එකමත් එක කැලෑවක පුංචි මී පොඩිත්තෙක් හිටියා. අපි එයාට මී පුංචා කියමු. දවසක් එයා ගමනක් යන්න පිටත් වුණා. එයාගේ අත්තම්මා එයාට අතරමඟදී කන්න කැවුම් හදලා දුන්නා.
පාන්දර ගමන ගිය මී පුංචා රෑ බෝ වෙලා ගෙදර ආවේ මෙන්න මෙහෙම කෑගහගෙන.
“අත්තම්මේ.. මම තමයි මේ කැලේ ඉන්න දක්ෂම නිර්භීතම සහ ශක්තිමත්ම කෙනා..”
අත්තම්මා පුදුමයට පත් වුණා.
“ඒ කොහොමද මී පුංචෝ?” අත්තම්මා ඇහුවා.
“මම ඇවිදලා..ඇවිදලා ගිහින් මුහුදක් ළඟ නතර වුණා. ඒක ගොඩාක් ලොකු මුහුදක්.ඒ මුහුදේ ගොඩාක් ඉහළට රැල්ල ගහනවා. ඒත් මම චුට්ටක්වත් බය වුණේ නැහැ. මං රැල්ලට උඩින් පැනලා පිහිනලා එගොඩ වුණා”
මී පුංචා ආඩම්බරයෙන් කිව්වා
“ඔය කියන මුහුද පිණි මුවෝ දුවපු අඩි පාරක්. ඒ අඩි පාරේ වතුර පිරුණාම පුංචාට ඒක මුහුදක් වගේ පේන්න ඇති”
අත්තම්මා උත්තර දුන්නා.
“මම තව ටික දුරක් ගියා. ඔහොම යනකොට යනකොට මහ ලොකු කන්දක් හමුවුණා.ඒක නම් හරිම ලොකු කන්දක් අත්තම්මේ. ඒ කන්ද උඩ තිබුණු ගස් වළාකුළු වල ගෑවෙන තරම් උසයි.”
මී පුංචා ආයේම කියවන්න පටන් ගත්තා.
“ඔය කියන කන්ද මඩ කඩිත්තක් ලඟ වැවිලා තියෙන තණ පඳුරක්.”
අත්තම්මා හිනාවෙන ගමන් කීවා.
“ඔහොම යනකොට වලසුන් දෙදෙනෙකුත් මුණ ගැහුණා. එක වලහෙක් සුදු පාටයි. අනෙකා දුඹුරු පාටයි. උන් දෙන්නා රණ්ඩු කරගත්තා. මම ඒ දෙන්නා මැදට පැනලා දෙන්නා දෙපැත්තට කරලා රණ්ඩුව බේරුවා”
පුංචා තවත් හපන්කමක් විස්තර කළා.
ඒ සමනළයන් දෙදෙනෙක් බව අත්තම්මා මී පුංචාට පහදා දුන්නා.
“පුතේ ඔයා හුඟක් පුංචි හන්දා වතුර පිරුණු අඩි පාර ඔයාට මුහුදක් වගේ විශාලයි. තණ පඳුර කන්දක් වගේ ලොකුයි. සමනලයන් දෙදෙනා ඔයාට වලසුන් දෙන්නෙක් වගෙයි. හොඳයි!! කොහොම වුණත් ඔයා ඒ එකකින්වත් බය වුණේ නැති හන්දා ඔයා නිර්භීත ළමයෙක්. ඒ විතරක් නෙමෙයි මේ මුළු කැලේටම ඉන්න දක්ෂම ළමයා ඔයයි”
මී පුංචා සතුටින් අත්තම්මාට තුරුළු වුණා.
පුංචි දූලා පුතාලාත් කිසිම දේකට බය නැති දක්ෂ දරුවෝ කියලා අපි දන්නවා.අන්න ඒ නිසා ඔයාලත් අම්මාට තාත්තාට ආඩම්බරයක්.
රුසියානු ජනකතාවක් ඇසුරිනි