අවුරුද්දට අඩු ඔබේ පොඩිත්තාගේ බුද්ධි වර්ධනය කරන ක්‍රියාකාරකම්.

සුප්‍රකට ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් පවසන්නේ දරුවෙකු උපතේ දී ඔහු හිස් පුවරුවක් වැනි මනසක් සහිත ව උපදින අතර එය විවිධ රේඛා හැඩතල ආදියෙන් පිරෙන්නේ ඔහු ලබන අත්දැකීම් ඇසුරේ බවයි. එය ඔහුගේ ජීවිත කාලයේම පෞරුෂය කෙරෙහි බලපානවා. දරුවන්ව ආහාරයෙන් පෝෂණය කරන සේ ම   මානසික ව ද පෝෂණය කිරීමට දෙමව්පියන් ලෙස ඔබ උත්සාහ ගන්නා බව අපි දන්නවා. දරුවා සමඟ කාලය ගත කරන විට විවිධ ක්‍රියාකාරකම් මගින් ඔහුගේ බුද්ධිමය කුසලතා වැඩි දියුණු කිරීමට උදව් විය හැකී. ඒවා අපහසු දේවල් නොවෙයි. දරුවාගේ හිස් පිරිසිදු මනස සුන්දර කරන්නට උත්සාහ දරන ඔබටමයි මේ ලිපිය.

උපතේ සිට මාස තුන දක්වා දරුවකුගේ මානසික සංවර්ධනය සඳහා කළ හැකි දේ

දරුවෙකු උපන් මුල් කාලයේ ඔහුගේ දෘෂ්ටිය තරමක් සීමා සහිත වූවක් බව ඔබ දන්නවා. එහෙත් එය ඔහුගේ ඇස් උත්තේජනය කරනා ක්‍රියාකාරකම් සඳහා බාධාවක් නොවේ. එමගින් ඔහුගේ දෘෂ්ටි පරාසය ඉක්මනින් ඉහළ යනවා. එමෙන් ම එය සෘජුවම මානසික සංවර්ධනය කෙරේ බලපානවා.

කිරි දෙන විට හැකි තාක් දරුවාගේ දෑස දෙස බලාගෙන කිරි දීමෙන් ඔහුගේ ඇස් උත්තේජනය වෙනවා.

කලු සුදු මෝස්තර සහිත පින්තූර පෙන්වීමත් මේ සඳහා කළ හැකි ක්‍රියාකාරකමක්.

කාමරය විවිධ රූප අලවමින් වර්ණවත් කිරීම මගින් ද ඇස් උත්තේජනය වීමට රුකුලක් ලැබෙනවා. එහෙත් ලෝකයේ ඇති සියලු පින්තූර ඔබ බිත්තියේ එල්ලමින් එය ඉතා කලබලකාරී පරිසරයක් කිරීම කොහොමවත් සුදුසු නෑ. සාමකාමී පින්තූර කිහිපයක් ඇලවීම හොඳටම ප්‍රමාණවත්. 

විවිධ රූප සහිත පින්තූර කාඩ්පත් පෙන්වීමෙන් ද මේ අයුරින් ම ඇස් උත්තේජනයෙන් මානසික සංවර්ධනය සිදු වෙනවා.

ඇඟිලි වලට හෝ අතට කඩදාසි හෝ රෙදි වලින් සාදන ලද කුඩා සත්ව හිස් දමාගෙන ඒවා එහෙ මෙහෙ යවමින් සෙල්ලම් කිරීමෙන් ද දරුවාගේ ඇස් උත්තේජනය සිදු වෙනවා.

මාස හතර සිට හය දක්වා දරුවකුගේ මානසික සංවර්ධනය සඳහා කළ හැකි දේ

අතින් අල්ලාගැනීමට හැකි – අනතුරු දායක නොවන සෙල්ලම් බඩු දීමෙන් දරුවා ඒවා අල්ලා ගැනීමටත් අතින් අත මාරු කිරීමටත් පුරුදු වෙනවා. එය ඔහුගේ මානසික වර්ධනයට බලපානවා.

විවිධ ස්වභාවයන්ගෙන් යුත් රෙදි කැබලි කිහිපයක් ගෙන ඒවා මගින් සිනිදු බව – ගොරෝසු බව හඳුන්වා දීමට ඔබට හැකියි. ඒවා අල්ලන්නට සැලැස්වීමෙන් සහ සිරුරේ තවරමින් ඒ පිළිබඳ කතා කිරීමෙන් දරුවාගේ පරිකල්පන ශක්තිය ඉහළ යනවා.

විවිධ පාට බෝල හා වර්ණවත් සෙල්ලම් බඩු මගින් ද ඉහත ක්‍රියාකාරකම සිදුකළ හැකී. සැබැවින් ම මිල අධික සෙල්ලම් බඩු උවමනා නැහැ. ප්ලාස්ටික් කෝප්ප කිහිපයක් වුවත් මේ සඳහා ප්‍රමාණවත්.

දරුවා නාවන විට වතුර සමග සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් ද ඉහළ යන්නේ ඔහුගේ පරිකල්පන හැකියාවයි.

මාස හත සිට නවය දක්වා දරුවකුගේ මානසික සංවර්ධනය සඳහා කළ හැකි දේ

ශක්තිමත් පිටු සහිත පොත් හඳුන්වා දීමට සුදුසු වයසයි මේ. ඒවා පෙරළමින් ඇඟිලි ක්‍රියාකාරකම් හරහා මානසික සංවර්ධනයක් සිදු වෙනවා මෙන් ම පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීමටත් හොඳ අවස්ථාවක් ලෙස හඳුනාගන්න හැකියි.

විවිධ ප්‍රමාණයන් හඳුන්වා දෙමින් ගණිත සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබාදෙන්නට මේ ඉතා හොඳ වයස් සීමාවක්. විවිධ හැඩතල, විවිධ ප්‍රමාණයේ සෙල්ලම් බඩු හෝ එළවලු පලතුරු ආදිය පෙන්වමින්, අල්ලන්නට දෙමින් ක්‍රියාකාරකම් කළ හැකියි.

දුර සහ ළඟ පෙන්වමින් ඇස් උත්තේජනය සිදු කරන්නටත් මේ වයසේ සිඟිත්තෙකු සිටින ඔබට හැකියි. ළඟ ඇති ද්‍රව්‍යයක් පෙන්වා ඔහු ඒ දෙස බලා අවසන් වූ පසු ඈතින් ඇති දෙයක් පෙන්වීමෙන් මෙය සිදු කරන්නට පුළුවන්. අවධානය රැක ගැනීමටත් මින් දරුවාට හැකියාව ලැබෙනවා.

මාස දහය සිට අවුරුද්ද දක්වා දරුවකුගේ මානසික සංවර්ධනය සඳහා කළ හැකි දේ

මේ වයසේ සිඟිත්තන් වචන ඉගෙන ගැනීමට උත්සාහ දරමිනුයි සිටින්නේ. ඔවුන් සමග නිතරම පැහැදිලි බසින් කතා බහ කිරීමෙන් වාග් මාලාව පුළුල් කරගන්නට ඔවුන්ට හැකි වෙනවා. වැරදි වචන (වතුර වලට “ජෝ” ආදී ලෙසින්) කියා නොදිය යුතු බව තමයි ළමා විශේෂඥයින්ගේ අදහස.

ඕට්ස්, හබලපෙති, සහල් වැනි දෙයක් තරමක බඳුනක දමා කුඩා සෙල්ලම් බඩු කිහිපයක් එහි සඟවමින් දරුවාට ඒවා සොයන්නට දීමෙන් පරිකල්පන ශක්තිය වැඩි කිරීමට හැකි වෙනවා. එමෙන්ම ජෙලි වලත් ඒ අයුරින් ම කුඩා දේවල් සැඟවිය හැකියි. 

එක හැඩයේ විවිධ පාට, විවිධ හැඩයේ එකම පාට සෙල්ලම්බඩු වලින් සෙල්ලම් කිරීමට දීමෙන් ගණිත සංකල්ප පිළිබඳ මූලිකාවබෝධයක් ලැබෙනවා. 

මේ වයසේ දරුවන්ට හොඳින් අප වැටහෙනවා. රඟපාමින් කතන්දර කියා දීමෙන් ඔවුන්ගේ පරිකල්පන ශක්තිය වර්ධනය වෙනවා. 

එමෙන් ම ළමා ගීත තාලයට කියමින්, නටමින් ඔවුන් සමඟ හිඳීමෙන් ද නිර්මාණාත්මක කුසලතා වැඩි දියුණු වෙනවා.

මේවා කිරීමට මිල අධික සෙල්ලම්බඩු ම අවශ්‍ය වන්නේ නෑ. නිවසේ ඇති අනතුරු රහිත ඕනෑම දෙයක් මේ සඳහා යොදාගන්නට පුළුවන්. දරුවා සමග නිරන්තරයෙන් කතා කරන්නට අවශ්‍යයි. ඒවා ඔවුන්ට තේරුණත් නැතත්. සවන් දීමේත් භාෂා කුසලතා වර්ධනය වීමේත් මූලික අදියර ඇරඹෙන්නේ එතැනින්. වැදගත් ම දේ වන්නේ ඉතා අවධානයෙන් සිටීමත් ආදරය දැක්වීමත් පමණයි. 

Related Articles

Don't Miss


Latest Articles