දවසම අඬන බබාගෙ කොලික් තත්වය අඩු කරලා බබාව නලවා ගන්න අම්මට කළ හැකි දේවල්

අලුත ඉපදුණු පුංචි කිරිකැටියා කෙළවරක් නැතිව අඬන නිසා ඉතා දුකින් ඉන්න ඔබ ඒ ඇයි කියලා හොයද්දී කොලික් ගැන දැන ගන්න ඇති. ඒ ගැන වෛද්‍යවරයෙක්ගෙන් වැඩිදුර විමසූ සහ එසේ නොකළ ඔබටත්,පුංචි පැටියා ඇත්තටම අඬන හේතුව හිතාගන්න බැරුව දුකින් ඉන්න ඔබටත් තමයි මේ ලියන්නේ.

මේ ඔබ දැනගත යුතුම දෙයක්..
ඒත් බියට පත් නොවී බොහොම ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු තත්ත්වයක්.

ඇයි කොලික් ඇති වෙන්නේ?

කිරි සමඟ මුව තුළින් වාතය ඇතුළු වී උදරයේ (ආහාර මාර්ගයේ) හුළං පිරීමෙන් දරුවාට අපහසුවක් ඇති වීම කොලික් තත්ත්වයයි.

කොහොමද මේ තත්ත්වය ගැන දැන ගන්නේ?

  1. දරුවා කෑගසමින් හැඬීම
  2. දරුවා ඇඟට බර ගනිමින්, අත් පටලමින්,දෑස් පොඩි කරමින් හැඬීම
  3. දවසේ නිශ්චිත වෙලාවකට හැඬීම
  4. කිරි බීමෙන් පසු මළපහ පිටකිරීම
  5. සැනසීම ඉතා අපහසු වීම

දරුවන් බඩගින්නට, මහන්සියට, මුත්‍රා පිටවූ පසු තෙත් ගතිය ඇති විට සහ අවධානය ලබා ගැනීමටත් අඬනවා. මේ තත්ව වලට අමතරවත් අසීරුවෙන් හඬනවාද යන්න ගැන විමසිලිමත් විය යුතුයි

කළ හැකි ප්‍රතිකර්ම

  1. දරුවා රැගෙන ඇවිදීම

උරහිසට හෝපපුවට තෙරපා තබාගනිමින් ඒ මේ අතට ඇවිදීම මගින් තත්ත්වය යම්තාක් දුරට සමනය කරගත හැකියි.

  1. අවධානය වෙනස් කිරීම

ළදරුවා වාහනයක රැගෙන යෑම ළදරුවා රිද්මයානුකූලව පැද්දීම ආදී ළදරුවාගේ අවධානය වෙනස් කිරීමෙන් මේ තත්ත්වය යම්තාක් දුරට මග හරවා ගත හැකියි.

  1. ළදරු සම්බාහනයක් ලබා දීම

ළදරුවා ඇඳක් මත මුනින් අතට තබා රිද්මයානුකූලව පිට පිරිමැදීම මගින් දරුවා නින්දට යොමු කළ හැකියි. බයිසිකලයක් පදින ආකාරයට දරුවාගේ කකුල් හැසිරවීම ද හොඳ ප්‍රතිකාරයක්

  1. සන්සුන් වන සංගීත ඛණ්ඩ වාදනය.

Relaxing music හෝ white noise වාදනයට සලස්වා අවධානය වෙනස් කිරීමෙන් ද දරුවා සැනසීමට හැකියි.

  1. ඔබ මව්කිරි ලබා දීමේ නිවැරදි ක්‍රම

ඔබ පියයුර දරුවාගේ මුවෙන් තබද්දී හුළං මුවට නොයන ලෙස තනපුඩුව පමණක් නොව ඒ වටා ඇති Areola කොටස ද මුවට ඇතුළු කරන්න.
යළි පියයුර ඉවත් කරද්දී දරුවාගේ මුඛයෙන් ප්‍රවේසමෙන් තන පුඩුව ඉවත් කර ගන්න.
දරුවාට මව්කිරි ලබා දෙන්නේ නම් කිරි නිෂ්පාදන, කැෆේන්, ළූණු සහ ගෝවා වැනි ආහාර ඔබේ දරුවාගේ සංවේදී ආමාශයට බලපෑම් එල්ල කරනවා වෙන්නත් පුලුවන්. එපමණක්ද නොව, ඇමරිකාවේ “Family Doctor” සඟරාවේ පළ කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ එළකිරි, ඇට වර්ග, බිත්තර, සෝයා ආදිය ආහාරයට ගෙන මව කිරි දෙද්දී ද දරුවාට කොලික් ඇති වීමට හැකි බවයි.
නමුත් මේ තත්ව සාපේක්ෂ බැවින් ඔබ ආහාර රටා වෙනස් කරමින් උත්සාහ දැරීම හොඳ දෙයක්.

  1. අඳුරු සුවපහසු කාමරයක නිදි කරවීම
  2. උණුසුම් වතුර බෝතලයකින් උදරය තැවීම
  3. pacifier එකක් ඉරීමට දීම
  4. උණුසුම් වතුරින් සේදීම

මේ ආකාරයෙන් ඖෂධ රහිත ක‍්‍රම හරහා ළදරුවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම අපහසු නම් වහාම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප‍්‍රතිකාර ලබාගැනීම කළ යුතුමයි.

වහාම වෛද්‍යවරයෙක් වෙත යායුතු තත්ව මොනවාද?

  • වඩා ගන්නා විට ඇඟ පණ නැති ගතියක් තිබීම
  • වෙනදාට වඩා අඩුවෙන් මව්කිරි ලබා ගැනීම
  • වෙනදාට වඩා අඩු වෙන් මුත්‍ර පිට කිරීම
  • කොළ පැහැ තරලයක් වමනය කිරීම
  • දරුවාගේ මළපහ සමග රුධිරය පිට වීම
  • 38 ° C හෝ ඊට වැඩි උණ ( මාස තුනකට වඩා අඩු නම්) හෝ 39 ° C හෝ ඊට වැඩි උණ ( මාස තුනක් හෝ හයක් වයසැති නම්) තිබීම
  • නිල් පැහැ හෝ සුදුමැලි බවට හැරීම
  • හුස්ම ගැනීමේ ගැටලු.

ඔබ මේ තත්ත්වයට ඉවසීමෙන් සහ කල්පනාකාරීව මුහුණ දිය යුතුයි. පවුල් සෞඛ්‍ය සේවිකාව,ළමා රෝග විශේෂඥවරුන්, වැඩිහිටියන් සහ ඔබේ සැමියා නිරතුරුව ඔබට උදව් වෙන්න සූදානම්.

ඒ නිසා මාස හතරක් පමණ ගෙවෙන තෙක් ප්‍රවේසමෙන් කුණාටුව දරා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles