අනවශ්‍ය ලෙස ශරීරයේ බර වැඩි නොවන අයුරින් කිරි දෙන මවක් ආහාර ගන්නේ කොහොමද ?

ලංකාවේ මවුවරුන්ගෙන් බහුතරය ළදරුවාට මාස හය වන තුරු මව්කිරිවලින් පමණක් පෝෂණය කරනවා. ඒ නිසා ඔවුන්ට දිනකට ශක්තිය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.මතයක් පවතිනවා දරුවාට කිරි දෙන විට දෙන්නෙක්ට කන්න ඕනෑ කියලා.ඒ වැරදි මතය නිසාම අපේ මව්වරුන් අනවශ්‍ය ලෙස කාබෝහයිඩ්‍රේට් හා මේදය ශරීරයට එකතු කර ගන්නවා. නමුත් එලෙස අනවශ්‍ය පරිදි ආහාර ගන්නට ගියහොත් ඔබේ සෞඛ්‍යයට එය දිගුකාලීන ව අයහපත් ව බලපාන කරුණක්. එය අසාමාන්‍ය ලෙස බර වැඩිවීමට හේතුවක්.මේ කියන්නෙ කෑම නොකා ඩයට් කරන්න කියලවත් අනවශ්‍ය ආහාර පාලනයක් ගැනවත් නෙවෙයි , මේ කියන්නෙ විධිමත් අයුරින්, ඔබ ලබා ගන්නා ආහාර පිළිබද අවබෝධයක් ඇතිව ආහාර ගන්න කියන පණිවිඩය යි.

 දරුවාට කිරි දෙන කාලයේදී බර වැඩි නොවී හොඳට කන්නේ කොහොමද කියා අපි බලමු. 

ආහාරයට ගත හැකි දේ

  • මස්, මාලු, කිරි, බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර දිනකට දෙතුන් වතාවක් ලබාගැනීම සුදුසුයි.
  • තද කොළ පැහැ සහ කහ පැහැ එළවලු කෝප්ප දෙකක් එක් වේලකට එකතු කර ගත හැකියි. 
  • දිනකට පලතුරු කෝප්ප දෙකක් ආහාරයට ගැනීම සුදුසුයි.
  • පූර්ණ ධාන්‍යවලින් තැනූ ආහාරත් ඔබ පෝෂණය කරනවා විනා මහත් කරන්නේ නෑ.
  • ජලය පානය හොඳින් කළ යුතුයි. කිරි නිපදවීම වැඩි වෙන්නේ එවිටයි.

ආහාරයට ගත හැකි ප්‍රමාණය

ඔබ දරුවාට කිරි දෙනවිට ඔබේ ශරීරයේ කැලරි දහනය වීමක් සිදුවෙනවා. දරුවා ලැබුණු පසු , ගර්භනී වීමට පෙර තිබූ බර ම තිබෙන්නේ නම් පමණක් ඔබට විශේෂයෙන් ආහාර ගන්නට සිදු වෙනවා. හැකි තාක් ජලය පානය කිරීම විශේෂයි.

ආහාරයට නොගතයුතු දේ

අධික තෙල්, පිටි, සීනි ඔබට කවදත් හිතකර නැහැ. ඒවා ඉතා අඩු ආහාර ගැනීම සුදුසුයි.

මත්පැන් පානය කළ විට දරුවා කිරි බිව්වහොත් ඔහුගේ සිරුරටත් ඒක බලපාන්නට පුළුවන්.

තේ – කෝපිවල කැෆේන් තිබෙන නිසා ඒවාද සීමා කිරීම සුදුසුයි.

ගෝවා සහ මල්ගෝවා ආහාරයට ගෙන කිරි දුන්නහොත් දරුවන්ගේ බඩේ අමාරු හැදනවා යැයි මතයක් තියෙනවා.

දෙදෙනෙකුට නොකා, ගුණදායක දේ අවශ්‍ය ප්‍රමාණයට කමින් සිරුර හැඩ කර ගන්නට දැන් ඔබට අවස්ථාව තිබෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles