෙනවා මෙන්න ඇඬෙනවා වාගේ මගේ ඇස් කෙවෙමින් තිබිණි. හොඳම යාළුවන්ට වුණත් කියා ගන්නට බැරි දේවල් ඇතැම් අවස්ථා වල දී අපේ ජීවිත මත්තේ සිදු විය හැකි බවත්, එසේ නො වන්නට අප වග බලා ගත යුතු බවත් අප ට කියා දිය යුත්තේ වැඩිහිටියන් විසිනි. අවාසනාවකට අපේ අධ්‍යාපන ක්‍රමය සහ විශය නිර්දේශයන් පවා සැකසී තිබෙන්නේ උගුරට හොරා බෙහෙත් ගිලින ස්වභාවයකිනි. සමාජය ගැන, ගැහැනුන් ගේ හා පිරිමින් ගේ හැඟීම් ගැන සේ ම හැඟීම් වූ කලී ඇති වී නැති වී යන දෙයක් මිස පවතින දෙයක් නො වන බවත් අප ට කියා දිය යුතු ව තිබුණා කියා මම සිතමි.
“මට ඇත්ත කියනව. ඔය කුසලය නිසා ඔයාට කරදරයක් එහෙම වුණාද…මට කියන්න බැරි දෙයක් ඔයාට නෑ ගයා”
තුෂී ගේ ඇස්, පැන යන්නට තබා හෙලවෙන්නටවත් ඉඩක් නො තබමින් මා වට කර ගෙන, කොටු කර ගෙන සිටියේ ය.
ඊළඟ කොටස අඟහරුවාදා ට…